facebook page

Powered by Blogger.

Blogger templates


හැටේ දශකයේදී පමණ දේශීය සංගීත ක්ෂේත්‍රය ඒකාලෝක කළ ගායන යුවළක් ලෙස චිත්‍රා සෝමපාල සහ පී.එල්.ඒ සෝමපාල යුවළ හැඳින්විය හැකිය. දේශීය ආරක් රැගත් ඔවුන් දෙදෙනා ගායනා කළ බොහෝමයක් ගීත අදටත් ලාංකීය රසික රසිකාවියන්ගේ හිත් තුළ මතකයේ රැව් දේ. ඔවුන් දෙදෙනාගේ පුත් චිත්‍රාල් සෝමපාල සිය මව්පිය ආරෙන් බැහැරව සංගීත ක්ෂේත්‍රයේ වෙනස්ම මානයක් තෝරා ගනිමින් මේ වනවිට සාර්ථක ගමනක් සනිටුහන් කරමින් සිටී. ඔහු මේ වනවිට පදිංචිව සිටින්නේ ජර්මනියේය. කෙටි නිවාඩුවක් සඳහා ලංකාවට පැමිණි අවස්ථාවක කතාබහකට අපි චිත්‍රාල් එක්කර ගතිමු. 

ඔබගේ අලුත්ම තොරතුරු මොනවාද?

මම හිතාගෙන හිටියෙ ලංකාව තුළ අලුත් ගීත ඇල්බමයක් එළිදක්වන්න. නමුත්, ඒක ටික කාලයකට පහු කෙරුවා. එයට හේතුව ගොඩක් අය මට කිව්වා ලංකාව තුළ ඇල්බම් විකුණන් අමාරුයි කියලා. ඒක නිසා මම බලන්නේ ගීත කිහිපයක් එළිදක්වන්න. 

ඒ ගීත කිහිපය සිංහලද?

ඔව්, සිංහල 'රොක්ගීත. ඒ ලංකාවේ මගේ ප්‍රේක්ෂකයන් වෙනුවෙන්.

ඔබගේ සංගීත කණ්ඩායම් ගැන කතා කළොත්?

මගේ පිටරට සංගීත කණ්ඩායම් කිහිපයක් තිබුණා. දැනට ලංකාවෙන් පිට වෙලා අවු. 29ක් වෙනවා. සංගීත කණ්ඩායම් කිහිප දෙනෙක් එක්කම මම වැඩ කරලා තියෙනවා. ඇමෙරිකා, යුරෝපයේ බොහෝ රටවල වැඩ කරලා තියෙනවා. 

ඔබට හිතෙන්නෙ නැද්ද ඔබේම 'රොක්සංගීත කණ්ඩායමක් ලංකාව තුළ නිර්මාණය කරන්න?

ඇත්තටම ඒක හොඳ ප්‍රශ්නයක්. අනාගතයේදී එහෙම දෙයක් කරන්න මම හිතල තියෙන්නේ. මම දැකල තියෙනවා ලංකාව තුළ හොඳ දක්ෂතා තියෙන අය. ඒ අය ගැන මම ඇහ ගහගෙනයි ඉන්නේ. කිහිප දෙනෙක්ටත් ආරාධනා කළා මගේ 'බැකින්සංගීත කණ්ඩායම විදිහට වැඩ කරන්න කියලා. ඒ අය ගොඩක් පුදුම උනා එහෙම ආරාධනාවක් කළාම. 

ලංකාවේ සමහර සංගීත කණ්ඩායම් 'රොක්සංගීතය අනුගමනය කරනවා, ඔබ හිතනවද මේ අනුගමනය හරියාකාරව සිදුකරනවා කියා

අනුගමනය කරන එක වැරැද්දක් නෙමේ. නමුත් ඒක සැබෑ දැනුමද කියන එකයි ප්‍රශ්නෙ. ඒක අනුගමනය කරන්නේ යම් දෙයක් දිහා බලලා. ලංකාවේ 'රොක්සංගීතය කරන අය ඉන්නේ කොළඹ විතරයි. නුවර ගත්තොත් 'රොක්අහන අය ඉන්නේ 1% ක් විතරයි. මම කියන්නේ මාධ්‍යයට තමයි පුළුවන් රොක් සංගීතයේ හරි දේ කියල දෙන්න.

'නදී ගංගාසහ 'මිරිඟුව පරදාගීත දෙක වෙළෙඳ දැන්වීම් සඳහාද නිර්මාණය කළේ?

ඇත්ත වශයෙන්ම 'නදී ගංගාගීතය කළේ වෙළෙඳ දැන්වීමක් සඳහා. ඒ අයට ඕන විදිහට තමා මේ ගීතය නිර්මාණය වුණේ. බර්ට්‍රම් නිහාල් තමා ගීතය ලිව්වෙ. මම හිතන්නෙ නෑ ලංකාවෙ කවුරුත් ඔය විදිහට වචන ලියල තියෙනවා කියලා. අනිත් ගීතය මගේ නිර්මාණයක් විදිහට එළිදක්වන්න හිටියෙ. නමුත් මම CEAT අයට කරලා පෙන්නුවා. ඊට පස්සෙ ඒ අය කැමතියි කිව්වා මේ ගීතය ඒ අයගේ වෙළෙඳ දැන්වීමට ගන්න.

ලංකාවේ 'රොක් ඇකඩමියක්පවත්වන්න හිතුවෙ නැද්ද

ඇත්තටම කිව්වොත් මමත් තාම රොක් සංගීතය ඉගෙන ගන්නවා. නමුත් ඒ දෙය කරන්න දක්ෂතාවක් මට තියෙනවා කියල හිතනවා. Workshop එකක් කරන්නත් බලාපොරොත්තුවක් තියෙනවා. කොළඹ, ගාල්ල, නුවර ප්‍රදේශවල එය කරන්න හිතාගෙන ඉන්නවා. යාපනේ ගිහින් හරි කමක් නෑ හොඳ දෙයක් කරන්න තියෙනවා නම්. දෙමළ භාෂාවෙන් රොක් කරන අයත් ඉන්නවා. ලංකාව තුළ භාෂා ගොඩක් එකතු වුණොත් ඒක හිතාගන්න බැරි දෙයක් වෙනවා.

පසුගියදා ලංකාවේ කළ ප්‍රසංගයට ලැබෙන ප්‍රතිචාර මොනවගේද?

මගේ යාළුවෙක් තමයි සාලිය වීරසේකර. එයාට ඕන වුණා 'රොක්සහ 'රෙගේසංගීතය එකට තියලා ප්‍රසංගයක් කරන්න. ඒක නිසා මගේ පිටරට බෑන්ඩ් එක 'රෙඩ් සර්කිට්සහ 'ජයශ්‍රීකණ්ඩායමත් එක්ක ලංකාවෙ මෙම ප්‍රසංගය පැවැත්වූවා. ලංකාව තුළ කවදාවත් ඒ වගේ ප්‍රසංගයක් පවත්වලා තිබුණෙ නෑ. ඇත්තටම කිව්වොත් ඒක ජාත්‍යන්තර මට්ටමේ ප්‍රසංගයක්. තාමත් ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. 
ලංකාවේ පුරවැසියෙක් වන ඔබ ජාත්‍යන්තර මට්ටමේ ඉහළ තැනක ඉන්න එක ගැන අදහස මොකක්ද?

මගේ සාර්ථකත්වය ගැන දන්න අය ගොඩක් අඩුයි. දැන් අන්තර්ජාලය හින්දා ගොඩක් අය දැකල තියෙනවා මම ගත්ත අවදානම, රොක් සංගීතය පැත්තට යන්න. දැන් ඒක සාර්ථක වෙලා තියෙනවා. ලංකාවේ ක්‍රිකට් කණ්ඩායම විතරයි ජාත්‍යන්තර මට්ටමේ තියෙන එකම දේ. වෙන දේවල් නෑ. ලංකාවේ පුරවැසියන් ජාත්‍යන්තර මට්ටමේ සංගීතය අඩුයි. ඒ නිසා ජාත්‍යන්තර මට්ටමේ අනිත් ගායකයන් ගොඩක් පුදුම වෙනවා මා ගැන. සමහරු
'මේ යකා කොහෙන්ද පොඩි රටකින් ආපු එකෙක්, මෙච්චර දක්ෂතා තියෙන්නෙ කොහොමද කියලාඅහලා තියෙනවා. පොඩි කාලෙ ඉඳන්ම මගේ බලාපොරොත්තුව තිබුණේ මේ වගේ තැනකට එන්න. දැන් ඒ තැනට ඇවිත් තියෙනවා. සතුටුයි ඒ ගැන. 


ජාත්‍යන්තර තලයේදී ඔබට 'මාර්කට්එකක් තියෙනවද?

ඔව්, පිටරට මම දැනට ගීත ඇල්බම් 20කට වඩා එළිදක්වලා තියෙනවා. ඒ ගීතවලට අදටත් ජාත්‍යන්තර මට්ටමේ 'මාර්කට්එකක් තියෙනවා. 

ඔබට හැකියාවක් තියෙනවද ලංකාවේ සංගීතය ජාත්‍යන්තරයට ගෙනියන්න?

මම ඒක සැලසුම් කරලා තියෙන්නේ. සිංහල ගීත 'රොක්විදිහට කරලා, ඒ භාෂාවත් එක්ක ජාත්‍යන්තරයට ගෙනියන්න. ලංකාවෙත් තියෙනවා "බටහිර සංස්කෘතියක්". ගොඩක් අය දන්නෙ නෑ ඒකෙ රහස මොකක්ද කියලා. ඒත් මම දන්නවා. නමුත් අමාරු කාර්යය තමා ඒක පැහැදිලි කිරීම. ලංකාවේ ගායකයනුත් හිතන්න ඕන ඒ විදිහට. චිත්‍රපට කිහිපයකටත් සංගීතය කරන්න මට කතා කරල තියෙනවා. මම හිතන්නේ ඒ චිත්‍රපටත් ජාත්‍යන්තරයට ගෙනියන්න ඕන කියලා. 

ලංකාවේ ඔබේ රසිකයන්ට මොනවද කියන්න තියෙන්නේ?

ගොඩාක් ස්තූති කරනවා මගේ රසිකයන්ට. ඒ අය හින්දයි මම ගොඩක් ලංකාව ගැන හිතන්නේ. මම මියුසික් කරන්නේ මිනිස්සුන්ට. සල්ලිවලට මියුසික් කරන්නෙ නෑ. 


Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery