facebook page

Powered by Blogger.

Blogger templates



රොෂාන් ප්‍රනාන්දු
 ආයුබෝවන් - ආයුබෝවන්
ඔබට සුබ දවසක්
කරන කියනා සියලු දේ
ඉටුවෙනා දවසක්...!
 
(පද - රොෂාන් ප්‍රනාන්දු)

ringing tone අපේක්ෂාවෙන් අපි කලකට පසු රොෂාන්ව ඇමතුවෙමු. නොසිතූ අයුරින් රොෂාන් ගීතයක් ගයමින් අපට සුබ ප්‍රාර්ථනා කළේ ය. අපූර්ව වෙනසකි. ඒ පිළිබඳව පවසමින්ම රොෂාන් අප සමඟ මෙම කතා බහට එක් වූවේ ය.

“දැන් phone එකකට call එකක් ගත්තම ඇහෙන්නෙම ආදර ගීත විතරමනේ. අම්ම ද, තාත්ත ද, නැන්ද ද, මාම ද, දුව ද, පුතා ද, ගුරුවරු ගුරුවරියක් වගේ වැඩිහිටියෙක් ද එහෙමත් නැත්නම් පූජකවරයෙක් ද වගේ කිසි තරාතිරමක් නොබලා තරුණ ආදරවන්තයින්ට සුදුසු පෙම් ගීතයක්ringing tones ඇහෙන්න පුළුවන්. ඉතින් මට හිතුණා - ඔය හැමෝම ආදරය ගැන අනම් මනම් කතන්දර ringing tones යොදා ගන්න වෙලාවේ මගේ phone එකට මේ සුබ පැතුම් ගීතය යොදාගන්න. මේ ගීතයට ලැබෙන ප්‍රතිචාරත් හොඳයි. අපේ රසික රසිකාවියන්ට සුදුසු අයුරින් අපි නිර්මාණ ඉදිරිපත් කරනවා නම් ඔවුන් ඒවා බාර ගන්නවා. මේ ගීතයත් ඊට උදාහරණයක්.”

. වත්මන් සංගීත ක්ෂේත්‍රය නියං සමයකට ගොදුරු වී වගේ. රසවත් ගී නිර්මාණ ඵල නොදරන කාල වකවානුවක් උදා වෙලා නේද?

“ඕනෑම ක්ෂේත්‍රයක නියඟ කාල වකවානු එනවා. ඒත් මං හිතන්නේ - මේ වකවානුවේ එළිදකින්නේ නැතුවාට හොඳ ගීත බිහිවෙමින් පවතිනවා ඇති දක්ෂ නිර්මාණකරුවන් අතින්. මේ නියං සමයට පසුව හොඳ ලස්සන ගී මල් පිපිලා එළිදකින්න ගනීවි. එතකොට ඉදිරි කාලය හොඳ වෙයි.”

. ඔබ එහෙම කිව්වට ගීත තැටි ව්‍යාපාරයත් නැතුව ඉදිරි කාලය හොඳ වෙන්නෙ කොහොම ද?

“ඒක නම් ඇත්ත තමයි. දැන් CD යන්නෙම නැහැනේ. ඒ නිසා මේ ක්ෂේත්‍රයට අලුතෙන් එන්න හදන මනුස්සයෙකුට පහසු නැහැ තමන්ගේ නිර්මාණ රසිකයින් අතරට ගෙනයන්න. මේ තත්ත්වය ගැටලුවක්. කලාකරුවන්ගේ අයිතිවාසිකමක් නැති කිරීමක් හා සමානයි. ඒ වගේම ගීත රසිකයින්ටත් මේ ගැටලුව නිසා අසාධාරණයක් සිදු වෙනවා. ඕනෑම රටක මෙවැනි ගැටලු මතු වෙද්දී රාජ්‍ය මට්ටමෙන් තීරණ ගන්න ඕනේ. ඒ සඳහා වගකිව යුත්තන් යොමු කරවා ගෙන විසඳුම් ලබා දීම ගායක ගායිකා සංගම්වල වගකීමක්. කලාව වෙනුවෙන් යම්කිසි විසඳුමක් ලබා දෙන්න ඔය සංගම් ක්‍රියා කළා නම් මෙලහටත් කරන්න එපැයි. ඒ ගොල්ලන්ට ඕනේ ඒ ගොල්ලන්ගේ වැඩ කරගන්න විතරයි. කලාකරුවන්ට බලපෑම් එල්ල වෙන පොදු ගැටලු එහෙමමයි. ගීත තැටි ව්‍යාපාරයේ කඩා වැටීම සංගීත ක්ෂේත්‍රයේ නියුතු සියලුම ශිල්පීන්ට බලපාන ගැටලුවක්.”

ringing tones හී නිර්මාණ රැල්ල අඩුවෙලා වගේ...?

“ඔව්. ඒකත් දැන් ඉතින් සාමාන්‍ය දෙයක් වෙලා. ඉස්සර තරම් විශේෂ ආකර්ෂණයක් ඊට ලැබෙන්නෙත් නැහැ.”

. වෘත්තීය සංගීත ශිල්පියෙකු සහ ගායන ශිල්පියෙකු වන ඔබ මේ දිනවල නියැළී සිටින නිර්මාණ කටයුතු මොනවා ද?

“ඉස්සර වගේ අලුත් ගීත නම් මේ දිනවල කෙරෙන්නේ නැහැ. අපේ ආස්වාදයට ගීතයක් දෙකක් ඉඳහිට නිර්මාණය කර ගන්නවා ඇරෙන්න. සංගීත ප්‍රසංග වේදිකාවේ කටයුතු කරගෙන ඉන්නවා. සංගීත ප්‍රසංග ක්ෂේත්‍රය නම් වෙනදාට වඩා හොඳයි.”

. එහෙම නම් අද අපි එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රය පිළිබඳව කතාබහ කරමු ද?

“ඒක හොඳයි. මොකද එළිමහන් සංගීත ප්‍රසංග සමඟම තමයි අපේ කාලය වැඩිපුර ගතවෙන්නේ. එමෙන්ම මම විශේෂ කැපවීමක් කරනවා එළිමහන් සංගීත ප්‍රසංග ක්ෂේත්‍රය වෙනුවෙන්. විශේෂයෙන්ම අපේ එළිමහන් සංගීත ප්‍රසංග රසික රසිකාවියන්ගේ රුචිකත්වය තේරුම් ගෙන ඔවුන්ට හොඳ රසාස්වාදයක් ලබා දීම පිළිබඳවත් ශිල්පීන්ගේ සහ රසිකයින්ගේ විනය පිළිබඳවත් මා උනන්දුවක් දක්වනවා. අපි සංගීත ප්‍රසංගවල ගී ගයලා වාදනය කරලා සල්ලි හොයනවා වගේම මේ අපිට දෙවියන් දීලා තියෙන හැකියාවන්ගේ හැටියට මේ රටේ ජීවත් වෙන මිනිස්සුන්ට කුමක් හෝ යහපතක් කරන්නත් ඕනේ. එහෙම නොකළොත් අපි නිකම්ම නිකම් මිනිස්සු වෙනවානේ.”

. ඔබ කිරීමට අපේක්ෂා කරන යහපත කුමක් ද?

“මම කිරීමට අපේක්ෂා කරන නෙමේ, අපේක්ෂා කළ කිව්වොත් තමයි හරි. මොකද මම දැනට වසර ගණනාවකට පෙර ඉඳලා ගොඩාක් මහන්සි වුණා. ප්‍රසංග වේදිකාවේ ගි ගයන ගායන ශිල්පීන්ගේත් වාදනය කරන වාදන ශිල්පීන්ගේත් වෘත්තීය ගරුත්වය රැකගෙන විනය ගරුක රසික පිරිසක් සමඟ මේ ගනුදෙනුව කරගෙන යන්න. අද මේ වන විට ඒ මහන්සියේ යහපත් ප්‍රතිඵල අපට දකින්නට ලැබිලා තියෙනවා. වෙනදාට වඩා විනයානුකූලව හැසිරෙන රසිකයින් දැන් අපිට එළිමහන් සංගීත ප්‍රසංගවලදී හමු වෙනවා. මම mic එක අතට ගත්තාම කියනවා - ‘මල්ලි වැදගත්කම තියෙන්නේ සල්ලිවල නෙමෙයි මිනිහාගේ හැදියාවෙයි. තව කෙනෙකුට රිද්දලා ලබන සතුට වැඩක් නැහැ’ කියලා. ඉතින් අපේ මිනිස්සු මගේ එවැනි කතා අහන් ඉඳලා හැදිලා තියෙන බව පෙනෙන්න තියෙනවා. දැන් අපේ සංගීත ප්‍රසංගවලදී ගහ බැණගෙන ඇණකොටා ගෙන මරා ගන්නේ නැහැනේ ඉස්සර වගේ. ගැහැනු ළමයින්ට වුණත් දෙමවුපියන්ට දරුවන් සමඟ වුණත් අපේ ප්‍රසංගයකට ඇවිල්ලා රස විඳින්න පුළුවන්කම උදාවෙලා තියෙනවා. ගීත රසික රසිකාවියන්ගේ විනයානුකූල හැසිරීම මං අපේක්ෂා කළ ප්‍රධාන යහපතක්.”

. ඔබට පෙර ජනප්‍රියව සිටි සංගීත කණ්ඩායම් නායකයින්ට මෙම යහපත කළ නොහැකි වූවේ ඇයි?

ඒ හැමෝම වගේ කළේ show එක ගහලා සල්ලි ගන්න එක විතරයි. නැත්නම් ඒ අයට මිනිස්සු මොනතරම් ආදරය කළා ද? අපේ හිත්වලට දැනෙන්න ඕනේ, අපි මුදල් උපයා ගන්නේ මේ රසික ජනතාව නිසා බව. එහෙම හැඟුණේ දැනුණේ නැතුව ඇති ඒ කාටවත්. මට හැඟුණා. මම බලා ඉඳලා තියෙනවා, show වලට එන රසික රසිකාවියන්ගේ ක්‍රියාකාරකම්. අම්මලා වාඩිවෙලා, සමහරු දරුවන් වඩා ගෙන, සමහර කොල්ලෝ නටනවා, තවත් සමහරු පිස්සු හැදිලා වගෙත් නටනවා. සාමාන්‍ය මිනිසුන්ට ජීවන ප්‍රශ්න පීඩා කරදර අමතක කරලා අඩු වියදමකින් සතුටු වෙන්නයි එළිමහන් සංගීත ප්‍රසංග නිර්මාණය වෙලා තියෙන්නේ. එතැනදී අපේ වගකීම යුතුකම වෙන්න ඕනේ, මේ අපේ රසිකයාව ආරක්ෂා කරගෙන දිගටම මේ ගනුදෙනුව කරගෙන යාමට හැකිවෙන අයුරු අපේ සබඳතාව පවත්වාගෙන යෑමයි. මේ රටේ තියෙන හොඳම දේ තමයි මිනිසුන්ට ආදරේ කිරීම සහ බෙදා හදා ගැනීම. ඒත් අපේ සමහරුන්ට තමන්ගේ වගකීම හරියට ඉෂ්ට කරන්න ඕනකමක් නැහැ.

75% ක්ම ඉන්නේ තමන්ගේ වැඩේ කරලා ලැබෙන මුදල ගන්න බලන් ඉන්න මිනිස්සු විතරයි. ඒක තමයි සත්‍යය. හැබැයි මට එහෙම නැහැ. මම අපේband එකට කියන්නේ - ‘අපි ඊයේ පොලොන්නරුවේ ගැහැව්වා කියන එක අද මීගමුවේ රසිකයින්ට අදාළ නැහැ. මීගමුවේ රසිකයින්ට අද අලුත් showඑකක්. අපි ඊයේ පොලොන්නරුවේ ගහලා ඉන්න හින්දා කකුල් රිදෙනවා, කොන්ද රිදෙනවා වෙන්න පුළුවන්. ඒත් රසිකයින්ට අපි සාධාරණය කරන්න ඕනේ. බැරිනම් අහක්වෙලා නිකම් ඉන්න ඕනේ’ කියලායි. සල්ලි වලට විතරක් ආදරේ කරපු අයට ඕනකමක් තිබුණේ නැහැ රසිකයින්ට යහපතක් කරන්න. ඒකයි ඔවුන්ට නොහැකි වුණේ මීට පෙර මේ යහපත රසිකයින් වෙනුවෙන් ඉටු කරන්න. ළඟදීම අපි අපේ ගීත රසිකයින්ට ඇති ආදරය ක්‍රියාවෙන්ම පෙන්වන පුංචි පරිත්‍යාගශීලී වැඩ කටයුත්තක් අරඹනවා.”

. ඒ කුමක් ද?

දුෂ්කර පළාත්වල musical show වලින් අපිට හම්බ වෙන මුදල් වලින් වෙන්කර ගන්නා යම් මුදල් ප්‍රමාණයකින් ඒ ප්‍රදේශයේ දුප්පත් පාසල් දරුවන් දහ දෙනෙකු බැගින් තෝරාගෙන ඔවුන්ට පොත්පත් පාර්සල් ලබා දීම. මුලින් එහෙම ආරම්භ කරලා ඉදිරියට කරගෙන යද්දී තව මීට වඩා දේවල් අපිට කරන්න පුළුවන් වෙයි කියා මං විශ්වාස කරනවා.

. අද ඇතැම් සංගීත කණ්ඩායම් මෙන්ම ගායක ගායිකාවන් ද සිය පැවැත්ම උදෙසා වෘත්තීය ගෞරවය කෙලෙසා ගනිමින් කටයුතු කරගෙන යාම ගැන ඔබ හිතන්නේ කෙසේ ද?

කවුරුන් වුවත් සිය වෘත්තිය ගරුත්වය රැකගෙනයි පැවැත්ම හදා ගන්න ඕනේ. එහෙම නැති අයට පැවැත්මක් නැහැ. දැන් අපිත් (flashback) එක්ක කවුරුත් එන්නේ නැහැනේ - කරට අත දාලා ‘එන්න, යමු බොන්න’ කියන්න. show වලට ගියාම සිගරට් බිබී, කැප් දා ගෙන අපිත්තෙක්ක කතාබහට එන කවුරුවත් නැහැ. ඒ අය දන්නවා මම සිගරට් එකක් වත් බොන් නෑ කියලා. ඒ සීමා තියාගෙන කටයුතු කරන්න අපි දැන ගන්න ඕනේ. මම හරි දේ කළා කියන සතුට මට තියෙනවා. මං බොන් නෑ.

බීලා වැනි වැනි එන්න දෙන්නෙත් නෑ කාටවත් stage එකට. සිගරට් එකක් වත් බොන්න දෙන්නෙත් නැහැ stage එකේ දී. එළවනවා දැක්කොත්. මම හොඳ විනයක් පුරුදු කළා එළිමහන් සංගීත ප්‍රසංග වේදිකාවට. සමහරු මට බණිනවා - ‘ඕකා පණ්ඩිතයා’ කියලා. ඒත් ඉතින් මං කරන්නේ නිවැරැදි දේ. ඒ නිසා වරදින්නේ නැහැ. අපි අපේ වටිනාකම් රැකගත්තොත් මිස වෙන කවුරුත් එන්නේ නැහැ ඒවා ආරක්ෂා කර දෙන්න.”

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery