facebook page

Powered by Blogger.

Blogger templates



බක්මහ ගෙවී ගියත් කොහාගේ හඬ තවමත් ඇසේ. එසේම සිංහල අලුත් අවුරුදු උලෙළ නිමිත්තෙන් පැවැත්වෙන සංගීත ප්‍රසංග ද තවමත් අප රටේ නොයෙක් පළාත් වල පැවැත්වේ. ඒ අතර අපේ සංගීත ක්ෂේත්‍රයේ දැවැන්ත ගායන ශිල්පියකු වන සේනානායක වේරලියද්ද සහ ජනප්‍රිය සංගීත කණ්ඩායමක් වන “ලියාරා” අතරේ නොහොඳ නෝක්කාඩු වීමක් ද “ලියාරා” කණ්ඩායමට මැර තර්ජන එල්ල වෙමින් ඇති බවට රාවයක් ද පැතිර යමින් පවතී.

එසේම “ලියාරා” කණ්ඩායමේ නිත්‍ය ගායන ශිල්පියකු ලෙස කටයුතු කරන “දුලාන් වේරලියද්ද” ගේ නිවෙසට පැමිණි මැර පිරිසක් “වේරලියද්ද” නම භාවිත කරනවාට එරෙහිව දුලාන්ගේ පියාට සහ මවට තර්ජනය කර පියාට පහරදීම නිසා රෝහල් ගත කිරීමට ද සිදු වී ඇති අතර මේ පිළිබඳව හොරොව්පතාන පොලීසියේ පැමිණිල්ලක් ද සටහන් කෙරී ඇති බව ද “රසඳුන” ආරංචි මාර්ග වලින් දැනගන්නට ලැබී තිබිය දී “ලියාරා” නායක ප්‍රසන්න ගුණසේකර ඒ පිළිබඳ කතාබහ කිරීමට අප සමඟ එක් වූවේ ය. ප්‍රසන්න සමඟ අප කළ කතාබහ මෙසේ ය.

“අපි ‘ලියාරා’ සංගීත කණ්ඩායම පාරවල් වල දුක් විඳලා, සමහර විට කන්න බොන්න පවා නැතුව වද වේදනා උහුලලා නමක් හදා ගත්ත කණ්ඩායමක්. සේනානායක වේරලියද්ද කියන්නේ අද මේ ක්ෂේත්‍රයේ මහා පුරුෂයෙක්. ඔහුම පවසන පරිදි ඔහු රජෙක්. ඒත් දුක් පීඩා මැදින් අපේ ‘ලියාරා’ කණ්ඩායමේ සියලු සාමාජිකයින් එකාවන්ව යන මේ ගමනේදී අද මේ වන විට ඔහු අපට තර්ජන හා මැර ප්‍රහාර එල්ල කරන්න තරම් සතුරු වෙලා. මීට අවුරුදු තුනකට පමණ පෙර සිට මේ සතුරුකම පැවතුණත් පසුගිය අප්‍රේල් 15 වැනිදා ඇඹිලිපිටියේ දී ජාතික රූපවාහිනිය මඟින් කරපු සිංහල අලුත් අවුරුදු ගීත ප්‍රසංගයේ දී තමයි මෙය මුළු රටටම හෙළිදරව් වෙන අයුරු ඔහු හැසිරුණේ.”

එදා ඇඹිලිපිටියේ දී සිද්ධ වුණේ කුමක් ද...?

“මුලින්ම එම ප්‍රසංගයට ගී ගයන්න සේනානායක වේරලියද්ද ආවාම මමමයි ඔහුට අලුත් අවුරුද්දට සුබ පතලා make up room එකට ඔහු සමඟ අතින් අල්ලගෙන ගිහින් ආවේ. පසුව ගී ගයන්න සූදානම් වී ඔහු අපේ කණ්ඩායමේ දුලාන් වේරලියද්ද සාමාජිකයාව වේදිකාවෙන් බස්සන්න කිව්වා. අපේ දුලාන්, සේනානායක වේරලියද්ද මහතාගේ ඥාති සහෝදරියකගේ පුතෙක්. (“දුලාන් මව් පාර්ශ්වයෙන් වේරලියද්ද නම භාවිත කරන්නේ. මම ඔහුගේ උප්පැන්නය දැකලා තියෙනවා. ඕනෑ නම් එහි පිටපතක් රසඳුනටත් දෙන්නම්” යයි සහතික කරමින්...) ‘ලියාරා’ කණ්ඩායමේ නායකයා ලෙස වරදක් නොමැතිව නිකරුණේ කාගේවත් ඕනෑ කමකට මගේ සාමාජිකයෙකුව වේදිකාවෙන් බස්සවා හෑල්ලුවක් කිරීමට මං එකඟ වෙන්නේ නැහැ. එම නිසා මම දුලාන්ව වේදිකාවෙන් බැස්සුවේ නැහැ.”


දුලාන් වේරලියද්ද
දුලාන් වේරලියද්ද

ඉන්පසු සේනානායක වේරලියද්ද වේදිකාවට නැගී ගීත ගායනා කළා ද...?

“නැහැ, නැහැ. ඇඟිල්ල දික් කරලා - ‘ප්‍රසන්න , අරයාව (දුලාන් ව) බස්සන්න. එයා ඉන්නවා නම් මම සින්දු කියන්නේ නැහැ’ කියලා තර්ජනාත්මකව පැවසුවා. ඒත් මට මගේ සාමාජිකයාගෙන් සිදු වූ වරදක් නොමැතිව ඔහු වේදිකාවෙන් ඉවත් කරන්න බැහැ. මම මගේ ස්ථාවරය වෙනස් කළේ නැහැ. සේනානායක වේරලියද්දත් ඔහුගේ මතයේම උන්නා දුලාන්ව වේදිකාවෙන් බස්සන්නේ නැත්නම් එදා ප්‍රසංගයේ ගී ගයන්නේ නැහැ කියලා.”

ප්‍රසංගය සංවිධානය කළ ජාතික රූපවාහිනියේ නිලධාරීන් මෙම කාරණයේ දී මැදිහත් වුණේ නැද්ද...?

ඔවුනුත් මෙයට මැදිහත් වුණා. අවසානයේ දී ඔවුනුත් තේරුම් ගත්තා හරි වැරැද්ද. දුලාන් ඔහුගේ නමට ‘වේරලියද්ද’ නම භාවිත කිරීම වැරැද්දක් ලෙසයි සේනානායක වේරලියද්ද හිතන්නේ. එය හරිම විහිළුවක්. පුද්ගලයකුගේ නමක් තවත් පුද්ගලයකුට තිබීම සහ එය භාවිත කිරීම වරදක් වෙන්නේ කොහොම ද? මේ සිද්ධිය වෙද්දී එතැන උන්නු සියලුම දෙනා සේනානායක වේරලියද්ද කළ අයුතු යෝජනාව හා ඉල්ලීම ගැනත් ඔහුගේ තර්ජනාත්මක ස්වභාවය ගැනත් කලකිරීමෙන් අදහස් ප්‍රකාශ කරන්න වුණාම ගීත ගයන්නේ නැතුවම ඔහු ආපහු හැරී ගියා.”

මීට පෙරදීත් සේනානායක වේරලියද්ද මේ අයුරින් ඔබේ සාමාජිකයාට (දුලාන් ට) විරුද්ධත්වය ප්‍රකාශ කර තිබෙනවා ද...?

“ඔව්. ‘ප්‍රසන්න ඔයා මූව (දුලාන් ව) ලියාරා එකේ තියාගෙන ඉන්න හින්දානේ මූ දඟලන්නේ. මූව තියා ගන්නවා නම් මං ඔයාලාත් (ලියාරාත්) එක්ක සින්දු කියන් නෑ’ කියා සේනානායක වේරලියද්ද මට පැහැදිලිව පවසා තියෙනවා. මට මතක හැටියට අවුරුදු තුනකට ඉස්සෙල්ලා කටුගස්තොට දී පැවැති අපි සංගීතවත් කරපු මහපොළ ගීත ප්‍රසංගයක දී තමයි ඔහු දුලාන්ව බැස්සුවේ නැහැ කියලා ගීත නොගයා ආපහු ගිය පළමු වතාවට (ලියාරා) අපි මුහුණ දුන්නේ. අපි තුන් හිතකින් වත් හිතුවේ නැහැ මෙතරම් ප්‍රවීණ කලාකරුවෙක් තමන්ගේම ඥාතියකුත් වෙන නැගී එන දක්ෂතාව තියෙන අහිංසක තරුණ ශිල්පියකුට වරදක් නැතුව හිරිහැර කරයි කියා. දැන් මාසෙකට පමණ ඉස්සෙල්ලා දුලාන්ගේ ගෙදරට ආව මැර කණ්ඩායමක් දුලාන්ට ගහන්න ඇවිත් ඔහුගේ තාත්තාට ගහලා රෝගීව රෝහලෙත් උන්නා. එදා ආපු මැරයින් දුලාන්ගේ තාත්තාටයි අම්මාටයි තර්ජන කරලා - ‘වේරලියද්ද නමින් එන්න එපා’ කියලා. ඒ සම්බන්ධයෙන් හොරොව්පතාන පොලීසියේ පැමිණිල්ලකුත් කර තිබෙනවා.”

ඔබේ ‘ලියාරා’ සාමාජික දුලාන් සේනානායක වේරලියද්ද ගයන ගීත ගායනා කරමින් ඔහුගේ පුතෙකු ලෙස වැරැදි අවබෝධයක් ගීතලෝලීන්ට ලබා දීම පිළිබඳ සිය විරෝධය පළ කිරීමට වේරලියද්ද පියවර ගනිමින් සිටින බව ඔහු පවසා තිබෙනවා නේද...?

“ඒ සඳහා ගන්නා ක්‍රියා මාර්ගයක් ලෙස අපි ‘ලියාරා’ සංගීතවත් කරන ගීත ප්‍රසංග වල ගී නොගයා ඔහු ආපසු හැරී ගියාට නම් අපිට කමක් නැහැ. ඒත් අපිට තර්ජනය කරමින් අපේ සාමාජිකත්වයට (දුලාන් ට) සහ ඒ පවුලේ දෙමවුපියන්ට හිරිහැර කරමින් කරගෙන යන වැඩ පිළිවෙළ මානුෂික නැහැනේ. මට සහතික වශයෙන් පවසන්න පුළුවන් අපේ ‘ලියාරා දුලාන්’ කවදාවත්ම තමන් සේනානායක වේරලියද්දගේ පුතෙකු කියා හඳුන්වාගෙන නැහැ. එමෙන්ම සේනානායක වේරලියද්දගෙන් විරුද්ධත්වය ප්‍රකාශ වීමත් සමඟම අපි ඔහුගේ ගීත ගායනා කිරීම නවතා දමා දුලාන්ගේම කියා ‘වීනස් දෙව්දුව’ සහ ‘ඔබ මැව්ව රන්පාට’ වැනි ගීත නිර්මාණය කළා. එම ගීත දැන් ජනප්‍රියත්වයට පත්වෙමින් තිබෙනවා. අපිට මොන තර්ජන හිරිහැර කළත් විනයානුකූලව අපේ සාමාජිකයින් කටයුතු කර තිබෙනවා. එසේම කණ්ඩායමක් වශයෙන් අපි එකමුතුව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.”

ප්‍රසන්න ගුණසේකර (ලියාරා නායක )

ඉදිරියේ දී සේනානායක වේරලියද්දට ප්‍රසංග වේදිකාවේ ගී ගායනයේ දී ‘ලියාරා’ සංගීතය නොසපයන්න තීරණය කළ බවට පැතිරෙන ආරංචිය ඇත්තක් ද...?


“අපි ‘ලියාරා’ මේ තර්ජන හා හිරිහැර අවුරුදු දෙක තුනක්ම විඳ දරාගෙන ඉඳලා දැන් ඉතින් තවදුරටත් ඉවසන්න අසීරු හින්දාමයි මේ තීරණය ගත්තේ. පසුගිය 19 වැනිදා කැකිරාවේ සේනපුර දී සහ 20 වැනිදා ගල්නෑව මහවැලි ක්‍රීඩාංගණයේ දී පැවැති ප්‍රසංගවල දී අපි ‘ලියාරා’ සේනානායක වේරලියද්දට සංගීතය සපයන්නේ නැති ප්‍රතිපත්තිය ගජබා රෙජිමේන්තුවට මෙන්ම උතුරු මැද පළාත් මහ ඇමැතිතුමාට දැනුම් දුන්නා. ඒ අනුව මින්පසු ‘ලියාරා’ අපි සේනානායක වේරලියද්දට ගී ගායනය සඳහා කිසිම ගීත ප්‍රසංගයක දී සංගීතය සපයන්නේ නැහැ. ‘ලියාරා’ අපිත් වැඩක් කරගෙන ඉදිරියට එන band එකක්. අපි ප්‍රවීණයින්ට ගරු කරනවා. ඒත් නිකරුණේ වරදක් නොමැතිව අහිංසක තවත් කලාකරුවකුට තර්ජන සහ හිරිහැර කරන ප්‍රවීණයින්ට ප්‍රසංග වේදිකාවක වුවද සංගීතයෙන් දායක වී අපේ මනුස්සකම්, ප්‍රතිපත්ති හෑල්ලු කරගන්න අපි සූදානම් නැහැ. එවැනි කලාකරුවන් කවුරුන් වුව ද ඔවුන්ට විරෝධය පළ කිරීමක් වශයෙන් ‘ලියාරා’ අපි දිගටම මේ ප්‍රතිපත්තිය රකිනවා.”

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery