facebook page

Powered by Blogger.

Blogger templates


වත්සලාගෙ දුරකතනයට ඇමතුමක් ගන්න ඉස්සර අපිට වෙලාවක් කලාවක් තිබුණෙ නෑ... ඒත් දැන් ඇමතුමක් ගන්නත් දෙපාරක් හිතන්න ඕනෑ... හිතලා හිතලා ගන්න ඇමතුමට පිළිතුරු දෙන්නත් වත්සලාට වෙලාවක් නෑ... ඒ විතරක්ද දැන් එයාට තමන් ජනප්‍රිය නිළියක් කියන එකත් අමතක වෙලා...

මේ හැම වෙනසකට වගකිවයුත්තෙක් ඉන්නවා. ඒ වෙන කවුරුවත් නෙවෙයි හරියටම මීට මාසෙකට කලින් (මාර්තු (24) මේ ලෝකෙ එළිය දැක්ක හිතෛෂි වෙනායා ගුණසිංහ. 'මට ඇස් අදහා ගන්න බැරි වුණා... මම දැක්කෙ රෝසම රෝස පාට රෝස මල්පෙත්තක් වගේ. මාස දහයක් මගේ කුසේ මේ තරම් ලස්සන පැටියෙක් හිටියද කියලා හිතාගන්නවත් බැරිවුණා. දරු සෙනෙහෙ උතුරා දෝරේ ගලද්දී වත්සලා ඒ සෙනෙහස වචනවලට පෙරළන්න උත්සාහ ගත්තේ ඒ විදියට.

• කවදාවත් ජීවිතේ බරක් පතළක් නොදැනුණු වත්සලා වෙනස් වෙලා වගේ?


අම්මේ... ඒ ගැන නම් කියලා වැඩක් නෑ... විවාහ වුණත් කවදාවත් මට ඒ ජීවිතේ බරක්, වගකීමක් දැනිලා නෑ... මම වෙනදා වගේම සැහැල්ලුවෙන් හිටියා. ඒත් දුව ලැබුණට පස්සේ නම් ඒ හැම දේම වෙනස් වුණා. ඒ වගකීම, ඒ බැඳීම වචනවලින් විස්තර කරන්නේ කොහොමද? අනිත් එක අම්මෙක් දරුවෙක් හදන්න කොච්චර වෙහෙසෙනවාද, දුක් විඳිනවද කියලා දැනෙන්නේ දැන්.

• හැබැයි ඔය වගකීම ගන්න වත්සලා හිටියේ බයෙන්?


ඔව්. අන්තිම මොහොත වෙනකන්ම මම හිටියේ බයෙන්. ඒත් මගේ වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍ය විජිත් විද්‍යාභූෂණ. ඔහු පුදුම විදියට බොහොම මිත්‍රශීලීව ඒ බය නැති කළා. සිසේරියන් සැත්කමකින්නේ දුව ඉපදුණේ. ප්‍රසංගත් ළඟම හිටියා. දරුවෙක් අඬන හඬ ඇහුණත් මම හිතුවෙ නෑ ඒ මගේ පැටියා කියලා. ඩොක්ටර් දුවව පෙන්නද්දි මට හිතා ගන්නවත් බැරි වුණා. තිබුණ බය, දැනුණ අමාරු කොහෙන් ගියාද දන්නේ නෑ...

• ලස්සන දුවෙක්ගෙ තාත්තෙක් වුණාම ප්‍රසංගට මොනවා හිතෙන්න ඇතිද?


තියටර් එකෙන් එළියට එද්දි ප්‍රසංගගේ මූණෙ තිබුණ සතුට වෙන කවදාවත් දැකලා නෑ කියලා අපේ අම්මලා කිව්වා. ඒ තරම් සතුටකින් ප්‍රසංග හිටියේ. කොහොමටත් ප්‍රසංග දුවෙක් ලැබෙනවාට ආසාවෙන් හිටියේ. එයාගෙ ආසාව ඒ විදියටම ඉටු වුණා.

• චූටි දුව කවුරු වගේද?

මම වගේ. හැමෝම කියන්නේ එහෙම. මගේ කට, ඇස්, හිනාව කොණ්ඩෙ, කම්මුල් මේ හැම දෙයක්ම මං වගේමයි.

• දුව ඔයා වගේ කියන කොට ප්‍රසංගට දුක හිතෙන්නෙ නැද්ද?

පෙනුම මගේ වගේ වුණාට දුවගෙ හැසිරීම තාත්තා වගේමයි. නිදාගන්න විදිය පවා ප්‍රසංග වගේ. ඒ නිසා ප්‍රසංගට පෙනුම ගැන ගැටලුවක් නෑ.

• චූටි දුවට නම තිබ්බෙ කවුද?

හිතෛෂි කියන නම යෝජනා කළේ මහේෂ් රත්සර අයියා. වෙනායා කිව්වේ රෙක්ස් හැමිල්ටන් අයියා. ඒ දෙන්නාගේ කැමැත්තට අපි ඉඩ දුන්නේ නම ලස්සන නිසා.

• දුවගෙ වැඩකටයුතු කරන්නෙ වත්සලාද?

මේ තරම් චූටි බබෙක් මම අතට ගත්තමයි. මුලදි බබාව අල්ලන්න තේරෙන්න නැතුව ඇඬුණ අවස්ථාත් තියෙනවා. දැන් නම් ටික ටික හුරු වෙනවා. මගේ අම්මා මාසයක් හිටියා. දැන් ප්‍රසංගගේ අම්මා උදවු කරනවා. හැබැයි තාම නාවන්න නම් බයයි. හා හා පුරා කියලා තනියම ඇඟ සේදුවේ ඔන්න අද තමයි.

• ප්‍රසංගත් දුවගෙ වැඩවලට උදවු කරනවා ඇති?

මම හිතන්නේ මේ ලෝකේ හොඳම තාත්තා හම්බ වුණේ මගේ දුවට. දුව ඉපදුණත් හරි ප්‍රසංග තාම හරියට නිදාගෙන නෑ. මට නිදාගන්න කියලා එයා ඇහැරගෙන ඉන්නවා. නැපි මාරු කරනවා. ඒ විතරක්ද නාවන්නත් හදනවා. ප්‍රසංග දුවගෙ හැම වැඩක්ම කරන්නේ හරි ආසාවෙන්. දරුවෙක්ට මේ තරම් ආදරය කරන තාත්තෙක් මම නම් දැකලා නෑ.

• ඒ කියන්නේ දැන් ප්‍රසංග වත්සලාට වඩා දුවට ආදරෙයි?


දුවට ආදරෙයි. මට තියෙන ආදරෙත් දශමයක්වත් අඩුවෙලා නෑ

• දැන් දුව ගැන දෙන්නගේ හීන මොනවගේද?

ලොකු හීන නෑ. හැබැයි එයා හොඳ දරුවෙක් කරන්න නම් ඕනෑ.

• නංගිත් (බුවනි) උදවු කරනවා ඇතිනේ?

එයා කරන ලොකුම උදව්ව තමයි නිදාගෙන ඉන්න පැටියව ඇහැරවන එක.

• පුංචි හිතෛෂි නිළියක් වෙයිද?

කියන්න බෑ. අම්මයි තාත්තයි දෙන්නම කලාවට සම්බන්ධ නිසා එහෙම වෙන එකේ පුදුමෙකුත් නෑ.

• දැන් කියන්නකෝ කවදද ආයේ වත්සලා පුංචි තිරයෙ දකින්න ලැබෙන්නේ?

අවුරුද්දක් යනකම් රඟපාන්නෙ නම් නෑ. ඒත් මාස තුනකින් විතර නිවේදන කටයුතු නම් පටන් ගන්නවා.

හිමේෂා සවන්තී රාජපක්‍ෂ

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery