facebook page

Powered by Blogger.

Blogger templates


පුංචි තිරයේ ආකර්ෂණීයම පෙම්වතා ලෙස මේ දිනවල කාගේත් කතා බහට ලක්වෙන විශ්ව කොඩිකාර ‘චායා’, ‘කෝරලේ මහත්තයා’ ඇතුළු ටෙලිනාට්‍ය රැසක් හරහා ප්‍රේක්ෂකයන් හමුවට පැමිණෙයි. දක්ෂතාවයත් සුන්දරත්වයත් කැටිකොට ගෙන සිය රංග කුසලතා එළිදක්වන විශ්ව පසුගිය දිනෙක විවාහ දිවියට ඇතුළත් වුණා. විශ්වගේ අත ගත්තේ එරන්දියි. විශ්වගේත් එරන්දිගේත් යුග දිවියේ නවතම තොරතුරු දැන ගන්නට අපි විශ්වට කතා කළා.

ඔබේ අලුත් ජීවිතය කොහොමද?

“අලුත් ජීවිතය ගොඩාක් හොඳයි. පහුගිය අවුරුදු සමයේ පවුලේ හැමදෙනාම එක්ක මමත් එරන්දිත් අවුරුදු සැමරුවා. ඒ වගේ ම අපේ පවුලේ හැමදෙනාම එකතුවෙලා ත්‍රිකුණාමලය පැත්තේ පුංචි සවාරියකුත් ගියා. හරිම විනෝදෙන් කාලය ගත වුණා.”

මේ දවස්වල කලා කටයුතු කොහොමද?

“මේ දවස්වල රන්මිහිතැන්නේ ‘කෝරලේ මහත්තයා - 3’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වල නියැළෙනවා. මගේ බිරියත් මගේ පියාත් හැම දෙනාම වගේ මේ දවස්වල රන්මිහිතැන්නේ තමයි ඉන්නේ.”

අලුත ගෙනා මනමාලිව හැමතැනම අරගෙන යනවා වගේ?

“නෑ. නෑ. එහෙම නැහැ. මම යන හැම තැනම එරන්දිව එක්කගෙන යන්නෙ නැහැ. විශේෂයෙන් ම ඇය රන්මිහිතැන්නට ඇවිත් ඉන්නේ ‘කෝරලේ මහත්තයා - 3’ ටෙලිනාට්‍යයේ රූගත කිරීම්වලට මගේ පියාට සහාය වෙන්නයි. ටෙලිනාට්‍යයේ ෂෙඩුල්ස් වලට එරන්දිගෙන් ලැබෙන සහාය විශාලයි.”

ඒ ඇරෙන්න වෙනත් කලා කටයුතු එහෙම කොහොමද?

“පොලොන්නරුව ප්‍රදේශයේ රූගත කිරීමට නියමිත අලුත් ම ටෙලිනාට්‍යයකට දායක වෙන්නට නියමිතයි. එහි නම ‘කාල'. කලා වැවේ ගොඩනැඟීම ආශ්‍රිතව කියවෙන සුන්දර කතාවක් එය. ඒ වගේ ම මම දායක වූ ජනතාව අතර ජනප්‍රියතම ටෙලිනාට්‍යයක් වන ‘චායා’ රූගත කිරීම් නිම කළා. කොහොම නමුත් ලබන ජුනි මාසය මැද විතර වෙනකම්ම ටෙලි නාට්‍ය නිර්මාණත් එක්ක මම කාර්ය බහුලයි.”

ඔ‍ෙබ මේ කාර්ය බහුලත්වය එරන්දිට ප්‍රශ්නයක් වෙලා නැද්ද?

“කිසිම කරදරයක් නැහැ. මගේ කලා ජීවිතය එරන්දි හොඳින්ම තේරුම් අරගෙනයි ඉන්නේ. ඇත්තටම ‍මේ දවස්වල මම ඇයව ටෙලිනාට්‍ය දර්ශනතලවලට එක්ක ගෙන ඇවිත්ම මගේ කාර්යබහුලත්වය ගැන ඇය හොඳින්ම තේරුම් අරගෙන ඉන්නේ. ඒ නිසා කාර්ය බහුලත්වය කියන දේ අපේ ජීවිතවලට කරදරයක් වෙලා නැහැ තවම.”

යොවුන් නිළියන් සමඟ ඔබ රඟපානව දකින විට එරන්දිට තරහ යන්නෙ නැද්ද?

“ඇයගෙන් තමයි මට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙන්නේ. ම‍ෙග් ඇක්ටින් ගැන හොඳ නරක දෙකම ඇය පවසනවා. සහෝදර නිළියන් සමඟ රංගනයේ යෙදෙන විට ඇයට තරහක් එන්නේ නැහැ. මොකද එය රංගනයක් පමණයි කියන දේ ඇය හොඳින් ම දන්නවා.”

ඔබේ ජීවිතයට සුදුසුම සහකාරිය ලැබුණ කියල හිතෙනවද?

“මම හිතනවා මට අවංකවම සුදුසුම සහකාරිය ලැබුණා කියල. ඇය හැමවිටම මං ගැන හුඟාක් උනන්දු වෙනවා. විශේෂයෙන් ම මගේ රංගන ජීවිතය පිළිබඳව. එයා තමයි දැන් මට ලැබෙන තිර රචනා පවා කියවා බලා මේ චරිතය බාර ගන්න කියා යෝජනා කරන්නේ. ‘කාල’ ටෙලිනාට්‍යයත් එලෙස ඇය කියවා බලා ‘හොඳ වැඩක්’ එයට දායක වෙන්න කියලා කිව්වා. එනිසා එරන්දි ගොඩක් දුරට මං ගැන හිතන මගේ සිතුම් පැතුම් තේරුම් ගත් ආදරණීය බිරියක්. එනිසා ඇගෙන් මගේ සිතුම් පැතුම්වලට කිසිම බාධාවක් නෑ.”


ඔබ දෙදෙනා පදිංචිව සිටින්නේ මහනුවරම ද?

“ඔව් මගේ ගෙදර. මගේ අම්මත් තාත්තත් අපිත් එක්ක ඉන්නවා.”

කොළඹට එන්න අදහසක් නැද්ද?

“තවම එහෙම අදහසක් නම් නැහැ. පදිංචිව ඉන්නේ නුවරම තමයි. රූගත කිරීම් වලට සහභාගි වෙන විට කොළඹ නැවතී ඒ දේවල්වලට සහභාගි වෙලා නුවර යනවා. ඒ නිසා කොළඹ හිටියේ නෑ කියල කලා කටයුතුවලට ගැටලුවක් වෙලා නැහැ.”

විවාහ වූ අලුත බොහෝ නළු නිළියන් රට රටවල සංචාරයේ නිරත වෙනවා. ඔබේ එහෙම අදහසක් නැද්ද?

“එහෙම උවමනාවක් තිබුණෙ නැහැ. නමුත් එරන්දිගෙත් මගෙත් අදහසක් තිබෙනවා ඉදිරියේදි රටවල් කීපයකම සංචාරය කර අත්දැකීම් ලබන්න.”

ඔබේ පවුලට තුන්වැන්නෙක් කවදා එක්වෙයිද?

“දැනට නම් මුකුත්ම එවැනි අදහසක් මගෙත් එරන්දිගෙත් සිත් තුළ නැහැ. මොකද මේ කාලය තුළ අපි දෙන්නටම හුඟක් දේවල් ඉටුකරගන්න තියෙනවා. කවදා හරි අපට ලැබෙන දරු මල්ලන්ට දුකක් නැති ජීවිතයක් උරුම කර දෙන්නට අපි දෙන්නා තව ටික කාලයක් වෙහෙසිය යුතුයි. තව අවුරුදු කීපයක් ජීවිතේ සුන්දරව ගත කරලා රට රටවල ඇවිදලා ඉන්පසුව තමයි ඒ ගැන හිතන්නේ.

නිවාඩු පාඩු වේලාවට ඔබ දෙදෙනා රසවත් කෑම බීම හදනවා කියලා ආරංචියි?

“එරන්දිත් කෑම හදන්න හරිම දක්ෂයි. මම හදන කෑම කන්න එයා හරි කැමැතියි. ඒ වෙලාවට මට ලොකු සහයෝගයක් දෙනවා. නූඩ්ල්ස්, ඩෙවල් වර්ග මට රසට හදන්න පුළුවන්.”

ජීවිතේ ගැන මොකද හිතෙන්නේ?

“ජීවිතේ හුඟාක් සුන්දරයි. ගොඩක් බාධා හමුවෙනවා. ඒ හැමදේම හඳුනාගෙන නිවැරැදිව ගෙනයන්න ඕන දෙයක් තමයි ජීවිතය.”

රඟපෑමෙන් පමණක් අද පවුල් ජීවිතයක් නඩත්තු කර ගන්න පුළුවන් ද?

“මගේ ලොකු අරමුණක් නැහැ අසීමිතව මුදල් උපයන්න. එදිනෙදා ජීවිතේ ගෙවන්න යම් මුදලක් තිබුණොත් ඇති. එනිසා රංගනයට අමතරව වෙනත් ව්‍යාපාරවල නියැළී මුදල් උපයා ගැනීමේ අදහසක් මට තවම නැහැ.”

ඔබේ බිරිය එරන්දි ව්‍යාපාරයක් අරඹන්න ආසාවෙන් ඉන්න බව දැන ගන්න ලැබුණා?

“ඔව්. ඇය ගේ කැමැත්තක් තිබෙනවා ව්‍යාපාර ක්ෂේත්‍රයට. විශේෂයෙන්ම ඇඟලුම් ව්‍යාපාරයක් කිරීමේ බලාපොරොත්තුවක් ඇයට තිබෙනවා.

වර්තමානයේ ජනප්‍රිය කලාකරුවන්ට විවිධ කටකතා ඇතිවෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක් ද?

“කටකතා කියන දේ අද කලා ක්ෂේත්‍රයේ සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා. ඔවුන්ට උස් පහත් භේදයකින් තොරව වයස් භේදයකින් තොරව කටකතා හැදෙනවා. මම හිතන්නේ මේ දේවල් අපි වැඩිය ඔළුවට නොගෙන සිටීමයි වැදගත් වෙන්නේ.”

අද කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය නළු නිළියන් ගේ විවාහ ජීවිතවලට ආයුස අඩුයි නේද?

“විවාහ වුණු පසු ඕනෑම පවුලක ප්‍රශ්න ඇති වෙනවා. එහෙම ඇති වුණේ නැහැ කියලා කියනවා නම් ඒක අමූලික බොරුවක්. සමහරු කියනවා අපි අවුරුදු 20 ක් 30 ක් කිසිම ප්‍රශ්නයක් නැතිව විවාහ ජීවිතය ගත කළා කියලා. එහෙම කියනවා නම් ඒකත් බොරු.

මගේ බිරියට වුණත් අපි විවාහ වූ දිනවල මගේ රඟපෑම් ගැන යම් යම් ප්‍රශ්න තිබුණා. නමුත් මම හැමදේම ඇයව රූගත කරන තැන්වලට ගිහින් ඇයට පෙන්වා තේරුම් කර දුන්නා. මොකද එරන්දි රඟපෑම් ගැන කිසිවක් දන්නෙ නැහැ.

එතැන සිදුවන කාර්ය භාරය ගැන ඇයට වැටහීමක් නැහැ. විවාහ වන විට ඇය මගේ හොඳම රසිකාවියක්. ඉතින් විවාහ ජීවිතයේ දී අන්‍යෝන්‍ය විශ්වාසය වගේ ම තේරුම් ගැනීම ඉතාම වැදගත්. ප්‍රශ්නයක් ආවාම ඒවා කතාබහ කරලා තේරුම් අරගෙන විසඳා ගැනීම තමයි වැදගත්.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery