facebook page

Powered by Blogger.

Blogger templates


උපේක්ෂා ඩිලාන් සමග විවාහ වුණේ දෙමාපිය කැමැත්තට පිටුපාන්න ශක්තියක් නොවුණු නිසයි. ව්‍යාපාරිකයකු වුණු ඩිලාන්ගෙ පියාත්, උපේක්ෂාගෙ පියාත් පාසල් යන කාලෙ ඉඳන්ම ගජ යාළුවො.

ඒ යාළුකම නෑදෑකමක් බවට පත් කර ගන්න දෙන්නටම තිබුණු වුවමනාව නිසයි තමන්ගෙ දරුවන් දෙන්නව විවාහ කළේ. ඩිලාන්ව පුංචි කාලෙ ඉඳන්ම හඳුනාගෙන හිටියත්, ඇසුරු කළත් උපේක්ෂාගේ සිතේ නම් කිසිම දවසක ඩිලාන් ගැන ආදරයක් ඇතිවෙලා තිබුණෙ නෑ. ඒත් ඩිලාන් නම් තමාට කැමැත්තෙන් සිටි බව උපේක්ෂාට නොයෙක් වර හැඟී ගිහින්  තිබුණා. උපේක්ෂා  ඔහුගෙ ඒ අදහසට යන්තමටවත් රුකුලක් දුන්නෙ නෑ.

ඩිලාන්ට අකමැති වෙන්න කිසිදු හේතුවක් නොතිබුණත් කවදාවත් උපේක්ෂාගෙ හිත ඩිලාන් ළඟ රැඳුනෙ නෑ. ඒකට හේතුව මොකක්ද කියලා උපේක්ෂාවත් දැනගෙන හිටියෙ නෑ. ඩිලාන් ඒ පවුලට හිටපු එකම පුතා. පියාගේ ව්‍යාපාර සියල්ල ඔහුට තමයි පැවරී තිබුණෙ.

ඒ ව්‍යාපාර පියාටත් වඩා හොඳින් දියුණු කරගන්න ඩිලාන් සමත් වී තිබුණා. උසස් අධ්‍යාපනය සඳහා ඔහු හැදෑරුවෙත් ව්‍යාපාර කළමනාකරණයයි. ඒ හැරුණු විට අලෙවිකරණය සම්බන්ධ උසස් විභාගත් ඔහු සමත් වී තිබුණා. මේ මොන අතකින් හොඳ වුණත් උපේක්ෂාට ඩිලාන් ගැන ලොකු සතුටක් හෝ ලොකු ආඩම්බරයක් දැනුණෙ නෑ. ඒකට ලොකුම හේතුවක් වුණේ ඔහු ව්‍යාපාර  සම්බන්ධයෙන් දැක්වූ අධික උනන්දුව විවාහ ජිවිතය සම්බන්ධයෙන් නොදැක්වීමයි. උපේක්ෂා එක්ක ගමනක් බිමනක් යන්න තියා  නිදහසේ පැය කිහිපයක් ගෙදර රැඳී ඉදින්නවත් ඩිලාන්ට වෙලාවක් තිබුණෙ නෑ. මහ රෑ යාමේ නින්දට වැටෙන ඩිලාන් උදේ අට විතර වෙනතුරු සුව නින්දක් නිදා ගත්තා. ඊට පස්සෙ නාලා කාලා බිලා ගියේ ව්‍යාපාරික  ස්ථානයට.

මේ හේතු නිසා උපේක්ෂාට දැනුනේ තමන්ගෙ ජීවිතේ විශාල හිස් බවක් වගේම හිඩැසක් තියනවා කියලයි.  නමුත් ඒ කිසිවක්  ඩිලාන් අවබෝධ කරගෙන නොතිබුණු බව තමයි පෙනුණෙ. ඔහු කළ කම දේ උපේක්ෂාට අවශ්‍ය වෙලාවට ඇති තරම් මුදල් දෙන එක විතරයි. එයින් තමන්ගෙ යුතුකම් සියල්ල ඉෂ්ට වුණු බවත් ඩිලාන් සිතා ඉන්න ඇති. ඩිලාන් සමග විවාහ වෙලා වසරකුත්  පසු වුණත් උපේක්ෂාට දරු සම්පතක ලකුණක් වත් පිහිටියෙම නෑ. ඇගේ ජීවිතයට නිරන්තරයෙන්ම දැනුණු පාළුව මකාගන්න දරුවෙක්වත් හිටිය නම් කියලා ඇය මහත් ආශාවෙන් බලා‍පොරොත්තු තියන් හිටියා. ඒත් එහෙම දෙයක් සඳහා වෛද්‍යවරයෙක් ළඟට යන්නවත් ඩිලාන්ට  වෙලාවක් තිබුණෙ නෑ. “එක දවසක් නම් ඔය කොහොම  හරි වෙලාවක් වෙන් කරගෙන යන්න බැරියැ. ඒත් ඕවට දවස් ගණන් දොස්තරලා ළඟට බඩගාන්නයි, අර ටෙස්ට් මේ ටෙස්ට් කිය කියා සැරින් සැරේට  කියන ටෙස්ට් වලට කාලෙ ගත කරන්නයි මට වෙලාවක් නෑ” කියල තමයි ඩිලාන් මේ ප්‍රශ්නෙදි හැම දාමත් දුන්නු පිළිතුර වුණේ.

මොන තරම් සල්ලි සැප සම්පත් තිබුණා වුණත්  මේ ගත කරන ජීවිතේ මොකක්ද කියලා උපේක්ෂාට නිතර නිතරම හිතෙන්න පටන් ගත්තා. අන්තිමේ උපේක්ෂා හිතුවා ටික දවසකට මහගෙදර ගිහින් නතර වෙනවා කියලා. ඒක තමන්ට පහසුවක්  කියලා හිතුණු නිසාදෝ උපේක්ෂගෙ ඒ  ඉල්ලීමට ඩිලාන් එක හිතින් කැමැත්ත දුන්නා. මේ ගමන ෙදෙවෝපගත සිදුවීම් රැසක ආරම්භය කියලා උපේක්ෂාට මොහොතකටවත් හිතුණෙ නෑ. ඉස්කෝලෙ යන කාලෙ උපේක්ෂාගෙම පන්තියෙ ඉගෙන ගත්තු දුමින්ද ඒ දිනවල උපේක්ෂාගෙ ආදරය පැතුවා. ඒත් උපේක්ෂා ඒකට  එකඟ නොවුණෙ දෙමාපියන්ගෙ කීමට ඉහළින් යන්න කැමැත්තක් නොතිබුණු නිසයි. මහ ගෙදර ටික දවසකට නතර වෙන්න ගිය උපේක්ෂාට අහම්බෙන් එක දවසකදී දුමින්ද  මුණ ගැහුණා. දුමින්ද ළඟදීම  විවාහ වෙන්න යන බව කිව්වම කවදාවත් නොවුණ විදිහට උපේක්ෂාගෙ හිත සසල වුණා. ඒකට හේතුවක් උපේක්ෂාට හිතා ගන්න බැරි වුණා. ඒත් දුමින්දට උපේක්ෂාගෙ වෙනස තේරෙන්න ඇති.

 ඒ නිසාම උපේක්ෂාගෙ තොරතුරු දැඩි වුවමනාවකින් විමසන කොට ඉබේම වගේ උපේක්ෂාට තමන්ගෙ අතෘප්තිකර විවාහ ජීවිතය ගැන කියවුණා. සේරම කතාව අහගෙන හිටපු දුමින්ද ‘දැන් ඉතින් මට ඔයාව බාර ගන්න විදිහක් නෑනේ. වෙඩින් එකට දිනත් නියම කරගෙන තියෙන්නේ. එහෙම  නොවුණ නම් මං ඔයාව ඩිලාන්ගෙන් දික්කසාද කරවලා කසාද බඳිනව උපේක්ෂා’ කියලා දුමින්ද කිව්වම උපේක්ෂාගෙ ඇස්වල කඳුළු පිරුණා. කොහොම වුණත් ඒ හමුවීමෙන් පස්සෙ ඔවුන් අතරේ අනියම් සම්බන්ධකමක් ගොඩනැගුණෙ ඉබේමයි. මේ අතරේ එක්තරා දවසක දුමින්දත් උපේක්ෂාත් කායිකව එකතු වුණා. ඊට පස්සෙ උපේක්ෂාට ඇතිවුණේ ලොකු බයක්  වගේම තමන් මහ නරක ගෑනියක් කියන වරදකාරී හැඟීමයි.

තමන් ගැනම ඇතිවුණු විශාල කළකිරීම මත පහුවදාම උපේක්ෂා ඩිලාන්ගෙ ගෙදරට ගියේ නැවත කවදාවත් දුමින්ද හමුවෙන්නෙවත් දුරකථනයෙන් කතා කරන්නෙවත් නෑ කියන අධිෂ්ඨානයෙන් . ඩිලාන් මොන විදිහෙ ගති පැවතුම් තියන කෙනෙක් වුවත් ඔහු තමාට වරදක් කරල නැති නිසා ඔහු සමග අලුත් ජීවිතේකට මුල පුරනවා කියල උපේක්ෂා හිතා ගත්තා. හරියටම ඊළඟ මාසය වෙද්දී තමාගේ ශරීරයේ අමුත්තක් උපේක්ෂාට දැණුනා. තමා ගැබ්ගෙන ඇති කියන සැකයක් එක්ක ලොකු බයක් උපේක්ෂාට දැනුණා.

 මුත්‍රා පරීක්ෂණයකින් ඒ බව තහවුරු වුණාට පස්සෙ උපේක්ෂාට දැනුණෙ විශාල චකිතයක්. මේ දරුවගෙ පියා දුමින්ද විය හැකියි කියලා උපේක්ෂාගේ හිත කිව්වා. මේ කිසිවක් දැන නොසිටි ඩිලාන් බොරුවටනේ ඩොක්ටර්ස්ලා හම්බ වෙන්න යන්න හැදුවෙ. නිසි කාලෙ ආවම හැමදේම සිද්ධ වෙනව කියමින් උදම් ඇනුවා. ඒත් ඒ වෙලාවට උපේක්ෂාට දැනුණෙ. තමන් මැරි මැරී  උපදිනව වගේ හැඟීමක්. මව් පදවිය ලබන්න පෙරුම් පුරා බලා සිටි උපේක්ෂාට දැන් තමන්ගේ කුස දකින දකින ගානෙ දැනෙන්නෙ මහ ලොකු බයක් වගේම විශාල කළකිරීමක්. ඒත් ඒ රහස ලෝකෙන්ම වසන් කරගෙන තනියම විඳවන්නට උපේක්ෂාට සිදුවෙලා තියෙනවා.

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery