facebook page

Powered by Blogger.

Blogger templates


නුතන ශ්‍රී ලාංකේය සංගීතය නව මානයකට ගෙන යාමේ පුරෝගාමීන් වූ ඔවුන් විවිධ සංගීත ශෛලී හරහා අපූර්ව නිර්මාණ බිහිකරමින් තාරුණ්‍යයේ උන්මාදයක් ඇති කළ අපේ කාලේ නිර්මාණකරුවන් දෙපළකි. ඔවුන් ගැන හඳුන්වා දීමට තවත් අටුවා ටීකා අවශ්‍ය නැත. භාතිය - සන්තුෂ් නම් වූ ඔවුන් නුතන සංගීත ක්ෂේත්‍රයේ බිහිවූ අපූර්වතම සුසංයෝගයයි.

* ‘ලස්සන දෑසක්'කාලෙකින් කරපු වෙනස් නිර්මාණයක් ?

නිර්මාණකරණයේදි බොහෝ කාලයක් හිතල කරන නිර්මාණ සහ හදිස්සියේම ඔළුවට ඇවිත් එවෙලේ තීරණය කරල හදන නිර්මාණ තියෙනවා. ‘ලස්සන දෑසක්’ එවැනි නිර්මාණයක්. මේ වීඩියෝ එක අධ්‍යක්ෂණය කළේ ඩිලන්. ඔහු ගේ සංකල්පයට අනුව මෙහි අන්තර්ගතය වුණේ අනාගත ප්‍රබන්ධනාත්මක සිදුවීමක්. මෙවැනි අනාගතය හා බැඳුණු විද්‍යාත්මක ප්‍රබන්ධයක් නිර්මාණය කිරීමේදී ග්‍රැෆික් තාක්ෂණය බොහොසේ අත්‍යවශ්‍ය වෙනවා. ඉතින් එය අභියෝගයක්. අපි මේ සංකල්පයට කැමැති වෙන්න ප්‍රධානම හේතුව මෙය අභියෝගාත්මක කටයුත්තක් නිසා. නවීන තාක්ෂණික ක්‍රමවේදයේ අඩුලුහුඩු කම් තිබියදී ලංකාවේ තියෙන සම්පත් යොදා ගෙන මෙවැනි නිර්මාණයක් කිරීමේ අභියෝගය තමයි තිබුණේ. නමුත් ඒ අභියෝගය අපි සෑහෙන දුරට ජයග්‍රහණය කළා.

* නමුත් ගීතයේ අර්ථය සහ මේ වීඩියෝ එක අතර කිසිම ගැළපීමක් නැහැ නේද?

එහෙම කවුරු හරි කියනවා නම් අවංකවම ඒ කතාවේ අසත්‍යතාවයක් නැහැ. ඔබ කියනවා වගේ ගීතයේ ජනප්‍රියත්වයට හෝ එහි අර්ථයට යම් හානියක් වෙන්න පුළුවන්. නමුත් අපි ඒ ගැන එතරම් තැකීමක් කළේ නැහැ. අපේ අරමුණ ගීතය ජනප්‍රිය කරවීම නොවෙයි. මේ කන්සෙප්ට් එකේ තිබු අභියෝගය ජය ගැනීමයි. මේ නිර්මාණය අත්හදා බැලීම් සමූහයකට මුහුණදීමට සිදුවූ තරමක් අවදානම් සහිත කර්තව්‍යයක්. අපේ රටේ මෙවැනි අභියෝග භාර ගන්නවා අඩුයි. අපි උත්සහ කළේ රට ඇතුළේ ඉඳගෙන හොලිවුඩ් වගේ නිර්මාණය කරන්නයි. ඇත්තටම කවුරු මොනවා කිව්වත් ඕනෑම නිර්මාණාත්මක දෙයක් කරන්න පුළුවන් අදහස්, හැකියාව සහ දක්ෂතාව තිබෙන තරුණ කොට්ඨාසයක් අපේ රටේ ඉන්නවා. මේයත් සියයට සියයක්ම ශ්‍රී ලාංකේය වූ එවැනි නිර්මාණයක්.

* මේ නිර්මාණය සාර්ථකයි කියා හිතනවද?

නිර්මාණාත්මක බවින් අතිශයින්ම සාර්ථකයි. මේ ගීතය බලලා රස විඳින ඕනෑම කෙනෙකුගේ අවධානය සොරා ගෙන තිබෙන්නේ විෂුවල්ස් නිසා. ගීතයේ පද පේළියක් වත් මතක හිටින්නෙත් නැහැ. අලුත් අත්දැකීමක් නිසා ගීතයට තියෙන අවධානය අඩු වෙන්න පුළුවන්.

* නිර්මාණ එළි දැක්වීමේ මන්දගාමී ස්වභාවයක් තියෙනවා?

පහුගිය වකවානුවේදී වඩාත් අපේ අවධානය යොමු වුණේ අපේ ක්ෂේත්‍රයේ අනාගත ස්ථාවරත්වය පිළිබඳයි. අනෙක් කාරණය අපි ඉන්නේ සීඩී සහ ඇල්බම් නිර්මාණය එන්න එන්නම අඩු වේගෙන යන වකවානුවක. ඉතින් කරන්නම් වාලේ ඇල්බම් කිරීම සුදුසු නැහැ. නිර්මාණ එකතුවක් බිහි වීමට අලුත් අදහස් සහ කාලය අවශ්‍යයි.

* ක්ෂේත්‍රය තුළ අනාගත ස්ථාවරත්වයක් පිළිබඳ ඔබ දෙපළ කතා කළා?

අපේ ජීවන වෘත්තිය තමයි සංගීතය. එහිදි අපේ අනාගතය වෙනුවෙන් හා සංගීත ක්ෂේත්‍රයේ අනාගතය වෙනුවෙන් කළ යුතු දේවල් කරන්න ඕනෙත් මේ ක්ෂේත්‍රයේ සිටයි. සාමාන්‍යයෙන් වෙන රටක නම් නිර්මාණකරුවා ආරක්ෂා කරන්න යම් ප්‍රතිපත්ති සහ ක්‍රමවේද තියෙනවා. නමුත් අපේ කලාකරුවා ඔහුගේ ජීවිතය කලාවටම කැප කළ යුතුයි යන ලේබලයට සීමා කරල කලාව සහ මුදල අතර කිසිම සම්බන්ධයක් නැහැයි හංවඩු ගැහීමෙන් සිදු වුණේ නිර්මාණකරුවගේ මුල්‍යමය අයිතිවාසිකම් නැති වීමයි.

 මේ කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය ලෙස නිර්මාණකරුවා ව්‍යාපාරිකයන්ගේ හූරන් කෑමට ලක් වෙනවා. මෙන්න මේ අසාධාරණය කවුරුත් දකින්නේ නැහැ. අපි වුණත් වෙන ක්ෂේත්‍ර වලට යොමු වෙන්න ඕනෑ තරම් අවස්ථාව තිබියදීත් මියුසික් වලට ආවේ මියුසික් අපේ ඇඟේ තියෙන දෙයක් නිසා. මුදල් සහ ව්‍යාපාරික හේතු මත අපි කවදාවත් නිර්මාණ කරන්නේ නැහැ. නමුත් කලාව තෝරා ගැනීමෙන් කලාකරුවාගේ ජීවන මට්ටම හෝ ස්ථාවරත්වය ගොඩනඟා ගන්න බැරි නම් එය ඔහුට හෝ ඇයට සිදුවන ලොකු අසාධාරණයක්.

 අද ඇල්බම් හොරෙන් විකුණන සින්දු හොරෙන් ඩවුන්ලෝඩ් කරන යුගයක සංගීතය ජීවන වෘත්තිය කරගෙන ආර්ටිස් කෙනෙක් රැඳිලා ඉන්නේ කොහොමද? ඒ වෙනුවෙන් තමයි අපි හඬ නඟන්නේ. අනාගතයේදී කලාවට ළැදි ඕනෑම දරුවෙක්ව බයක් සැකක් නැතුව ඒ ක්ෂේත්‍රයට යොමු කරන්න නම් මේ ක්ෂේත්‍රයේ ඔවුන්ගේ ස්ථාවරත්වයක් ගොඩ නඟා ගැනීමේ ක්‍රමවේද තිබිය යුතුයි.

* භාතිය සන්තුෂ්ගේ ජනප්‍රියත්වය තරුණ පරපුර අතර කෙමෙන් කෙමෙන් අඩු වෙනවා කිව්වොත්?

දැනට අපේ ෆේස් බුක් පේජ් එක ගත්තොත් ලංකාවේ ආර්ටිස්ලාගෙන් වැඩිම රසික පිරිසක් ඉන්නේ අපේ ෆෑන් පේජ් එකේ වෙන්න ඇති. ලක්ෂ හතරකට කිට්ටු පිරිසක් අපි වටා රොක්වෙලා ඉන්නවා.

* ඔබේ කණ්ඩායමේ දීර්ඝ කාලීනව හිටපු අශාන්ති මෑත කාලයේදී ඔබලාගේ නිර්මාණ අතර දකින්න ලැබුණේ නැහැ?

මේ දවස්වල අශාන්ති ඇගේ අලුත් ඇල්බම් එක හදාගෙන යනවා. අපේ හැම ‘සරා සිහින’ කොන්සර්ට් එකකම ඇය අපිත් එක්ක හිටියා. ඉදිරියේදීත් අලුත් ගීත සමග නැවතත් එකතු වෙයි. අපේ සාමාජිකයන්ගේ අඩු වැඩි භාවයක් කවදාවත් නැහැ. අශාන්ති කියන්නේ BnS පවුලේ අත්‍යවශ්‍ය සාමාජිකාවක්.

* භාතිය- සංතුෂ් සුසංයෝගයේ රහස කුමක්ද?

අපි වෙනස් පුද්ගලයන් දෙදෙනෙක්. හැබැයි අපේ වැඩ ගැන අපි එක අරමුණක් තියා ගන්නවා. ඒ අරමුණට ළඟා වෙන විදිහ වෙනස්. මේ සම්මිශ්‍රණය තමයි BnS තුළින් එළියට එන්නේ. අපේ සුසංයෝගය වසර පහළොවකට වැඩියි. ඒ අතර අර්බූදකාරී අවස්ථා පැන නැඟුණහම ඒවා සාකච්ඡා මාර්ගයෙන් නිරාකරණය කර ගන්නවා. අපිව දෙකඩ කරන්න උත්සහා කරපු අයත් මේ අතර ඕන තරම් හිටියා.

* නවක පරපුරේ හැකියාව ගැන ඔබලාගේ අදහස?

අතිශයෙන්ම හොඳයි. නව නිර්මාණ, තාක්ෂණය සහ හැකියාවන් සම්බන්ධ සැහීමකට පත් වෙන්න පුළුවන්. නමුත් ඔවුන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ගැටලුව නිසා ෆීල්ඩ් එකට එන අයගේ පැවැත්ම අඩුයි.

* ඔබ දෙපළ පෞද්ගලික ජීවිතයේ තොරතුරු මාධ්‍ය සමඟ බෙදා ගන්නවා අඩුයි?

අපේ ෆේස් බුක් පේජ් එකට යන ඕනෑම කෙනෙක්ට අපේ දේවල් දැන ගන්න පුළුවන්. මාධ්‍ය සාකච්ඡාවකදී වුණත් අපි පටන් ගන්නේ ඕනෑම දෙයක් අහන්න කියලයි.

* භාතිය කියන සංගීතඥයා පිළිබඳ සන්තුෂ් දකින සුවිශේෂී ගුණාංගය?

ඔහු අලුත් අදහස් තියෙන කෙනෙක්. නිර්මාණකරණයේදී ඒ වෙනුවෙන් ලොකු වෑයමක් දරලා ඒ නිර්මාණය සාර්ථකව නිමා කරන්න උපරිම වෙහෙස මහන්සි වෙනවා. පාර්ට්නර් කෙනෙක් විදිහට මා ඔහුව අගය කළ යුතුමයි.

* භාතිය, ඔබ සන්තුෂ්ගේ දකින සුවිශේෂී ගුණාංගය?

ඔහු ඉන්නේ ඔහුගේම ලෝකෙක තනි වෙලා. එවිට බාහිර දේවල් බැහැර කර ඕනෑම වෙලාවක නිර්මාණයක් කිරීමේ හැකියාව ඔහුට තියෙනවා.

*නිර්මාණ එකතුවක් එළිදැක්වීමේ අදහස තවත් කල් යන හැඩයි?

ඉදිරියේදී අපේ ගීත කිහිපයක් රසවිඳින්න ලැබෙයි. තව මාස තුන හතරක් මෙහෙම නිහඬව ඉඳලා ඒ කාලයේදී අපේ ඊළඟ ඇල්බම් එකට ලෑස්ති වෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery