facebook page

Powered by Blogger.

Blogger templates


ඕලූ' ටෙලි නාට්‍යයේ ඕලූ චරිතයට පණ පොවමින් පුංචි තිරයේ අහිංසකාව ලෙස මෙරට ජනතාවගේ ආදරය දිනා ගත් ඇය සිය රංගන කුසලතාවය දිනෙන් දින සාර්ථකත්වය ළඟා කර ගත් රංඟන ශිල්පිනියකි.මේ දිනවල නැවතත් 'වරාමලී' ඔස්සේ අපේ ආලින්දයට එන ඇයගේ අලුත්ම තොරතුරු අප සමඟ බෙදා ගන්නට අප හා පිළිසඳරකට එක් වූ මොහොතයි මේ...

ඉතින් මංජුලා කොහොමද අවුරුදු ජයයි ද?

කොච්චර කාර්යබහුල වුණත් නැකත් අනුව අවුරුදු සිරිත් විරිත් නම් අපි හරියාකාරවම කරනවා. ඊට පස්සේ ලැබුණු දවස් කිහිපයේම පාසිකුඩා සහ කතරගම තමයි නිවාඩුව ගත කළේ.

විවේකයක් ලැබුණු ගමන්ම සංචාරවල යෙදෙන්න හරිම කැමැතියි නේද?

ඔව් ගොඩක් කැමැතියි. මම කොහොමත් වැඩිය කාර්යබහුල වෙන්න මම කැමැති නැහැ. ඉතින් පහු ගිය කාලේ ලැබුණු විවේකයේදිත් කළේ රට රටවල සංචාරය කරපු එක තමයි.

ඒ රටවල් වලින් හිත ගත් රට?

මම ගොඩක් ආසයි ප්‍රංශයට. ඒ රට හරිම පිරිසුදුයි. ගෙවල් වල මල් වවලා තියෙනවා සෑහෙන්න. මල් වලට ගොඩක් මම කැමැතියි නේ... ප්‍රංශය කියන්නේ රෝස මල් පිරිලා තියෙන රටක්.

මේ දිනවල 'වරාමලී' ටෙලි නාට්‍ය ඔස්සේ මංජුලා දකින්නට ලැබෙනවා?

'වරාමලී' විශේෂත්වයක් තියෙන නාට්‍යයක්. අද සමාජයේ වැඩිපුරම දකින්නට ලැබෙන්නේ දික්කසාද වීම්. ඉතින් 'වරාමලී' කියන්නේ පවුලක් දෙදරා යාම තුළ දරුවන්ට කොහොමද ඒක තදින්ම දැනෙන්නේ කියල මේ නාට්‍ය ඔස්සේ දිග හැරෙන ඉතාමත් ආදර්ශවත් කතාවක්. මේ දේවල් ගැන මිනිස්සු හිතනවා අඩුයිනේ.

පුංචි තිරයේ පෙම්වතිය වූ ඔබ ප්‍රථම වරට බිරියකගේ භූමිකාවට අනුවර්තනය වෙලා?

මේකේ පිටපත් මට ලැබුණේ මීට අවුරුදු ගාණකට කලින්. මේ නාට්‍යයට නිෂ්පාදනයෙන් සම්බන්ධ වෙන්නත් මගේ අදහසක් තිබුණා. එත් මගේ විදේශ සංචාරය එක්ක මට ඒකට යොමු වෙන්න බැරි වුණා.

මේ චරිතය බාර ගත්තේ පෙම්වතිය කියන ඒකාකාරී චරිතයෙන් වෙනස් නිසාද?

ඔව් වෙනස්ම චරිතයක් වගේම දරුවොත් එක්ක කරන ආදර්ශවත් චරිතයක් නේ.. .

මවක ගේ චරිතය අභියෝගයක් නෙමෙයිද?

අභියෝගයක් නම් තමයි. මුලදි ටිකක් විතර අමාරු වුණා. නමුත් ශාන්ත අයියා , මහේෂ් මද්දුමආරච්චි සහ හෑමෝගේම සහයෝගය සහ අනු දැනුම මත මේ චරිතය හොඳින් නිරුපණය කරන්න පුළුවන්කම ලැබුණා කියලා මම හිතනවා.

ඕලු චරිතය තවමත් ජනප්‍රිය වුණාට මංජුලාගේ ජනප්‍රියත්වය නම් දැන් ටිකක් අඩු වෙලා නේද?

ප්‍රසිද්ධිය කියන දේ ගැන මම ලෝබ කමින් හිතුව නම් පහුගිය කාලේ ලැබුණු ආරාධනාත් එක්ක බැලුවහම ටෙලිනාට්‍ය තුන හතරක මම ඉන්න තිබුණා. එහෙම වුණා නම් මාව දැකලා දැකලා එපා වෙයි. මට හැම වෙලාවේම ඕන වුණේ ටෙලිනාට්‍ය සියයක රඟපාන්න නෙමෙයි, එකක් හරි කරලා මිනිස්සුන්ගේ හිතේ කොහේ හරි තැනක ඕලු කියන චරිතේ වගේ හැමදාමත් රැඳිලා ඉන්නයි. නාට්‍ය කියලා නිර්මාණ ගොඩකට දායක වෙන්න මගේ බලාපොරොත්තුවක් නැහැ. එක චරිතයක් හරහා හැමදාමත් මිනිස්සුන්ගේ හිතේ රැඳිලා ඉන්න එක රංගන ශිල්පිනියකට ලැබෙන භාග්‍යයක්. ඉතින් ඒ වාසනාව මට ලැබිල තියෙනවා.

රංගන වැඩ කටයුතු නිසා ගෙදර වැඩකටයුතුත් අතපසු වෙනවා ඇති නේද?

ටිකක් අතපසු වෙනවා නම් තමයි. ඒ නිසයි ගොඩක් කාර්යබහුල ජීවිතයකට කැමැති නැත්තේ. හැම වෙලේම මගේ පවුලටයි මුල්තැන දෙන්නේ. විවාහ වෙලා මුල් කාලයේදී මගේ අතින් තමයි සියලු වැඩ කටයුතු සිද්ද වුණේ. දැන් නම් වැඩට කෙනෙක් ඉන්නවා. එත් උදේට තේ, කෑම ඔක්කොම සකස් වෙන්නේ මගේ අතින්මයි.

රංගන කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ කියලා ඔබ කියලා තිබුණා ?

රංගනය සහ විශේෂයෙන්ම ප්‍රේම ජවනිකා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ වැඩක්. මොකද හැඟීම් දැනීම් කියන දේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයටම පොදුයි නේ. ඉතින් රංගනයේදී දෙන්නෙක් අතර ප්‍රේම ජවනිකා සිප වැලඳ ගැනීම් ආදර වදන් වැනි දේවල් තියෙනවා. රංගනය තුළ ඒ වගේ ප්‍රේමාන්විත හැඟීම් ඒ වෙලේදී ඇති වුණත් ඒ ජවනිකාවෙන් පසුවත් ඒ සිදුවීම් එක්ක හිටියොත් තමයි බොහෝ වෙලාවට ප්‍රශ්න ඇති වෙන්නේ. පවුල් ආරවුල් වෙලා දරුවන් අනාථ වෙන්නේ. ඉතින් ඒ වගේ සෑහෙන පිරිසක් මම දැකල තියෙනවා. නමුත් රංගනය කියන්නේ භාවනාවක් වගේ දෙයක් . මොකද රංගනයේදී අපි ඒ චරිතයේ ජීවත් වුණාට එතනින් එහාට අපි සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න ඕන.

ඔබටත් එවැනි අත්දැකීම් තිබුණද?

අවංකවම මට නම් ඒ වගේ අත්දැකීම් නැහැ. මම ක්ෂේත්‍රයේ ඉන්න විදිහක් තියෙනවා. මංජුලා කියන්නේ කවුද කියල ක්ෂේත්‍රයේ හැමෝම දන්නවා. එනිසා නොකැළැල් චරිතයක් ලෙස ක්ෂේත්‍රයේ මට රැඳිල ඉන්න පුළුවන් වෙලා තියෙනවා.

ප්‍රේම ජවනිකා රඟපානවට සැමියාගෙන් අමනාපයක් නැද්ද?

අනේ එහෙම නැහැ. මම තෝරා බේරා ගෙන කරන චරිත ගැන එයාට හොඳ අවබෝධයක් සහ විශ්වාසයක් තියෙනවා. බැඳපු අලුත නම් පුංචි පුංචි තහංචි තිබ්බා. ඒක ඉතින් සාමාන්‍ය දෙයක්නේ.

නිෂ්පාදනයට යොමු වුණේ එය සරල දෙයක් කියල හිතාගෙනද?

අනේ අම්මෝ නැහැ, නිෂ්පාදනය කියන්නේ බොහොම ලොකු වගකීමක්. කෑම බීම , ඇඳුම් පැලදුම් ලොකේෂන්ස් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉතා භාර දුර කටයුතු රාශියක් තියෙනවා. මේ වෙද්දී නිෂ්පාදන කටයුතු හතරක්ම සාර්ථකව නිමා කරන්න හැකියාව ලැබුණා. ඉතින් ඒ වැඩ කරපු සියලු දෙනාගෙත් නාළිකාවලින් පවා ප්‍රසාදය දිනා ගන්නට හැකි වුණා.

අහිංසක චරිත නිරුපණය කරපු මංජුලා දැන් මොඩ් වෙලා නේද?

මම මොඩ් වෙන්න උත්සහ කළා නම් තමයි ඒ වුණත් එය සාර්ථක වුණේ නැහැ. මොකද ඕලු කියන චරිතයෙන් මිදෙන්න අපහසුයි‍. ඒ චරිතය කතා විලාසය මට බොහොම කිට්ටු නිසා. ඉතින් ඒ වගේ චරිතයකට තමයි මිනිස්සු ආදරය කරන්නේ.

ඒ වුණත් ඕලුට නැති ආඩම්බරකමක් මංජුලාට තියෙනවලු නේද?

අපෝ නැහැ. මගේ වටා ඉන්න හැමෝම දන්නවා මම එහෙම නැහැයි කියලා. වෙලාවකට හිනා වෙලා හිනා වෙලා කටත් රිදෙනවා.

දෙන්නා තුන්දෙනා වීමේ සිහිනය තවමත් කල් අරිනවද?

එහෙම නැහැ ඒ ගැන ලොකු බලාපොරොත්තුවකින් තමයි ඉන්නේ. බලාපොරොත්තුව ඉටු වුණ ගමන්ම ඒ ගැනත් මම කියන්නම්කො.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery