මං නළුවෙක්... හැබැයි
ඉන්දියාවේ නෙමෙයි
ශ්‍රී ලංකාවේ - අපොන්සු
තරු යැයි කියද්දී අපට මතක් වන විවිධ තරු ඇත. අහසේ පායන තරුවලට
අමතරව ක්‍රීඩා ලෝකයේ තරු, කලා ලොවේ තරු ඒ අතර විශේෂයි. ඒ කෙසේ නමුත් අද එක්වුණේ තරුවක් විකිණීමට
යන තරුවක්. රංග, ප්‍රසංග, මනහර
භූමිකාවන් සමඟ “තරුව විකිණේ” නාට්‍ය
සමඟින් වේදිකාවට ගොඩවන ඒ තරුව ජයසේකර අපොන්සුය. මේ ඔහු සමඟ කළ කතාබහකි.
තරු ගැන නම් බොහෝ කතා තිබෙනවා. ඒ
අතරින් මේ කරළියට ගොඩවන්නේ මගේ අලුත්ම වේදිකා නාට්‍ය නිර්මාණය “තරුව විකිණේ” මේ මස 26 වැනිදා සවස 6.30 ට ලුම්බිණි රඟහලේදී තරුව විකිණේ රංගගත වනවා. සියලු ප්‍රේක්ෂකයන්ට ඉතා
ආදරයෙන් ආරාධනා කරනවා එදිනට පැමිණ මේ නාට්‍ය නරඹලා අලුත් අත්දැකීමක් විඳින්න
කියලා.
* කොහොමද
තරුවක් විකුණන්නේ?
මෙහෙමයි. මෙහි කතා තේමාව වන්නේ අපේ
භූමියේ ඉපදුන රංගධරයකුගේ ශෝචනීය ඉරණම. අද සමාජය තරු දකින්නේ අහසේම නොවෙයි. කලා
ලොවෙත් තරු දිලෙනවා. එහෙම දිලුන තරුවක් අවසානයේ කාටත් හොරෙන් නිවී ගිය හැටි, නිවී ගිය තරුවේ වටිනාකම
සමාජයට පසුව දැනුණ හැටියි මෙහි කතාවෙන් පවසන්න මම උත්සාහ කරන්නේ. අද සමාජය නැවත
ගමන් කරන්නේ වනචාරී යුගයට. යහගුණයෙන් පිරි, මිනිස්කම
පිරුණු සමාජය කොටු පවුර පැන ආයිත් වනචාරි යුගයට ගමන් කරනවා.
අතීතය වර්තමානයට පෙරළිලා. එවැනි
වටපිටාවන් තුළ කලාව දැනෙන්නේ නැති අසංවේදී මිනිසුන් විසින් සැබෑ කලාකරුවකුට කරන
අසාධාරණය මේ නාට්‍ය තුළ ගැබ්වී තිබෙනවා. කලාව රට වෙනුවෙන්ම සිය ජීවිතය කැප කළ
අවසානයේ ඉතාම අවාසනාවන්ත ලෙස ජීවිතයෙන් සමුගන්නා ජීවත්ව සිටියදී කාටත් අමතක වූ
මරණයෙන් පසු හැමෝම සිහිපත් කරන රංගධරයකුගේ කථා පුවත තරුව විකිණේ කතාවට මූලික
තේමාවයි.
මම වේදිකාවෙන් ආව මිනිහෙක්.
වේදිකාව කියන්නේ මගේ ජීවිතේ වගේ. සිනමාව,
රූපවාහිනියට වඩා මගේ වැඩිපුර ඇල්ම තිබෙන්නේ වේදිකාවට. අලුත්ම
නාට්‍යයක් කරන්න දැඩි කැමැත්තක් තිබුණත් පිටපත හරියාකාරව රචනා නොවූ නිසා වසරෙන්
වසර එය කල් ගියා. මාගේ ජීවිතයේ ලබපු අත්දැකීම්
නිසාම මේ වස්තු බීජය මගේ හිතේ පුපුරා ගියා. මම සෞන්දර්ය විඳින කෙනෙක්.
ටී. වී. එකට හුරු නැති මේ දෑස්
අඳුරේ අහසේ පායන තාරකා වගේම සැඳෑ අහසේ බැස යන හිරුගේ ඡායාව ලතාවකට සෙළවෙන ගස්වල
අතු සමඟ ඇදී එන සිනිඳු සුළඟේ පහස වින්දා. දිනක් රැයක අහසේ සිටි තාරකාවක් තරුව
විකිණේ තේමාව නාට්‍යය පිටපතක් ලෙස ලියන්න මට බලකළා. එතැන් සිට තරුව විකිණේ ලිවීම
මම ආරම්භ කළා. මේ කථාව ලියද්දී මට දැනුණ කම්පනය ප්‍රේක්ෂක ඔබට දැනෙන්නේ නම් තරුව
විකිණේ සාර්ථක නිර්මාණයක් කියලා මට සතුටුවෙන්න පුළුවන්.
* මෙකී තේමාවට
ඔබේ ජීවිත අත්දැකීම් එක් වී තිබෙනවා ද?
මගේ කලා ජීවිතේ අතීතයේ සිට මේ
දක්වා සිදු වූ සියල්ල කැටි වූ නාට්‍යයක් මෙය. නළුවෙක් කියන්නේ හරි සුන්දර
මිනිසෙක්. නළුවාට විතරයි මුළු සමස්ත ප්‍රජාවම නියෝජනය කරන්න පුළුවන්. කලාකරුවා
කියන සොඳුරු පුද්ගලයාට ඇතැම් විට ලැබෙන්නේ කටුක අත්දැකීම්. ඒත් සැබෑ කලාකරුවාගේ
හිතේ දුකක් නැහැ. ඔහු කවදාවත් කලාව දාලා යන්නේ නැහැ. නළුවකු ලෙස මා දුටු ඒ යථාර්ථය
තරුව විකිණේ නාට්‍යයට මම එක්කළා.
* ඒ කියන්නේ
ඔබ මේ නාට්‍යයෙන් ප්‍රේක්ෂකයාට හඟවන්න උත්සාහ කරන්නේ ඔබේ ජීවිත අන්දරය ද?
මම මෙයින් නියෝජනය කරන්නේ මා වගේම
කලා ලොවේ කටුක යථාර්ථයට මුහුණ දුන් රංගන
ශිල්පීන්ව.
කෙටියෙන්ම මම කියන්නම්. මේ නාට්‍යය
පිටපත රචනා කරද්දී ඔබ සැම සිනහා සාගරයේ ගිල්වා හාස්‍යයෙන් හුස්ම හිරකරන්න මම
හිතුවේ නැහැ. හාස්‍ය තිබිය යුතු තැනට හාස්‍ය එක්කරනවා. ඒත් මේ නාට්‍යයේ හාස්‍ය
නැහැ. තිබෙන්නේ සිනහව පමණයි. ඒ තමන් ගැන තමන්ටම ඇතිවන සිනහව.
* ඔබේ ප්‍රථම
සිනමා නිර්මාණය “සීතා මං ආවා” ආව
ගමන්ම ගියා.... නැවත සිනමා නිර්මාණයක් කරන්නේ නැද්ද?
අනිවාර්යයෙන්ම කරනවා. සීතා මං ආවා
චිත්‍රපටයට බාධා රැසක් ආවා. ඒ වුණත් මම පසුබහින්නේ නැහැ. මට කලාව එපාකරවන්නත්
බැහැ. මගේ අලුත් චිත්‍රපටය තරු සොභා මේ දිනවල රූගත කරනවා. ඉදිරියේදී එය ප්‍රේක්ෂකයාට
දැකගන්න පුළුවන්.
* “තරුව විකිණේ”
හි චරිත ගැන කතා කළහොත්?
මෙහි චරිත 21 ක් ඇතුළත් වෙනවා. ඒත්
රඟපාන්නේ නවදෙනයි. මෙයත් පොඩි පර්යේෂණයක්. ලොකු පිරිසක් යෙදුවාම සංවිධානය කරන්න
අමාරුයි. ඒ නිසා එක් අයෙක් චරිත කිහිපයක් රඟපානවා. ගයාන් මාපලගම, ධර්මසේන දෙහිවල, එන්. සූරියබණ්ඩාර, තාරුකා අංජලී, පුෂ්පා ජෙනට්, සරත් විජේවර්ධන, ස්ටැනී ද සිල්වා, ගාමිණී කොස්තා ඇතුළු මම. අවසානයට මට කියන්න තිබෙන්නේ කැක්කුමට රට ගිය
නළුවෝ අප්‍රමාණයි... ඒත් පිටරටකට කොටුවෙලා පුස්නාම්බෙක් වෙන්ඩ මට බෑ. මටත් ඕන්නම්
තිබුණා පීසා හට් එකක, පැට්‍රල් ෂෙඩ් එහෙක නැත්නම් පණ අදින
සුද්දෙක්ගේ පිස් පෝච්චිය ඇදලා, ඩොලර්වලින් කොලර් අප්
කරගන්ඩ. ඒත් මං කලාකාරයෙක්. පිටරටකදී කවුද මගේ කලාව පිළිගන්නේ? කවුද මට අත්පොළසන් දෙන්නේ... මං නළුවෙක්... හැබැයි ඉන්දියාවේ නෙමෙයි,
ශ්‍රී ලංකාවේ.