facebook page

Powered by Blogger.

Blogger templates



අතුරු සිදුරු නැතිව නරඹන්නන්ගෙන් පිරීගිය ක්‍රීඩාංගණයක ඉඳ ජයඝෝෂා ඔල්වරසන් හඬ මැද අපේ ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන තරගයක් නැරඹීමේදි ඇතිවන අපූර්ව වූ චමත්කාර ජනක අත්දැකීම ඔබ විඳ තිබේද? එය වචනයෙන් විස්තර කළ නොහැකි හැඟීමක් බව කී‍ෙවාත් ඔබ මා හා එකඟ වනු ඇත.
මේ හැඟීම තදින් ම හිතට කා වැදුණු ඔහු කුඩා කාලයේ සිට අපේ ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩා කරන සෑම තරගයක් ම පාහේ නරඹන්නට ගියේ ය. දහස් සංඛ්‍යාත ප්‍රේක්ෂකයන් අතර හිඳිමින් ඔවුන්ගේ ‍උද්වේගය වැඩි කරමින් අපේ ක්‍රීඩකයන් දිරි ගැන්වූ ඔහු ඒ නිසා ම සුවිශේෂී චරිතයක් බවට පත්ව සිටී.
අපේ ර‍ෙට් පමණක් නොව විදෙස් රටවල පවා ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කරද්දී සිංහ කොඩිය වනමින් ලෝකයටම අපේ කම පෙන්වූ මේ අපූරු ක්‍රිකට් පිටියේ ශ්‍රී ලාංකේය දිරිගන්වන්නා ලබන 20 වැනිදා එංගලන්තයේ පැවැත්වෙන තරගවලදී නරඹන්නන් අතර හිඳිනු අපට දැක ගත හැකි ය.


* ඔබේ නම

ගයාන් මංජුල සේනානායක

* ගම -

කළුබෝවිල

* පවුලේ අය -

තාත්තා නිමල් සේනානායක. අම්මා චිත්‍රානි ද සිල්වා. අයියා බුද්ධික සේනානායක. තාත්තා මම කුඩා කාලයේදීම මිය ගිහින්‍.

* පාසල් ගියේ -

කළුබෝවිල මහා විද්‍යාලයට.

* ක්‍රිකට් තරග නරඹන්න යොමුවුණේ -

පුංචි කාලෙ ඉඳලම ක්‍රිකට් වලට ආසයි. යාළුවො එක්ක ක්‍රිකට් සෙල්ලම් කළා. ටී.වී. එකේ මැච් බැලුවා. තනියම යන්න පුළුවන් වුණා. පස්සෙ මගෙ යාළුවා නිලාම් එක්ක ග්‍රවුන්ඩ් එකට ගිහින් මැච් බලන්න පුරුදු වුණා.

* ඔබේ ප්‍රියතම ක්‍රීඩකයා කවුද?

අරවින්ද ද සිල්වා. ඊළඟ අර්ජුන සහ රොෂාන් මහානාමට. දැනටත් අරවින්ද තමයි ලෝකයේ හොඳම පිතිකරුවා විදිහට මම දකින්නෙ.

* දැනට නරඹලා තිබෙන විශේෂිත තරගාවලි මොනවද?

2011 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාවේ පැවැත්වුණු තරග 2 සමඟ සියලු ම තරග නැරඹුවා. ආසියානු කුසලාන තරගාවලිය, විස්සයි 20 ලෝක කුසලාන තරගාවලි දෙක, චැම්පියන් කුසලාන තරගාවලි දෙක බලලා තියෙනවා.

* ක්‍රීඩකයන් සමඟ හිතවත් වුණේ කොහොමද?

තරගයක් බලන්න ගියාම වටේ පිටේ ඉන්න කට්ටියම එකතු කරගෙන මම චියර් කරනවා. තරගය ඉවර වුණ හැටියෙ හැමෝ ම වගේ යනවා. ඒත් මම ටීම් එක බස් එකට නැගල යනකම්ම ඉන්නවා. විශේෂයෙන් තරග පැරදුණාම ඔවුන් එක්ක කතා කරනවා. ඔවුන් දිරිගන්වනවා. එහෙම තමයි ඔවුන් හිතවත් වුණේ.

* එහෙම හිතවත් වුණු අය කිව්වොත්

ලංකාවේ ප්ලේයර්ස්ල හැමදෙනාම වගේ මාත් එක්ක හිතවත්. විශේෂයෙන් මහේල, මුරලි, සංගා, සනත්, ළහිරු මා සමඟ ගොඩක් හිතවත්.

* විදෙස් රටකට ගිය පළමු අත්දැකීම.

2006 දී බංගලිදේශ ටුවර් එකට තමයි මම මුලින් ම ගියෙ. මාත් සමඟ නිලාම් සහභාගි වුණා. ඒක හරිම දුෂ්කරතා මැද ගිය ගමනක්. මුලින් ම චෙන්නායිවලට ෆ්ලයිට් එකේ ගියා. චෙන්නායි වලින් කල්කටාවලට පැය 32 ක් කෝච්චියේ ගියා. කල්කටා ඉඳන් පැය 12 ක් ඩකා වලට බස් එකේ ගියා. පළමු තරගය තිබුණෙ චිතගොං වල. එතෙන්ට ඩකා වල ඉඳල පැය 8 ක විතර දුරක් ගියා.

* ඔබට ලංකා කණ්ඩායම මුණ ගැහුණා ද?

ලංකා ටීම් එකයි ඉන්ග්ලන්ඩ් ටීම් එකයි බෑග් අරගෙන හොටේල් එකට එන්න කලින් අපි හෝටලය ළඟට ගිහින් හිටියා. කට්ටියට මාව දැක්කම පුදුමයි. ඊට පස්සෙ අපිව කාමරවලට අරගෙන ගිහින් ඇඟ පත හෝදගෙන මහන්සි නිවාගන්න දුන්නා. පස්සෙ ඒ අය ග්‍රවුන්ඩ් එකට යනකොට අපිවත් එක්ක ගියා. ක්‍රීඩකයින් අරගෙන යන බස් එකේ ආරක්ෂාවට ගිය ජීප් එකේ තමයි අපි දෙන්නා ගියේ.

* මේ ගමනට වියදම හොයාගත්තෙ කොහොමද?

හිටපු ක්‍රිකට් පාලක මණ්ඩල සභාපති ජයන්ත ධර්මදාස මහත්මයා සහ ඒ දවස්වල ටීම් එකේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් තමයි අපට ගමන් වියදම් දුන්නෙ.
බංගලාදේශයේ ඉන්න ශ්‍රී ලාංකිකයො අපට නවාතැන් දීල කෑම බීම දීල ගොඩක් උදව් කළා.

* ඔබ මෙතෙක් ගොස් ඇති රටවල් මොනවාද?

ඕස්ට්‍රේලියාවට එක්වරක්, ඩුබායිවලට දෙවරක්, ඉන්දියාවට පස් වරක්, බංගලිදේශයට හතර වරක් ගිහින් තිබෙනවා.

* විදෙස් ක්‍රීඩකයන් පවා ඔබ සමඟ මිතුරුයි.

සචින් ටෙන්ඩුල්කා, රෝහිත් ෂර්මා, ඉෂාන්ට් ෂර්මා, ගෞතම් ගාමිභීර්, රයිනා, දෝනි, බ්‍රෙට්ලී, මයිකල් ක්ලාක්, මොහොමඩ් අෂ්රාෆුල්, කයිලි මිල්ස්, බ්‍රෙන්ඩන් මැකලම් වගේ ක්‍රීඩකයින් රාශියක් ම මා සමඟ මිතුරුයි.

* ඔබ ළඟ ඇති සිහිවටන ගැනත් කියන්න‍.

ලෝකයේ ගොඩක් ක්‍රිකට් ක්‍රීඩකයින් ටීෂර්ට්, කැප්, වගේ ම ඔවුන්ට ලැබුණු තිළිණ පවා මට දීලා තියෙනවා. මා ළඟ ඒවා විශාල එකතුවක් ‍තියෙනවා.

* ඔබ IPL තරගාවලියටත් සහභාගි වුණා.

ඉන්දියාවේ තරග නරඹන්න ගියාම සචින්, දෝනි , ගාම්භීර්, ‍ෂවාග් වගේ ප්ලේයර්ස් අඳුන ගත්තාම ඔවුන් තමයි ආරාධනා කළේ IPL බලන්න එන්න කියලා‍. වියදම් සියල්ලම දැරුවෙත් ඔවුන්.

*IPL නරඹද්දී විශේෂ සිදුවීමක් කියන්න.

ශාරුක් ඛාන් හඳුනාගන්න ලැබුණා. ඔහු මා සමඟ ගොඩක් හිතවත් වුණා. මෙය සාමාන්‍ය කෙනකුට නොලැබෙන විශේෂ වරප්‍රසාදයක් විදිහටයි මම දකින්නෙ. ඔහු මට දුරකථනයෙන් පවා කතා කරන්න තරම් දැන් හිතවත්.
ඊට අමතරව බොලිවුඩ් නිළි දීපිකා පදුකෝන්, කට්රිකා කායිෆ් මාව හොඳින් දන්නවා. කෝටිපති ව්‍යාපාරිකයින් වන මුකේෂ් අම්බානි, නීටා අම්බානි ඇතුළු ඒ පවුලත්, විජේ මල්ලියා පවුලේ අයත් මා එක්ක පෞද්ගලිකව හිතවත්.

* ඔබ විදෙස් රටවල ගිහින් කෑගසද්දී විරෝධතා ඇවිත් නැද්ද?

අපි කෑගහන්නෙ තරගයේදී විතරයි. ඒක අපි කරන්නෙ රට දිනවන්න ක්‍රීඩකයින් දිරිගන්වන්නයි. තරගය නැති වෙලාවට අනෙක් රටවල ජනතාව සමඟ අපි පෞද්ගලිකව සුහදශීලියි. මම වගේ ම අනෙක් රටවලත් දිරිගන්වන්නන් ඉන්නවා. ඔවුන් හැම දෙනාම දැන් මගේ මිතුරන්. ඔවුන් ලංකාවට එනවා නම් මා සමඟ සම්බන්ධකම් පවත්වාගෙන තමයි එන්නෙ.

* ඔවුන් කවුද කියල කියලා කියමු.

ඉන්දියාවේ සචින් ෆැන් එයාගෙ නම සුධීර් කුමාර් ගෞතම්. බංගලිදේශයේ සොයිෆ් අලී, පාකිස්ථානයේ චචා, ඕස්ට්‍රේලියාවේ ලුග් ගිලියන්, නවසීලන්තයේ සනී, එංගලන්තයේ බාමි ආමි නායක ජිමී.

* අමතක නොවන සිදුවීමක් සිහිකළොත්‍.

2011 ලෝක කුසලාන අවසාන තරගය නරඹන්න ගියාට අපිට ටිකට් ගන්න බැරිවුණා. අපි දෙන්නා යනකොට ටිකට් ඉවර වෙලා. පස්සෙ එවකට ශ්‍රී ලංකා පුහුණුකරු ස්ටුවට් ලෝ මහතා අපිට ටිකට් දෙකක් දුන්නා. මේක දැකපු ඉන්දියාවේ අය ඉන්දියන් රුපියල් ලක්ෂ දෙක ගණනේ දෙන්නම් ටිකට් දෙක දෙන්න කියල වද කළා.

ඒත් අපි කිව්වෙ අපි ආවේ තරගය බලන්න. අපේ ෆ්ලේයර්ස්ල දිරි ගන්වන්න ඒ නිසා විකුණන්නෙ නෑ කියලා. එදා අපි තරගය පැරදුණා. ඒ ගැන හරිම දුකයි. ඒ සිදුවීම කවදාවත් අමතක වෙන්නෙ නෑ.
අපේ ක්‍රීඩකයින් දිරිගන්වන ප්‍රවීණයා පර්සි ගැන කතා කළොත්.

පර්සි අංකල් තමයි මේක මුලින් ම පටන් ගත්තෙ‍. ඔහු මට හරි ආදරෙයි. මගෙන් පස්සෙ මේක දිගට ම කරගෙන යන්න කෙනෙක් ඉන්න ඕන ඔයා තමයි ඒකට සුදුසු කෙනා කියල නිතරම කියනවා.

ඔබ ලෝකයටම හදුන්වාදුන් වැඩසටහන කුමක්ද?

ඔබ ගැන Ten sport වල අධ්‍යක්ෂවරයෙක් තමයි විරූ මුරුගප්පන් ඔහු මගේ හිතවතෙක්. ඔහු මගේ නිවසට ඇවිත් ICC 360 කියන වැඩසටහන කළා. එය ලෝකය පු‍රා විකාශය වුණා.

ඔබේ එංගලන්තය සංචාරය ගැන කතා කළොත්.

මම දැන් ඩීන් බ්‍රදර්ස් ආයතනයේ සන්නාම තානාපති ලෙස සේවය කරනවා. මේ සඳහා මට අවස්ථාව සැලසුණේ සනත් ජයසූරිය මහත්මයා නිසා. ඔහු මට ඩීන් බ්‍රදර්ස් ආයතනයේ කළමනාකාර අධ්‍යක්ෂතුමා වන දේශමාන්‍ය ආචාර්ය නදීබ් ඩීන් මහතා හඳුන්වා දුන්නා.

දැන් එතුමා මාව සම්පූර්ණ තරග සඳහා සේවය මුදා හැරල තිබෙනවා. රට වෙනුවෙන් දිරිගන්වන්න යන මේ ගමන් සඳහා එතුමා අනුග්‍රාහකත්වය දරනවා. ඒ නිසා එතුමාටත් එහි සේවකයන්ටත් මම රට වෙනුවෙන් ස්තුති කරනවා. මම ලබන 20 වැනිදා ආරම්භ වෙන තරග බලන්න එංගලන්තය බලා යාමට සූදානම් වනවා

* ගයාන්ගේ අනාගත බලාපොරොත්තුව.

මගේ සිහිනයක්ව තිබුණේ ලෝකයේ ක්‍රිකට් රන්දෙවොල ලෙස හඳුන්වන එංගලන්තයේ ලෝඩ්ස් වල ක්‍රීඩා තරගයක් නැරඹීමයි. එය ළඟදීම ඉටුවේවි.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery