කොටි වලසුන් පිරි වනය මැදින් දම්වැල්වල එල්ලී සිරිපා නැග්ග හැටි තවම මතකයි - කැම්පනේ ලොකු හාමුදුරුවෝ .
වාර්ෂික
සිරිපා වන්දනා සමය තුළදී ශ්‍රීපාද ස්ථානයේ පැවැත්වෙන තවත් සුවිශේෂී පින්කමක්
පසුගිය දිනවල නිමාවට පත් විය. ඒ ශ්‍රී පාද ස්ථානයේ මැදින් මහා පින්කමයි. වර්ෂයේ
පෙබරවාරි හා මාර්තු යන මාස දෙක සිරිපා වන්දනාවටද විශේෂිත කාල පරිච්ජේදයකි. මේ කාලය
සමන් දෙවි අඩවියේ වෙසෙන ජනතාව හඳුන්වන්නේ කොළඹ පළාතේ වන්දනා නඩ සිරිපා වන්දනාවේ
පැමිණෙන කාලය හැටියටය. ඒ අනුව ශ්‍රී පාද අඩවියේ පිහිටි කුඩා බුලත් විට කඩයේ පටන්
දැවැන්ත හෝටල් දක්වා වූ සියලුම වෙළෙඳසල්ද, විශ්‍රාමශාලාද,
මං මාවත්ද මැදින් මාසයේ දී බැතිමතුන්ගෙන් පිරී පවතී.
ශ්‍රී පාද වන්දනා වාරය තුළ දී මැදින් මාසය මේ ආකාරයෙන් උත්සවශ්‍රීයෙන් ඇලලීයන්නට පටන් ගෙන ඇත්තේ උඩමළුවේ මැදින් මහා පින්කම ඇරඹීමත් සමගය.
ඒ අදින් වසර 40කට පමණ පෙර ශ්‍රීපාද ස්ථානාධිපති පදවිය දැරූ මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමියන්ගේ පාලන සමයේ පටන්ය.
උඩමළුවේ බැතිමතුන් දහස් ගණනක් දෙනා පෙහෙවස් සමාදන් කරවීම, දාන, සීල, භාවනා සහ ධර්මදේශනා පින්කම් පැවැත්වීමද පසුදාට පහන් වනතුරු සර්ව රාත්‍රික පිරිත් දේශනාවක් පැවැත්වීමද උඩමළුවේ මැදින් පින්කමට අයත් අංගයෝ වෙති.
ලෝකයේ වෙනත් කිසිදු ආගමික ස්ථානයක සංවිධානය කරන උත්සවයකට හෝ පින්කමකට වඩා ශ්‍රීපාදස්ථානයේ පැවැත්වෙන මහා පින්කම සුවිශේෂත්වයක් ගනී. ඒ මුහුදු මට්ටමේ සිට අඩි දහස් ගණනක් ඉහළින් පැවැත්වෙන මේ පින්කම සංවිධානය කිරීම ඉතා දුෂ්කර කාර්යයක් වීමය. ශ්‍රී පාද උඩමළුවේ ඉඩ පහසුකම් අවම වීම, අධික සීතල ඇතුළු පාරිසරික ගැටලු, මහා සංඝරත්නය වැඩමවා ගැනීමේ අපහසුව, දානමාන සඳහා භාණ්ඩ ඉහළට රැගෙන යාමේ දුෂ්කරතාද මේ අතර ප්‍රධාන වේ.
ශ්‍රීපාදස්ථානයේ අදින් වසර තිහ හතළිහකට පමණ පෙර මේ පින්කම් සංවිධානය කර ඇත්තේ අදටත් වඩා අති දුෂ්කරතා රැසක් මධ්‍යයේය. උඩමළුවට ජලය, විදුලිය , ගමන් මාර්ග හා නවාතැන් පහසුකම් නොතිබූ යුගයේ මේ මහා පින්කම සංවිධානය කළ භික්ෂූන් වහන්සේ නමක් තවමත් සමන් දෙවි අඩවියේ වැඩ වසති. දැනට 101 වන වියේ පසුවන උන්වහන්සේ නම් කැම්පනේ බෝධිරුක්ඛාරාමාධිපති , කැම්පනේ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේය. නැතහොත් බොහෝ දෙනා හඳුන්වන පරිදි පහළ ගෙදර ලොකු හාමුදුරුවෝය.
රත්නපුර දිස්ත්‍රික්කයේ අති දුෂ්කර ග්‍රාමීය ප්‍රදේශයක් වූ කොළොන්න කෝරළයට අයත් කැම්පනේ බෝධිරුක්ඛාරාමාධිපතිව වැඩ වෙසෙන උන්වහන්සේ ශ්‍රීපාද උඩමළුවේ තේවාව හා ආගමික කටයුතු භාරව පුරා වසර 30ක කාලයක් කටයුතු කර තිබේ. එම කාලය තුළදී කැම්පනේ ලොකු හාමුදුරුවෝ උඩ මළුවේ දී අත් විඳි අසිරිමත් සිදුවීම් රැසකි. ජීවන ගමනේ 101 වැනි වියේ පසුවුවද එම රසබර අතීත මතකයන් අද ඊයේ සිදුවූ ඒවා මෙන් උන්වහන්සේට හොඳින් මතකය. ශ්‍රීපාදස්ථානයේ අතීත තොරතුරු පිළිබඳ කතාබහ කරන විට කැම්පනේ ලොකු හාමුදුරුවෝ ඒ මතකය අවදි කරන්නේ මහත් සතුටිනි.
“මම මුලින්ම සිරිපාදේ උඩමළුවේ තේවා කටයුතුවලට ගියේ 1963 අවුරුද්දේ. ඒ මොරොන්තුඩුවේ නායක හාමුදුරුවන්ගේ අවධියේදීයි. ඒ කාලේ අපි පනාමුරේ කැම්පනේ ඉඳලම ශ්‍රී පාදස්ථානයට ගියේ පයින්මයි. ගමනට දවස් හයක් විතර ගත වෙනවා. රජමහ පාර, නැත්නම් රත්නපුර පලාබද්දල පාරෙන් තමයි යන්නේ. ගල් මුල්වල එල්ලි එල්ලී යන ඒ ගමන හරිම දුෂ්කරයි. අද වගේ විශාල පිරිසක් එදා වන්දනාවේ ගියේ නැහැ. නඩයක් දෙකක් තමයි ගමනටම හම්බ වෙන්නේ. අලි කොටි වළසුන් වගේ වන සතුන් ශ්‍රී පාද අඩවියේ එදා සිටියා. විදුලිය, ගමන් පහසුකම් තිබුණේ නැහැ.
පන්දම්
පත්තු කරගෙන දම්වැල්වල එල්ලි එල්ලී ගිය ඒ ගමන ගැන අද
හිතෙන කොටත් හරිම පුදුමයි. උඩමළුවෙත් එහෙමයි. විශේෂ
ආලෝකයක් නැහැ. ජලය සෞඛ්‍ය පහසුකම් මොකුත් නැහැ. උඩමළුවේ දොළොස් මහේ පහන තිබුණා.
අපි ලැගුම්ගෙන හිටිය පුංචි කාමරේ ලන්තෑරුම් ලාම්පු පත්තු කරගෙනයි හිටියේ. උඩමළුවේ
වෙනත් නවාතැන් පහසුකම් තිබුණේ නැහැ. රාජකාරි කටයුතු සඳහා හාමුදුරුවරු තුන් නමක්
හිටියා. තව ගිහි පින්වතුන් හය දෙනෙක් හිටියා. හේවිසි වාදනය කරන තුන් හතර දෙනා
හිටියෙත් මළුවට පහළ කුඩා ගල් ගුහාවකයි. ඒ තරමටම ගොඩනැගිලි හිඟයක් තිබුණා මතකයි.”
මීට වසර 30කට එපිට කාලයේ දී ශ්‍රී පාද උඩමළුවට ජල පහසුකම් ද නොතිබූ අතර එම අවශ්‍යතා සඳහා වැසි ජලය එක් රැස් කළ යුතු විය. තවද පානීය ජලය සපයා ගත්තේ ආඩියාවලතැන්නේ සිට කරේ තියාගෙන යන කත් මගින් වතුර බැරල් කිහිපයක් උඩමළුවට ගෙන්වා ගනිමිනි. ශ්‍රී පාදස්ථානය වෙත පැමිණ ජල ගැටලුවට ස්ථිරසාර විසඳුමක් ලබා දී ඇත්තේ මොරොන්තුඩුවේ නා හිමියන්ය. ඒ උඩමළුවට ජලය පොම්ප කිරීමට නළ ළිඳක් ඉදිකරවීමෙනි. ඒ සඳහා එවකට රුපියල් ලක්ෂ හතරක් පමණ වැයවූ බවද කැම්පනේ හිමියන්ට මතකය.
අදින් වසර 30කට පමණ පෙරදී ශ්‍රී පාදස්ථානය වෙත ආහාර පාන වර්ග ඇතුළු භාණ්ඩ රැගෙන ගොස් ඇත්තේ මස්කෙළිය සමුපකාරයෙනි. ඉන් මෙපිට භාණ්ඩ මිලට ගැනීම සඳහා විධිමත් වෙළඳසලක් නොතිබූ බව කැම්පනේ ලොකු හාමුදුරුවන්ගේ මතකයේ රැඳී තිබේ.
හැටේ දශකයේ අග භාගයේ දී මැදින් පොහෝ දිනකට ආසන්න දිනකදී ශ්‍රී පාද අඩවියේ හැටන් මාර්ගය ආශ්‍රිතව විශාල ගින්නක් හට ගැනීම පිළිබඳ සිදුවීමද නා හිමියන්ට හොඳින් මතකය.
“ඒ ගින්න ඇතිවූ දවසේ මම තේවාව ඉවර වෙලා උඩමළුවේ තිබුණ එකම කාමරය වන අපේ ආවාසගෙට වෙලා හිටියා. හැටන් පාර ගිනි ගන්නවා කියන කෝලාහලය මළුව දෙසින් ඇසුණා. ඒ එක්කම මම හිටිය කාමරයත් මුළු උඩමළුවත් කළු දුමාරයකින් වැසී ගියා. මම එළියට ඇවිත් ශ්‍රී පාද පද්මය අසලට ගිහිං වැඳගෙන පිරිත් කිව්වා. ටික වේලාවකින් ගින්න නිවී ගිහින් තිබුණා. උඩමළුවට කිසිම හානියක් වුණේ නැහැ. හැබැයි හැටන් පාරේ වන්දනාවේ ආපු දෙන්නෙක්, ගින්නට කොටු වී මියගිහින් තිබුණ බව දැන ගන්න ලැබුණා.”
මෙයට අමතරව ශ්‍රී පාද කඳුවැටියට අයත් සප්ත කන්‍යා කඳුවැටියේ මගීන් රැගත් ගුවන් යානයක් හැපීමෙන් සිදුවූ ගුවන් යානා අනතුර පිළිබඳ සිදුවීම් පෙළද කැම්පනේ ලොකු හාමුදුරුවන්ට හොඳින් මතකය. ඒ සිදුවීම සිහිවීම පිණිස උන්වහන්සේ සන්තකව අපූරු සිහිවටනයක් අදද ඉතා සුරක්ෂිතව පවතී. ඒ අනතුරට ලක් වූ ගුවන් යානයට අයත් වූ කුඩා දැති රෝදයකි.
වර්ෂ 1963 දී ශ්‍රී පාද උඩමළුවේ ආගමික කෘත්‍යාධිකාරී ධුරයට පත් වූ කැම්පනේ ප්‍රේමරතන ස්වාමීන් වහන්සේ වර්ෂ 1993 දක්වා පුරා වසර තිහක කාලයක් අඛණ්ඩව එම කාර්යය ඉතා ගෞරවයෙන් හා භක්තියෙන් ඉටු කළ බව අදටත් සිහිපත් කරන්නේ මහත් වූ භක්තිය මුසු සතුටකිනි. උන්වහන්සේ මොරොන්තුඩුවේ නාහිමිගේ සිට බටුගෙදර යසස්සී නාහිමි, හඳපාන්ගොඩ විමල නාහිමි යන ශ්‍රී පාද ස්ථානාධිපතිවරුන් තිදෙනෙකුගේ පාලන කාලය තුළ උඩමළුවේ රාජකාරි ඉටු කර තිබේ.
ශ්‍රී පාදස්ථානයට ඉමහත් දියුණුවක් උදා කළ මොරොන්තුඩුවේ නාහිමියන් තම පාලන කාලය තුළදී උඩමළුවට වැඩම කර ඇත්තේ එකම එක වතාවකි. ඒද පුද්ගලයන් හත් අට දෙනෙකු කර තබාගත් විශේෂ දෝලාවකින් බවත් කැම්පනේ නාහිමියෝ පවසති. මෙසේ එක් වතාවක් පමණක් උඩමළුවට වැඩම කළ මොරොන්තුඩුවේ නාහිමියන් දැඩි සීතල හා කෝඩය නිසා ඉක්මනින්ම නැවත නල්ලතන්නිය වෙත වැඩම කරවා තිබේ. ශ්‍රී පාද නාහිමියන්ගේ එම ගමනින් පසු උඩමළුවේ රාජකාරිකරුවන්ගේ මාසික වැටුප රුපියල් 150/⋆ සිට 300 දක්වා ඉහළ දැමූ බවද පැවැසේ.
වර්තමානයේ සබරගමුව පළාතේ පමණක් නොව සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ වැඩවසන වයෝවෘද්ධතම භික්ෂුන් වහන්සේ නමක වන කැම්පනේ ප්‍රේමරතන ලොකු හාමුදුරුවන් වහන්සේ මීට වසර කිහිපයකට පෙර තවත් සුවිශේෂී අවස්ථාවකට සහභාගි වීමටද වාසනාවන්ත වූහ. ඒ අභිනව ශ්‍රී පාදස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමියන් වහන්සේ තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීම සඳහා සහභාගි වීමයි. වත්මන් ශ්‍රී පාද ස්ථානාධිපති බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේ පත්කර ගැනීම සඳහා මුලින්ම ඡන්දය ප්‍රකාශ කිරීමට වරම් ලැබූ කැම්පනේ ප්‍රේමරතන ලොකු හාමුදුරුවෝ ශ්‍රී පාද ස්ථානාධිපති නාහිමිවරුන් සිව් දෙනෙකුම පත් කිරීම සඳහා ඡන්ද ප්‍රකාශ කළ එකම භික්ෂූන් වහන්සේ ලෙසින්ද ඉතිහාසයට එක් වී සිටිති.
වසර එකසිය එකක් (101) ආයු වින්දනය කරමින් වැඩ වසන කැම්පනේ ලොකු හාමුදුරුවන් වහන්සේ තම පැවිදි දිවියම කැපකොට ඇත්තේ ශ්‍රී පාදස්ථානයේ හා සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධිය සඳහාමය. ජීවන ගමනේ සියවන සැතපුමද පසුකර සිටින උන්වහන්සේ පනාමුරේ ඇත්ගාලේ දී ඝාතනය වූ පනාමුරේ ඇත් රාජාගේ මෙන්ම මඩුවන්වෙල කළු කුමාරයා යන විරුදාවලි ලත් මඩුවන්වෙල මහ දිසාවේගේද අවසන් ආගමික වතාවත්වලට සහභාගි වූ දැනට ජීවතුන් අතර සිටින්නාද වෙති.
සියවසක් ඉක්මවා ආයු වින්දනය කළද තවමත් නිරෝගීව සෞඛ්‍ය සම්පන්නව වැඩ වසන උන්වහන්සේගේ මතක ශක්තිය කාහටත් පුදුම දනවන සුළුය. ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා පනස් නමක් පමණ සසුනට දායාද කර ඇති ප්‍රේමරතන ලොකු හාමුදුරුවන් වහන්සේ ශ්‍රී පාදස්ථානය පිළිබඳවත් සබරගමුවේ අතීත සිදුවීම් පිළිබඳවත් යුග කිහිපයක රසබර මතකයන් සහිත ජීවමාන සාක්ෂියකි.
බුද්ධිකරත්නකුමාර