facebook page

Powered by Blogger.

Blogger templates


ප්‍රවීණ මාධ්‍යවේදී අනුර හොරේෂස් මීට දශක දෙකකට පමණ පෙර ලියූ එවකට ඉහළ පාඨක ප්‍රතිචාර ලැබූ “ගිනි අවි සහ ගිනි කෙළි” නවකතාව පසුකාලයේදී උදයකාන්ත වර්ණසූරිය සිනමාවේදියා විසින් “ගිනි අවි සහ ගිනිකෙළි” නමින් චිත්‍රපටයක් ලෙස ඉදිරිපත් කළ බව බොහෝ අයගේ මතකයේ රැඳී පවතින්නකි. මේ වන විට ‍පොදු ජනතාවගේ ප්‍රබලම මාධ්‍යට බවට කිව හැකි රූපවාහිනී මාධ්‍යයටද “ගිනි අවි සහ ගිනි කෙළි” එක්ව තිබේ. නව පරපුරේ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සාරංග මෙන්ඩිස් නම් තරුණ නිර්මාණකරුවා “ගිනි අවි සහ ගිනි කෙළි” කෘතිය ඇසුරු කරගෙන නිර්මාණය කළ “ගිනි අවි සහ ගිනි කෙළි” ටෙලි නාට්‍යය මේ දිනවල සඳුදා සිට බ්‍රහස්පතින්දා දක්වා රාත්‍රී 9.30ට දෙරණ රූපවාහිනී නාලිකාව ඔස්සේ විකාශය වේ.

“ගිනි අවි සහ ගිනි කෙළි” සඳහා පාදක වන්නේ 88-89 භීෂණ සමයේ කාලවකවානුවයි. එවකට රට තුළ ප්‍රබල භීෂණයක් පැවැති අතර තවත් පසෙකින් උතුරේ යුද්ධය පැවැතියේය. මෙකී කාල වකවානුවේ රට තුළ ප්‍රබල සිද්ධිදාමයකට මුල් වූ පාතාල ලෝකය ‘ගිනි අවි සහ ගිනි කෙළි’ තුළ අන්තර්ගත වී ඇත. කතාවේ එන සියලු චරිත එවක සැබෑවට මෙරට විසූ පිරිසකි. සියලුම සිදුවීම් සත්‍යය ඒවාය. කෘතියේ සාර්ථක බවට හේතු වූයේ එයද? එසේ නැතිනම් කතාව පුරා වූ ත්‍රාසය ‍පොදු ජනයාගේ ගූඪ මානසිකත්වය ඉල්ලන ත්‍රාසය හා ගැළපීමද? එසේත් නොවේ නම් මෙහි යටි පෙළ තුළ තියුණු වූත් සියුම් වූත් ප්‍රබල සමාජ දේශපාලන විවරණයක් වීමද “ගිනි අවි සහ ගිනි කෙළි” කෘතියේ නිර්මාතෘ අනුර හොරේෂස් සහ ටෙලි නාට්‍යයක් තුළින් එය වර්තමාන අත්දැකීමක් බවට පත් කළ සාරංග මෙන්ඩිස් වෙතින් අප මෙකී කරුණු විමසුවෙමු.

“88 ඇතිවූ භීෂණය 91 පමණ වන තුරු පැවතුණා. එකී කාල වකවානුව තුළ උතුරේ යුද්ධයක් පැවතුණා. ඔය කාලයේ පැවැති රජය විසින් ගෙන ගියමර්දනකාරී වැඩපිළිවෙළ නිර්මාණකරුවෙකු ලෙස මා දුටුවා. රජය විසින් ප්‍රාදේශීය මට්ටමින් මැර කණ්ඩායම් ක්‍රියාත්මක කළා. ඔවුන්ගේ රාජකාරිය වුණේ ප්‍රතිවිරුද්ධ දේශපාලන මතධාරීන් නිහඬ කිරීම, නිහඬ කරනු බැරි අය ‘ඝාතනය කෙරුණා. මෙම රාජකාරිය වෙනුවෙන් එම පාතාල කොටස් ලැබූ වරප්‍රසාදය වූයේ ඔවුන් සිදුකළ මත්ද්‍රව්‍ය ජාවාරම්,කසිප්පු, ජාවාරම් ජයටම සිදුකරගෙන යාමට ඉඩ ලැබිම. මේ පසුබිම තුළ ‍පොලීසිය පවා අසරණ වී සිටියා. රට අරාජික තත්ත්වයක පැවතුණා. එදිනෙදා ජීවිතයේ අපට හමුවන අහිංසක පුද්ගලයින්ගේ සිරුරු ගංගාවල පාවෙලා යන හැටි අප දුටුවා. එම පාලන සමයේ සත්‍ය සිද්ධි තමයි මගෙ කෘතියට පාදක වුණේ.”

අනුර හොරේෂස් සිය කෘතිය පිළිබඳ පවසන්නේ එවැන්නකි. එදවස මෙම කෘතියට තිබූ විශාල ඉල්ලුම නිසාම මෙම ‍පොත හොරට මුද්‍රණය වූ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියේය. දශක දෙකකට පසු මෙය ටෙලි නාට්‍යයකට නැගීම ගැන සාරංග මෙන්ඩිස් සිය අදහස් පළ කරන්නේ මෙලෙසිනි.

“සමාජය පාතාල ලෝකයේ මිනිසුන් කෙරෙහි බියක් දැක්වුවත් ඒ චරිත සමාජය පිළිගත් චරිත නමෛයි. ඒ අය සමාජය විසින් කොන් කළ පිරිසක්. ඒ විදියේ චරිත 88-89 යුගයට පමණක් සීමා වී නැහැ. ඒ අය අදටත් ‍පොදුයි. ඒ නිසයි එවන් කොන් වූ පිරිසක් ගැන ටෙලි නාට්‍යයක් තුළින් කතා කරන්නට මා අදහස් කළේ. නවකතාවක් ටෙලි නාට්‍යයට නැගීමේදී චරිත හා සිද්ධි ලෙස රූප මාධ්‍යයට නැගිය යුතුයි. මුල් කෘතියේ හරය වටහාගෙන ඊට හානියක් නොවන ලෙස මෙය සිදු කිරීම දුෂ්කරයි. එම අභියෝගය නිසාමයි මෙහි තිර පිටපත මම ලියන්න තීරණය කළේ. මවිසින් කළ අනෙකුත් ටෙලි නාට්‍යවලට වඩා මෙය වෙනස්ම එකක්.”

වීරත්වයට බොහෝ අය ප්‍රියතාවයක් දක්වයි. විශේෂයෙන්  ළමා හා නව යොවුන් පිරිස් මේ අතර සිටී. පාතාල ලෝකයේ ත්‍රාසය මතු කරන නිර්මාණයක් තුළින් සමාජ විරෝධී වීරත්වයක් ජනතාවට දීම අනුමත කළ හැකිද?

කලාකරුවාගේ කාර්යභාරය එයද? මේ පිළිබඳ විමසීමේදී අනුර හොරේෂස් මෙන්ම සාරංග මෙන්ඩිස්ද පවසන්නේ “ගිනි අවි සහ ගිනි කෙළි” තුළින් එබඳු දෙයක් සිදු නොවන බවයි.

“මෙහි වීරයින් නැහැ. ඒ යුගයේ වීරයින් සිටියේ නැහැ. කතාවේ එන පාතාල චරිත නිතරම මරණ බයෙන් සිටි පිරිසක්. ඒ අය ආහාර ගන්නේ නිදියන්නේ සැහැල්ලුවෙන් නමෛයි. “ගිනි අවි සහ ගිනි කෙළි” කතාවේ වීරයා ‍පොලීසිය. මෙහි සැබෑ වීරයා සැබෑවටම සිටි ‍පොලිස් නිලධාරියෙක්. ඔහු තවමත් ජීවත් වනවා. දැන් ඔහු විශ්‍රාම සුවයෙන් සුවසේ පසුවනවා.”

අනුර හොරේෂස් එසේ පැවසුවද නවකතාව හා සිනමා මාධ්‍යයට වඩා ටෙලි නාට්‍යය මාධ්‍ය තුළ විශාල වෙනසක් ඇත. ඒ වටා රොක්වන ‍පොදු ජනතාව අතර විවිධ බුද්ධි මට්ටම්වලින් යුතු අය සිටිති. ඔවුන් නිර්මාණයන් ග්‍රහණය කරගන්නේ තම බුද්ධියට අනුවය. එවන් පසුබිමක කතාවක් මතුපිටින් වටහා ගන්නා පිරිස් මෙකී කරුණු වටහා ගනීදැයි ගැටලුවකි. එම අභියෝගයට මුහුණදීමට සිදුවන්නේ සාරංග මෙන්ඩිස්ටය.
“ටෙලි නාට්‍යයකට බොහෝ සීමා තියෙනවා.

කොටින්ම කියනවා නම් ‍ලේ පවා පෙන්වීමට බැහැ. එම සීමාවන් තුළ සිටයි මම මෙම ටෙලි නාට්‍යය කළේ. ඒ නිසා බිහිසුණු බව අනවශ්‍ය විදියට මතු වෙන්නේ නැහැ. ඒ වගේම තමයි මෙම පාතාල චරිත වීර චරිත විදියට කොතැනකවත් මතුකර නැහැ. අවි ගත්තෝ අවියෙන්ම නැසෙති’ කියන සත්‍යය තමයි ටෙලි නාට්‍යය තුළින් මතු කරවන්න මා උත්සාහ කළේ.

පාතාලයක් වර්ධනය හෝ මර්දනය වීම දේශපාලන බලපෑම් මත සිදුවේ. එම තත්ත්වයන්ගේ ප්‍රතිඵල සමස්ත සමාජය පුරා විහිදී යයි. මෙම සත්‍යය භීෂණ යුගයක කතාවකින් මතුකළ හැකිදැයි අපි අනුර හොරේෂස්ගෙන් විමසුවෙමු.

“ප්‍රතිවිරුද්ධ දේශපාලන මතධාරීන් මර්දනය කරන්නට රජය විසින් මැර කණ්ඩායම් යෙදවීම ඒ වෙනුවෙන් ඔවුනට රජයේ අනුග්‍රහය ලබාදීම, ඒ තුළින් ඔවුන් විසින් තම මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු සමාජ විරෝධී ක්‍රියා පුළුල්ව පවත්වාගෙන යාමේ වරප්‍රසාද ලැබිම කවදාටත් ‍පොදුයි. මෙවැනි පිරිස් මෙහෙයවන හා ආරක්ෂා කරන ප්‍රබල දේශපාලන හස්ත හැමදාම ඉන්නවා. “ගිනි අවි සහ ගිනි කෙළි” නවකතාව කියවන හා ටෙලි නාට්‍යය නරඹන අයට මෙහි ඇතැම් සිදුවීම් දකින විට වැටහෙනවා මේවා අදත් සිදුවන බව. භීෂණ යුගයක් තේමා කරගෙන නිර්මාණය කෙරුණත් “ගිනි අවි සහ ගිනි කෙළි” ප්‍රබල දේශපාලන හා සමාජ විවරණයක් මතු කරනවා. එය හැම කාලයටම ‍පොදුයි.

 ආරියවංශ කුලතිලක

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery