facebook page

Powered by Blogger.

Blogger templates


රන්ජන් රාමනායක පාර්ලිමේන්තුවේ උණුසුම් පුවත් මවන්නෙක් සේම, ඔහු කවදත් ආදරය කළ සිනමා ක්ෂේත්‍රයේත් නිරන්තර උණුසුම් පුවත් මවන්නෙක්. සමහරු දේශපාලනයට ප්‍රවිෂ්ට වූ විට කලාවේ නියැළීමට ඇති කාලය අඩු බව කියමින් බොහෝ විට කලාව වෙනුවෙන් වැය කරනුයේ අවම කාලයකි. එහෙත් රන්ජන් අද පාර්ලිමේන්තුවේ සිටිනවා සේම හෙට උදෑසන දිවයිනේ කුමන හෝ ප්‍රදේශයක දර්ශන තලයක සිටිය හැකිය. ඒ තරමට සමබරව ඔහු දේශපාලන ගමනත්, තමන් බොහෝ දුෂ්කරතා මැද දිනාගත් සිනමා ගමනත් එක්කොට පාලමක් තනන්නේය.

මේ දිනවල ඔහු මේ ගමන් ම‍ඟේ තවත් සුවිශේෂී චරිතයක් ඔස්සේ සිය සිනමා ප්‍රේක්ෂකයින් හමුවට පැමිණෙන්නේය. මේ චරිතය වඩ වඩාත් සුවිශේෂී වන්නේ එය ඔහුගේ සැබෑ නමට කිසියම් ආකාරයකින් සමානත්වයක් දක්වන නාමයකින් පෙනී සිටීමය. ඔහුගේ නවතම රංගනය රැගත් ‘රන්ජා’ චිත්‍රපටය මෙම 28 වැනිදා සිට සිනමා ප්‍රේක්ෂක ඔබ සැම වෙනුවෙන් විවෘතය. ‘රන්ජා’ ගැන ‘රන්ජන්’ සමඟ කළ කතාබහ වෙන්වනුයේ ඒ වෙනුවෙනි.

ඔබ රඟපාන නවතම චිත්‍රපටය වන ‘රන්ජා'ට ඒ නම යෙදුවේ ඔබ නිසා ද?

මේ නම යෝජනා කළේ මේ චිත්‍රපටයේ නිෂ්පාදකවරයා වන සුනිල් ටී. ප්‍රනාන්දු මහතායි. මේ යෝජනාව මතු වෙත්දි මම කල්පනා කළේ ඒක ඒ තරම් හොඳ දෙයක් නොවන බවයි. නමුත් මේ චිත්‍රපටය ‘රන්ජා - වන්ෂොට් 02’ කියන නමින් එන නිසා සුනිල් ටී. ප්‍රනාන්දු මට මෙහෙම පැහැදිලි කිරීමක් කළා. ‘වන්ෂොට්’ කියලා කිව්වම මුළු ලංකාවේම සිනමා ප්‍රේක්ෂකයින්ට මතක් වෙන්නේ ඔයාව.

ඒ නිසා අපි මේ චිත්‍රපටයට ‘රන්ජා - වන්ෂොට් පාට් ටූ’ කියලා දාමු. ඊට පස්සෙ ඔහුගේ මේ යෝජනාවට මම එකඟ වුණා. අනිත් පැත්තෙන් මගේ ඉතාම සමීපතම මිතුරන් මට කතා කරන්නේ ‘රන්ජා’ කියලා. ඒ නම මිනිස්සුන්ට ළෙන්ගතුකමක් තිබෙන නිසා මේ චිත්‍රපටයට ඒ නම යොදලා තිබෙනවා. විශේෂයෙන් චිත්‍රපට ශාලා හිමියන් සහ තවත් බොහෝ පිරිසකගෙන් ඒ ගැන විමසා තිබූ අවස්ථාවලදීත් ඔවුන් ද මේ නම වඩාත් ගැළපෙනව කියලා අනුමත කරලා තිබුණා.

‘රන්ජා’ කොයි වගේ චිත්‍රපටයක් ද?

අවනීතියේ රජවරුන් නිරුවත් කරන වන්ෂොට් පාට් ටූ - ‘රන්ජා’ යනුවෙන් තමයි මේ චිත්‍රපටයේ තේමාව විදියට යොදලා තිබෙන්නේ. අපේ රට 1947 නිදහස ලැබුවට පස්සේ මුල්ම යුගයේ දේශපාලනඥයින් අතර ඉන්න ඩී. එස්. සේනානායක, ඩඩ්ලි සේනානායක, ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ, ජෝන් කොතලාවල, එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක, දේශපාලනය කළේ ඔවුන් සතු බොහෝ දේ ජනතාව වෙනුවෙන්, දේශපාලනය වෙනුවෙන් පරිත්‍යාග කරලා. ධන කුවේරයෝ විදියට ඉපදිලා ජනතාව වෙනුවෙන් සියලු දේ කරලා ඔවුන් කිසිවක් හිමි නැති අය විදියට මියගියා. 

ඊට පසු කාලීනව දේශපාලනයට ආපු සාමාන්‍ය පුද්ගලයෝ මේ රටේ විවිධ ව්‍යාපාරවල යෙදිලා ඉන්න ව්‍යාපාරිකයෝ (කසිප්පු, ගංජා, කුඩු, දූෂකයෝ, මැරයෝ) ආදීන්ගේ උදව් ඇතිව දේශපාලනයට ආවා. ටික කාලයක් යනකොට සාමාන්‍ය පුද්ගලයෝ දේශපාලනයට එවමු මේ ව්‍යාපාරිකයෝ සිතනවා අපි මොකටද අනුන්ව දේශපාලනයට යවන්නේ අපිම යනවානේ අපේ සල්ලි වියදම් කරගෙන කියලා. ඒ විදියට තුන්වැනි කණ්ඩායමකුත් බිහි වෙනවා. මෙන්න මේ විදියෙන් දේශපාලනයට ආපු ඇමැතිවරයකු කරන විශාල වංචාවකට එරෙහිව නැගී සිටින පුද්ගලයකුට හා පිරිසකට මුහුණ දෙන්නට සිදුවන ගැටලු හා සිද්ධි තමයි ‘රන්ජා’ චිත්‍රපටයේ තේමාව වන්නේ.

මේ චිත්‍රපටයේ ඔබ වීරයෙක්. ඔබ හිතනව ද තවමත් ඔබට වීරයා වෙන්න පුළුවන් කියලා...

මම වීරයෙක් ද නැත්ද කියලා තීරණය කරන්නේ මම නෙමෙයි. ඒක තීරණය කරන්නේ ප්‍රේක්ෂක ජනතාව. මට විසිල් කරන්නෙත්, මට ‘හූ’ කියන්නෙත් ප්‍රේක්ෂක ජනතාව. මම චිත්‍රපටයක් කරලා තිබෙනවා. මම වෙනත් ආකාරයක දේශපාලන මතයක් දැරුවත් මෙච්චර කල් ප්‍රේක්ෂක ජනතාව මගේ රංගනය ප්‍රිය කරලා තිබෙනවා.

ඔබ තාමත් චිත්‍රපටවල ‘පෙම්වතා'. පෙම්වතාගේ පෙනුම තාමත් ඔබට තිබෙනවා කියලා විශ්වාස ද?

මම නම් නෙමෙයි ඒක තීරණය කරන්නේ. මෑතකදී මම රඟපෑ චිත්‍රපටයේ පෙම්වතාට මාව තෝරාගත්තේ එහි නිෂ්පාදක සුනිල් ටි. ප්‍රනාන්දු මහතා. එතුමාට තාමත් මාව පෙම්වතෙක්. වීරයෙක් විදියට පෙනෙනවා ඇති. මොකද මාව චිත්‍රපටවලට ගන්න ඔවුන් මගේ ඥාතීන් නොවෙයිනේ. මගේ ගාණ ගෙවලා, මට කෑම බීම, යන්න එන්න පහසුකම් දීලා ගන්නේ මාව ඒකට සුදුසු නිසානේ. හැබැයි ඉතින් මම දන්න විදියට ඉන්දියන් සිනමාවෙත් මේක වෙනවා. රැජිනි කාන්ත් අවුරුදු 68 ක් වීරයගේ චරිතය රඟපෑවා. දීපිකා පදුකෝන්ට ආදරය කළා. වීරයාට 68 යි පෙම්වතියට 28 යි. එම්. ජි. රාමචන්ද්‍රන් පවා ඔය විදියට රඟපෑවා. හොලිවුඩ්වල ගත්තත් ෂෝන් කොනරි, ආර්නෝල්ඩ් ස්වසෙනගර් වැනි නළුවන් ඔහොම රඟපාලා තිබෙනවා. ප්‍රේක්ෂක ප්‍රතිචාරය තිබෙනකම් මම රඟපානවා.

හැබැයි ඉතින් වයසින්නම් දැන් ඔබ බොහෝ දුර ගිහින් නේද?

ඒක ඉතින් කාටවත් වළක්වන්න බැරි දෙයක්නේ. ස්වභාව ධර්මයට අනුව අපි හැම දෙනාම වයසට යනවා. හැබැයි මේ ළඟකදීත් මට වෛද්‍යවරයෝ කිව්වා මගේ නිරෝගී ස්වරූපයට බොහෝ දුරට හේතුව මම තනිකඩයෙක් නිසා ආතතිය 90% ක්ම අඩුයිනේ. මට උදේ දරුවන්ව ඉස්කෝලෙ ගෙනියන්න, ඒ අයගේ ජීවිත ආරක්ෂාව, කෑම බීම, බිරියගේ වගකීම්, ඇඳුම් පැලඳුම් ඔය කියන වගකීම් මුකුත් නෑ. බුදු හාමුදුරුවොත් කිව්වෙ ‘රාහුලයෙක් උපන්නා බැඳීම් වැඩිවුණා’ කියලා.

ඉතින් මට තවමත් මගේ ජීවිතේ තරුණකම දැනෙනවා. උදේට ජිම් එකට ගියාම එක්ස්සයිස් කරනකොට තරුණයන් හා සමානවම මම ඉන්නවා. චිත්‍රපටවල තාමත් ෆයිට් කරගන්නේ මමමයි. පළමුවැනි take එකෙන්ම අධ්‍යක්ෂවරයා ඕ.කේ. කරනවා. මම හිතනවා මගේ ජීවිතේ වැඩි වගකීම් නැති නිසා මට යෝග අභ්‍යාස කරන්න, පොත් කියවන්න, ඇති තරම් වෙලා තිබෙනවා. ඒ නිසා මට වයස ගැන ප්‍රශ්න ඇවිල්ලා නෑ. මම දුම් පානය කරන්නේ නෑ. මත්පැන් පානය කරන්නේ නෑ. සැහැල්ලු මනසකින් නිතරම ජීවත් වෙන්නේ.
ඔබ තාමත් ආසයි මල් ගස් වටේ දුවමින්, සින්දු කියමින් රඟපාන්න.

ඔව්. ඒක හරිම සුන්දර රංගනයක්. සිනමා නළුවෙක් විදියට මම ඒක කවදාවත් ප්‍රතික්ෂේප කරන එකත් නෑ. මාව ඒ චරිතවලට තෝරගන්නකම්.

ඔබේ චිත්‍රපට ලැයිස්තුව දිහා බැලුවම ‘සීරියස්’ චරිත තිබෙන්නේ බොහොම අඩුවෙන්. දැන්වත් කැමැති නැද්්ද සීරියස් වෙන්න.

ඒක මට තීරණය කරන්න බෑ. සීරියස් චරිත ලැබිලා නොලැබී ගිය අවස්ථා අනන්තවත් තිබෙනවා. සමහර අවස්ථාවල මගේ ප්‍රතිපත්ති නිසා අහිමි වුණු චරිත, වෙළෙඳ දැන්වීම් සන්නාම තානාපතිකම් බොහෝ තිබෙනවා. මේ නොලැබීම් එක්ක හීනි දුකක් නැතුවාම නොවෙයි. නමුත් සත්‍ය කතා කිරීමේ ‘චූන්’ එක මට ඊට වඩා වටිනවා. ඒක මුදල්වලට වඩා වටිනවා. peace of mind කියන එක මට හරියට වටිනවා. ඒ ගැන කතා කරත්දි මට මතක් වෙනවා රජිනි කාන්ත් රඟපාන ‘මුත්තු’ කියන චිත්‍රපටය. මේ චිත්‍රපටයේ රජිනි කාන්ත් රඟපාන්නේ ගහක් යට නිදාගෙන ඉන්න සාමි කෙනෙකුගේ චරිතය. දවසක් ඔහු ළඟට මිනිහෙක් ඇවිත් විශාල සල්ලි බෑග් දෙකකුත් එක්ක කියනවා, මට හැමදේම තියනවා මිල මුදල් යාන වාහන, ගෙවල් දොරවල් ඕනතරම්. ඒත් මට peace of mind නෑ කියලා. එතකොට අර සාමි කියනවා ජීවත්වෙන්න ඇති තරම් යමක් තියාගෙන ඉතිරි ටික නැති බැරි අයට බෙදලා දෙන්න. එතකොට peace of mind ලැබෙයි කියලා. එතකොට අර පුද්ගලයා කියනවා ‘අනේ බොහොම ස්තුතියි එහෙනම් මේ සල්ලි මලු දෙක මම ඔබ ළඟින් තියලා යන්නම් කියලා.

සාමි කියනවා මෙච්චර කල් බොහොම නිදහසේ මේ ගහක් යට මම ජීවත් වුණා. ඔය සල්ලි මලු දීලා මගේ peace of mind එක නැති කරන්නයි හදන්නේ කරුණාකරලා ඕවත් අරගෙන යන්න කියලා.

මම ජීවත්වෙන්නෙත් මන්ත්‍රී නිවාසයක 10 x 12 කාමරයක. කුලිය රුපියල් 1000 යි. කන්නේ බොන්නේ සාමාන්‍ය විදියට. මට ජීවත් වෙන්න වැඩි වියදමක් යන්නෙ නෑ. මට පැය 08 ක් හොඳට නින්ද යනවා. ඒ නිසා මම ගත කරන්නේ හරිම නිදහස් ජීවිතයක්.

කලාවයි, දේශපාලනයයි ගැළපෙන්නේ නෑ නේද?

ඒක එක එක්කෙනා හිතන විදිය අනුව වෙනස් වෙනවා. කලාවයි, දේශපාලනයයි කරපු බොහෝ පිරිස් අපි අතර ඉන්නවා. එම්. ජී. රාමචන්ද්‍රන්, විජය කුමාරතුංග, වික්ටර් හාරා ආදි බොහෝ පිරිස් කලාවයි දේශපාලනයයි එකට කළා. මේකට කියන්නේ දේශපාලනය නොවේ. දේස සේවය, විජය කුමාරතුංග මහත්මයාට ලංකාවේ සුපිරි නළුවා විදියට ඉන්න පුළුවන්කම තියෙද්දි දුෂ්කර දේශපාලනය තෝරගෙන මැරුම් කෑවා. චේ ගුවේරා කියන්නේ දොස්තර කෙනෙක්. ඒත් ඔහු ජනතාව වෙනුවෙන් දුක් විඳිමින් දුක්ඛිත ජීවිතයක් ගත කළා. කලාකරුවා කියන පුද්ගලයා මහජනතාවගේ එස්. එම්. එස්. එකෙන් ඔසවා තබන්නේ තනියම කන්න නොවෙයි.

සමහරු නම් දේශපාලනයට ගියාම කලාව අමතක කරනවා.

මට එහෙම කරන්න ඕන කමක් නෑ. මට කාලය හරියට තිබෙනවා. ඒක ඉතාම ක්‍රමානුකූලව මම පාලනය කරගන්නවා. දේශපාලකයෝ විදියට පාර්ලිමේන්තුවේ වැඩියෙන්ම කතා කරනවා. ඒ වගේම තමයි චිත්‍රපටවලත් තාම ඉන්නවා. ජනතා ප්‍රසාදය තාමත් මට තිබෙනවා people's award 9 ක් මම ලබා ගත්තා. තරුණ සම්මාන ලබා ගත්තා. සරසවි සම්මාන නවත්වනතුරුම 6 පාරක් ජනප්‍රිය නළුවා සම්මාන ලබා ගත්තා.

ඇයි ඉතින් තාමත් තනිකඩවම ඉන්නෙ?

හැම දෙයක්ම තාවකාලිකයි කියලා මම දන්නවා. මේ නිදහස් ජීවිතේට මම කැමැතියි. අඩුම තරමින් එලාර්ම් තියලා උදේට නැගිටින්න වත් මම කැමැති නෑ. ඔරලෝසුවටවත් යටත් වෙන්න මම කැමැති නෑ. මගේ යාළුවෝ එහෙම වැඩ ගොඩාක් පහුවදාට ලෑස්ති කරගෙන එලාර්ම් තියලා නිදාගත්තට උදේට නැගිටින්න වෙලා නෑ. Heart attack ඇවිත් නැතිවෙලා තිබෙනවා.

ඉදිරි බලාපොරොත්තු මොනව ද?

කිසි දෙයක් බලාපොරොත්තු නෑ. ලැබෙන දේ පමණක් බාර ගන්නවා. කිසිම ප්ලෑන් එකක් නැතුව මේ ලෝකෙට ආපු අපි ප්ලෑන් හදාගන්න එක තමයි මේ ලෝකේ ලොකුම විහිළුව. ඒ හින්දා සතුටින් ඉන්නවා. වැරදි කරන්නෙ නෑ. මෙච්චර කල් ජනතාව මාව පිළිගත්තා. ඒ ප්‍රේක්ෂක ආදරය මැද තමයි මම මෙතැනට ආවේ. ඒක කිසිදාක මට අමතක නෑ. කවුරු මොනව කළත්, නොකළත් ඒ ජනතාව වෙනුවෙන් පෙනී සිටීම මගේ පරම යුතුකම.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery