facebook page

Powered by Blogger.

Blogger templates



‘මගේ මිනිහ මරලයි එල්ලුවේ. මුන්ට නම් හොඳක් වෙන්න එපා’ එම අඳෙීනා දෙන කාන්තාව කාගේ කවුරුන්දැයි කිසිවෙක් එවෙලේ දැන නොසිටි නමුත් පසුකාලීන ව ශ්‍රී ලංකාවේ ප්‍රචලිත චරිතයක් වූවා ය. සැබැවින් ම ඇය දුක්ගන්නා රාළලාගේ රන්මැණිකා හෙවත් සිරිපාලගේ බිරිඳය. පසුකාලයක ඔහු ‘මරු සිරා’ නමින් ද හඳුන්වනු ලැබීය.

මරු සිරා යනු ඔහුගේ සැබෑ නම නොවේ. පසුකාලීනව පටබැඳි නාමයයි. ඔහු නමින් ඩී. ජේ. සිරිපාලය. සිරිපාල චරිතය මුළු රටම කලඹන චරිතයක් බවට පත් වන්නේ ඔහුගේ ක්‍රියා කලාපය නිසාය. සිරිපාලගේ උපන් ගම පන්නිපිටියයි.

ගමේ සිටි ඔහු ‘මරු සිරා’ ලෙස ප්‍රචලිත ව රජරට ට සංක්‍රමණය වන්නේ ද අපූර්ව ආකාරයකටය. පාසැලේ දී ඇති වූ දබරයක් දුර දිග යාම නිසා ළමයකුට බ්ලේඩ් ප්‍රහාරයක් එල්ල කර තුවාල සිදු කරයි. එම වරදට තම සහෝදරයාගේ තරවටුවෙන් කෝප වන සිරිපාල තම නිවස අසල ඇති දෙල් ගසක් නිවස මතට කපා හෙළා අනුරාධපුරයේ වාසය කළ පියා හමුවීමට පිටත් වෙයි. අනුරාධපුර නගරයට පිවිසෙන සිරිපාල තම ජීවනෝපාය ලෙස තෝරා ගන්නේ කුලී වැඩ කිරීමයි.



යහළු මිත්‍ර සමාගම නිසා ම විවිධ සමාජ විරෝධී හා දුරාචාරී කටයුතුවලට ද අඩු වයසින් ම සිරිපාල යොමු විය. බීමත්කමට ලොල් බැඳින ඔහු ලක්ෂ්මන් නම් මිත්‍රයා සමඟ දිනපතා ම කසිප්පු පානය සඳහා වැන්දඹු කාන්තාවක් විසින් පවත්වාගෙන යනු ලබන කසිප්පු තැබෑරුමකට යාම පුරුද්දක් කොට ගත්තේය. එම වැන්දඹු කාන්තාව වන්නේ අනෙකෙකු නොව රන් මැණිකා ය.

රන් මැණිකාගේ පෙර ස්වාමි පුරුෂයා ට්‍රැක්ටර් රියැදුරෙකි. සර්පයකු දෂ්ට කිරීම නිසා ඔහු මිය යන විට ඔහුට දාව උපන් සිඟිත්තියන් සතර දෙනෙකුම සමඟ රන් මැණිකා මෙලොව තනි වූවාය. සියලු බර තනි ව තම කරපිට පැටවුණු පසු ඈ ජීවිකාව ගැට ගසා ගැනීම සඳහා කසිප්පු පෙරීම සඳහා යොමු වූවාය.

සිවුදරු මවක් වූව ද තාරුණ්‍ය ඈ කෙරෙන් තුරන් නොවූවා ය. විසිහතර හැවිරිදි වියේ දී ම සැමියා මළ බැවින් ඇයට තම ආරක්ෂාව සඳහා බොහෝ වෙහෙසක් ගැනීමට සිදු විය. විශේෂයෙන් ම සැමියාගේ සොහොයුරා වූ සීමන් ගේ නොමනා යෝජනා හා තරවටු කිරීම් හමුවේ ගැලවී සිටීමට මගක් සෙවීමට ඇයට සිදු විය.

‘මට කරදර කරන්න එපා. පාඩුවේ ඉන්න දෙන්න මගෙ දරු පැටව් ටිකත් හදාගෙන’

ඇය නිතරම සීමන්ට බැගෑපත් වූවා ය. සියලු ඉල්ලීම්වල ඵල රහිත බව වටහාගත් ඈ තීරණයක් ගත්තා ය. ඒ තම හුදෙකලා දිවියට ජීවන සහයකයකු එක් කර ගැනීමට ය. රන් මැණිකා වෙත කසිප්පු බීමට එන පිරිමින් අතුරින් ඇය කෙරේ විශේෂත්වයක් දැක් වූ හීන්දෑරි, උස, කඩිසර තරුණයා වෙත ඇගේ අවධානය යොමු වන්නට විය. ඔහු සාධාරණයේ දී මුව පොව්වකු මෙන් නිශ්චලය. නමුත් අසාධාරණකම්වල දී කොටියකු මෙන් රෞද්‍රව කඩා පනී. යාන්තමින් විසි වස් ආසන්නයේ සිටිය ද ඔහු පිරිස අතර තරමක් චණ්ඩියකු ලෙස නම් දරා සිටියේ ය.



‘සිරිපාල මා ළඟට එද්දී කිසි දෙයක් හරියට කරන්න ඉගෙන ගෙන හිටියේ නෑ. හැබැයි එයාට හොඳට උයන්න පුළුවන්. මගේ වැඩවලට උදව් කළා ට අරක්කු පෙරන්න ඔහුට බෑ’, පසුකාලීන ව රන් මැණිකා පුවත් පතකට ප්‍රකාශ කළාය. කෙසේ නමුත් නව යුවළට සැනසිල්ලේ ජීවත් වීමට ලැබුණේ කෙටි කලක් පමණි.

සිරිපාලට විරුද්ධව සීමන් යුද්ධ ප්‍රකාශ කර තිබීම ඊට හේතුවයි. සීමන් හා සිරිපාල කෙටවීම සඳහා නොයෙක් අය මේ වන විට අසත්‍ය ප්‍රචාර පැතිරවීමට ක්‍රියා කළහ. ඉන් වඩා කෝප ගැන්වීමට හැකිවූයේ සීමන් ය. තම සොහොයුරාගේ බිරිඳ හා වාසය කිරීමත් ඉන් තම අණසක බිඳ වැටීමත් නිසා කෝපය දෙගුණ තෙගුණ වීමට හේතු විය.

නාහෙට නාහන තරුණයකු වුණ ද සිරිපාල මුලින් සියල්ල ඉවසා නිශ්චලව සිටියේ ය. සීමන් විසින් සිරිපාල මරා දැමීම සඳහා පළමු උපාය මාර්ගය ක්‍රියාත්මක කළේය. ‘වෙල්ලියා’ නම් පුද්ගලයකු සිරිපාල මරා දැමීම සඳහා පිටත් කර යැවූව ද අවසන් ප්‍රතිඵලය වන්නේ වෙල්ලියා සිරිපාල හමුවේ සියලු විස්තරය පාපොච්චාරණය කිරීමයි. එය අසා දණ්ඩෙන් පහර කෑ නාගයකු මෙන් සිරිපාල කිපෙයි. සීමන්ට පෙර තමා ඉස්සර විය යුතු බව අධිෂ්ඨාන කර ගනී. සීමන් යන මග රැක සිට ඔහුට වෙඩි තබා මරා දැමීමට පෙළඹෙන්නේ මේ සිද්ධියෙන් පසුවය.

සීමන් මරුමුවට පත්වීමත් සමඟ සිරිපාලට ගමෙහි නිදහසේ විසීමේ හැකියාව අහෝසි වී යයි. පොලිසියෙන් ගැලවීම සඳහා ඔහු කැලේ පැන ජීවත් වීමට පටන් ගනී. ඉඩ ලද මොහොතේ කාටත් රහසේ ම නිවසට වැදී රන් මැණිකාගේ සුවදුක් විමසීමට ඔහු අමතක නොකළේ ය.

සිරිපාල ගමෙන් බැහැර වීමත් සමග රන් මැණිකා හමුවේ පෙර තිබූ අභියෝග නැවත ආරම්භ වීමට පටන් ගනී.

පියදාස නම් කසිප්පු ව්‍යාපාරිකයා ගමෙහි තරමක් චණ්ඩියෙකි. ඔහු තම චණ්ඩිකම් පෙරට වඩා නොබියව ක්‍රියාත්මක කිරීමට පෙළඹෙන්නේ සිරිපාල ගමේ නොසිටිය බැවිනි. දිනක් ඔහු තම කසිප්පු බූලියක් සොරකම් කළ සිරිපාලගේ මිතුරෙකුට පහර දී පන්නා දමයි. සිරිපාල හමුවට යන මිතුරා පියදාස තමාට පහරදුන්නේ සිරිපාලට උදව් කරන බැවින් යැයි ප්‍රකාශ කිරීම නිසා සිරිපාල ඉන් කෝපාවිශ්ට වී පියදාස වෙත ගොස් තර්ජනය කරයි. තර්ජනය හමුවේ සිරිපාලට පෙර තමා ක්‍රියාත්මක විය යුතු බව සිතා ගන්නා පියදාස ගමෙහි චණ්ඩින් පිරිසක් සමඟ සිරිපාල මුණගැසීම සඳහා පිටත් ව යයි. කලින් ම සිද්ධිය කණ වැකුණු සිරිපාල හොර රහසේ ම ක්‍රියාත්මක වෙයි. මග රැක සිට තුවක්කුව පියදාස වෙත ඉලක්ක කොට කොකා ගස්සා ඔහු හා පැමිණි මැර පිරිසට ද පන්න පන්නා පහර දී ඔහු එළවා දැම්මේය.

මේ වන විට පුවත්පත් මඟින් සිරිපාල පිළිබඳ සිද්ධි වාර්තා කර තිබූ බැවින් ඔහු රට පුරා කථා බහට ලක්වන චරිතයක් වී සිටියේ ය. සිරිපාලගේ පපුවේ කොටා තිබූ ‘මරුවා සමග වාසේ’ යන පච්චය නිසාවෙන් ඔහුගේ තත්ත්වය විශේෂිත වූවා සේ ම ‘මරු සිරා’ යන නම පටබැඳීමට ද හේතු විය. ඩී. ජී. සිරිපාල ‘මරු සිරා’ බවට පත් වන්නේ එසේ ය. නමුත් රන් මැණිකා පුවත් පතකට ප්‍රකාශ කර තිබූ ආකාරයට සිරිපාල මංකොල්ලකෑම්, ගැහැනුන්ට බැලුම් හෝ අඩත්තේට්ටම් කිරීම සඳහා කිසිවිටෙකත් ඉදිරිපත් නොවූ අයෙකි.

මේ සියලු චෝදනා හමුවේ කැලෑ වදින සිරිපාලගේ අවශ්‍යතා ඉටු කිරීමට රන් මැණිකාට සිදුවෙයි.
තම චීත්තයට යටින් ඇඳුම් හා කෑම තබා බැඳගෙන කැලෑ වදින රන් මැණිකා ඒවා සිරිපාලට දී නැවත නිවස වෙත පැමිණෙයි. මේ අයුරින් කලක් ගතවත්ම සිරිපාල හෙවත් මරු සිරා නීතියේ රැහැනට හසුව බන්ධනාගාරගත වෙයි.


අසාධාරණය දුටු වහාම ඒ වෙනුවෙන් තැන නොතැන නොබලා කථා කිරීමත් වාදයට පැටලීමටත් තරම් සිරිපාල එඩිතර විය. මෙය බන්ධනාගාර පාලනාධිකාරියට ගැටළුවක් විය. සිරිපාලගේ මේ හැසිරීම් නිසා ඔහුට සිදු වූ යහපතක් නැත. විඳීමට සිදු වූ ගැහැට ප්‍රමාණයේ වැඩි වීමක් මිස කිසිදු සැනසීමක් ඇති නොවීය.
‘යාපනේ හිර ගෙදරදී වීදුරු කුඩු කරලා කාලා තිබුණා. මම එහෙදිත් කිව්වා අත්තන ඇටයි පිහි ටිකකුයි ගෙනත් දෙන්න කියලා. එයා නිතරම කියනවා සමහර ජේලර් මහත්තුරු හරියට වද දෙනවා කියලා’ යනුවෙන් රන් මැණිකා පවසා තිබුණි. සිරිපාලට හිරගෙදර ජීවිතය කෙතරම් දුෂ්කර වූවාදැයි කිවහොත් ඔහු කිහිපවරක් ම හිර ගෙදර දී සිය දිවි හානි කර ගැනීමට උත්සාහ දරා තිබේ. වරෙක හිර මැදිරියේ යොදා තිබූ විදුලි බල්බය කා දමා තිබුණි. තවත් වරෙක පිඟාන කඩා උදරය කපාගෙන සියදිවි නසා ගැනීමට උත්සාහ කළත් සෑම අවස්ථාවකදීම ඉන් ගැලවිණි. මේ තත්ත්වය නිසා ම බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ අවධානය සිරිපාල වෙත යොමු වී තිබුණි.

සිරිපාලට දාව රන් මැණිකා දැරියක බිහි කරන්නේ මේ අතරතුරදී ය. තම එකම දියණියගේ මුහුණ බැලීමේ නොනිත් ආශාවෙන් පෙළුණු සිරිපාල ඒ සඳහා සිරෙන් පැන යාමට උපාය මාර්ගයක් යෙදවීය. රාත්‍රියේ සියල්ලෝ ම නින්දේ පසුවූහ. සිරිපාල බඩේ කැක්කුමක් යැයි කියා වේදනාවෙන් ඇඹරෙමින් බන්ධනාගාර නිලධාරීන් ලවා සිර කුටියෙහි වන ඉබි යතුරු විවෘත කර ගත්තේ ය. වැසිකිලියට යන මුවාවෙන් ඉඩ ලද වහා ක්‍රියාත්මක වන ඔහු සිරෙන් පැන ගත්තේ ය. ඔහු සමඟ තවත් සිරකරුවන් පිරිසක් ද ඒ මොහොතේ සිර මැදිරියෙන් පළා යාම විශේෂ සිද්ධියක් විය.

රාත්‍රියේ ම රන් මැණිකාගේ හා සිඟිති දියණියගේ මුහුණ බැලීමට නිවසට විත් ඔවුන් සමග මොහොතක් ඉතා සංවේදීව ගත කළේය. සුපුරුදු පරිදි පොලිසියෙන් කට්ටි පනිමින් ගත කිරීමට ලැබුණේ කෙටි කලක් පමණි. නැවත බන්ධනාගාර ගත වන සිරිපාලට විශේෂ ආරක්ෂාව යටතේ සිටීමට සිදු වන අතර මිනීමැරුම් චෝදනා යටතේ් විභාග වන නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් වන්නේ මේ කාලසීමාවේදී ය. සියලු අපරාධ සඳහා වැරැදිකරු වූ ඩී. ජේ. සිරිපාල බෝගම්බර බන්ධනාගාරයේ දී එල්ලා මරා දැමීමට දින නියම වූයේය.

සිරිපාල කෙතරම් අපරාධකරුවකු හා දඩබ්බරයකු ලෙස රටේ ම ප්‍රචලිතව සිිටිය ද ඔහු තුළ වූ කවි සිතුවිලි සිර මැදිරියේ බිත්ති මත මෙසේ සටහන් විය.

‘වරදින් සමාජයේ මම කළ වැරැදි ගැන
දිනයක් උදා වී ඇත පසුතැවිලි වන
කොතැන ද කවුද වරදට මුල පිරුව තැන
මට ඒ සමාජෙම පිළිතුරු කියනු මැන’

සිරිපාල තමා සිදු කළ වැරැදි පිළිබඳව අවබෝධ කර ගන්නා විට ඔහුගේ ජීවිතය තීන්දු වී හමාරය. මරණය නියත බව ද ඉන් ගැලවීමක් කෙසේ හෝ නොවන බව ද වටහා ගන්නා සිරිපාල අවසන් තීන්දුවත් ගනු ලබයි. ඒ තමා අන් කිසිවෙකු අතින් මරණයට පත් නොවී සියදිවි හානි කර ගැනීම වඩා සැපවත් බවය.

‘මම අලුගෝසුවා අතින් මැරුම් කන්නේ නෑ. මාව එල්ලන්න ආවොත් අලුගෝසුවාවත් මරාගෙන තමයි මැරෙන්නේ’ යැයි ඔහු සහෝදර සිරකරුවන් සමඟ ප්‍රකාශ කළේ වරක් දෙවරක් නොවේ.

සිරිපාල ට රන් මැණිකාගෙන් හා තම සිඟිති දියණියගෙන් සමුගැන්ම දරාගත නොහැකි මහත් වේදනාවක් විය. ඔහු එම සිතුවිලි සිරමැදිරියේ බිත්ති මත සටහන් කළේ ය.

‘රන් මැණිකා මගෙ ලඟ සිටි එකම පණ
හෙට උදයේ අටට නිමවෙයි මගේ පණ
අහිතක් නොහිතන්න මා යන ගමන ගැන
දරුවා සමඟ ඔබ යහතින් සිටිනු මැන’

සිරිපාල අවසන්වරට බැලීමේ අවස්ථාව රන් මැණිකාට මරණ දිනට පෙර දිනයේ දී උදාවිය. ඇය එහි යන්නේ් සිරිපාලගේ බන්ධනාගාරයේ දී මිතුරකු ව සිටි නිදහස් වූ පසුව ඇගේ උපකාරයට සිටි ධර්මදාස ද සමගය. සිරිපාල තම අවසන් ඉල්ලීම ධර්මදාසට කරන්නේ ය.

‘මම හෙට එල්ලලා මැරුවාම තනි වෙන මගේ රන් මැණිකාවයි, දරුවන්වයි උඹට බාරයි’ යනුවෙන් ධර්මදාස වෙත රන් මැණිකා බාර කොට තමා වෙත තිබූ විශාල වගකීමකින් නිදහස් ව කඳුළු පිරි දෙනෙතින් යුතු ව තම කුටිය වෙත පිය නැගුවේය.

පසුදා පෙරවරුවේ දී තමා එල්ලා දැමීම සඳහා සියල්ල සූූදානම් බව සිරිපාලට ප්‍රත්‍යක්‍ෂය. ඔහු හිතවත් සිරකරුවන් කිහිප දෙනෙකු සමඟ එසේ නොවීම ට කටයුතු කිරීමට පිඹුරුපත් සැකසුයේ පෙර සිටමය. ඒ සඳහා තම සිරකුටියට නිතර එන ‘කිටී’ නම් සුරතල් නමින් හැඳින්වූ බැල්ල ද යොදා ගත හැකි බව ඔහුට සිහිපත් වී තිබුණි.

1975 අගෝ. 4 දා රාත්‍රිය මුළුල්ලේ ම නිදි වර්ජිතව ගත කළ සිරිපාල අළුයම් කාලයේ දී දැඩි අධිෂ්ඨානශීලි මනසකින් යුතු ව තම බන්ධනාගාර සුරතලා ‘කිටී’ තම කුටියට කැඳවීය.

පසුදා බෝගම්බර බන්ධනාගාර භූ®මිය වෙත හිරු කිරණ පතිත වෙමින් තිබුණි. සහෝදර සිරකරුවකුගේ අවසන් ගමන තව පැය කීපයකින් සිදු වන බව සිරකරුවෝ සියල්ලෝ ම දිනිති. සිරිපාල පෝරකය වෙත ගෙන යාම සඳහා සුදානම් කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කිරීමට සිර මැදිරියට ආ නිලධාරින්ට දැක ගැනීමට ලැබුණේ නිසොල්මන් ව වැතිර සිටින සිරිපාලය.

වහාම ක්‍රියාත්මක වූ එවකට බෝගම්බර බන්ධනාගාර අධිකාරීව සිටි පසුව බන්ධනාගාර කොමසාරිස් ධූරයට පත් එච්. ජී. ධර්මදාස මහතා වහාම බන්ධනාගාර වෛද්‍ය නිලධාරීවරයා කැඳවා පරීක්ෂා කළ අතර ඉන් හෙළි වූයේ සිරිපාල මැරී නැති බවය. නියමිත වේලාවේ දී ඔහුව ඔසවාගෙන ගොස් එල්ලීම සිදු කරන ලදී.

මේ සිද්ධිය ලැව් ගින්නක් සේ බන්ධනාගාරය තුළ පමණක් නොව මහත් කම්පනයෙන් බන්ධනාගාරයේ පිටත සිටි රන් මැණිකාට ද දැන ගන්නට ලැබුණි. ඇය අඳෙීනා දෙමින් මහනුවර නගරයේ දිව යන්නේ මේ නිසා ය. සිරිපාලගේ මරණය සම්බන්ධයෙන් විවිධ සංවිධාන හරහා අගමැති හා ඇමති මණ්ඩලය දැනුවත් වීම නිසා නැවත පශ්චාත් මරණ පරීක්ෂයක් සිදු කරන ලෙස අණක් ලැබුණේ ඒනිසාය. අධිකරණ වෛද්‍ය නිලධාරියාගේ තීන්දුව වූයේ.

‘නිසි ආකාරයෙන් එල්ලා මරණ විට කැඩෙන බෙල්ල පිටුපස කොඳුනාරටිය කැඩී නැති බව ය. ඒ නිසා ප්‍රාණය ඇති කෙනෙකු එල්ලා මැරීමට සමාන නොවන බවය.

ඊට පිළිතුරු දෙමින් එච්.ජී. ධර්මදාස මහතා ප්‍රකාශ කර සිටියේ,
‘ඒත් මේකට විරුද්ධ වෙන්න කාටවත් බෑ. එල්ලලා මරණ හැම කෙනෙකුගේ ම කොඳු නාරටිය කැඩෙන්න ඕන කියලා කොහේවත් සඳහන් වෙලා නෑ’.... යනුවෙනි.

නමුත් සිරිපාල සමඟ බන්ධනාගාරයේ සිටි සම කාලීන මිතුරෙකු කීවේ ‘සිරිපාලගේ අධිෂ්ඨානය වුණේ කා අතින්වත් මැරුම් කරන්නේ නෑ කියන එකයි. සිරකරුවන් දෙතුන් දෙනෙක් සහය ඇතිව එකතු කරගත් නිදිපෙති 21 ක් ‘කිටීගේ’ කරපටිය තුළ ස¼ඟවලා තිබුණා. සිරිපාල තම කුටියට ගෙන්වා ගත්තේ් නිදිපෙති සහිත කරපටිය ඇති ‘කිටී’ ඒ වෙලාවේ ම නිදි පෙති බීල මැරිච්ච සිරිපාල තමයි බන්ධනාගාර නිලධාරින්ට හමුවුයේ යන්නය.

සිරිපාලගේ මරණයෙහි සැබෑ තතු දන්නේ සිරිපාලම පමණයි. එවකට සිරිපාල චරිතය කෙතරම් රටපුරා ජනප්‍රිය වී දැයි කිවහොත් ‘සිරිපාල හා රන් මැණිකා’ හා ‘මරුවා සමග වාසේ’, යනුවෙන් චිත්‍රපට දෙකක් ද නිර්මාණය විය.

නීතිය හමුවේ අපරාධකරුවකු වී මරණය වැළඳගත් සිරිපාල හෙවත් මරු සිරා චරිතයෙන් හෙළි වන්නේ වරදකරුවෙකුට නීතියෙන් හෝ සමාජයෙන් කිසිදා ගැලවුමක් නොමැති බව ම නොවේ ද?
(පුවත් පත්වල පලවූ ලිපි ඇසුරෙනි)

හසිත දිල්නුවන් 

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery