facebook page

Powered by Blogger.

Blogger templates


පුංචි සන්ධියේ වෙසක් නාට්‍යයේ රාජ කුමාරිය වුණ ඇය විවාහක රූ රැජන ලෙස මුළු රටේම අවධානය දිනා ගන්න වාසනාවන්ත වුණා. හැම මොහොතකම සුන්දර හිනාවක් ඇඳුණ ඇගේ රූපේට බොහෝ දෙනෙක් ආදරය කළා. එදා අපි ඒ දුටු ඇගේ සුන්දර රුව තාමත් වෙනසක් නෑ ඒ වගේමයි. ඒ සුන්දර රූ සපුවේ හිමිකාරිය වෙන කවුරුත් නෙමෙයි මනිෂා නාමල්ගමයි.

ඔබට ඔබේ රූපය ගැන වැඩිපුරම දැනෙන්න ගත්තේ කොයි කාලෙදිද?

මම පොඩි කාලේ ඉඳන්ම පාටයි. පෙනුමයි. ලස්සනයි. වයස අවුරුදු දහසය දහහත කාලෙදි මම අවුරුදු උත්සවවල අවුරුදු කුමරි තරගවලට ඉදිරිපත් වුණා. ඒ තරගවලින් ජයග්‍රහණය කරන කාලෙදි තමයි මට වැඩිපුරම මගේ රූපය ලස්සනයි කියලා දැනුණේ.

ඔය ලස්සන රූපෙට අනෙක් අයගේ අවධානය යොමු වෙනවා කියලා දැනුණේ?

පාසල් යන කාලේ ඉඳන්ම මගේ නෑදෑයෝ, අසල්වැසියෝ, යාළුවෝ හැම කෙනෙක්ම මට ආදරය කළා. ලස්සන රූප සොබාව නිසා වගේම මගේ ගති පැවතුම් නිසා තමයි ඒ වගේ ආදරයක් මට ලැබුණේ. කොහොමත් පුංචි කාලේ ඉඳන් මේ වෙනකල් මගේ රූපයට විශාල ප්‍රතිචාර ලැබෙනවා.

ඔබේ රූපය ගැන කෙනෙක් කළ ලොකුම වර්ණනාව මොකක්ද?

එහෙම එකක් කියලා නෑ. ගොඩක් වර්ණනා ලැබුණා. ගැමි පෙනුමක් තිබුණ නිසා මම කොහේ ගියත් කැපිලා පෙනුණා. මම හිතන්නේ ඒක මම උපතින් ගෙනාපු දෙයක්.

පාසලේදිත් ඔය ආකර්ෂණීය රූපෙට තැනක් ලැබෙන්න ඇති නේද?

මම රංගනයට එන්නේ පාසල් කාලෙදිමයි. පාසලේ වෙසක් නාට්‍යවල මම රාජකුමාරිය වුණා. ඒ වගේම මම පාසලේ හැම විශේෂ අවස්ථාවකම නර්තන, රංගන අංශයන්ගෙන් දක්‍ෂතා පෙන්නුවා.

රූපය ඔප දාගන්න මොනවද ඒ කාලේ කළේ?

අනේ මම ගෙදර ඉන්න කාලේ ඉඳන් ලස්සන වෙන්න කිසි දෙයක් කළේ නෑ. බාහිර ආලේපන මට ඕන තරම් තෑගි බෝගවලට ලැබිලා තියෙනවා. හැබැයි මට ඒවා ගාන්න වෙලාවක් නෑ. මම හැමදාම හිතුවේ හිත හොඳින් තියාගන්න. හිත හොඳ වෙනකොට කාටත් ඊර්ෂ්‍යා නොකර සතුටෙන් ඉන්නකොට මූණත් ලස්සන වෙනවා. හැබැයි මම එදත් අදත් පිරිසුදුව පිළිවෙළට ඉන්න උත්සහ කරනවා.

රූපය හැඩකර ගන්න කට පරිස්සම් කරගන්න වෙනවා නේද?

ඔව්. කෑම පාලනය නම් අත්‍යවශ්‍යයි. වෙන අය වගේ සාමාන්‍ය විදිහට තුන් වේල මම කෑවොත් මාව පිම්බෙනවා. ආරයට තමයි ඒ මහත් වෙන්නේ. ඒ නිසා මම එහෙම කන්නේ නෑ. උදේට සරල ආහාරයක් ගන්නවා. දවල්ට බත් ටිකක් එක්ක එළවළු වැඩිපුර කන්න නම් මම කොහොමත් කැමැතියි. රෑට සලාදයක් හරි, පලතුරු හරි, හොඳ කිරි වීදුරුවක් හරි තමයි කෑමට බීමට ගන්නේ.

ඔබේ රූපය නිසා ලැබුණ දේවල්ද නොලැබුණු දේවල්ද වැඩි?

ලැබුණු දේවල් තමයි වැඩි.

විවාහක රූ රැජන වීම රූප සොබාවට ලැබුණු විශේෂ අගය කිරීමක් නේද?


ඔව්. මම ආපස්සට හැරිලා බැලුවම මගේ රූපයට විශේෂම තැනක් ලැබුණේ 2004 විවාහක රූ රැජන වීමෙන් කියලා මට ලොකු සතුටක් දැනෙනවා.

අධ්‍යක්‍ෂවරු ඔබේ රූපයෙන් වැඩක් ගත්ත කියලා හිතනවද?

අවංකව මට දැනෙන විදිහට කිව්වොත් අධ්‍යක්‍ෂවරු මගේ රූපයෙන් හොඳ ප්‍රයෝජනයක් ගත්තේ නෑ.

ඔබේ රූපය තිරයෙන් ලස්සනට දැකලා නැද්ද?

අපෝ දැකලා තියෙනවා. දූවරු ටෙලි නාට්‍යයේ, හිරිපොද වැස්ස චිත්‍රපටයේ වගේ ගොඩක් නිර්මාණවල මගේ චරිතයට ගැළපෙන ලස්සන මම දැක්කා.

බොහෝ තරුණයන් රුවැති ගුණැති බිරියක් සොයනවා. ඔබේ රූපයෙත් වටිනාකමක් ඔබේ සැමියට දැනිලා තිබුණද?

ඔව්. කේ්‍රල් කොණ්ඩයක්, පැහැපත් සමක් එක්ක විවාහ වෙන වයසෙදි මට ගොඩක් හොඳ රූපයක් තිබ්බා. මගේ සැමියත් රූපෙන් අගතැන්පත් කෙනෙක්. එයා එයාගේ අම්මගේ ගති සොබාවන්, රූපය මා තුළින් දැකලා තිබුණා. මගේ ගැමි අහිංසක පෙනුමට එයා, ගොඩක් කැමැතියි. ඔහු මාව සහකාරිය විදිහට තෝර ගන්නේ කාන්තා පාර්ශ්වයෙන් පවා ජනප්‍රියත්වයක් හිමි කරගෙන තියෙන කාලෙක. මගේ තිබුණු සිත් බැඳගන්නා සුලු රූපයේ අනෙක් අයට වඩා විශේෂත්වයක් ඒ කාලෙදි එයා අනිවාර්යෙන් දකින්න ඇති.

කොහොමද ඔය රූපෙට ඔබේ ප්‍රේක්‍ෂකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර?

කලාවෙන් ලැබුණු එකම දායාදය තමයි ප්‍රේක්‍ෂක ප්‍රතිචාර. මම පාරේ ගියත් ළඟට ඇවිත් අත අල්ලගෙන කියනවා ඔයා ටී.වී. එකේ දකිනවට වඩා ලස්සනයි කියලා. ප්‍රේක්‍ෂකයන්ගෙන් මෙවැනි ප්‍රතිචාර ලැබෙන එක ඇත්තටම සතුටක්.

ඔබට ඔබේ රූපය වගේම අනෙක් අයගේ රූපවල ලස්සන දකින්න පුළුවන්ද?


අපොයි ඔව්. මම කොතැනකදී වුණත් ලස්සන කෙනෙක් දැක්කොත් හදවතින්ම වර්ණනා කරනවා. ඒ වගේම ලස්සනට ඉන්න මගේ සමීපතයන්ට කියලා දෙනවා. අපි සල්ලි දීලා ඇඳුම් ඇඳලා අපහසුතාවට පත්වෙන්න ඕනේ නෑනේ. මම කොහොමත් තොරොම්බල් කරත්තයක් වගේ අඳින්නේ පලඳින්නේ නෑ. ඉතින් මම මට ඇහුම්කන් දෙන අයට තැනට - වයසට ගැළපෙන විදිහට අඳින පලඳින විදිහ කියලා දෙනවා.

රූපලාවණ්‍යාගාරයක් පටන් ගත්තේ තමන් ලස්සන වෙන ගමන් අනෙක් අයත් ලස්සන කරන්නද?

රූපලාවණ්‍ය මට අත්‍යවශ්‍ය නොවුණට අනිත් අයට එය ගොඩාක් අවශ්‍ය වෙන තැන් තියෙනවා. අපි වගේ අයගෙන් ලස්සන වෙන්න යම් යම් දේවල් ගන්න ගොඩක් අය කැමැතියි. මම කාලයක් එකතු කරගත්ත රූපලාවණ්‍ය දැන්ම අනිත් අය වෙනුවෙන් පාවිච්චි කරනවා. ඒත් මම රූපලාවණ්‍ය දැනුමෙන් මට ප්‍රයෝජන ගන්නවා අඩුයි.

කාලය ගෙවිලා යනකොට තරුණ රූපේ වෙනස් වෙනකොට දුකක් නැද්ද?

කවදාවත් දුකක් නෑ. අපි වයසට යන්න ඕන. ඒක ස්වභාවධර්මය. මම හැම දෙයක්ම උපේක්‍ෂාවෙන් දරා ගන්නවා. මට මේ ගෙවෙන කිසිම මොහොතක් ගැන දුකක් නෑ.

තිළිණි කෞෂල්‍යා විජේසිංහ

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery