ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගිය සති අන්තයේ සිටියේ කොළඹින් බැහැරවය. දිලිත් ජයවීර මහතාගේ වාද්දුව හෝටලය විවෘත කිරීමේ උත්සවයට සහභාගි වීම ඊට හේතු විය. උත්සවයට පැමිණ සිටි රෝහිත අබේගුණවර්ධන ඇමැතිවරයා හා සජිත් ප්‍රේමදාස මහත්වරු විස්සයි 20 ලෝක කුසලාන අවසන් මහා තරඟය නරඹමින් සිටියදී ජනාධිපතිතුමා ද එම ස්ථානයට පැමිණියේය.
මහා තරගයේ ක්‍රීඩකයන් ක්‍රීඩා කරන විලාසය දෙස අවධානයෙන් බලා සිටි ජනාධිපතිවරයා පන්දු වාරවලදී යැවෙන නිපන්දු ගැන හා ලකුණු ලබාගැනීමේ වේගය පිළිබඳ සජිත් ප්‍රේමදාස මහතා සමඟ අදහස් දැක්වීය. අපේ කොල්ලො හොඳට සෙල්ලම් කරනවා. රන් රේට් එක හයකට තිබුණත් දිනන්න පුළුවන් යැයි ජනාධිපතිතුමා කීවේය.
ඉතා අවධානයෙන් තරගය නරඹන රෝහිත අබේගුණවර්ධන දෙස බලමින් මැච් එක අපි දිනනවා යැයි ඉතා ආඩම්බර ලීලාවෙන් ජනාධිපතිතුමා කීය.
විපක්ෂ නායකවරයාගේ විදේශ ගතවීම ගැන ද ජනාධිපතිතුමාට අමතක නොවීය. අපේ නායකයා දේශපාලනය ගැන ඉගෙන ගන්න රට ගියා. ඒත් දේශපාලනය ගැන ඉගෙන ගන්න රට යන්න ඕනෑ නෑ. මැදමුලනට ආවාම ඇති යැයි සජිත් ප්‍රේමදාස මහතා සිනාසෙමින් කීවේ පිරිස සිනා සාගරයක ගිල්වමින්ය.
බංගලාදේශයේ ඩකා නගරයේදී පැවැති ලෝක කුසලාන තරගය ශ්‍රී ලාංකික අභීත පුතුන් ජයග්‍රහණය කළේ මුළු රටටම ආඩම්බරයක් ලබා දෙමිනි. ජයග්රහණයෙන් අමන්දානන්දයට පත් ජනාධිපතිවරයා ඩකා නගරයේ සිටි සනත් ජයසූරිය මහතාට දුරකථන ඇමතුමක් ලබාගනිමින් නායක ලසිත් මාලිංගට හා කුමාර සංගක්කාරට සුබ පැතීය. “ඔබලාගේ ජයග්‍රහණය අති විශිෂ්ටයි. ඔබලාට ජාතියේ ගෞරවය, ප්‍රණාමය හිමිවෙනවා” යැයි ජනාධිපතිතුමා පැවසීය.
විස්සයි 20 ලෝක කුසලාන තරගයේ ජයග්‍රාහී නායක ලසිත් මාලිංග ප්‍රධාන ශ්‍රී ලාංකික කණ්ඩායම පසුගිය අඟහරුවාදා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළින් මෙරටට පැමිණියේ ජාතියේ උත්තමාචාර මධ්‍යයේ රතු පළස මතින්ය. කුසලානය අතැති ක්‍රිකට් කණ්ඩායම කටුනායක සිට කොළඹ ගාලු මුවදොර දක්වා පැමිණියේ ජනතා ඔල්වරසන් මධ්‍යයේය.
ගාලු මුවදොරට යාමට පෙරාතුව ලාංකික කණ්ඩායම අරලියගහ මන්දිරය බලා ගියේ ජනාධිපතිතුමා හමුවීමටය. කුසලානය අතැතිව පැමිණි නායක ලසිත් මාලිංග කුසලානය ජනාධිපතිවරයාගේ සුරතේ තැබීය. ඉතා ගාම්භීර අයුරින් එය සුරතට ගත් ජනාධිපතිතුමා ළෙන්ගතු සිනහවකින් ඒ අභිමානය පෙන්වීය.
අවුරුදු ගාණකට පස්සේ ගත්තේ කියමින් ජනාධිපතිතුමා එය සුරතේ තදකර ගත්තේය. සියලුම ක්‍රීඩකයන්ට සුරත දෙමින් පිළිගත් ජනාධිපතිතුමා ඔවුන්ට තිළිණ පිරිනැමීය. ක්‍රීඩකයන්ට තිළිණ පිරිනැමීමෙන් අනතුරුව සනත් ජයසූරිය මහතාට ද තිළිණයක් දීමට ජනාධිපතිවරයා අමතක නොකළේය.
මාවන් අතපත්තු, ප්‍රමෝදය වික්‍රමසිංහ ඇතුළු තේරීම් කමිටුවට සුබ පැතූ එතුමා “ඔයාලා ටීම් එක නියමෙට සිලෙක් කරලා තියෙනවා. නියම වෙලාවට නියම ආකාරයට වැඩේ හරියටම කරලා” යැයි කීය.
ජයග්‍රහණය වෙනුවෙන් සකස් කොට තිබූ කේක් ගෙඩිය කැපූ නායක ලසිත් මාලිංග කේක් කෑල්ලක් ජනාධිපතිතුමාට පිළිගැන්වීමට සැරසෙද්දි “මේ කේක් එක ඔයාලට, මට නෙමේ” යැයි සිනාසෙමින් ජනාධිපතිවරයා කීවේය.
බස්නාහිර හා දකුණු පළාත් මහ ඇමැතිවරු හා ඇමැතිවරු දිවුරුම් දීමේ නිල උත්සවය පසුගිය ඉරිදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපතිතුමා ඉදිරියේදී සිදු කෙරිණි. උදේ 10.18 ට යෙදුණ සුබ හෝරාවේදී ප්‍රසන්න රණතුංග හා ශාන් විජයලාල් ද සිල්වා දෙපළාතේ මහ ඇමැතිවරු ලෙස දිවුරුම් දුන්හ.
අනතුරුව හිටපු මහ ඇමැති උපාලි කොඩිකාර මහතා බස්නාහිර පළාත් මහාමාර්ග, නිවාස හා ඉදිකිරීම් ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමේ සුබ හෝරාව පැමිණියේය. කොඩිකාර මහතා පත්වීමේ ලිපිය දෙස බලමින් වචන ගැලපීය.
මහ ඇමැතිතුමා මොකද කණ්ණාඩිය නැද්ද කණ්ණාඩියක් දෙන්නද, සාක්කුවේ ඇති දාගන්න යැයි ජනාධිපතිතුමා සිනාසෙමින් කීය. කොඩිකාර ඇමැතිවරයා උපැස් යුවළ පැළඳ දිවුරුම්දීම සිදු කළේය. දිවුරුම් දීමේ කටයුතු නිමාවීමත් සමග ජනාධිපතිතුමා පැමිණ අමුත්තන්ට තේ පැන් සංග්‍රහයට ආරාධනා කළේය. ජනාධිපතිතුමා අසලට සේන්දු වූ කොඩිකාර ඇමැතිවරයා දෙස බැලූ ජනාධිපතිවරයා, මහ ඇමැති වෙන්න හදන්නේ තමන්ට ලැබුණ අමාත්‍යාංශ ටික කියවා ගන්න බැරිවුණා නේද යැයි සිනාසෙමින් ඇසීය.
උපාලි කොඩිකාර මහතාට ද සිනහ පහළ විය. බස්නාහිර හා දකුණු පළාත් සභා ප්‍රතිඵලය ජනතාවට නිවැරැදි ලෙස පැහැදිලි කරලා නැහැ. පරාජය වූ අය මැතිවරණය ජය ගත්තා කියනවා. ඡන්ද ප්‍රතිඵලය නිවැරැදිව විශ්ලේෂණය කර සංඛ්‍යාලේඛන එක්ක හදන්න යැයි ජනාධිපතිතුමා කීය.
විපක්ෂය මොනව කිව්වත් ජනතාව රවට්ටන්න විපක්ෂයට බැහැ යැයි මහ ඇමැතිවරයා කීවේය. මැති ඇමැතිවරුන්ගේ දරුවන් සමඟ සුහද කතා කරමින් සිටි එතුමා සමූහ ඡායාරූපයකට පෙනී සිටීමට දකුණ මහ ඇමැතිවරයා සෙවීය. කෝ මේ දකුණු මහ ඇමැතිවරයා යැයි හෙතෙම බස්නාහිර මහ ඇමැතිවරයා දෙස බලමින් ඇසීය.
ගාල්ලේදී වගේ යන්න ගියාවත්දැයි ජනාධිපතිවරයා නැවත කීය.
මොකක්ද සර් ගාල්ලෙදි වුණේ යැයි, රණතුංග මහතා ඇසීය.
ශාන්ගෙ සෙනඟට රැස්වීමට එන්න දුන්නෙ නැහැ කියලා එයා ස්ටේජ් එකෙන් බැහැලා යන්න ගියා. අදත් ඒ වගේ ද කියලයි මම මේ හොයන්නේ යැයි ජනාධිපතිතුමා සිනාසෙමින් කීය.
වැලිවේරිය ජෙයරාජ් පිළිරුව අභියස ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ මහතාගේ හයවැනි ගුණ සමරු උත්සවය පැවතියේ බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන්ය. දිනේෂ් ගුණවර්ධන, සරත් කුමාර ගුණරත්න, ප්‍රසන්න රණතුංග, රවි කරුණානායක, ලක්ෂ්මන් කිරිඇල්ල මහත්වරුද ඊට එක් වූහ. බැසිල් රාජපක්ෂ මහතා අසල අසුන්ගෙන සිටි රවි කරුණානායක මහතා දේශපාලනය ගැන කතා නොකොට ජෙයරාජ්ගේ සමීප මිතුදම සිහිපත් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය, මගේ කකුලෙන් අදින අය වැඩියි. මාව වට්ටන්න හදන අය වැඩි යැයි හැඟුම්බර කතාවක් කළේ දෙනෙතින් කඳුළු කැට රූරා වැටෙද්දීය. ඒ සංවේදී කතාවේදී බොහෝ දෙනකුගේ දෙනෙතට කඳුළු ඉනීය. උත්සවය නිමවා නික්ම යෑමට සූදානම් වූ බැසිල් රාජපක්ෂ මහතා “ජෙයරාජ් මගේ ළඟම මිතුරෙක්. ඔහුගේ තැනට අද අපි ඉන්නවා. අපි කවදාවත් ඔබතුමිය තනි කරන්නේ නැහැ යැයි” හැඟුම්බරව කීය.
සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය දුටු ප්‍රසන්න රණතුංග මහතා “කටාන ආසනෙත් දිනුම් මම යැයි සිනාසෙමින් කීය. අන්ද මන්ද වී ගිය ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය වටපිට බලද්දී කටාන ආසනේ වැඩිම මනාප මට කියලයි මම කිව්වේ. මහ ඇමැතිවරයා සිනාසෙමින් කීවේය.
බස්නාහිර හා දකුණ පළාත් සභා ජයග්‍රහණය කළ එජාප මන්ත්‍රීවරුන්ගේ දිවුරුම් දීමේ උත්සවය පසුගිය සෙනසුරාදා සිරිකොත දී පැවැතියේ විපක්ෂ නායකවරයා ගේ ප්‍රධානත්වයෙන් ය. ඊට කරු ජයසූරිය, නායකත්ව මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු විශාල පිරිසක් එක් වී සිටියහ.
එහිදී බස්නාහිර පළාත් විපක්ෂ නායක ලෙස මංජු ශ්‍රී අරංගලත්, දකුණු පළාත් විපක්ෂ නායක ලෙස තෙන්නකෝන් නිලමේ මහතාත් පත්විය. දෙපළාතේ විපක්ෂයේ සංවිධායකවරු ලෙස හර්ෂණ රාජකරුණා හා බන්දුල ලාල් බණ්ඩාරිගොඩ පත් කර තිබුණ ද පත් වීමේ ලිපිය ගැනීමට බණ්ඩාරිගොඩ පැමිණියේ නැත.
ඔහුගේ නම නිවේදකයා දෙවරක් ප්‍රකාශ කළ ද ඔහු නොපැමිණියේ ය. පසුව දිනපතා පුවත්පතක මාධ්‍යවේදියෙක් බණ්ඩාරිගොඩට දුරකථන ඇමතුමක් ගනිමින් “මන්ත්‍රිතුමා ඔබතුමාට විපක්ෂයේ ප්‍රධාන සංවිධායක තනතුර ලැබිලත් නොපැමිණියේ ප්‍රශ්නයක් දැයි ඇසීය.
මම සිරිකොතට එන ගමන්, ටිකක් ප්‍රමාද වුණා, ඔය තනතුර මට ලොකු දෙයක් නෙමේ. මම පස්වරක් පළාත් සභාව නියෝජනය කළ කෙනෙක්, මම සැලෙන්නේ නැහැ. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය මගේ ඉලක්කය යැයි හෙතෙම කීය.
ජාතික ඇඳුමින් ඉතා සංවරව මන්ත්‍රීවරු හැඳ පැලඳ සිටි උත්සවයට පැමිණ සිටි නවක පළාත් සභා මන්ත්‍රී අනුරාධ විමලරත්න මහතා කමිස බොත්තම් නොදමා සිටිනු දුටු විපක්ෂ නායකවරයාට යකා නැග්ගේ ය. අනුරාධ අසලට කැඳවා ඔය බොත්තම් ටික දාගන්න.
එහෙම නැත්නම් ෂර්ට් එක ගලවලා දාන්න යැයි තද ස්වරයෙන් කිවේය. නවක මන්ත්‍රීවරුන්ට උපදෙස් දුන් විපක්ෂ නායකවරයා පළාත් සභා රැස්වීම් මාසයකට රැස්වෙන්නේ දෙවරයි. ඒ දින දෙකේදීවත් පළාත් සභාවට ගිහින් ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කරන්න. සභාවට සහභාගි නොවන මන්ත්‍රීවරුන්ගේ ලැයිස්තුවක් පක්ෂයට ලබා දෙන ලෙස විපක්ෂ නායකවරයා සංවිධායකවරුන්ට උපදෙස් දුන්නේ ය.
විදේශගත වීමට ප්‍රථම පසුගිය ඉරිදා සවස විපක්ෂ නායක තිස්ස අත්තනායක සිරිකොතට කැඳවී ය. “තිස්ස මගේ සියලු බලතල නායකත්ව මණ්ඩලයට මම පවරනවා. මැයි දිනය ද කරුගේ ප්‍රධානත්වයෙන් පවත්වන්න” යැයි කීය. එදින රාත්‍රි මෛත්‍රි වික්‍රමසිංහ මහත්මිය සමඟ කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටින් විපක්ෂ නායකවරයා අමෙරිකාව බලා පිටත් විය.
රූපවාහිනියේ විකාශ වූ “වේදි කාව“ වැඩසටහනට බස්නාහිර දකුණ පළාතට අයත් දිස්ත්‍රික්කයන්හි වැඩිම මනාප ලබාගත් අපේක්ෂකයන්ට ආරාධනා කර තිබුණි. එහිදි කොටහේන ප්‍රදේශයේ ප්‍රේක්ෂකයෙක් දුරකථනයෙන් ප්‍රශ්නයක් ඇසීය.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවියත් සෙනල් වෙල්ගම මහතාත් එකම වර්ණයේ ඇඳුම් පැලඳ ඉන්නවා. දෙන්න හොඳට කැපෙනවා. වැඩිම මනාප අරගත් මේ දෙන්නට එකතු වෙලා එකට ගමනක් යන්න බැරි දැයි ඇසීය. ඇඳුම් දෙක දෙස බැලූ පිරිස සිනාසුනහ.
ඔව්. ඒක හොඳයි මනාප ප්‍රශ්නයකුත් එන්නේ නැහැ. දිස්ත්‍රික්ක දෙකකනේ ප්‍රසන්න රණතුංග මහතා සිනාසෙමින් කීය.
නිවේදකයා ප්‍රේක්ෂකයාගේ පැනයට පිළිතුරු සෙනාල් ගෙන් ඇසීය. අනේ එහෙම අදහසක් නැහැ. අපි හිරුණිකා මෙනෙවියගෙන් අහල බලමු යැයි සෙනාල් ඇඟ බේරා ගත්තේ ය.
වෙල්ගම අන්කල්, අපේ තාත්ත හොඳ යාළුවො. කතා කරපු වෙලාවක වෙල්ගම අන්කල් මගෙන් ඇහුවා “දුවේ මගේ ලේලි වෙනව ද” කියලා ඔය කතාව තමා ඔය පැතිර යන්නේ හිරුණිකා සිනාසෙමින් පිළිතුරු දුන්නාය.
ජිනීවා මානව හිමිකම් සමුළුවේ දී ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වෙනතෙක් ලංකාවට එරෙහි කුමන්ත්‍රණ කළ ටී.එන්.ඒ සංවිධාන නියෝජිත පිරිසක් ගිය බදාදා දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේ ය. ආර්. සම්බන්දන්, එම්. ඒ. සුමන්දිරන්, මාවෙයි සේනාධිරාජා, සුරේෂ් ප්‍රේමචන්ද්‍ර, සෙල්වම් අඩෙක්කලනාදන් මහත්වරු දකුණු අප්‍රිකානු ආණ්ඩුව සමඟ සාකච්ඡා කිරීම සඳහා නික්ම ගියේ ය.
දකුණු අප්‍රිකානු ජනාධිපති ජේකොබ් සූමා මහතාගේ විශේෂ නියෝජිත මෙපෝසා සමඟ මෙම පිරිස සාකච්ඡා කොට උතුරු ජනතාවට සාධාරණය ඉටු වී නැති බවත්, රජය සමඟ සාකච්ඡාවලදී තෙවැනි පාර්ශ්වකරු ලෙස ක්‍රියා කරන ලෙසත් ඉල්ලා සිටින බව ආර්. සම්බන්ධන් පැවසීය.
බස්නාහිර පළාතට තේරීපත් වූ ජවිපෙ මන්ත්‍රීවරු, ආණ්ඩුකාර අලෙවි මව්ලානා මහතා ඉදිරියේ දිවුරුම් දීමේ උත්සවය පසුගිය අඟහරුවාදාට යෙදී තිබුණ ද, ආණ්ඩුකාරවරයාට හදිසියේ ජනාධිපතිවරයා හමුවීමට යෙදී තිබූ බැවින් එය අවලංගු කිරීමට ආණ්ඩු කාර්යාලය ක්‍රියා කළේ ය.
දකුණු පළාත් ආණ්ඩුකාර කුමාරි බාලසූරිය මහත්මිය විදේශගත වී ඇති බැවින් එම පළාතේ වැඩ බලනුයේ ද අලෙවි මව්ලානා මහතාය. පසුගිය බදාදා දකුණු පළාතේ ප්රජාතන්ත්රවාදී පක්ෂයේ අපේක්ෂකයන් දිවුරුම් දුන්න ද මෙතෙක් බස්නාහිර පළාත් ජවිපෙ මන්ත්‍රීවරුන්ට දිවුරුම් දීම ප්‍රමාදවීම පිළිබඳ මාධ්‍යවේදියෙක් සුනිල් වටහලගෙන් ප්‍රශ්න කළේය.
අනේ අපිට තාම වෙලාවක් හරිගියේ නැහැ යැයි සුනිල් වටහල ඊට පිළිතුරු දෙමින් කීය. ජවිපෙ නායකයන් පාක්ෂිකයන් ඇතුළු පිරිස පසුගිය සෙනසුරාදා බදුල්ලේ දී විරු සමරුම් උත්සවයක් සූදානම් කර තිබුණි. මේ වෙනුවෙන් අප්‍රේල් සැමරුම් කිහිපයක් විදෙස් රටවල දී පැවැත්වීමට ජවිපෙ විදෙස් කමිටු යුහුසුලුව කටයුතු සංවිධානය කළේ ය.
ඉතාලිය, එක්සත් ජනපදය, ඕමානය, කටාර්, කුවේට්, ප්‍රංශය හා සෞදි අරාබියේ මෙම උත්සව පැවැත්වීමට නියමිත අතර ජවිපෙ නායකයන් ඒ සඳහා සහභාගි වීමට ඉදිරි දින කිහිපයේ මෙරටින් පිටවීමට නියමිතය.