facebook page

Powered by Blogger.

Blogger templates


* 'ඩොක්ටර්' පටන්ගැන්මෙන්ම අපේ පිළිසඳර අරඹමු..?

ලන්ත්‍රා : මම රොක් සංගීත කණ්ඩායමක ප්ලේ කරන කාලේදී තමයි ක්‍රිෂාන්ව හඳුනා ගන්නේ. ඉතින් ටික කාලයක් අපි දෙන්න එකතු වෙලා ප්ලේ කළා. ඔහොම ටික කාලයක් යනකොට ෆුල් බෑන්ඩ් එකක් පටන් ගත්තොත් හොඳයි කියලා හිතුණා. ඊට පස්සේ අපි පස්දෙනා එකතු වෙලා 'ඩොක්ටර්' කියන නමත් දාගෙන බෑන්ඩ් එක පටන් ගත්තා.

* ඩොක්ටර් කියන නම දාගත්තේ මියුසික් වලට කැමැති අය ලෙඩ්ඩු කියලා හිතාගෙනද?

බෑන්ඩ් එකට දාන නමක් කල්පනා කරද්දි හැමෝටම කියන්න පුළුවන් සරල නමක් තිබුණොත් හොඳයි කියලා හිතුණා. ඉතින් එක පාරට ඔළුවට ආපු නම තමයි 'ඩොක්ටර්'. ඒ නමත් එක්ක අලුත් දෙයක් කරන්න පුළුවන් කියන අයිඩියාස් ඔළුවට ආවා. ඒ අදහස එක්ක මුල් කාලයේ පෆොර්ම් කරද්දී අපේ එක සෙට් එකක් ස්ටේජ් සිං කළෙත් ඩොක්ටර් ලෝගු ඇඳගෙනයි. අනික සමහර හිතේ අමාරුකම් වලට සංගීතයත් ඕන වෙනවා වගේ සංගීතයෙන් ලෙඩ වෙලා ඉන්න කට්ටියව සංගීතයෙන් හොඳ කරන්න පුළුවන් අවස්ථා තියෙනවා. එහෙම බලද්දි සංගීතය කියන්නෙත් එක්තරා විදිහක ලෙඩ සුව කරන ඔසුවක් තමයි.

* එතකොට 'මියුසික් ක්ලිනික්' එකෙන් ප්‍රතිකාර කරන්නේ මොන වගේ රෝගින්ටද?

ගීත නිර්මාණය කිරීම සඳහා අවශ්‍ය බෙහෙත් කළමනා සහ සුදුසු ප්‍රතිකර්ම සියල්ලක්ම මෙහිදී ලැබෙනවා. සංගීතයෙන් ලෙඩ වෙලා ඉන්න ඕනෑම කෙනෙක්ට මියුසික් ක්ලිනික් විවෘතයි.

* 'ඩොක්ටර්' කියන නම නිසාම මුහුණ දුන් අපුරු සිදුවීම් ඇති?

සිදුවීම් නම් ගොඩක් තියෙනවා. එක දවසක් කෙනෙක් ඇවිත් මගෙන් ඇහුවා පුතා ඔයා මොන ඉස්පිරිතාලෙද කියලා. මම කිව්වා නෑ අංකල් මම ඉස්පිරිතාලෙක නම් නෙවෙයි බෑන්ඩ් එකේ නම 'ඩොක්ටර්' කියලා. තව ෂෝ එකකදී කෙනෙක් ඇවිත් ඇහුවා මේ බෑන්ඩ් එකේ ඩොක්ටර් කවුද කියලා. සමහර අය බෑන්ඩ් එකේ නම නිසා අපේ නම්බර්ස් ෆෝන් එකේ සේව් කරගන්නේ ඩොක්ටර් කියන කෑල්ල ඉස්සරහට දාලා. පස්සේ එයාලටම අමතක වෙලා ඩොක්ටර්ස්ලා කියලා හිතාගෙන අපිට කතා කරලා අහනවා ඩොක්ටර් දැන් ක්ලිනික් එකේ ඉන්නවද කියලා.

* ඩොක්ටර් පටන් ගැන්මේ ආභාසය වුණේ ජිප්සිස්ද නැතිනම් ඩැඩිද?

බීට්ල්ස්, බීජිස් වැනි ඉන්ටනැෂනල් බැන්ඩ්ස් වල ආභාසය තමයි අපි ගොඩක් වෙලාවට ලබා ගත්තේ. ඊට හේතු වුණේ අපි හැමොම නිතරම රසවිඳින්න පුරුදු වෙලා හිටියේ ඕල්ඩීස්. ඔය අතරේ ජිප්සිස් පවුලේ බෑන්ඩ් එකක් නිසා පවුලේ ඇතුළේ වුණත් නිතරම ජිප්සීස් ගීත ඇහෙන පසුබිමක් තිබුණේ. ගොඩක් වෙලාවට තාත්තලා (නිහාල් පෙරේරා) ප්ලේ කරද්දී අපි බලන්න ඉන්නවා. ඉතින් අපි නොදැනුවත්ව හරි ඒ ආභාසයත් අපේ බෑන්ඩ් එකට එන්න ඇති. මමත් ඒ පවුලේ කෙනෙක් නිසා කොච්චර ඔය මතයෙන් මිදෙන්න උත්සාහ කළත් අපිව දන්න මිනිස්සු ඒ විදිහට තමයි දකින්නේ. කරන්න දෙයක් නැහැ ඉතින්.

* 'ඩොක්ටර් 'කියන්නේ 'ඩැඩි' කොපියක් කිව්වොත්?

නැහැ.' ඩැඩි' අපේ සංගීත ශෛලියට වඩා හාත් පසින්ම වෙනස් සංගීත කණ්ඩායමක්. ගයාන්ගෙයි මගෙයි නෑකම නිසයි 'ඩොක්ටර්'සහ 'ඩැඩි' කම්පෙයාර් කරන්නේ. නෑකමක් නොතිබුණා නම් ඔය ගැටලුව නැහැ. තවත් පිරිසක් අපිව මනින්නේ ටීවී එකේ අපි සිං කරන විදිහ හා අපේ විඩියෝස් එක්කයි.ඒත් අපේ ලයිව් පෆෝර්මන්ස් දකින අයට අපේ සංගීත ශෛලියේ වෙනස වටහා ගන්න පුළුවන්.

* 'ඩොක්ටර්' බොහොමයක් නිර්මාණ විනෝදකාමියි?

හාස්‍යජනක නිර්මාණ වලට අපි පෞද්ගලිකව කැමැතියි. දැන් රේඩියෝ එකක් ඇහුවොත් හැම වෙලේම ඇහෙන්නේ අඬන සින්දු. අපිට මිනිස්සු අඬවන්න ඕන නැහැ. ඉඳලා හිටලා ඇඬෙව්වට කමක් නැහැ. එත් දැන් උදේ ගිහින් හවසට ගෙදර එන්න වෙන්නෙත් අඬාගෙන. ඉතින් මේ ඇඬිල්ලත් එක්ක මිනිස්සුන්ට හිනා වෙන්නත් අවස්ථාවක් දීලා කාලෙත් එක්ක වෙනසක් කරන්න ඕනේ කියන තැන තමයි අපි ඉන්නේ. ආදර ගීතයක් රිලිස් කරන්න අදහසක් තිබුණත් තාම ඒ වගේ ගීතයක් කියවෙන්නේ නැහැ. ඔළුවේ තියෙන්නෙම ජොලි සින්දු.

*මේ නිසාද බොහෝ කාලයකින් අලුත් නිර්මාණයක් එළියට අවේ නැත්තේ?

අපි කරපු ගීත නම් ගොඩක් තියෙනවා. ප්‍රධානම හේතුව වෙඩිංස් සහ ෂෝස් එක්ක අපි ගොඩක් බිසී වෙන නිසා වීඩියෝ එකක් කරන්න තරම් වෙලාවක් හම්බවෙන්නෙත් නැහැ. මූලිකම ප්‍රශ්නේ සල්ලිත් නැහැ. දැන් මිනිස්සු පුරුදු වෙලා තියෙන්නේ සින්දු අහන්න නෙවෙයි බලන්නයි. ඉතින් පොඩි පොඩි බජට් වලින් වීඩියෝ කළා කියලා හිට් වෙන්නේ නැහැ. එක්තරා මාධ්‍ය ජාලයකින් හරිම චීප් වීඩියෝ එකක් කියලා ප්‍රතික්ෂේප කරපු අපේ 'නව පිටුවක්' වීඩියෝව යූ ටියුබ් දැම්මහම ඉහළ ප්‍රතිචාර ලැබුණා. ඉතින් සල්ලි දීලා මීඩියා චාර්ට් ෂෝස් වලට දීලා වැඩක් නැහැ. ඊට වඩා සෝෂල් මීඩියා වලින් ඕන තරම් වෙලාවක් සින්දු අහලා බලලා රස විඳින්න පුළුවන්. චාර්ට් ෂෝස් වල දාන්නෙත් සිලෙක්ටඩ් කට්ටියගේ නිර්මාණ විතරයි නේ. දැන් මාස දෙක තුනක ඉදලා ඊළඟට එළියට දාන ගීතය ගැන ඩිස්කස් කරත් තවම සින්දුවක් එළියට දාන්න හරියටම සෙට් වුණේ නැහැ.

* මුල්ම ගීතයට ලැබුණු ප්‍රතිචාරත් එක්ක ඒ මතකය අවදි කළොත්?

අපේ මුල්ම ගීතය 'ඇත්තමයි කියන්නේ'. ඒකට සෑහෙන හොඳ ප්‍රතිචාර ලැබෙද්දි තව එකක් කරන්න ඕන කියලා අමුතු ෆිට් එකක් එද්දි ඒ එක්කම සල්ලි තමයි ප්‍රශ්ෙන් කියලත් කල්පනා වුණා. දැන් අපිව විවේචනය කරපු ඒ ටීවී චැනල් එකමයි ඒ කාලේ අපිට මාර විදිහට සපෝට් කළේ. ඉතින් පළවැනි වීඩියෝ එක රිලීස් වුණහම පොඩි ළමයින්ගෙන් තමයි මුල්ම ෆීඩ් බැක් එක ආවේ. ඒ දවස්වල බස් එකේ යද්දිත් කට්ටිය එහෙන් මෙහෙන් බලනවා. "අර ඉන්නේ ඩොක්ටර් බෑන්ඩ් එකේ ලන්ත්‍රා නේද" කියල කසුකුසු ගාද්දී මාර ලැජ්ජයි. ඉතින් පොඩ්ඩ පොඩ්ඩ කට්ටිය හිනා වෙන්න කතා කරන්න එනකොට අපිත් ආසයි කතාබහ කරලා ඔවුන්ගෙන් අපේ ගීත වල හොඳ නරක අහගන්න. කවුරු හරි අපිත් එක්ක හිනා වෙනකොට අපේ දත් තිස්දෙකම එළියට පනිනවා. හැබැයි වෙන කල්පනාවකින් හිටියොත් තමයි පුංචි පුංචි අතපසුවීම් වෙන්නේ නැතුව ආඩම්බර කමකට නෙමෙයි.

* සහෝදර 'ඩැඩි' බෑන්ඩ් එක අභියෝගයක් නෙවෙයිද?

ඩැඩි අභියෝගයක් වුණේ නැහැ. අපි කාවවත් අභියෝගයක් කර ගන්නෙත් නැහැ. එයාලගේ මියුසික් ස්ටයිල් එක වෙනස් .

* ලන්ත්‍රා, ගයාන් ඔබේ ඥාති සහෝදරයා නිසා ඔය දෙන්නට එකතු වෙලා බෑන්ඩ් එකක් හදා ගන්න තිබුණා?

අපි සහෝදරයෝ ටික එකතු වුණහම ඉස්සර ජොලියට ස්ටුඩියෝ එකේ බෑන්ඩ් එකක් ප්ලේ කරනවා. නමුත් ගයාන් ගේ ස්ටයිල් එකයි මගේ ස්ටයිල් එකයි වෙනස්. ඉතින් මගේ ස්ටයිල් එකට ගැළපෙන පිරිසක් එක්ක තමයි ඩොක්ටර් පටන් ගත්තේ. ගැළපෙන අදහස් තියෙන කට්ටියක් එකතු වුණහම සාර්ථකව කරගෙන යන්න පුළුවන්. පස්දෙනා පස් විදිහට හිතුවත් අදහස් එක තැනකට ගොනු කර ගන්න පුළුවන්.

* ලාංකේය සංගීත ක්ෂේත්‍රයට තවමත් දැනෙන යමක් 'ඩොක්ටර්' ගෙන් ඉටු වෙලා නැහැයි කිව්වොත්?

ලොකු වෙනසක් දැනෙන්න තරම් වීඩියෝ එකක්වත් කිසිම නිර්මාණයක්වත් තවම අපි දාලා නැහැ. ඒත් අපේ ලයිව් පර්ෆොමෙන්ස් වලින් ලැබෙන ෆීඩ් බැක් එක හොඳටෝම ඇති.

* ඇල්බම් කරන අදහසට මොකද වුණේ?

අදහසක් තිබ්බා ඒත් සින්දු ටික තවම ඉවර නැති නිසා ඒක ගැන අපි කතා කරන්නේ නැහැ. ඇල්බම් එක කරන්න අපි භාර දීපු ආයතනය අපේ තිබ්බ අදහස නැති කළා. ඇල්බම් දෙකකට හරියන්න සින්දු අපි ළඟ තියෙනවා. කවදාහරි රිලීස් කරනවා හැබැයි ඒ කවදද කියලා තමයි කියන්න බැරි.
* ඉදිරි වැඩකටයුතු ගැන දැන ගන්න රසිකයන් කැමැති ඇති?

අපේ වෙබ් සයිට් එක රිලීස් වෙනවා ළඟදිම. www.doctorband.lk. ඔස්සේ ඉදිරියේදී අපේ අලුත් තොරතුරු දැන ගන්න පුළුවන් වෙයි. ගීත දෙකකින් එක ගීතයකට වීඩියෝ එකක් කරලා ජූලි, අගෝස්තු වෙද්දී රිලීස් කරන්නත් බලාපොරොත්තු වෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery