facebook page

Powered by Blogger.

Blogger templates





රාවණ යුගයට සම්බන්ධ ජනප්‍රවාදයකට අනුව හනුමන්තා රාමාට තුවාලයක් වූ කලි ප්‍රතිකාර ලබාදීමට හිමාල වන අඩවියෙන් ඔසවාගෙන ආ බෙහෙත් කන්දෙන් කොටසක් අත්ලෙන් උනා වැටුණු බවත්. එම ගම් පෙදෙස දකුණු ලක උණවටුන ලෙස අද හඳුනාගෙන ඇති බවත් අත්ලේ ඉතිරි කොටස ගෙන හනුමන්තා පැමිණියේ දොළුකන්ද නම් මේ ස්ථානයට බවත් කියැවේ. දොළුකන්දේ ඇති බෙහෙත් වන ඔසුවලින් හා රූමස්සල කන්දේ බෙහෙත් ඔසුවලින් මේ බව ඔප්පු කරන්නට ජනශ්‍රැති පර්යේෂකයෝ වෙරදරති.



කෙසේ වෙතත් අපේ අරමුණ දොළුකන්ද ඉතිහාසය විමසීම නොව එහි ආශිර්වාද පූජාව හා මහා අනුහස හදිසියේ වියැකී ඇත්තේ කුමක් නිසාදැයි සොයා බැලීමය. දොළුකන්ද පසු කලෙක බොරුකන්දකින් වැසී ගිය බවත් ඒ හිමියන් චන්ද්‍රිකා වැව පවා පිරිත් කළ බවත්. රන් කොතකට රත්තරන් එකතු කළ බවත් එදා රට පුරා ගලා ගිය ප්‍රවෘත්තිය.



මේ පර්යේෂණයේදී අපට හැඟී ගියේ එය එසේ නොව ඊටත් වඩා ගැඹුරු ඇතුළාන්තයක් මේ තුළ සනිටුහන් වූ බවයි. ගැමියන් විද්වතුන් මතු නොව නොයෙක් පාර්ශ්වයන් විමසමින් සත්‍ය සොයා ගැනීමට අප ගත් උත්සාහය සාර්ථක විය.


අපවත් වී යැයි සමහරුන් කී ඒ හිමියන් විවේකීව භාවනානුයෝගීව වැඩවසන මහ වනයකට පවා අපි ගියෙමුග වසර 15 කට පමණ පසු හිමියන් මේ චෝදනා පත්‍රයට පිළිතුරු දීමට යොමු කරවා ගැන්ම ද අපට අසීරු කරුණක්ම විය. අලි කොටි වග වලසුන් ගහණ වනන්තරයේ දී වන සිවුපාවුන් වැනි මිනිසුන්ගේ කතාව උන්වහන්සේ අවසානයේ අපට හෙළි කළහ.


දොළුකන්ද ප්‍රධාන දායක සමිතියේ ලේකම්වරයා වශයෙන් වැඩ කළ එච්. එස්. විමලසිරි මෙසේ කියයි


හාමුදුරුවන්ගේ ආශිර්වාද පූජාවට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආවා. උන් වහන්සේ ආශිර්වාද කරන පිරිත් පැන් දුන්නාම තමන්ගේ ලෙඩ රෝග විතරක් නොවේ ජීවිතයෙනුත් ඔවුන් වෙනස් ප්‍රතිපත්තිගරුක හොඳ මිනිසුන් බවට පත්වුණා. විශාල පිරිසක් මේ ආශිර්වාද පිරිත් පැන්වලින් ප්‍රයෝජන ගත්තා.



මුලින්ම හාමුදුරුවන්ට මේ දොළුකන්දෙ තිබිලා රන් කොතක් හමුවුණා. මාත් ඒක දැක්කා. කිසිම දෙයක් ගැන තෘෂ්ණාවක් නැති උන්වහන්සේ ඒක පුරාවිද්‍යාවට බාර දුන්නේ අපට පෙන්වලා. ගමේ මිනිසුන්ට මේ ආරංචිය ගියාම ඒ අයගෙන් සමහරෙක් හිතුවා පූජා භූමිය දියුණු කරන්නෙ රන් කොත විකුණලා කියලා.


ඒ නිසා හාමුදුරුවො දොළුකන්දෙදි ඒ රන් කොත ප්‍රදර්ශනය කරන්නට නැවත පුරා විද්‍යාවෙන් ඉල්ලීමක් කළා. ඒ වතාවෙ නියම රන් කොත ගෙනාවා හාමුදුරුවන්ගේ ආශිර්වාද පූජාවට එන බැතිමතුන් ලබා දෙන දේවලින් තමා ස්ථානය දියුණු කළේ. හාමුදුරුවන්ගේ ඡායාරූපය විකුණලත් මිනිස්සු සල්ලිකාරයො වෙන්ඩ පටන් ගත්තා.


ඒ හිමියන්ගේ බලය විශාලයි. මගේ හරකෙකුට බෙල්ලෙ පණු ගෙඩියක් ආවා “බුදු ගුණ අනන්තයි” කියලා කරන සත්‍ය ග්‍රහ බලයෙන් පිරිත් කළ පැන් ටිකකින් ගෙඩිය නෑව්වා විතරයි. දවස් දෙකක් ගියේ නෑ ගෙඩිය අතුරුදන් අප නම් ඒ බලය විශ්වාස කළා. මේ රටේ දෙනෝ දාහක් එහෙමයි හාමුදුරුවො පළාත දාලා වැඩියෙ නොයෙක් අය වැරැදි දේවල් කරමින් දොළුකන්ද විනාශ කරමින් හිටි නිසයි.


අයියනායකල වීරමුණ්ඩල ගම්භාර දෙවියන්ගේ අඩවිය මේක. වැරැදි වැඩවලින් ආශිර්වාදය අපට නැති වුණා. කියන්ඩ දෙයක් අමතක වුණා. දෙවැනි වතාවටත් හාමුදුරුවො පුරා විද්‍යාවට කීවා ලැබුණු රන් කොත ප්‍රදර්ශනය කරමු කියලා. ඒ වතාවෙ නම් ගෙනාවෙ නියම රන් කොත නොවේ. ඒ වගේ රන් නොවන වෙනත් කොතක්. කාට ද කියන්නෙරෑ හාමුදුරුවො ඒ ගැන ඊට පස්සෙ කතා කළෙත් නෑ.


ආර්. එච්. සී. රත්නායක මහමූකලන්යාය පාසලේ ගුරුවරයෙකි. 


දොළුකන්දෙ ආශිර්වාද පුජාව කියලා පටන් ගත්ත ඒ දේ ගැන මිනිස්සු අතර මත කීපයක් තියෙනවා. මුලින් මුලින් හාමුදුරුවො මේ ගමට පිණ්ඩපාත වැඩලා ඉතාම සුපේශල ශික්ෂාකාමී හිමිනමක් ලෙස කටයුතු කරගෙන ඔය දොළුකන්දෙ හිටියා.


පස්සෙ දේශපාලකයොල ව්‍යාපාරිකයො හා පළාතේ තවත් ප්‍රභුන් මේ ආශිර්වාද පූජාව වට කරගෙන තමන්ගේ ප්‍රියසාද උත්සවවලට පවා ආශිර්වාද පූජාව ගෙනාවා. පළාතේ සමහර මිනිස්සු මේක වැරැදි තැනකට පත් කළා. ඔය දොළුකන්දෙ තිබෙන වටිනා මල් වර්ග බෙහෙත් පැළෑටි පුංචි පුංචි කෝප්පවල හිටවාගෙන වෙළෙඳාම් කරන්ඩ ගත්තා.


රටේ විවිධ ප්‍රදේශවලින් දොළුකන්දට ආපු මහ ජන සන්නිපාතයට අවශ්‍ය කැසිකිළි වැසිකිළි පහසුකම්වත් තිබුණෙ නෑ. ඒ නිසා ගමේ ගෙවල්වලට කරදර වුණා. අන්තිමට වැසිකිළි වටා කම්බි වැටවල් පටලවන්න තරම් ගමේ මිනිසුන්ට සිදුවුණා. ගස් මුල් හා කුඹුරු වැනසුණා. සමහරු සල්ලි අරන් ඒ වැඩ කරන්ඩ වැසිකිළි දුන්නා


ඒත් ලක්ෂ ගණන් ජනතාව යන්නෙ කොහොම ද? ගියාම පළාතම ගඳ ගහන්ඩ ගත්තා. පරිසරය විනාශ වුණා. කුඩා හැඩයා මහ හැඩයා ඉරරාජල සඳරාජ මේ වගේ වටිනා ගස් වඳ වෙන්ඩ ගත්තා. ඒ විතරක් නොවේ දොළුකන්දෙ තිබෙන විවිධ කහට ගෙඩි වර්ග අත්තික්කා වගේ දේවල් විකුණලත් ජීවත්වෙන පිරිසක් ඇති වුණා.


ඒ අය එන බැතිමතුනට “සීනිවලට හොඳයි”. “රුධිර පීඩනයට හොඳයි” කිය කියා මේවා වික්කෙ.‘දන්නෝ දනිති’ කියලා බත් පැකට් විකුණන්නත් කට්ටියක් හිටියා. ඒ බත් පැකට් එකේ ගමේ මත් වතුර පැකට් එකක්. එක්ක බත් මාළු තියෙනවා. මත් වතුර හොයන මිනිස්සු ඒ පැකට් පොර කකා ගත්තා.


මේ වගේ විශාල මගඩි මෙහි සිදුවුණා. හාමුදුරුවන් ආශිර්වාද පූජාව කළා මිසක් මේවා වළක්වන්න ඒ දායක සමිතියවත් පියවර ගත්තේ නෑ. දායක සමිති කළෙත් සල්ලි හම්බ කිරීම. හාමුදුරුවන්ගේ ඡායාරූප පවා විකුණුවා. ආපු බස් කන්දරාව නවත්වන්න ඉඩම් දීපු අය අද විශාල සල්ලිකාරයො. ඒ අයටත් බස් තියෙනවා. සමහර දායක කාරකාදීන් අද වී මෝල් පවා දාගෙන.


ඒ හිමියන්ට හා දොළුකන්දෙ අනෙකුත් යෝගාවචරයන්ගේ පැන් පහසුව සඳහා කුඩා වැවක් තැනවීම උන්වහන්සේට මහත් ප්‍රශ්න පැමිණි අවස්ථාවකි. ඒ හරහා බොහෝ තොරතුරු මට ලැබිණ.


පුරා විද්‍යාවට අයිති භූමියේ නිධන් හාරන්ඩ හාමුදුරුවො යනවා. මේක පැන් පහසුව සඳහා ම නොවේ. සමහරු එදා කීහ :ඒත් අපේ සමීක්ෂණ අනුව ඇත්තටම ස්වාමින් වහන්සේ හාරපු නිධානයක් නැත. දොළුකන්දේ හිමිවරුනට පැන් පහසුවට හරිහැටි තැනක් අදත් නැත. තිබෙන්නේ ඒ වැව පමණි . පුරා විද්‍යාව මේ වැඩ සම්බන්ධයෙන් නීති මඟට ගියේය. අධිකරණ විනිසුරුවරයා සියල්ල විභාග කොට කීවේ අපූරු කතාවකි “හොඳ වැඩක් කරන්ඩ මේ රටේ ඉඩක් නෑ” යන්නය





මේ ස්වාමින් වහන්සේ මුදල් අකැප බැවින් මුදල් කිසිත් පරිහරණය කළේ නැත. ලැබෙන සියලුම මුදල්වලින් නැතිබැරි අයට නිවාසල සෞඛ්‍ය පහසුකම් හා වෙනත් දේ ඉටුකළ බව ඇතැම් ගැමියෝ කියති

මකුල්වැව දෙමටාවවත්ත ඉඩමේ දොළුකන්දේ හිමියන් තැනු ගෙවල් 30 බැලීමට ද අපි ගියෙමු.


කාමර දෙකක් සාලයක්. කුස්සියක්. පුංචි ඉස්තෝප්පුවක් සහිත ගෙවල් 30 ක් හාමුදුරුවන්ගේ සම්පූර්ණ වියදමෙන් ඉදිකරවා ප්‍රදේශයේ නැති බැරි අහිංසක පිරිසකට ලබාදීමට කටයුතු කැර තිබිණ. එහෙත් එහිදී ද හාමුදුරුවන්ගේ අරමුණට 2002 කාලයේ තිබුණු එජාප ආණ්ඩුවේ මකුල්වැව ප්‍රදේශය පාලනය කළ කිසියම් අධිපතියෙක් හරස් විය. ඔහු තමාගේ ගෝලබාලයන් මේ ගෙවල් 30 න් 28 කම පදිංචි කළේය. බේරුණු ගෙවල් දෙකින් එකක පදිංචි සරත් හාමුදුරුවන්ගේ ප්‍රධාන දායකයෙකි. ඔහුගේ බිරිය ඉන්ද්‍රානි හේමලතා අපට කරුණු කීවාය.


හාමුදුරුවන් අපට මේ සෙවණ ලබා දුන්නෙ. ඊට ඉස්සෙල්ලා අපි හිටියෙ දොළුකන්ද රක්ෂිතයේ ඔය විහාරය ඉඩමට යාව තැනෙක. අපේ අහිංසකකම බලලා අපට උන්වහන්සේ උදව් කළා. මේ ගෙවල් 30 ටම වතුර දෙන්ඩ හාමුදුරුවො හදාපු ජල ටැංකිය තවමත් එහෙමමයි.


ඒ කටයුතු කරගන්ඩ හාමුදුරුවන්ට ඉඩ ලැබුණේ නෑ. උන්වහන්සේට ඇතැමුන් නින්දා කළා. හයිරන් කමින් මේ අනෙත් ගෙවල් ලබාගත්තට කාටත් තවම ඔප්පු තිරප්පුත් නෑ. උන්වහන්සේ දොළුකන්ද දාලා ගියා.


දොළුකන්දේ විහාරයේ දැන් විහාරාධිපතිව වැඩ ඉන්නේ නන්දවිමල හිමියන්ගේ ගෝලනමක් වන වේදෙණියේ නන්දසීල හාමුදුරුවෝය. මේ සමීක්ෂණය කළ මොහොතේ උන්වහන්සේ පිට පළාතක වැඩ සිටි හෙයින් අපි දැනට එහි වැඩ සිටින දොළුකන්දේ සංඝානන්ද හිමියන් බැහැදකිමු.


දොළුකන්ද මහා හාස්කම් ඇති තැනක්. ගමේ කිරිඅත්තලා පවසා ඇති අන්දමට සිරිලක පැරැණිම බුලත් වැල තිබෙන්නෙත් මේකේ. මේකෙ කුටි 101 ක් තිබෙනවා. අපේ ලොකු හාමුදුරුවො මේවා රැක බලාගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආශිර්වාද පූජාවෙන් සුවපත් කළා.


උන්වහන්සේට කෙතරම් ශ්‍රද්ධාසම්පන්න පිරිස් හිටියත් ඇතැම් දේශපාලකයන් හරහට හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඕනෑම දෙයක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා. ඒ හිමියන්ගේ ආශිර්වාද පූජාවටත් වුණේ මේ ටිකමයි.


උන්වහන්සේ කපාපු මේ කුඩා වැව නැත්නම් මටත් මේ වැඩවසන සාමණේරයන්ටත් අද පැන් පහසුවවත් නෑ. තවමත් අපට දානෙ වරදින්නෙ නෑ. සතාසර්පයා කෙතරම් මේ රක්ෂිතයේ හිටියත් අපට කරදරයක් නෑ. මිනිසාගෙන් තමයි ප්‍රවේශම් විය යුත්තේ.


 මානවසිංහ හේරත් ගමේ වැඩිහිටියෙකි. ඔහු කී යමක් අපේ සිත සලිත කරයි.


මේ හාමුදුරුවෝ පිණ්ඩපාතෙ වැඩලා ශාසනකාමීව වැඩ හිටියා. ඒත් උන්වහන්සේ පසු කාලයක වෙනස් වුණා. :

ඒ වෙනස ගැන මම දිගින් දිගටම ප්‍රශ්න කළෙමි. 

වෙනස කියන්නෙ මුලින් හිටි අය අමතක වුණා. ව්‍යාපාරිකයො. දේශපාලකයො. සමීප කරගත්තා. එතැනින් තමයි විනාශය ළං කරගත්තෙ. හාමුදුරුවන්ට පැමිණි ජනකාය නිසා අනෙත් කටයුතු සොයා බලන්ඩ වෙලාව නැති වෙන්නත් ඇති.


ජනතාව ඇදී එන විට තම හරකාබාන ගෙවල් දොරවල් පසෙක තබා හාමුදුරුවන්ගේ සේවාවට උදව් කරන දායක කාරකාදීන්ට වැටුප් පවා ගෙවීමට දායක සභාව වරක් තීරණය කැර තිබිණ. එහෙත් එසේ වැටුප් නොලැබ වැඩ කළ පිරිත් නූල් ඔතන්නකු වූ තෙන්නකෝන් මහතා අපේ අවධානය තවත් පසෙකට යොමු කළේය.


එදා ජනතාවට පිරිත් නූල් බඳින්ඩ මොන තරම් නූල් ඔතන්න ද මහත්තයා. මාත් පන්සලෙන් දෙන දෙයක් කාලා නූල් එතුව එකමයි වැඩේ. හැබැයි! සල්ලි ගත්තෙ නෑ. පස්සෙ පස්සෙ හාමුදුරුවන්ගෙ මේ දියුණුව ඉවසන්න බැරි පිරිසක් පහළ වුණා.


ඔහුගේ බිරිය බණ්ඩාර මැණිකේ හඬ අවදි කළාය


මහත්තයො. හාමුදුරුවො බලසම්පන්නයි. ඒ පිරිත් පැන් දිව්‍ය වතුරක්. අපේ ගොයම් වගාවට කීඩැවන්ගෙන්, ගොයම් මැස්සන්ගෙන් හානි වන කොට ඒවා වළක්වන්න හාමුදුරුවො පිරිත් පැන් ආශිර්වාද කරලා දුන්නා. පිළිගන්න! අපට කෘමිනාශක ගහන්ඩ සල්ලි නෑ. අපි කන්න කීපයක් සාර අස්වැන්න ගත්තෙ හාමුදුරුවන්ගෙ පිරිත් පැන් වතුරින්. හාමුදුරුවො ඒ පූජා කරනකොට මේ ගමේ කඩවල එක බිත්තරයක් විකිණෙන්නෙ නෑ. මස් මාළු ගැන කවර කතා ද මේවාට පිරිසක් පෙළ ගැහුණා මහත්තයො.


සමහර දේශපාලකයන් හාමුදුරුවන්ගේ කුටියට ගැහැනු ඇඳුම් පවා ගෙන ගොස් දමන ලදැයි නම් හෙළි නොකළ කිසිවෙක් කියති


“පතිරූප දේශ වාසොච” යන නියමයට අනුව උන්වහන්සේ දොළුකන්ද අත හැර වැඩියේය. උන්වහන්සේ අපවත් වී යැයි කියුවත් අපට සෑහෙන්නට බැරිය. අපි විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ ගවේෂණයේ යෙදෙමින් උන්වහන්සේ හමුවීමු.


“විළඳකට්ටිය” පුරා විද්‍යා ස්ථානය පිහිටියේ කරුවලගස්වැව පසුකැර ගොස් 13 කණුවෙන් හැරි අනුරාධපුර පාරේ සැතපුම් 16 ක් පමණ ගිය තැනයග එතැනින් මහ කැළයේ පටු දුෂ්කර පාරකින් අපි ඒ අරණට ඇතුළු වීමු


උන්වහන්සේ වන අලි මැද පිහිටි මේ අරණේ තවත් වයෝවෘධ තපෝවෘධ හිමිනම කීප දෙනෙකු හා වෙසෙයි. දානය පවා වළකින වේලාවන් ඇත. එතැනින් කරුවලගස්වැවට ඒමට උන්වහන්සේට අද ප්‍රාඩෝ නැත. තම මෑණියන් කැඳවා එහි වෙනම කුටියක රඳවා ගත් අප හිමියන් ඉතා අල්පේච්ඡ දිවියක් ගත කරනු මම සියැසින් දුටිමි. කුඩා වැවකට ඉහළින් බැඳි දිරා ගිය දඬුවැටකින් එගොඩ වී උන්වහන්සේ කුටියට පිවිසෙනු මම දකිමි.


ඔබ වහන්සේ අද මේ විදියට වන වැදිලා ඉන්නෙ ඇයි ?


අරණ්‍යගත භික්ෂුවක් ලෙස සිටීමයි වැදගත් කියා මා සිතුවා. වනවාසී භික්ෂුවකට බණ භාවනා නිහඬව වැඩිය හැකියි. ඒකට සුදුසු තැනකට මා පැමිණියා.


ඔබ වහන්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ආශිර්වාද කළ හිමිනමක්. හිටි ගමන් ඒක නැවතුණේ


ලොව්තුරා බුදුන් දෙසු පංචශීල ප්‍රතිපත්තිය මිනිසුනට පුහුණු කැරවීම හා ඔවුනට අනන්ත අප්‍රමාණ බුදු ගුණේ ශාන්තිය ලබාදීමයි මා කළේග දුප්පත් අහිංසක මිනිසුනට තම කුඹුරට හේනට වන වගාවට වන හානිය පිරිතෙන් වළකන්න පුළුවන්ග ඒ කටයුත්තයි මා මුලදි පටන් ගත්තේග පසුකාලීනව ඔවුන්ගේ ලෙඩ දුක පවා මේ පිරිත් පැනින් සුවපත් වුණා.


ඔබ වහන්සේ ගේ අද වයස කීය ද ? ඇස්වල අසනීපයක් තිබෙනවා කියලා ඒ කාලෙත් ප්‍රචලිත වුණා.


මට වයස 57 යි. මගේ එක ඇසක් දැන් පෙනෙන්නෙම නැති තරම්. මේක සංසාරගත අකුසල කර්මයක් පලදීමක්.


එක් ආත්මයක කුරුල්ලෙකුට කෝටුවකින් ඇසට ඇනීමෙන් ඔබ වහන්සේට එහෙම වුණා කියලා ඔබ වහන්සේම ප්‍රකාශ කැර තිබෙනවා.


මට එහෙම හැ‍ඟෙනවා. එහෙම දැනෙනවා. බුදුරජාණන් වහන්සේටත් ලෝහිත පක්කන්ධිකා (ලේ අතීසාරය) රෝගය හැදුණා කලන්තෙ හැදුණා ඔළුව කැක්කුම හැදුණා අගසව් හිමියන් අතර සිටි මුගලන් තෙරුන්ටත් අවසානයේ සොරු පහර දුන්නා උන්වහන්සේගේ ඇට සුණුසහල් තරමට කෙටුවා


චන්ද්‍රිකා වැවටත් වතුර බවුසර්වලටත් ඔබ වහන්සේ පිරිත් කළා කියන්නෙ ඇත්තද ?


සමහර දේ ඇත්තයි සමහර දේ කටකතා. මං බුද්ධ පාරමිතා ආශිර්වාද පූජාව කරනකොට මගේ අත ඒ පිරිත් පැන් බඳුනේ තබන්ඩ වෙනවා ලක්ෂ ගණන් මිනිස්සු එනකොට ඒක කරන්නෙ කොහොම දරෑ වතුර බවුසරවලටනම් පිරිත් පැන් එකතු කළ බව ඇත්ත ඒත් ඔය වැව් මං කවරදාවත් පිරිත් කළේ නෑ.


ඔබ වහන්සේට දොළුකන්දෙදි රන්කොතක් හමුවුණා පසුව එය පුරා විද්‍යාවට බාර දී නැවත ප්‍රදර්ශනයට ඉල්ලු වෙලාවක පුරා විද්‍යාවෙන් ගෙනාවෙ බාර දුන් කොත නොවේ ද


:උන්වහන්සේ නිහඬය* මම නැවත නැවතත් ඒ ප්‍රශ්නය අසමි


මා සියල්ල අත්හැර කොත බාර දුන්නෙ ඒ රන් කොතක් ඊට වඩා දෙයක් අහන්ඩ එපා

ඇයි ඒ


මා දැන් සිටින්නෙත් පුරා විද්‍යා ස්ථානයක. අනුරාධපුරයෙන් මෙහා පුත්තලමේ මේ ස්ථානය තමයි පෞරාණික බෞද්ධ උරුමය


දොළුකන්දෙ නිධන් හාරන්ඩ යම් යම් දේ කළ බව ඔබ වහන්සේට චෝදනා තිබුණා


මේ දැන් ඉන්නෙත් ඒ වගේ වටිනා තැනෙක. මා යෝගාවචරයන්ට පැන් පහසුව පිණිස වැවක් කැපුවා එච්චරයි.
 නිධන් හාරනවානම් මේ ස්ථානයේ ඉන්ඩ මට බාර දෙයි දරෑ පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල ‍නාහිමියන් මට උදව් කරනවා :මම එල්ලාවල නාහිමියන් අමතමි* උන්වහන්සේ මේ ස්ථානය රැක බලාගෙන ඉඳීමම ඒ හිමිනම කරන විශිෂ්ට කර්තව්‍යයක් බව ඒ හිමියන් මට දුරකථනයෙන් වදාරයි


ඇයිරෑ මේකට විළඳගොඩ කියන්නෙ


උන්වහන්සේ එහි ගල් කුටියකට මා කැඳවා ගෙන යයි.

 මෙතැන තමා සාලිය කුමරා අශෝකමාලා හා සැඟැවී ජීවත්වුණේ. මහ රජු ගැමුණුගේ සේනාධිපතියෙක් උදව් කරලා තියෙන්නෙ මෙතැනින් තරමක් එහා බැලුම්ගල නම් සුවිශේෂ ගලකුත් තියෙනවා. ඒකත් මේ භූමියේමයි. මහ රජුට තම පුත්‍රයා සිහසුනත් හැර දමා අශෝකමාලා සමඟ මෙහි වසන බව ආරංචි වුණා. එතුමා තම පුත්‍රයා බලන්ඩ සේනාව තරමක් ඈත නවත්වා මෙහි ආවා. ඒ වෙලාවෙ කුමරාත් කුමරිත් රජතුමාට පිළිගන්වා තිබෙන්නේ විළඳ හා මීපැණි. මේ ලැබුණු විළඳගොඩ වගේම වෙහෙර විහාර ඔබ මෙහි කරවන්ඩ ඕනෑ කියා රජතුමා පුතාට අණ දී පිටත්වුණා. ඒ නිසා විළඳගොඩ නම පටබැඳුණා. මේ භූමියේ අක්කර දහස් ගණනක්ග පුරා අතීත යෝගාවචරයන්ගේ වාස භූමියක් කියා පෙනෙනවා. කටාරම් කෙටු ගල් ලෙන් මෙහි ඕනෑ තරම්.


ඔබ වහන්සේ රත්රන් එකතු කළ කතාව ඇත්ත දරෑ ඔබ වහන්සේගේ දායකයො වංචාකාරී වැඩ රැසක් කළාලු


මා රන් කොතක් හදන්ඩ රත්තරන් එකතු කළ කතාව ඇත්ත. දායකයො රන් මාල වළලු දැම්මට වැඩියෙන් තිබුණේ ඉමිටේෂන් බඩු. ඒ රන් කොත මං දොළුකන්දෙම ආරක්ෂාකාරීව තැබුවා. ජනතාවට සුව පහසුව සලසන්න මට ඉඩක් ලැබුණේ නෑ. මං කවරදාවත් සල්ලි අල්ලන්නෙ නෑ. සල්ලි අපට අකැපයි. මුදල් ලැබුණානම් ඒවායින් ප්‍රජා කටයුතු විතරයි කළේ


මකුල්වැව හදපු ගෙවල් 30

හාමුදුරුවන් සාදා දුන් නිවෙස්


ඒක මහත්තයා දැක්ක ද ? ඒකත් කරන්ඩ දුන්නෙ නෑ


ඔබ වහන්සේ ළඟ තිබුණු වාහන දැන් කෝ

සියල්ල අනිත්‍යයි. මා ඒවා ද ලැබුණු අනෙකුත් දේවලුත් දන් දීලා ආවෙ


ඔබ වහන්සේගේ මෑණියො මේ කැලේ රඳවාගත්තෙ ඇයි


අම්මා අසනීපයෙන්. ඇය බලාගන්නෙ අපේ ඥාතිවරියක්. අද අම්මාට බෙහෙත් ගන්ඩ කරුවලගස්වැවට යන්ඩ ත්‍රීවිලරයට රුපියල් 1100 මා සොයාගන්නේ අමාරුවෙන්. මා කෝටි ගණන් හම්බ කළානම් මෙහෙම ඉන්නව ද?  උන්වහන්සේ වැඩවසන ලෙන වවුල් ගඳය දාන මාන පවා මෙහි ගෙන ඒමට බොහෝ දුක් විඳිය යුතුය.


ඇයි මේ තරම් දුෂ්කර තැනකට ආවෙ වන සතා සීපාවාත් ඉන්නවා නේද


ඒ අයගෙ ගෙදරට අපි ඇවිත් ඉන්නෙ. ඒ අය ඒත් අපට කරදර කරන්නෙ නෑ. මාත් අනෙක් භික්ෂුන් මුල් කාලෙ පිණ්ඩපාතෙ වැඩලා ජීවත් වුණා. අද දායකයො කීප දෙනෙක් එනවා. අපේ හිමිනමක් එක් වතාවක් දහවල් උදේ දානය නැතිව පුත්තලමටත් වැඩියා. උදේට ලැබුණු දානෙ දවල්ටත් වළඳලා හිටපු දවස් තියෙනවා.


ඔබ වහන්සේට අද සාලියවැව පොලීසියෙන් ආරක්ෂාව ලැබිලා කියලා ආරංචියිග ඒක කොහොම ද වුණේ ?


මෙහි ධන නිධාන කඩන්න සමහරුන් මාන බලන නිසා අතිගරු ජනාධිපතිතුමා මගේ ආරක්ෂාවට රැකවල් දුන්නා. එතුමාත් එල්ලාවල හාමුදුරුවොත් මා සිටි තැන මෙතෙක් දැන සිටියා.


දැන් ආශිර්වාද පූජාව කළහොත් බලයක් නැද්ද


එහෙම වෙන්නෙ කොහොමද බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ බලය සදාකාලිකයි. ඒ ආශිර්වාද බලය තවමත් එහෙමමයි


මේ ලිපිය බලලා මිනිස්සු මේ කැළයට ආවොත්


කවරදාවත් මා කිසිවකුට වෛරී හිතින් බලන්නෙ නෑ. මෛත්‍රි සිතින් කටයුතු කරනවා. උදව් බලාගෙන එන අයට එහෙම කරන්ඩ හොඳ නෑ. ඒත් විවේකීව වන සෙනසුනේ ඉඳීමට මං මනාපයි



උපාලි සමරසිංහ


1 comments

  1. Pittuwa  

    ඇත්තටම මේක වැදගත් ලිපියක්.මිනිස්සුන්ගේ වැරදි මත නිවැරදි කරගන්න මේක ඉතාමත් වටිනවා.බුදු දහම රක ගැනීමට උන්වහන්සේට සක්තිය ධයිරිය ලැබේවා.

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery