facebook page

Powered by Blogger.

Blogger templates


සෑම බෞද්ධයකුගේ ලොව ආදර්ශවත්ම චරිතය ලොව්තුරු බුදුරජාණන් වහන්සේයි. ජීවිතයක් නිවැරදිව ගැඩගස්වා ගැන්මට උන් වහන්සේගේ චරිතයෙන් ලැබෙන්නේ ඉමහත් ආදර්ශයක්. බුදුන් වහන්සේගේ චරිතය සිනමා නිර්මාණයකට නැගීම මුල් කාලයේ යම් යම් අභියෝගවලට ලක්වන සුළු කාර්යයක් වුණා.නමුත් පසුව විවිධ නිර්මාණකරුවන් මෙයට අතගැසුවා. අප රටේ ද මේ සම්බන්ධව සිනමා නිර්මාණයක් එළිදුටුවා. නමුත් මේ සෑම නිර්මාණයකම විවිධ අඩුපාඩු තිබුණු බව රහසක් නොවෙයි. බුදුන් වහන්සේගේ චරිතය අප හමුවේ දිගහරින නවතම ටෙලි නාට්‍ය මාලාවක් ‘ශ්‍රී ගෞතම සම්බුද්ධ’ නමින් දෙරණ රූපවාහිනියෙන් පසුගිය මාර්තු 29 දා විකාශනය ආරම්භ කළා. අපි මේ කතා කරන්නට සූදානම් වන්නේ ඒ ගැනයි.

අප රටේ ‘ශ්‍රී ගෞතම සම්බුද්ධ’ යනුවෙන් විකාශනය කෙරෙන මෙය ඉන්දියානු නිෂ්පාදනයක්. එහි හින්දි නම වන්නේ ‘බුද්ධ - රාජාවොන් කා රාජා’ (බුදුන් වහන්සේ - රජුගෙත් රජු) යන්නයි. මෙය 2013 සැප්තැම්බර් 6 වැනිදා ඉන්දියාවේ ‘සී ටීවී’ හා ‘දූර්දර්ශන්’ යන නාලිකා ඔස්සේ සෑම ඉරිදාවකම පෙ.ව. 11ටවිකාශනය ආරම්භ කෙරුණා. ඉන්දියාවේ මෙය විකාශනය වූයේ පැයක ධාවන කාලයක් සහිත කොටස් 52කින් යුක්තවයි. ධර්මේෂ්ගේ අධ්‍යක්ෂණයෙන් හා බි.කේ. මෝඩිගේ නිෂ්පාදනයෙන් නිර්මාණය වුණු මෙහි පර්යේෂණ කටයුතු සහ පිටපත සකස් කිරීම සඳහා ඉන්දියාවේ සුප්‍රකට සිනමා නිර්මාණවේදීන් දෙපළක් වන අශුතෝෂ් ගෝවාරිකාර් සහ ශේකර් කපූර් ඉහළ දායකත්වයක් ලබා දුන්නා.

ඉන්දියානුවන්ගෙන් බහුතරය හින්දු ආගම ඇදහුවත් ඔවුන් බුදුන් වහන්සේ සලකන්නේ  අති ශ්‍රේෂ්ඨතම ඉන්දියානු පුත්‍රයා ලෙසටයි. හින්දුන් තරම් බුදුන් වහන්සේට ගෞරව කරන බෞද්ධ නොවන වෙනත් පිරිසක් ලොව නැති තරම්. ඇතැම් හින්දු ඉගැන්වීම්ල බුදුන් වහන්සේට සුවිශේෂත්වයක් ද ප්‍රදානය කොට තිබෙනවා. ඒ විෂ්ණුගේ දස අවතාරවලින් නව වන අවතාරය ලෙසින්. ඒ අනුව ඔවුන් බුදුන් වහන්සේ චරිතය ටෙලි නිර්මාණයක් බවට පත් කරන්නේ එම ගෞරවයත් මුල්කරගෙනයි. ඒ නිසා ඔවුන්ගේ නිර්මාණ තුළ බුදුන් වහන්සේගේ චරිතයට හානිවන කිසිවක් ඇතුළත් නොකිරීමට වගබලාගෙන ඇති බවයි පැවසෙන්නේ. 

‘ශ්‍රී ගෞතම සම්බුද්ධ’ ටෙලි නාට්‍යයේ අසිත තවුසා ලෙස කබිර් බේඩි රංගනයෙන් දායක වනවා. කබිර් බේඩි කියන්නේ හොලිවුඩ් චිත්‍රපටවලට පවා දායක වීමෙන් විශ්ව කීර්තියට පත් ඉන්දියානු සිනමා ශිල්පියෙක්. මහාමායා දේවියගේ චරිතය මුලින්ම නිරූපණය කරන්නට සිටියේ සෂ්මිතා සිංග් වුවත් පසුව ඒ සඳහා දීපිකා උපාද්‍යායි තෝරාගනු ලැබුවා. සිදුහත් කුමරුගේ පියාණන් වන සුද්දෝධන රජු ලෙස චරිතය නිරූපණය කරන්නේ සමීර් ධර්මාධිකාරි. ප්‍රධාන චරිතය වන සිද්ධාර්ථ චරිතය නිරූපණය කරන්නේ හිමන්සු සෝනි. 2010 වසරේ ඉන්දියානු රූ රැජින තරගයේ අවසන් 10 දෙනා අතරට තේරී පත්වුණු කාජල් ජායින් යශෝධරා කුමරියගේ චරිතයට පණ දෙනවා. ඒ අතර දැනට ඔබ ටෙලි නාට්‍යයේ දකින සිද්ධාර්ථ කුමරුන්ගේ ළමා කාලය නිරූණය කරන්නේ වේදන්ත් දත්තාති නම් දරුවායි. ඔහුට ඒ අවස්ථාව ලැබි ඇත්තේ ‘ස්ටාර් ප්ලස්’ රියැලිටි වැඩසටහනකින් පසුවයි. 

මෙම ටෙලි නාට්‍යය නිෂ්පාදනය කිරීම සඳහා ඉන්දීය රුපියල් මිලියන 100ක (ශ්‍රී ලංකා රුපියල් 213939400 - 21 කෝටියක් පමණ) මුදලක් වැය වී තිබෙනවා. 
ඇඳුම් සහ ආභරණ නිර්මාණය නිධි යාෂාගේ වන අතර දර්ශන තල සැකැස්ම වර්ෂා ජායින් විසින් සිදුකොට තිබෙනවා. පසුගිය වසරේ වෙසක් මංගල්‍යය යෙදී තිබූ සතියේ එක් දිනක් වූ මැයි 27 වැනිදා සුබ මොහොතින් මෙහි මුල්ම කොටස රූපගත කොට තිබෙනවා. 

ඉන්දියාවේ විකාශනය කෙරුනු මුල්ම දිනයේම නේපාලයේ කේබල් රූපවාහිනී ආයතන මෙය විකාශනය කිරීම තහනම් කළා. එයට හේතුව වූයේ බුදුන් වහන්සේ උපන්නේ ඉන්දියාවේ යනුවෙන් මෙම නාට්‍යයේ සඳහන් වීමයි. එය බහුතරය බෞද්ධයන් වූ නේපාල වැසියන්ට දරාගත නොහැකි දෙයක් යැයි එම කේබල් රූපවාහිනි සමාගම පවසා තිබුණා. බුදුන් වහන්සේ උපන් ලුම්බිණිය පිහිටා ඇත්තේ නේපාලයේ බැව් ඓතිහාසිකව මෙන්ම පුරාවිද්‍යාත්මකවත් තහවුරු වී තිබෙනවා. යුනෙස්කෝව පවා මෙය තහවුරු කොට සංස්කෘතික ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත්කොට තිබෙනවා. පසුව මෙම නාට්‍යයේ නිෂ්පාදක කණ්ඩායම මෙම වරද නිවැරදි කර ඔවුන් සිය නිල වබේ අඩවියෙන් මේ සම්බන්ධව නේපාල වැසියන්ගේ සමාව පවා ඉල්ලා තිබුණා.

දැන් ‘ශ්‍රී ගෞතම සම්බුද්ධ’ ‘දෙරණ’ නාලිකාවෙන් හැම සෙනසුරාදාවකම සහ ඉරිදාවකම රාත්‍රී 8.30ට ඔබට නරඹන්නට පුළුවන්.

නිරංජන් චාමින්ද කරුණාතිලක

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery