facebook page

Powered by Blogger.

Blogger templates



දිනක්ෂි ප්‍රියසාද් මේ දිනවල බොහෝ දෙනෙකුගේ කතා බහට ලක්වන්නේ ‘රෑන’ ටෙලිනාට්‍යයේ සමාධි ගේ චරිතය නිරූපණය කරන නිසා මෙන් ම ‘රණවිරු රියල් ස්ටාර්’ සංගීතමය වැඩසටහනේ නිවේදිකාවක ලෙස කටයුතු කරන නිසා ය. අපි ඇයගෙන් ඇයගේ නවතම තොරතුරු විමසා සිටිමු.

‘රෑන’ ටෙලිනාට්‍යයේ සමාධි ගැන ප්‍රේක්ෂකයින් මොනවද කියන්නේ?

ඇත්තටම මම හිතුවාටත් වැඩිය විශාල ජනප්‍රියත්වයක් රෑන ටෙලින‍ාට්‍ය හිමිකරගෙන තියෙන බව පෙනෙනවා ලැබෙන ප්‍රතිචාරවලින්. ‘රෑන’ මෙගා ටෙලිනාට්‍යයක් වුණත් විවිධ විදියේ ප්‍රතිචාර ලැබෙනවා. මෙච්චර පිරිසක් මේ ටෙලිනාට්‍යයට ප්‍රතිචාර දක්වන්නේ ‘රෑන’ ගැන ගෙනිච්ච පූර්ව ප්‍රචාරක වැඩපිළිවෙළත් මේ දිනවල එහි කතාව ගලාගෙන යන ආකාරයත් නිසා කියලයි මට හිතෙන්නේ. මෙය අධ්‍යක්ෂණය කළ රන්ජන් ප්‍රසන්න සතු හැකියාවත් ඒ සඳහා ගොඩක් බලපාල තියෙනවා.

මොනවගේ වැඩවල ද මේ දිනවල යෙදිල ඉන්නේ?

‍'රෑන’ රෑපගත කිරීම්වලට දායක වෙන අතරේ, චන්ද්‍රරත්න මාපිටිගමගේ ‘නිර්මායා’ ටෙලිනාට්‍යයේ රූපගත කිරීම්වලට දායක වෙනවා. ඊට අමතරව ‘රණවිරු රියල් ස්ටාර්’ වැඩසටහන ඉදිරිපත් කරන්නත් නිවේදනයෙන් දායක වෙනවා. ස්වර්ණවාහිනියෙන් විකාශය වන ‘බොලිවුඩ් මැජික්’ වැඩසටහනන් ඉදිරිපත් කරනවා.

රණවිරු රියල් ස්ටාර්’ වැඩසටහන ඉදිරිපත් කිරීම ඔබට මොනවගේ අත්දැකීමක් ද?

මෙතෙක් මගේ කලා ජීවිතයේ මා ලැබූ ලොකුම අත්දැකීම සහ ලොකුම භාග්‍යය තමයි රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ඉදිරිපත් කරන්න ලැබීම. මම නිවේදන කටයුතු වලට යොමු වුණේ මම පුංචි කාලේ; 2000 අවුරුද්දේ. ඉන්පසුව මම වැඩසටහන් ගණනාවකට නිවේදන කටයුතු කළා. මෑතදී මම රූපවාහිනි නාළිකාවලින් ඉදිරිපත් කළේ විනෝදාත්මක සහ සඟරාමය වැඩසටහන්. ‘රණවිරු රියල් ස්ටාර්’ මම මෙතෙක් ඉදිරිපත් කළ වැඩසටහන් සියල්ලටම වඩා බොහෝ වෙනස්. මේ වැඩසටහනේදී වචන භාවිත කරන විලාසය වදන හසුරුවන ආකාරය අනෙක් වැඩසටහන්වලට වඩා වෙනස්. ඒක මට එක්තරා විදියකට අභියෝගයක් වුණා. ඒ අභියෝගයට මම මුලදී බය වුණා. නමුත් මට ඒ අභියෝගයන්ට සාර්ථකව මුහුණ දුන්නා.

මේ වැඩසටහනේ නිර්මාණකරුවන් මාව මේ වැඩසටහනට යොදා ගත්තේ මම රංගන ශිල්පිනියක් කියන පදනමේ ඉඳලා. මාව නිවේදිකාවක් හැටියට ඔවුන් බැලුවේ නෑ. ඉතින් මට හැකි උපරිම අයුරින් ඒ වැඩසටහන ඉදිරිපත් කරන්න දායක වුණා. මුලදී වැරදි අඩුපාඩු ගොඩක් තිබුණා. දැන් දැන් ඒ අඩුපාඩු හදාගෙන මම හොඳ තැනක ඉන්නව කියල මට හිතෙනවා. රණවිරු රියල් ස්ටාර් වැඩසටහන ඉදිරිපත් කරන විට මගේ පැත්තෙනුත් විශාල දියුණුවක් ලබන්න මට පුළුවන් වුණා.

ත්‍රිවිධ හමුදාවේ පිරිස් සමඟ වැඩ කිරීම ඔබට කිසියම් අභියෝගයක් වුණා ද?

එවැනි පිරිසක් සමඟ මම මීට පෙර වැඩ කරලා නෑ. ඔවුන් මේ රට ජාතිය බේරාගත් රණවිරුවන්. ඔවුන් සමඟ සමීපව වැඩ කිරීමේ අවස්ථාව හැමෝටම ලැබෙන්නේ නැහැ. ඒ භාග්‍යය මට උදාවුණා. ඔවුන් ඇසුරු කිරීමේදී බොහෝ සංවේදී සිදුවීම් සංවේදී කතා අසන්න ලැබෙනවා. ඒවායේ දී මමත් සංවේදී වෙනවා. ඔවුන් සමඟ වැඩ කිරීම හරිම විනෝද ජනකයි. ඔවුන් හරිම මිත්‍රශීලීයි‍. ත්‍රිවිධ හමුදාවේ අයගෙන් මට උපරිම සහයෝගයක් ලැබෙනවා. රණවිරු රියල් ස්ටාර් වැඩසටහන පටිගත කරන කාලසී‍මාවේදී ඒක වෙනම ලෝකයක් වගේ මට දැනෙන්නේ. මම හරිම සතුටකින් තමයි ඒ වැඩසටහනට දායකත්වය ලබාදෙන්නේ. මේ වැඩසටහනට මාව තෝරාගැනීම පිළිබඳ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඇතුළු සියලුම දෙනාටත් රූපවාහිනි කාර්ය මණ්ඩලයටත් මම ස්තුතිවන්ත වෙනවා.

ඔබේ ලොකු නංගි (ශේෂාද්‍රි) පසුගිය දිනවල විවාහ වෙලා නි‍ෙවසින් ගියා‍. නංගි දුරස්වීමේ පාළුව ඔබට දැනුණා ද?

පුංචි කාලෙ ඉඳල එකම ගෙදර හැදිල වැඩිල වෙන්වුණා ම පාළුවක් දැනෙනවා තමයි. නමුත් කාර්ය බහුලත්වයත් එක්ක ඒ හැඟීම නැති වුණා.

ඔබේ විවාහය ළඟදී සිදුවෙන්නේ නැති ද?

මගේ විවාහය ළඟදී සිදුවෙන්නේ නෑ‍. මට ගෙදරින් ඒ ගැන කියලත් නෑ. මම යෙදිල ඉන්න වැඩත් එක්ක දැන් ම මට විවාහයක් ගැන හිතන්න අමාරුයි. රංගන නිවේදන කටයුතු වගේ ම මගේ අධ්‍යාපන කටයුතුත් නිසා ළඟදී විවාහ වෙන්න මගේ බලාපොරොත්තුවක් නෑ.

දැන් ම විවාහ නොවුණත් ජීවිතයට සමීප විශේෂ කෙනෙක් ඔබට ඉන්නවාද?

නැහැ. තවම එහෙම කෙනෙක් නෑ.

ඔහු මොනවගේ කෙනෙක් වුණොත් හොඳ ද?

මම ඔහුගෙන් ලොකු දේවල් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් මාව හොඳින් තේරුම් ගන්න. මම කරන්න කැමැති දේවල් මට කරන්න ඉඩදෙන, ඒවාට උදව් කරන මට අනවශ්‍ය නීති රීති නොදමන කෙනෙක්. ඒ වගේ ම මගේ දෙමව්පියන්ට ආදරේ අපේ පවුලේම කෙනෙක් කියල හිතන කෙනෙක්.

මොනවද ඔබ කරන අධ්‍යාපන කටයුතු....?

මම ඇඟලුම් නිෂ්පාදන කළමනාකරණ උපාධියක් හදාරනවා. දැන් 3 වැනි වසරේ. කලා කටයුතුවලට සම්බන්ධ වෙලා ඉන්න නිසා මට පූර්ණ කාලීනව අධ්‍යාපන කටයුතුවල යෙදෙන්න ඉඩක් නෑ. නමුත් මම කොහොම හරි ඉදිරි අවුරුදු දෙක තුනේදී උපාධිය සම්පූර්ණ කරනවා.

ඔ‍ෙබ් පියා (දිනේෂ් ප්‍රියසාද්) ලංකාවේ දැවැන්ත සිනමා කරුවෙක් වුණාට ඔබට තවම සිනමාවේ දැනෙන යමක් කරන්න ඉඩක් ලැබුණේ නෑ නේද?

ඔව්. පසුගිය කාලේ මට සිනමාවට ආරාධනා ලැබුණේ නෑ. හැබැයි මට මේ අවුරුද්දේ චිත්‍රපට තුන හතරකට ම ආරාධනා ලැබිලයි තියෙන්නේ. ඒ අතරින් කීපයක් ප්‍රධාන චරිත නෙමෙයි; නමුත් හොඳ චරිත. එක් චිත්‍රපටයක රූපගත කිරීම් මැයි මාසයේදීත් තවත් චිත්‍රපට දෙකක රූපගතකිරීම් මේ අවුරුද්ද අන්තිමේදී ආරම්භ වේවි.

ටෙලිනාට්‍යවල ඔබට විවිධ චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබිල තියෙනවාද?

මගේ බාහිර පෙනුමත් එක්ක මට වැඩිපුර කතා කරන්නේ නාගරික චරිතවලට. නමුත් 2010 අවුරුද්දේ විකාශය වුණු ‘සඳගිරි පව්ව’ ටෙලිනාට්‍යයේ මම නිරූපණය කළේ දුෂ්කර ප්‍රදේශයක ජීවත්වන ඉතා ගැමි චරිතයක්. ඒ රංගනයට තමයි මට ඒ අවුරුද්දේ හොඳම නැඟී එන නිළියට සම්මානය හිමි වුණේ. තවත් ටෙලිනාට්‍ය කීපයකම මට ගැමි චරිත නිරූපණය කරන්න අවස්ථාව ලැබුණා.

කලා ශිල්පිනියක් වීමට ලැබීම ගැන ඔබ සතුටු ද?

ඇත්තෙන් ම ඔව්. මොන දේ කළත් මම සතුටක් ලබන්නේ කලාකටයුතුවල යෙදීමෙන්. රූපගත කිරීම්වලදී කොපමණ දුෂ්කරතාවන්ට මුහණ දුන්නත් ඒ නිර්මාණය දකින විට රසික ප්‍රතිචාර ලැබෙන විට දැනෙන්නේ විශාල සතුටක්.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery