කලා ක්ෂේත්‍රයේ ජනප්‍රිය ආකර්ෂණීය රංගන ශිල්පියෙක් වන ධනංජය සිරිවර්ධන පසුගියදා තම ජීවිතයේ සොඳුරු පැතුමක් ඉටුකර ගන්නට සමත් වුණා. ඒ තම හද දිනූ හිතැත්තිය ශෂිනි සමඟ අතිනත ගැනීමෙන්. ධනංජය ගේත් ශෂිනිගේත් විවාහ මංගල උත්සවය කිංස්බරි හෝටලයේ දී උත්කර්ෂවත් ලෙස පැවැත්වුණා. මේ කතාබහ ඒ නිමිත්තෙනි.

ඔබ ජීවිතයේ අලුත් පිටුවක් පෙරළුවා. විවාහය ගැන මොකද හිතෙන්නේ?

කියාගන්න බැරි ලොකු සතුටක් දැනෙනවා. ‍මගේ විවාහය සිද්ධවුණේ 2014.04.04. එදා මට විශේෂ දවසක්. හිතුවටත් වඩා සාර්ථකව මංගල උලෙළේ කටයුතු කරගන්නට හැකියාව ලැබුණා. මට උදව් උපකාර කරපු හැමදෙනාටම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අපිට සුබ පතන්නත් ආශිර්වාද කරන්නත් කලා ලො‍ෙව් හිතවතුන් වගේම මගේ මිතුරු මිතුරියන් රැසක් පැමිණියා. ඒ හැම දෙනාටමත් මම ස්තුතිවන්ත වෙනවා.

ඔබේ අතගත් ඇය ගැනත් දැනගන්න කැමැතියි?

ඇය ශෂිනි. වෘත්තියෙන් ගුවන් සේවිකාවක්. කලා කුසලතා රැසකුත් ඇය සතුයි.

ශෂිනිව ඔබට හමුවුණේ කොහොමද?

මට ඇයව හමුවන්නේ මීට වසර අටකට පමණ පෙරාතුවයි. ඒ ඉන්දික මල්ලවආරච්චි ගේ ඡායාරූපයකට පෙනී ‍සිටින්නට ඔහුගේ ඡායාරූප ශාලාවට ගිය අවස්ථාවකයි. මාත් සමඟ ඇය මේ ඡායාරූපවලට පෙනී හිටියා. ඉන්දික මගේ පවුලේ වගේම ඇගේ පවුලෙත් සමීපතම හිතවතෙක්. ඒ වෙනකොට ශෂිනි පාසල් යුවතියක්. කොහොමින් හෝ ඒ දැන හඳුනාගැනීම හිතවත්කමකටත් මිතුරු දමකටත් මිතුරු දම ප්‍රේමයකටත් පෙරළුණා. ඉතින් මේ ආදර කතාව විවිධ හැලහැප්පීම් මැද වසර අටක් පුරාවට ගලන ගඟක් සේ නොසැලී ගලාගෙන ගියා. අන්තිමට ඉතින් අපේ නිවෙස්වල අයත් හොඳ මිතුරන් වුණා. හොඳින් පවුල් පවුල් අතරත් දැන හැඳුනුම්කම් ඇතිවුණා. දෙපාර්ශ්වයේම ආශිර්වාදය මත අපි විවාහ දිවියට ඇතුළත් වුණා.

ශෂිනිගේ රැකියාවත් ඔබේ රැකියාවත් එක්ක විවාහයෙන් පසුව ඔබ දෙපළට ළඟම රැඳී ඉන්නට නොහැකි වේවි?

ඔව්. ඇය විදේශීය ගුවන් සමාගමක ජ්‍යෙෂ්ඨ ගුවන් සේවිකාවක්. ඇයත් කාර්ය බහුල රැකියාවක නියැළෙන්නේ. මමත් එහෙමයි. කලා කටයුතු වෙනුවෙන් බොහෝ විට නිවෙසින් පිට රූගත කිරීම්වලට යන්නට සිදුවෙනවා. ‍ෙකාහොමත් තව ටික කාලයක් යනතුරු අපි දෙදෙනාටම රැකියා සමඟ කාර්යබහුල වන්නට සිදුවේවි.

ඔබ ශෂිනිගෙන් බලාපොරොත්තු වූ ගුණාංග සියල්ල ඇය සතුව පවතිනවාද?

ඕනම කොල්ලෙක් ආදරයේ දී විවාහයේ දී පෙම්වතියගෙන් බිරියගෙන් මේ මේ දේවල් ඇය සතු විය යුතුයි කියලා බලාපොරොත්තු වෙනවා. මමත් එහෙමයි. මමත් ශෂිනි ගෙන් පෙම්වතියක ලෙසත් බිරියක ලෙසත් බලාපොරොත්තු වූ දේවල් තිබුණා. මම ඇයගෙන් දැකපු විශේෂම දේ තමයි ඇය හැමවිටම සරලව ජීවිතය ගතකරන්න උත්සාහ දරන කෙනෙක්. මම නළුවෙක් වුණාය කියලා ඇය අනවශ්‍ය විදිහට ප්‍රසිද්ධ වෙන්න උත්සාහ කරන කෙනෙක් නෙවෙයි. මම දකින විදිහට ඇය මටත් වඩා කලා කුසලතා පිහිටා තිබෙන යුවතියක්.

ගායන හැකියාව, නර්තන හැකියාව ඇයට හොඳින්ම පිහිටා තිබෙනවා. නමුත් ඒ දේවල් උපයෝගී කරගෙන ඇයගේ දක්ෂතා පෙන්වූවා හැරෙන්න ජනප්‍රිය තරුවක් වෙන්න උත්සාහ කළේ නැහැ. ඒ වගේම මම ඇයගෙන් දකින තවත් ගුණාංගයක් තමයි කිසිම තැනකදී මාව තනි නොකරපු එක. මට ඇයව අවශ්‍යයි කියල සිතපු සෑම තැනකදීම ඇය මාව අත්නොහැර මා ළඟින්ම උන්නා. ඇගේ ඒ ගුණයටත් මා හුඟාක් කැමතියි. අනෙක ඇගේ ජීවිතේ හරිම පිළිවෙළයි. මටත් ඕන වුණා ඇගේ ඒ ජීවිතේ කොටසක් බවට පත්වෙන්න. මට හිතෙනවා මගේ ජීවිතය ඇයගේ වගේම වෙයි කියලා. ඉතින් ශෂිනි වගේ කෙනෙක් ජීවන සහකාරිය කරගන්න මම තවත් ප්‍රමාද වෙන්නේ ඇයි කියලා හිතුවා.

ඔබ ජීවිතේ හරිම තීරණය ගත්තා කියලා හිතනවාද?

ඔව්. මම හුඟක් හිතලා බලලා ගත් තීරණයක් තමයි මගේ විවාහය. මගේ ළමා කාලය තුළ යොවුන් විය තුළ ශෂිනි මා ළඟින්ම වුන් යෙහෙළිය. ඇය මා දිහාත් මම ඇය දිහාත් කාලයක් මුළුල්ලේ බලා හිටියා. හැමදේම බෙදා හදා ගත්තා. ඉදිරියටත් එය එසේම වේවි.

ඔබ ඉදිරියට රංගනයේ නියැළෙනවාට ඇය කැමැතිද?

මම විවාහ වුණත් මගේ ජීවිතයේ නළුවා තවමත් ජීවත් වෙනවා. ශෂිනි හැමදාමත් කැමැති මගේ රංගන ජීවිතය සාර්ථක වෙනවාට. මගේ රසික රසිකාවියන් දැක ඇය හැමදාමත් සතුටට පත්වුණා. ඇය ම‍ගේ රංගන ජීවිතයට මගේ රසිකයන්ට ගෞරව කරනවා. ඒ වගේම මට ආදරය ගෞරවය දක්වන රසිකයනුත් ඇයට ආදරය ගෞරවය දක්වනවා. ඇය හැමදාමත් මගේ වෘත්තිය ජීවිතය මටත් ම‍ෙග් රසික ජනතාව‍ටත් අයිති දෙයක් බව තේරුම් ගත් කාන්තාවක්. එනිසා විවාහය නිසා කොහෙත්ම රංගනයෙන් මම දුරස්වෙන්නේ නැහැ.



ඔබ කලා ක්ෂේත්‍රයේ සිටින කඩවසම් රංගන ශිල්පියෙක්. ක්ෂේත්‍රයේ කටයුතු කරත්දී නළු - නිළියන් අතර පෙම් සබඳතා ඇතිවෙනවා. මීට පෙර මෙවැනි දේට ඔබ මුහුණ පා නැත්ද?

මෙවැනි දේවල් බොහෝ විට අහන්නට දකින්නට ලැබෙනවා. අදාළ චරිතය තුළ දී විතරයි මා සමඟ රංගනයේ යෙදෙන නිළිය මගේ පෙම්වතිය වන්නේ. ‍ක්ෂේත්‍රයේ සිටින නිළියන් හැමවිටම මගේ හොඳම යෙහෙළියන්. ඔවුන් කිසිවිටක වෘත්තීය ජීවිතය හා පෞද්ගලික ජීවිතය එකට පටලවා ගත් අය නෙවෙයි. ඔවුන් විනයක් ඇතිව කටයුතු කරන අය. ඔවුන් හැමදෙනාම වගේ ම‍ෙග් විවාහ මංගල්‍යයට පැමිණියා. මට සුබ පැතුවා. නමුත් යම් යම් කාලවලදී සමහර අය ගැන හිතට අදහස් ආවේ නැහැ කියනවා නෙමේ. නමුත් පසුකාලීනව ඔවුන් ‍ක්ෂේත්‍රය තුළත් පෞද්ගලික ජීවිතය තුළත් හැසිරෙන විදිහ දැකල මට මං ගැනම දුක හිතුණු අවස්ථා තිබුණා. එනිසා ඒ හැම දෙයින්ම වැළකී කටයුතු කරන්නට මට හැකිවුණා.

අද විවාහ වුණු සැණින් නළු නිළියන්ගේ විවාහ ජීවිත දෙදරා යන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ ගැන ඔබේ අදහස කුමක්ද?

ඒකට උත්තර දෙන්න අත්දැකීමක් නම් මම විඳලා නැහැ. නමුත් එක දෙයක් සමාජයට, මගේ ‍රසිකයන්ට කිව යුතුයි. රටේ ජනප්‍රිය කෙනකුගේ පවුල් ජීවිතයක් බිඳ වැටුණා කියන එක අහන්න අද හුඟදෙනෙක් බලාගෙන ඉන්නවා. එය ඔවුනට හරිම රසවත්. තලු මරමින් ඒ දේවල් ගැන ඕපාදූප කතාකරනවා. ඒත් එයට මුහුණ පාන කෙනා ජීවිතයේ තිබෙන අමිහිරිම කටුක අත්දැකීමකට මුහුණ දෙනවා. කවදාවත් එවැනි පවකට අපි සම්මාදම් නොවිය යුතුයි. අපි සතුටින් ඒ වෙන්වීම් ගැන කතා කළත් වෙන්වෙන ඔවුන්ට එය දරාගන්න බැරිව ඇති. ඔවුන්ගේ ජීවිතයේ එය කාලකණ්ණිම මොහොත වෙන්න ඇති. ඩිවෝස් වෙන කවුරුත් රතිඤ්ඤ පත්තු කරල සතුටු වෙලා ඩිවෝස් වෙන්නේ නැහැ. ඔවුන් අන්තිම තීරණය ගන්න දවසෙත් ඇ‍ෙඳ් දෙපැත්තට වෙලා අඬනවා ඇති. ඉතින් මම මිනිසුන්ගෙන් ඉල්ලන්නේ මේ ‍ෙද්වල් උණසුම් මාතෘකා කරගන්න එපා කියලයි.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery