facebook page

Powered by Blogger.

Blogger templates



ප්‍රේතයනට පින් දීම, තටු තැබීම යන කාරණ පිළිබඳ ව ධර්මානුකූල ව කැරෙන විග්‍රහයකි.

බුදුසමය ක්‍රමයෙන් ඉදිරියට පැමිණීමේ දී ඊට එක් වූ ඇතැම් අංග බුදුදහමේ මූලික හරයට එකඟ වූ ඒවා වන අතර, ඇතැම් සංකල්ප බුදුදහමට ඉදුරා ම පටහැණි ඒවා විය. පෙරේතතටු තැබීම යනු එසේ බුදු දහමට පටහැණි එහෙත් බෞද්ධ සමාජය තුළට රිංගාගෙන අද දක්වා පැවත එන අභිචාර විධියකි. මහනුවර යුගයේ දී සමාජගත වන්නට ඇතැ යි සැලකෙන මෙය අද වන විට ද ඒ ඒ පළාත්වල බෞද්ධ ජනයා අවිචාරවත් අයුරින් ගූඪ විශ්වාසයන් මනසේ පුරවාගෙන සිදු කරගෙන එනු දැකිය හැකි ය.

ශාසනික නොවන මෙම ක්‍රියාව බුදුදහමේ මූලික සාරය අවබෝධ කරගැනීමට බාධාවකි. එබැවින් අප සැම විසින් එම බාධාව අවබෝධයෙන් යුතු ව ම මගහරවාගත යුතු ය.

මෙම අභිචාර විධිය පෙරේත බත, පෙරේත ගොටුව, පරාණ බත යනුවෙන් ද හැඳින්වේ. මෙහි දී උඩරට ක්‍රමයට අනුව නම් මරණයෙන් පසු හත් දවසේ දානයට වැඩමවන භික්ෂූන්ගෙන් නායක භික්ෂුව දානය අවසන පෙරේත තටුව කැප කරයි.

එහි දී බත්, ව්‍යඤ්ජන, පලතුරු, කැවිලි ආදිය (විශේෂයෙන් මිය ගිය තැනැත්තා කැමැති ආහාරපානාදිය) පත්කොළයක් ඇතිරූ වට්ටියකට බෙදයි; තව ද බුලත් විට, මල්, සුවඳ ද්‍රව්‍ය, කුරුම්බාවක් යනාදිය ද තබයි. පෙරේත තටුව තබන්නේ නිවෙසින් බැහැර උස් තැනක ය. පෙරේත තටුව කැප කරන භික්ෂුව පහන් වැටිය දල්වා පහත ගාථා කියා එය ඥාති ප්‍රේතයාට කැප කරයි.

“ගන්ධං දීපං ච ධූපං ච
පානීයං ඕදනම්පි ච
පතිගණ්හන්තු සන්තුට්ඨා
ඤාතිපේතා ඉදං බලිං”
“ඉදං මේ ඤාතීනං හෝතු
සුඛිතා හොන්තු ඤාතයෝ

“ඥාතිප්‍රේතයෝ සුවඳ, පහන්, පැන්, ආහාර යන මේ බලිය සතුටින් පිළිගනිත් වා! මෙය මාගේ ඥාතීන්ට වේ වා! නෑයෝ සුවපත් වෙත් වා!” යනු ඉහත ගාථාවන්හි අර්ථය යි.

පහතරට මිනිසුන් මෙම පෙරේත තටුව තබන්නේ මරණයෙන් සවැනි දින රාත්‍රියේ මතක බණ කීමට පෙර ය. මෙහි දී ඇතැම් විට මිය ගිය තැනැත්තා ජීවත් ව සිටි කල මත්වතුර, සිගරැට් පාවිච්චි කළ අයකු නම් ඒවා ද තබයි. මේ ආකාරයට ඉතා ග්‍රාම්‍ය වූ වැඩපිළිවෙළක් බෞද්ධ සමාජය තුළ ක්‍රියාත්මක වෙමින් පවතී.
අවිචාරවත් ලෙස පරම්පරාවෙන් පරම්පරාවට මෙම හණමිටිය කරගසාගෙන යෑම ‘පින් අනුමෝදන් කිරීම’ නම් වූ ක්‍රියාව වත් නිවැරැදි ව නොහඳුනාගත්තවුන්ගේ අර්ථ ශූන්‍ය ක්‍රියා පිළිවෙතකි.

 පින් අනුමෝදන් කිරීම යනු කුමක් ද? තමන් කවුරුන් හෝ වෙනුවෙන් යම් පිනක් කොට, ඒ පින ඔබ වෙනුවෙන් මා විසින් කළ දෙයකැ යි පවසා ඒ ගැන අදාළ පුද්ගලයා සතුටු කරවීම යි.
මෙහි දී තමන්ට මේ වන විට කළ නොහැකි පින්කමක් ඥාතීන් තමා වෙනුවෙන් කරන බව දක්නා මිය ගිය ඥාතියා එය අනුව සතුටු වෙයි. ඒ පින අනුව සතුටු වීමෙන් ඥාති ප්‍රේතයාට පින් ලැබෙන අතර, ඒ හේතුවෙන් දුකින් නිදහස් වීම සිදු වේ. පින් බලාපොරොත්තු වන ප්‍රේත ආත්ම භාවයක් ලැබූවකුට මනුෂ්‍ය ආහාරපානාදිය ලැබිය හැකි නම් පින් දෙන්නේ මක් නිසා ද? ඉතා හොඳට කෑම මේසයට තබා පිළිගැන්විය නොහැකි ද?

මෙහි දී අවධාරණය කරගත යුත්තක් ඇත. එනම්: ප්‍රේත ජීවිතවල දුක් විඳීන ප්‍රේතයන් මනුෂ්‍ය සැප-සම්පත් දුටුව ද ඒ වෙනුවෙන් ඊර්ෂ්‍යාවෙන් තණ්හාවෙන් සිටිනු හැකිවා මිස ඔවුන්ට එම සැප-සම්පත් භුක්තිවිඳිය නොහැකි බව ය. එහෙයින් එවැනි පිරිසක් වෙනුවෙන් පෙරේත ගොටු තැබීමෙන් සිදු වන්නේ ගත නොහැකි දෙයක් පෙන්වා ඔවුන් තුළ තෘෂ්ණාවත්, ඊර්ෂ්‍යාවත් වැඩි කරවීම ය. මේ අදූරදර්ශී ක්‍රියාව හේතුවෙන් එම ප්‍රේතයා දුකින් නොමිදී, ජීවත් ව සිටින ඥාතීන්ට තව-තවත් කරදර ඇති කරවිය හැකි ය. සාමාන්‍ය මිනිසුන් වන අප අපට අවිෂය වන කටයුතු සිදු කිරීමේ දී බුදුන් වහන්සේ වදාළ දෙයින් ඔබ්බට ක්‍රියා කිරීමෙන් වැළකී සිටීම බුද්ධිගෝචර වේ.

මෙකරුණ සම්බන්ධයෙන් තිරෝකුඩ්ඩ සූත්‍රය තදනුගත අටුවාව සමඟ විමසා බැලීම වටී. බුදුරදුන් රජගහනුවරට වැඩම කළ අවස්ථාවේ දී බිම්බිසාර රජු දහම් අසා සෝවාන් ඵලයට පත් වී බුදු පාමොක් මහ සඟරුවනට පසු දින දන් පිළිගැන්වූයේ ය; එහෙත් තම පැරැණි ඥාති ප්‍රේතයනට පින් නොදුන්නේ ය. ප්‍රේතයෝ රජු භය කළහ.

බුදු රදුන්ගෙන් කරුණු විමසා දැනගත් රජු සිය පැරැණි ඥාතීන් වෙනුවෙන් බුදු පාමොක් මහ සඟරුවනට දානයක් සූදානම් කළේ ය. දන් දීමට වත් කරන ජලය දෙමින් ඒ පින ප්‍රේතයන්ට දුන්හ. පින් ලැබූ ප්‍රේතයන්ට එකෙණෙහි ම පියුම්වලින් ගැවසුණු පොකුණු පහළ විය. මෙතෙක් පිපාසයෙන් වේළෙමින් සිටි ප්‍රේතයෝ ජලය නා, පානය කොට ශරීර විඩාව පිපාසාදිය දුරු කොටගෙන මනා පැහැ ඇත්තෝ වූ හ. රජු බුදු පාමොක් සඟ පිරිසට කැඳ, ආහාර ආදිය දන් දී, එම පින ද ප්‍රේතයනට අනුමෝදන් කළේ ය. පින් ලැබූ ප්‍රේතයනට දිව්‍යමය වස්ත්‍ර, ප්‍රාසාද යනාදිය ලැබිණි. මෙලෙස ඒ ඒ ක්‍රියාවෙන් ජනිත වන පින් අනුමෝදන් වීම හේතුවෙන් ඊට අනුරූප සැප විපාක ලද හැකි විය.


මිය ගිය ඥාතීන් වෙනුවෙන් සිදු කරන පූර්ව ප්‍රේත බලිය වශයෙන් සැලකිය යුත්තේ ද මෙම පින් අනුමෝදන් කිරීම ම ය. තිරොකුඩ්ඩ සූත්‍රයේ දී ඥාතීන් වෙනුවෙන් කළ යුතු ඥාති ධර්මය වශයෙන් බුදුන් වහන්සේ පෙන්වා දුන්නේ ද පින් අනුමෝදන් කිරීම ය.

බුදු දහමට අනුව අප පරිභෝග කරන මනුෂ්‍ය ආහාරපානාදි කිසිත් ලද නොහැකි ප්‍රේතයන් වෙනුවෙන් ප්‍රේත තටු තැබීම එම ප්‍රේතයන් තව දුරටත් අසරණ කරවීමකි; ඇතැම් විට නැති කරදර ඇති කරගැනීමකි; බෞද්ධ ඉගැන්වීම නොසලකාහැරීමකි. තව ද මෙය බෞද්ධ ඉගැන්වීමට අනුව දන් දෙන අතර ම අන්‍ය සාම්ප්‍රදායික සිරිත් අනුගමනය කිරීමක් ද වන්නේ ය.

ඇතැම් විට මෙම ප්‍රේත තටුව තැබීම ශෝකයෙන් මැඬුණු අයකුට සිය ශෝකය සන්සිඳුවාගැනීමට හෝ වෙනත් කිසිවකුගේ යම් මානසික සුවයකට හේතු විය හැකි මනෝ චිකිත්සක ක්‍රමයක් විය හැකි ය. එහෙත් අප ඊටත් වඩා සැලකිලිමත් විය යුත්තේ මෙයින් වන අනර්ථකාරී බව ගැන ය.

බුදු රජාණන් වහන්සේ මිය ගිය පුද්ගලයන් කෙරෙහි පිළිපැදිය යුතු අන්දම දක්වා තිබිය දී එයට හාත්පසින් විරුද්ධ අන් කිසිවක් කිරීම අනතුරු දායක ය. ඒ අනතුරු දායක බව හොඳින් ම වැටහෙනුයේ ඒ ධර්මය පිළිබඳ මනා විශ්වාසයක් ඇති ශ්‍රද්ධාවන්තයකුට පමණි. ශ්‍රද්ධාව නැත්තන්ට නම් මේවා වාද-විවාද කරගැනීමට තරම් කරුණු විය හැකි ය. තමාට බුදු රදුන්ටත් වඩා දැනුමක් ඇතැ යි පිළිගත් අයට මේ සසුනෙහි කරුණු අදාළ නො වේ.

“ගන්ධං දීපං ච ධූපං ච...” යන ඉහත දැක්වූ ගාථාව තිරොකුඩ්ඩ සූත්‍රයේ ඇතැ යි යනුවෙන් සැලකීම ඇතැමුන් විසින් වරදවාගත් තවත් කරුණකි. මේ සම්බන්ධයෙන් අපි නැවත වරක් බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාව හා බුරුම ඡට්ඨ සංගායනා සංයුක්ත තැටිය ඇසුරෙන් සොයා බැලීමක් කළෙමු.

එහෙත් ඒ කිසි තිරෝකුඩ්ඩ සූත්‍ර සංස්කරණයක ඉහත ගාථාව අන්තර්ගත නො වී ය. මේ කිසි මහ තෙර නමකට හසු නො වූ තිරෝකුඩ්ඩ සූත්‍රාගත ගාථාවක් ඇතැ යි සැලකීම මුළාවකි. තිරෝකුඩ්ඩ සූත්‍රයේ හෝ තදනුගත අටුවාවේ වත් සඳහන් නොවන මේ ගාථාව පාලි සාහිත්‍යයේ පිළිගත් කෘති කිසිවක වත් නැති බව අපගේ විශ්වාසය යි. තිරොකුඩ්ඩ සූත්‍රය කියැවීමට අවශ්‍ය අය වෙතොත් ඒ අයට බුද්ධ ජයන්ති ත්‍රිපිටක ග්‍රන්ථ මාලාවේ 24 වන කෘතියෙහි හෙවත් ඛුද්දකනිකාය 01 කෘතියෙහි 14-17 පිටුවලින් එය කියවිය හැකි ය.

කෙසේ වෙතත් මෙම පෙරේත තටුව තැබීමේ චාරිත්‍රය වේද යුගයේ ශ්‍රද්ධා පූජාව හා සම්බන්ධකමක් ඇතැ යි කියා සිතීමට තරම් කරුණු ඇත. මෙම ශ්‍රද්ධා පූජාව පැරැණි ඉන්දීය පංච මහා යාගයන්හි පිතෘ යාගය සමඟ ද සම්බන්ධ ය. මේ අනුව සලකා බලන විට පෙරේත තටුව සිංහල බෞද්ධ චාරිත්‍රයක් වශයෙන් සැලකිය නො හැකි ය.

අප මෙතෙක් කරුණු දැක්වූයේ පෙරේත තටුව බෞද්ධයනට නුසුදුසු ක්‍රියාවක් බව දැක්වීමට ය. මෙවැන්නක් වෙනත් ආගම් තුළ ක්‍රියාත්මක වේ නම් එය විවේචනය කිරීමට අයිතියක් අපට නැත. ඒ ඒ ආගමේ කරුණු ගැන කතා කළ යුත්තේ ඒ ඒ ආගමේ මූලික ඉගැන්වීම්වලට අනුව බැවිනි. එදා මහනුවර යුගයේ සසුන පිරිහී තිබූ අවස්ථාවේ සිදු වූ ගණින්නාන්සේලාගේ අවිචාරවත් සිරිත්-විරිත් අද ද අනුගමනය කිරීම පිළිබඳ ව නැවත වරක් ධර්මානුකූල ව සිතා බලන ලෙස බෞද්ධ සමාජයෙන් ඉල්ලා සිටිමු.


(මෙම ලිපියට පෙරේත තටුව පිළිබඳ කරුණු සපයාගැනීමේදී විභාවි විජය ශ්‍රීවර්ධනයන්ගේ ‘ලක්දිව ප්‍රේත සංකල්පයේ විකාශනය’ කෘතිය බෙහෙවින් උපකාරවත් වූ අතර, ඛුද්දක නිකායේ ප්‍රථම භාගය, හා එම අටුවාව ද, ශ්‍රී සුමංගල ශබ්දකෝෂය ද ඇසුරු කැරිණි).


හසන්ත වාසනා සමරසිංහ

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery