විස්සයි20 ලෝක කුසලාන ජයග්‍රහණයේ නියමුවා වූ සුපිරි පිතිකරු කුමාර් සංගක්කාරට මෙවර එංගලන්ත පළමු කොටසේ ප්‍රාන්ත තරගාවලියේ දී ඩර්හැම් ප්‍රාන්ත පිල වෙනුවෙන් තරග කීපයකට සහභාගිවීමට ආරාධනාවක් ලැබී ඇත.
ශ්‍රී ලංකා පිලේ එළැඹෙන එංගලන්ත සංචාරය සඳහා පෙර සූදානමක් ලෙස එම ආරාධනය සංගක්කාර පිළිගෙන ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
මෙවර ප්‍රාන්ත තරගාවලියේ තරග කීපයකට සහභාගිවීමට තම කණ්ඩායමේ කළමනාකාරිත්වය සංගක්කාරට ආරාධනා කළ බවත්, ඔහු වැනි විශිෂ්ට පිතිකරුවකුගේ සේවය තම පිලට ලබාගතහැකිවීම අතිශය වැදගත් වනු ඇති බවත් ඩර්හැම් ප්‍රාන්ත පිලේ පුහුණුකරු ජෝන් ලුවිස් බී.බී.සී.පුවත් සේවයට ඊයේ පැවැසීය.
කෙසේවෙතත් සංගක්කාරගේ පැමිණීම තවම තහවුරු වී නොමැති බවත් ඔහු කීවේය.මෙවර එංගලන්ත ප්‍රාන්ත තරගවාරය සඳහා ඩර්හැම් ප්‍රාන්ත පිල නියෝජනය කරන විදෙස් ක්‍රීඩකයා වන්නේ ඔස්ට්‍රේලියානු වේගපන්දු යවන ක්‍රීඩක ජෝන් හැස්ටින්ය.
ඔහු ලබන මැයි මස අගදී හෝ ජූනි මස මුල දී ඩර්හැම් ප්‍රාන්ත පිලට එක්වනු ඇති බවත් ඒ වනතුරු සංගක්කාර තම කණ්ඩායමේ විදෙස් ක්‍රීඩකයා ලෙස කටයුතු කරනු ඇති බවත් ලුවිස් වැඩි දුරටත් සඳහන් කළේය.
ඒ අනුව සංගක්කාරට ශ්‍රී ලංකාව හා අයර්ලන්තය අතර පැවැත්වෙන එක්දින තරග දෙක අහිමිවීමට ඉඩ ඇති අතර ඔහු මැයි 22 දා එංගලන්තය සමග පැවැත්වෙන පළමු එක්දින තරගයේ දී නැවත කණ්ඩායමට එක්වනු ඇත.