facebook page

Powered by Blogger.

Blogger templates


සල්මාන් ඛාන් කියන්නේ ඉන්දියාව ඇතුළු අනෙක් රටවල් වගේම ශ්‍රී ලංකාවේත් ඉතා ජනප්‍රිය බොලිවුඩ් තරුවක්. අයිෆා සිනමා සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පැවැති අවස්ථාවේ අපේ රටට ආ සල්මාන්ට ශ්‍රී ලංකාවේ සිනමා රසික, රසිකාවියන්ගෙන් ලැබුණේ ලොකු පිළිගැනීමක්. 

ශ්‍රී ලංකාවට හා එහි සොඳුරු බවට මෙන්ම ජනතාවටද දැඩි ලෙස ඇළුම් කරන බව කියූ සල්මාන් එවර අපේ රටට පැමිණියේ සිනමා තරු මේ සඳහා සහභාගි නොවීම හරහා අයිෆා සම්මාන උළෙල ශ්‍රී ලංකාවේ පැවැත්වීම කඩාකප්පල් කිරීමට දකුණු ඉන්දියානු දේශපාලනඥයින් කටයුතු කරමින් සිටියදී වීම මෙහිදී අප කෘතඥතා පූර්වකව සඳහන් කළ යුතුයි. අමිතාබ් බච්චන් හා ෂාරුක් ඛාන් මෙහි නොපැමිණියත් සල්මාන් පැමිණි අතර මේ නිසාම දකුණු ඉන්දියාව තුළ ඔහුගේ චිත්‍රපට තහනම් කරනු ලැබිමේ අවදානමක් තිබුණත් ඒ කිසිවක් ඔහු ගණනකට ගත්තේ නැහැ.

අයිෆා සම්මාන උළෙල ඇතුළු තවත් සමාජ සේවා කටයුතුවලටත් මෙහිදී නොපැකිල ඉදිරිපත් වූ සල්මාන් රූපවාහිනී සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් පවසා තිබුණේ තම මීළඟ චිත්‍රපටයේ රූපගත කිරීම් ශ්‍රී ලංකාවේදීද සිදුකරන බවයි. ඒ කියූ ආකාරයටම ඔහු රෙඩි චිත්‍රපටයේ කොටසක් ශ්‍රී ලංකාවේදී රූපගත කළා. ඒ අනුව චිත්‍රපටයෙන් සියයට හතළිහක් පමණ රූපගත කෙරුණේ කොළඹ හා බෙන්තොටයි. 


මොරිෂස් දූපත්වල රූගත කිරීමට සූදානම්ව තිබුණු රෙඩි ශ්‍රී ලංකාවේ රූපගත කෙරුණේ තනිකරම සල්මාන් ඛාන්ගේ වුවමනාව මතයි. ශ්‍රී ලංකාව ඉන්දියානු චිත්‍රපට රූපගත කිරීම්වලට ගැළපෙන තැනක් බව මේ ගැන සඳහන් කරමින් සල්මාන් කියා තිබුණු අතර රෙඩි ආදායම් වාර්තා තබමින් සාර්ථක ලෙස තිරගත වුණා. මේ අනුව සල්මාන්ට පාඩමක් උගන්වන්නට බලා සිටි දකුණු ඉන්දියාවේ වෑයම අසාර්ථක වූ අතර අදටත් ඔහු ජනතාවගේ ආදරය නොමසුරුව දිනා සිටින බොලිවුඩයේ ජනප්‍රියතම නළුවෙක්.

    ශ්‍රී ලංකාවට පෙම් බැඳ සිටින සල්මාන් දැන් තවත් කටයුත්තකට ශ්‍රී ලංකාව හා සම්බන්ධ වෙන්න සූදානම්. ඒ බින් හියුමන් නමින් ඉන්දියාව තුළ ඔහු සාර්ථකව පවත්වාගෙන යන සමාජ සේවා කටයුතු සඳහා වන ඇඳුම් පැළඳුම් ව්‍යාපාරයේ පළමු ජාත්‍යන්තර ශාඛාව ශ්‍රී  ලංකාවේ ඇරඹීමයි. පසුගිය දිනයක මුම්බායේ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව කියා තිබුණා.


  “දැන් හුඟදෙනෙක්  බින් හියුමන් නිෂ්පාදන මිලයට ගන්නවා. මින් ලැබෙන ලාභය සම්පූර්ණයෙන්ම යන්නේ අසරණ වූ ජනතාවට උදව් කිරීමටයි. මේ වසර තුළදී ඉන්දියාවේ තව බින් හියුමන් වෙළෙඳසල් හතළිහක් අරඹන්නටත් මේ ව්‍යාපාරය ජාත්‍යන්තරයට යාම සනිටුහන් කරමින් ශ්‍රී ලංකාවේ වෙළෙඳසලක් අරඹන්නටත් මම බලා‍පොරොත්තු වෙනවා. අපි දැන් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග එකඟතාවයකට පැමිණ අවසන්.” මෙහිදී සල්මාන් වැඩිදුරටත් කියා තිබුණා.


ඒ වගේම මේ වෙළෙඳසල් හරහා රැකියා අහිමි පුද්ගලයන්ට නව රැකියා අවස්ථාත් නිර්මාණය වෙනවා. සල්මාන්ගේ හිතට නැගුණු අදහසක් අනුව බිහිවූ මේ වෙළෙඳ ජාලය ඉන්දියාව තුළ දැනටම කෙතරම් සාර්ථකද කියතොත් 2013 වසරේ ඉපැයූ ආදායම ඉන්දියානු රුපියල් කෝටි 179ක්. බින් හියුමන් හෙවත් සල්මාන් ඛාන් පදනමේ නිෂ්පාදන ජනප්‍රිය වන්නට සල්මාන් නළුවෙකු ලෙස ලබා ඇති ජනප්‍රියත්වය හා ආදරය බෙහෙවින් ඉවහල් වන බව නොරහසක්.


  බින් හියුමන් ශ්‍රී ලංකාවේ වෙළෙඳසල විවෘත කරන දවසට සල්මාන් ඛාන් නැවත අපේ සිනමා රසිකයන්ටත් දැකගන්නට ලැබෙනු ඇති.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery