ඓතිහාසික මැයි දිනය මැයි 1 යෙදී ඇත. මේ වර්ෂ 1886 මැයි 4 දා ඇමරිකාවේ චිකාගෝ නුවර කම්කරුවන් පැය අටක සේවා කාලයක්‌ ඉල්ලා ආරම්භ කළ වැඩ වර්ජනයට පොලිසිය ප්‍රතිචාර දැක්‌වූයේ කම්කරුවන්ට වෙඩි තැබීමෙනි. මෙම වෙඩි තැබීමෙන් සිව් දෙනකු මරුමුවට පත් වූ අතර ඔවුන්ගේ සිරුරුවලින් ගලාගිය රුධිර දහරාවන් නිසා මැයි දිනය බිහි විය. එදා චිකාගෝ නුවර සිදු වූ හේමාකට්‌ සිද්ධිය නිසා ලොවපුරා වැඩ කරන ජනතාවට එකට එක්‌වීමේ හැකියාවක්‌ බිහි විය.

චිකාගෝ සිදුවීම පිළිබඳව විමර්ශනය කරන විට පොලිස්‌ නිලධාරීන් හත් දෙනකුද මරුමුවට පත් වී තිබේ. චිකාගෝවේ වෘත්තීය සමිති විසින් සංවිධානය කර තිබූ වැඩ වර්ජනයට අදාළ විරෝධතා රැස්‌වීමට පොලිසිය වෙඩි තැබීමෙන් 70 ක්‌ තුවාල ලැබූහ. 100 කට අධික පිරිසක්‌ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙහිදී අත්අඩංගුවට ගනු ලැබූවන්ගෙන් හත්දෙනකුට මරණ දඬුවම නියම වූ අතර එක්‌ අයකුට වසර 15 කට සිරදඬුවමක්‌ නියම කෙරිණි.

මරණ දඬුවමට නියම වූවන්ගෙන් එක්‌ අයෙක්‌ සිරගෙයි තුළදීම සියදිවි නසාගත්තේය. චිකාගෝ යනු ප්‍රධාන කර්මාන්ත පුරයක්‌. එහි වාසය කළේ ජර්මානු හා බොනිවියානු සංක්‍රමණික කම්කරුවන්ය. ඔවුන්ට දිනකට ගෙවනු ලැබුවේ ඩොලර් 1.50 කි. යහපත් කම්කරු පහසුකම් ඉල්ලා වෘත්තීය සමිති දියත් කළ ඉල්ලීම්වලට පාලකයන් ප්‍රතිචාර දැක්‌වූයේ සමිති නායකයන් රැකියාවලින් පහකර දැමීමෙන් එකල ඇමරිකානු පුවත්පත් ව්‍යාපාරික පාර්ශ්වයන්ගේ හිමිකම් රැකදීමට ක්‍රියා කළහ. එහෙත් පැය අටේ වැඩමුරයට කම්කරුවන් 700,000 ක පිරිසක්‌ කැමැත්ත දක්‌වා තිබිණි.

මේ පසුබිම මැද 1884 ඔක්‌තෝම්බර් මස වෘත්තීය සමිති විසින් ඒකමතිකව තීරණයක්‌ ගනිමින් 1886 මැයි 1 දා සිට පැය අටේ සේවා කාලය ක්‍රියාත්මක කළ යුතු යෑයි කියා සිටියහ.

ඒ අනුව 1886 මැයි 1 සෙනසුරාදා දසදහස්‌ ගණනක්‌ ඇමරිකානු කම්කරුවෝ ඇමරිකානු එක්‌සත් ජනපදය පුරා වැඩ වර්ජනයක්‌ ආරම්භ කරමින් වැටුප් කැපීමකින් තොරව පැය අටේ සේවා කාලය දිය යුතු බවට සඳහන් කළහ. චිකාගෝ නුවර පමණක්‌ 30,000 කට අධික කම්කරුවන් වැඩ වර්ජනය කළහ.

මෙම වැඩ වර්ජනයට එරෙහිව නිව්යෝර්ක්‌ ටයිම්ස්‌ පුවත්පත දැඩි ප්‍රචාරයක්‌ දියත් කරනු ලැබීය. චිකාගෝ නුවර අරාජික තත්ත්වයක්‌ පැවැති බවත් රතු බලය ඒ පසුපස ඇති බවටත් එකී පුවත්පතේ පළවිය.

චිකාගෝ වැඩවර්ජකයන්ගේ රැලිය ආරම්භ වූ අවස්‌ථාවේ පොලිසිය වෙත එල්ලවූ බෝම්බයකින් මනියාස්‌ චීජන් නමැති පොලිස්‌භටයා මරුමුවට පත් විය.

ඉන්පසුව සිදු වූයේ පොලිස්‌ වෙඩි තැබීමකින් චිකාගෝ හෙරල්ඩ් පුවත්පත පසුදා පුවතක්‌ පළ කරමින් පාරේ මියගිය හා තුවාලලත් සිවිල් වැසියන් පනහක්‌ වැටී සිටි බව කියා සිටියේය. බෝම්බය විසිකළ තැනැත්තා රඩොල්ප් ෂුන්බෙල්ට්‌ ලෙස හඳුනාගෙන පොලිස්‌ අත්අඩංගුවට ගනු ලැබුවත් ඔහුව නිදහස්‌ කෙරිණි. පසුව ඔහු රටින් පැන ගියේය.

පොලිසියට බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සහ බෝම්බ තැනීම යන චෝදනා කම්කරුවන් සිව් දෙනකුට එල්ල වී ඔවුන්ට මරණ දඬුවම නියම වීය. 1887 නොවැම්බර් 11 දා එන්ගල්, පාර්සන්, පිෂර් සහ ස්‌වියිස්‌ යන සිව්දෙනාට මරණ දඬුවම ක්‍රියාත්මක විය. 

එල්ලා මරාදැමීමට නියම වූ අවස්‌ථාවේ ස්‌වියිස්‌ කෑ ගසමින් අපේ නිහඬතාව ඉතා බලවත් හඬක්‌ බවට පත්වන දිනය ඈත නැතැයි කියා සිටියේය.

වසර 128 කට පෙර චිකාගෝ නුවරදී ආරම්භ වූ කම්කරු අරගලය සමානත්වය හා යුක්‌තිය ඉල්ලා නැඟුණු හඬක්‌ යෑයි ඉතිහාසඥ පීටර් ඇල්වර් කියා සිටියේය.

චිකාගෝ අරගලය ගැන තොරතුරු රැසක්‌ හෙළි වූයේ පසුවය. ඒ පොලිස්‌ ඔත්තුකරුවකු වැඩ වර්ජන රැලියට ප්‍රහාර එල්ල කර කලබලයක්‌ ඇති කිරීමයි. 

එදා පැය අටේ වැඩමුරය ඉල්ලා වර්ජන රැලිය පැවැත්වූ ස්‌aථානය 1992 දී කේන්ද්‍රස්‌ථානයක්‌ බවට පත්විය.

2004 වසරේදී එහි ස්‌මාරකයක්‌ ඉදිවිය. 

යේමාර්කට්‌ සිද්ධියේදී දිවි පිදූවන් මිහිදන් කළ ස්‌ථානයද 1997 දී ඉතිහාසගත ස්‌මාරකයක්‌ බව නම් කෙරිණි.

2011 දී ඉතිහාසඥ කිටෝනි මෙයර් පැවසුවේ චිකාගෝ වැඩ වර්ජන රැලිය කඩාකප්පල් කිරීමට ත්‍රස්‌තවාදීහු පිරිසක්‌ කටයුතු කළ බවයි. වසර 128 කට පෙර චිකාගෝ නුවර කම්කරුවන්ට වෙඩි තැබීමෙන් සිදු වූ මර්දන ක්‍රියාදාමය නිසා අද ලොවපුරා ලක්‍ෂ සංඛ්‍යාත කම්කරු ජනතාව පැය අටේ සේවාව භුක්‌ති විඳී.

එදා පාලනයට හා ව්‍යාපාරික කොටස්‌ කම්කරු ජනතාව දැඩි ලෙස මර්දනය කිරීමේ යෙදීම ලොව පුරා ප්‍රචාරය වූ අතර රටවල් රැසක කම්කරු ජනතාව එකී චිකාගෝ කම්කරු ජනතාවට සහාය දැක්‌වූහ.

මෙවර මැයි දිනය අද උත්කර්ෂවත් ලෙස පැවැත්වෙන අතර දේශපාලන පක්‍ෂ රැසක්‌ ඊට සම්බන්ධ වී ඇත. එහෙත් ලොව රටවල් රැසක තවමත් කම්කරු මර්දන නීතිරීති ක්‍රියාත්මක වේ.

කීර්ති වර්ණකුලසූරිය

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery