facebook page

Powered by Blogger.

Blogger templates



බෙන්තර, ඇල්පිටිය ඇතුළු ගාලු දිසාවේ ජනතාව මට ඡන්දය දී පත්කර ගත්තේමා නිළියක් වූ නිසා නොවේ. වැඩ කළ හැකි දක්ෂ ගැහැනියක් බව ඔවුන් දන්නා නිසයි. දකුණු පළාත් සභාවට තේරීපත්ව සිටින එකම කාන්තාව වන ගීතා කුමාරසිංහ මහත්මිය ලක්බිමට පැවැසුවාය. ඇය මෙසේද කීවාය.

මට විශාල වැඩ කොටසක් කිරීමට තිබෙනවා. මෙය මගේ රඟපෑමක් නොවේ. ගමේ ගොඩේ දහදුක් විඳින ගැහැනුන් වගේම මටත් දුක් කරදර දරාගෙන වැඩ කළ හැකියි. ප්‍රා. සභාවකවත් නොසිට මා දැනටත් වැඩ රැසක් කර තිබෙනවා. මගේ ඥාතීන්ට, හිතවතුන්ට, හොඳ යහපත් හෙට දිනක් උදාකර දීම මගේ අරමුණයි. ගාල්ලට, දකුණට පමණක් නොව රටේම සමස්ත කතුන්ට සේවාවක් කිරීමට මා දැනටත් සැලසුම් කරලා.


මේක මගේ ජයක් පමණක් නොවේ. මුළු කාන්තා පරපුරේම ජයක්. බෙන්තර, ඇල්පිටිය ජනතාවගේත් ජයක්. කාන්තාවන් පිරිමින්ගේ මනදොළ සපුරන වෙළෙඳ භාණ්ඩයක් බවට පත්වීම කනගාටුවට කරුණක්. කතුන්ට සිදුවන අතවර පිළිබඳව නීතිය හසුරුවන නිල දරුවන්ට දේශපාලනඥයන් හරස්වීම වැරදියි.


බෙන්තර, ඇල්පිටිය ඉහළ ප්‍රතිශතයකින් දිනාගැනීමට මට අපහසුවක් වුණේ නෑ. මේ අසුනට සන්ධානයෙන් තරග කළ සිව් දෙනෙකු අතරින් දිනුවේ මා පමණයි. මෙහි කූඩුවල බිත්තර දැමූ පිටස්තර කොවුළන් දෙතුන් දෙනෙකුට නිසි පාඩම් ඉගෙන ගත හැකි වුණා. දකුණට තරග කළ අනෙක් නිළියන්ට අත්වූ ඉරණම ගැන කනගාටුයි. ඒ නිළියන් මත්කඩු, මත්ද්‍රව්‍ය හා විෂමාධාර ක්‍රියාවන්ට සම්බන්ධ අය නොවෙයි. එහෙත් ජනතා මනාපයට ගරු කළ යුතුයි.


පළාත් සභාව සුදු අලියෙක් නොකොට හොඳ අලියෙක් කළ යුතුයි. නිකම්ම පළා බබෙක් වීමට මා කැමති නැහැ. ගාලු දිසාවේ ප්‍රතිවාදීන් මෙන්ම අපේම සන්ධානයේ අයත් මැතිවරණ සමයේ මට බැඳගෙන ගැහුවේ සංවිධානාත්මකවයි. මට කිසි ආරක්ෂකයෙක් සිටියේ නෑ. ගමේ ජනතාව සමග රෑ දොළහටත් ආසනය පුරා යාමට මට සිදුවුණා. ගාලු දිසාවෙන් තරග කළ එකම කාන්තාව මා පමණයි. එසේම මම මැතිවරණ නීතිරීති කැඩුවේ නැහැ.


දකුණේදී සන්ධානයේ ඡන්ද පදනම අඩුවීමට මේ ප්‍රාදේශීය දේශපාලනඥයන්ට එල්ලවූ ලිංගික අපචාර, දූෂණ, චෝදනාද තරමකට බලපෑවා විය හැකියි. කවුරු දකුණේ මහ ඇමැති වුවත්, දූෂණය, වංචාව, නාස්තිය, මහජන මුදලින් තම ප්‍රතිරූප ඉස්මතු කිරීම වැරදියි. ඒවාට එරෙහි වීම මගේ ප්‍රතිපත්තියයි. මත්ද්‍රව්‍ය හා මත්කුඩුවලටද මගේ සහයක් නෑ. ගෘහස්ත හා සමාජමය හිංසනයන්ගෙන් කතුන්ට සහනයක් ලබා දිය යුතුයි.


දේශපාලනයේ නියැළෙන්නන්ගේ නිවෙස් පැය විසිහතර පුරාම ජනතාවට විවෘත විය යුතුය. යනෙන ජනතාවට කෑමබිම සපයා දිය යුතුයි. පාවහන් ගලවා නිවෙසට ඇතුළු වීම වැනි දෑ පැනවීම නොවටී. මෙවැනි ගුණාංගයන් දේශපාලනඥයන්ට ඇත්නම් අනේ‍යාන්‍ය සබඳතා වර්ධනය කරගත හැකියි. බොරුවට ජනතාවගේ හද ගැහෙනා රාවය හඳුනනවා යැයි කීමෙන් පමණක් පළක් නැහැ.


අපේකම, සභ්‍යත්වය, සංස්කෘතිය පැරණි බෞද්ධ වෙහෙර විහාර රැකගත යුතයිය. බෞද්ධ හිමිවරුන්ට ගරු කළ යුතුයි. අයුක්තියට, අසාධාරණයට එරෙහිව පළාත් සභාවේ හඬක් නංවමින්, බෙන්තර, ඇල්පිටිය සංවර්ධනයකොට ජනතා කතිරයට වැඩි වටිනාකමක් ලබාදී ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීම මගේ දේශපාලනයේ මූලික අරුත වන්නේ යැයි කුමාරසිංහ මහත්මිය කීවාය.






ඇම්.පී. මුනිදාස - ඉඳුරුව

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery