facebook page

Powered by Blogger.

Blogger templates


ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නුවන් කුලසේකරගේ මව කේ.ජී. නන්දාවතී

විස්සයි විස්ස ක්‍රිකට් ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒමට දායක වූ කණ්ඩායමේ නුවන් කුලසේකරද එක් සාමාජිකයෙකි. අවසන් මහා තරගයේ අති විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ නුවන් ජයග්‍රාහී කණ්ඩායමේ උප නායකයා ලෙසද කටයුතු කළේය.  දක්ෂ පිතිකරුවකුද වන නුවන් කුලසේකරගේ ආදරණීය මෑණියන්වන කේ.ජී. නන්දාවතී මහත්මිය සමග කළ සුහද කතාබහකි මේ.

* නුවන්ව පිළිගැනීමේ විශේෂ උත්සවයක් පසුගියදා මෙම ප්‍රදේශයේ සංවිධානය කර තිබුණා නේද ?

ඔව්, ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පස්සේ ඉස්සර පුතාත් එක්ක එකට සෙල්ලම් කරපු යාළුවෝ තමයි මේ උත්සවය සංවිධානය කර තිබුණේ. මෙම ජයග්‍රහණ ගැන හා එයට දායකත්වය දැක්වීමට පුතාට හැකිවීම ගැන ඒ අය ලොකු සතුටකින් තමයි මේ උත්සවය සංවිධානය කළේ.

* තමන්ගේ ප්‍රදේශයේ ජනතාවගෙන් තමන්ගේ පුතාට මේ වගේ පිළිගැනීමක් ලැබෙන කොට ඔබට දැනුණු හැඟීම විස්තර කරන්න පුළුවන්ද ?

මගේ පුතා ගැන ලොකු ආඩම්බරයක් දැනුණු අවස්ථාවක් ඒක. හැබැයි මේ තත්ත්වයට එන්න එයා තනියම ගොඩක් දුක් විඳිමින් සුවිසල් කැප කිරීමක් කළා. ඒවායේ ප්‍රතිඵල මේ ආකාරයට මගේ ඇස් දෙකෙන්ම දකින්නට ලැබිම ඇත්තටම අම්මා කෙනෙක් විදිහට මගේ වාසනාවක්  

* කොයි කාලයේ ඉඳන්ද නුවන්ට ක්‍රිකට් ගැන උනන්දුවක්, ආශාවක් ඇතිවුණේ 

අවුරුදු දෙකේ තුනේ ඉඳලම මෙයාගේ අතේ තිබුණේ බැට් එකයි බෝලෙයි තමයි. ඉස්කෝ‍ලේ තුන වසරට  එනකොට මෙයාට ක්‍රිකට් ගැන ලොකු පිස්සුවක් තිබුණා. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ පින්තූර විස්තර, ‍පොත්පත් ඒ දවස්වල ඉඳලම එකතු කළා. අයියත් (හසිත කෝසල කුලසේකර) එක්ක එකතුවෙලා ‍පොල් පිතිවලින් බැට් හදාගෙන රබර් බෝලෙන් තමයි ඒ කා‍ලේ සෙල්ලම් කළේ. ඊට පස්සේ අපේ ගෙවල් අවට ළමයි එක්ක එහා පැත්තේ තියෙන පිට්ටනියෙ සෙල්ලම් කළා. 

* එහෙමනම් නුවන් පාස‍ලේත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙන්න ඇති 

මුලින්ම පුතා ඉගෙන ගත්තේ රන්‍පොකුණගම මහා විද්‍යාලයේ. ඊට පස්සේ කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයට ඇතුළු වුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් සමත්වෙලා ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයට ඇතුළු වුණා. ක්‍රිකට් ක්‍රීඩකයෙක් විදිහට එයාගේ දක්ෂතා වැඩිපුරම ඉස්මතු වුණේ ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේදීයි. කිරිඳිවැල මධ්‍ය මහා විද්‍යාලයේ ඉන්න කා‍ලේ එයා වැඩියෙන්ම දක්ෂතාදැක්වූයේ මලල ක්‍රීඩාවලටයි.

* හැබැයි; ඒ කා‍ලේ ගමේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියල ආරංචියි 

අ‍පොයි ඔව්. ඒ කා‍ලේ ඉතින් මේ අහලපහල ක්‍රිකට් තරගයක් තිබුණොත් එයා නැතිවම බැහැ. ගෙදරට ඇවිල්ලා හරි එක්කරගෙන යනවා. මෙයාට හුඟක් තරග තියෙන්නේ ඉරිදා දවස්වලනේ. ඉතින් මම ඒවට යන්න නොදී බලෙන්ම දහම් පාසල් යවනවා. මෙයා මටත් හොරෙන් කලිසමකුයි ටීෂර්ට් එකකුයි ‍පොත් එක්ක අරගෙන ගිහිල්ලා දහම් පාස‍ලේ ටික වෙලාවක් ඉඳලා හාමුදුරුවන්ටත් හොරෙන් විවේක කාලයේදී තරගවලට යනවා. උදේ සුදු ඇඳගෙන දහම් පාසල් ගිය ළමයා හවසට ගෙදර එන්නේ කලිසම් ටීෂර්ට් ඇඳගෙන ක්‍රිකට් කුසලානයකුත් අරන්.

* ක්‍රිකට් ක්‍රීඩාවට වැඩිපුර හිත යනකොට අධ්‍යාපන කටයුතු අඩාල වෙන්න ඇති

සාමාන්‍ය පෙළ දක්වා නම් මෙයා ක්‍රීඩාවයි අධ්‍යාපනයි දෙකම කරගත්තා. ඒත් උසස් පෙළ කරන්න බණ්ඩාරනායක විද්‍යාලයට ගියාට පස්සෙයි අධ්‍යාපන කටයුතු වලට බලපෑමක් වුණේ. විශේෂයෙන් දෙවන වර උසස් පෙළ කරන කාලයේ දිගටම ක්‍රිකට් පුහුණුවීම්වලට යන්න තිබුණ නිසා අධ්‍යාපන කටයුතු බිඳ වැටුණා.

* මේ අවස්ථාවේ ඔබ දැක්වූ ප්‍රතිචාරය මොකක්ද ? 

මම කිව්වා ක්‍රිකට් ගහල විතරක් හරියන්නේ නෑ දැන් ක්‍රිකට් ගහන එක නවත්තලා දාල ඉගෙන ගන්න කියලා. හැබැයි ඒ දේ කෙරුණේ නෑ. පස්සේ මම කියන එක නවත්තලා දැම්මා. වෙන මොනවා කරන්නද ? තාත්තත් (කේ.එම්.ඩී.බි. කුලසේකර) කිව්වා, ඒත් වැඩක් වුණේ නෑ.

* හැබැයි පස්සෙ ඔහුගේ ක්‍රීඩාවට ඔබ අතහිත දුන්නා. 

පුතා පුංචි කා‍ලේ ඉඳලම හරි අහිංසක දරුවෙක්. ඒ නිසා මොනවත් ඉල්ලලා අපට කරදර කරන්න එයා කැමති නෑ. පුතා උසස් පෙළ ඉවර කරලා කොළඹ පුහුණුවීම්වලට ගියේ කොච්චියේ. අර ලොකු බෑග් එකකුත් එල්ලාගෙන උදේ පාන්දර ගිහිල්ලා නැවත එනකොට රෑ දහය එකොළහ වෙනවා. මම පුතා එනකම් දොර ළඟ වාඩිවෙලා බලාගෙන ඉන්නවා. උදේ යනකොට එයාට මම රුපියල් විස්සක් අතට දීලා බත් එකකුත් බැඳලා දෙනවා.

* කොළඹ පුහුණුවීම් සඳහා යොමුවුණු ආකාරය මතකද ? 

නුවන්ගේ දක්ෂතාවයන් ගැන අවධානයෙන් හිටිය ෂම්මි කියල පුතෙක් තමයි මුලින්ම පුතා නුගේගොඩ ශාලිකා ක්‍රීඩා සමාජයට ඇතුළත් කළේ. ඉන් පස්සේ චම්පක රාමනායක මහත්තය පුතාගේ දක්ෂතාවන් දැකලා ගාල්ල ක්‍රීඩා සමාජයට ඇතුළත් කරගත්තා. ලසිත් මාලිංග හඳුන ගත්තෙත් එහෙදී තමයි. පස්සේ දෙන්න හොඳ යාළුවෝ වුණා. ඉන් පස්සෙයි ක්‍රිකට් ඇකඩමියට තේරිලා ජාතික පිළට ඇතුළත් වෙන්න අවස්ථාව උදාවුණේ.  

* නුවන් ජාතික පිලට ක්‍රීඩා කළ මුල්ම තරගය මතකද ?

ඔව්. ඒ තරගය තිබුණේ දඹුල්‍ලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. එංගලන්තය එක්ක තමයි ක්‍රීඩා කළේ. ඒ තරගය බලන්න නම් යන්න බැරි වුණා. අපි රූපවාහිනියෙන් තමයි බැලුවේ. පුතා රූපවාහිනියෙන් ක්‍රීඩා කරනවා පෙන්නන කොට අහල පහළ අයත් දුවගෙන ඇවිත් මාව බදා ගත්තා. සමහර අයගේ ඇස්වල කඳුළුත් තිබුණා. ඒ දවස නම් කවදාවත්ම අමතක වෙන්නේ නෑ.

* ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට කැමතිද ?

ඉස්සර නම් බණිනවා. දැන් ඉතින් කැමතියි. ඉස්සර  ක්‍රිකට් තරගයක් තියෙන දවසට පුතා හින්දා රූපවාහිනියේ කතාවක්වත් බලන්න බෑ. දවසක් මට හොඳටම තරහ ගිහින් රිමෝට් එක කුඩුවෙන්න ‍පොළොවේ ගැහුවා. හැබැයි ඉතින් එහෙම වුණා කියලත් නුවන්ගේ ක්‍රිකට් පිස්සුව නම් ඉවර වුණේ නෑ.

Nuwan-Kulasekara3* නුවන්ගේ ජීවිතය සම්බන්ධයෙන් ඔබ වඩාත් සසල වූ අවස්ථාවන් තියෙනවද?

පුතා පුංචි කා‍ලේ අපි කතරගම ගියා. කට්ටිය මැණික් ගඟින් ඇඟපත හෝදා-ගෙන ගොඩට ආවා. ඒත් නුවන් පුතා එන්න ටිකක් පරක්කු වුණා. ඔය අතරේ එක පාරටම මැණික් ගඟේ වතුර වැඩිවෙලා එයා අල්ලගෙන හිටපු බේසමත් එක්කම ගහගෙන යන්න පටන් ගත්තා. මේ වෙලාවේ හිතේ ඇතිවුණු බයට මං හයියෙන් කෑ ගහනකොට අපිත් එක්ක ගිය නාවික හමුදා නිලධාරියෙක් පැනලා පුතාව බේරා ගත්තා. එහෙම නොවුණා නම් එදා පුතාගේ ජීවිතේට අනතුරක් වෙන්නත් ඉඩ තිබුණා.
 
* නුවන්ගේ හිතේ ඔබ ගැන තියෙන්නේ මොන වගේ බැඳීමක්ද ?

පුතා මට පුදුමාකාර විදිහට ආදරෙයි. ඒ නිසා මං එයාට මොනවා හරි කීවොත් ගොඩක් දුක හිතෙනවා. මට මතකයි පුංචි කා‍ලේ මෙයයි අයියයි ටැප් එක ඇරගෙන වතුරේ නටනවා. කොච්චර එපා කීවත් අහන්නෙ නෑ . බැරිම තැන මම මෙයාව ඇදල අරගෙන හොඳටම ගැහුවා. මම එයාට ගහපු එකේ වේදනාවට වැඩිය දුක දරාගන්න බැරිව පුතාට ෆිට් එක හැදුණා. අන්තිමේ මම ගෙදර ඇඳගෙන හිටපු ඇඳුම් පිටින්ම මෙයාව රෝහලකට රැගෙන ගියා. 

* කොහොමද නුවන්ට සහකාරිය මුණ ගැසුණේ

පාසල් යන කාලයේමයි දෙන්නගේ සම්බන්ධ ඇති වුණේ. දවසක් මෙයාගේ ලියුමක් මට ‍පොතක තිබිලා හම්බ වුණා. පස්සේ හොයලා බලනකෙට අපි හොඳටම දන්න පවුලක දුවෙක්. ඒත් ඉතින් පාසල් කාලයේ නිසා මේ සම්බන්ධයට පුංචි පුංචි තහංචි දැම්මා. ඒත් දෙන්නා වෙනස් නොවී අවුරුදු ගාණනක් ඇසුරු කරලා දෙමාපියන්ගේ ආශිර්වාදයත් අරගෙන විවාහ දිවියට ඇතුළත් වුණා. පුතාගේ දෙවන මනමාලයා වුණේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ලසිත් මාලිංගයි.
සංවාද සටහන සහ ඡායාරූප සුරංජිත් ගුණසේකර

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery