facebook page

Powered by Blogger.

Blogger templates


වැඩිම මනාප ලැබූ හය දෙනා







බස්‌නාහිර හා දකුණු පළාත් සභා මැතිවරණයෙන් එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයට විශිෂ්ට ජයක්‌ හිමි විය.

පළාත් දෙකෙහි මැතිවරණ ආසන 57 න් 51 ක්‌ ජයග්‍රහණය කිරීමට සන්ධානයට හැකිවිය. එක්‌සත් ජාතික පක්‍ෂය සිය බලකොටුව වූ කොළඹ මහ නගර සභා බලප්‍රදේශයට අයත් උතුරු කොළඹ, නැගෙනහිර කොළඹ, බටහිර කොළඹ, මැද කොළඹ හා බොරැල්ල යන ආසන පහේ බලය යළිත් තහවුරු කරගත් අතර ගාල්ල ආසනය ද ජයග්‍රහණය කිරීමට සමත් විය.
 
පළාත් දෙකේම සමස්‌ත ඡන්ද සංඛ්‍යාව අනුව ප්‍රථම වරට තරග කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය තෙවැනි ස්‌ථානයටත්, ජනතා විමුක්‌ති පෙරමුණ සිව්වන ස්‌ථානයටත් ඡන්ද ලබා ගත්තේය.

එජනිසය පළාත් දෙකම ජයග්‍රහණය කළ ද ඉකුත් 2009 පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල සමඟ සැසඳීමේදී මෙවර ලබාගත් ඡන්ද සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස අඩු වී තිබේ.

ඉකුත් මැතිවරණයේදී බස්‌නාහිර පළාතෙන් ඡන්ද පහළොස්‌ ලක්‍ෂ හයදහස්‌ එකසිය පහළොවක්‌ ලබා මන්ත්‍රී ධුර 68 ක්‌ හිමිකර ගත් නමුත් මෙවරදී එම පක්‍ෂයට හිමි වූයේ ඡන්ද දහතුන් ලක්‍ෂ හැටතුන් දහස්‌ හයසිය හැත්තෑපහක්‌ හා මන්ත්‍රී ධුර 56 ක්‌ පමණි. එම පළාතෙන් තිබූ මන්ත්‍රී ධුර 12 ක්‌ සන්ධානයට අහිමි විය.

එක්‌සත් ජාතික පක්‍ෂය ද ඉකුත් මැතිවරණයේදී ඡන්ද හය ලක්‍ෂ අසූ අටදහසක්‌ හිමි කරගෙන මන්ත්‍රී ධුර 30 ක්‌ ලබාගත්ත ද මෙවර එජාපයට හිමිවූයේ හයලක්‍ෂ හැත්තෑනව දහස්‌ හයසිය අසූදෙකක්‌ සමඟ මන්ත්‍රී ධුර 28 ක්‌ පමණි.

පළමු වරට මෙම පළාත් සභා දෙකට තරග කළ ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ඡන්ද දෙලක්‍ෂ තුන්දහස්‌ හත්සිය හැටහතක්‌ බස්‌නාහිර පළාත් සභාවට ලබාගෙන මන්ත්‍රී ධුර 09 කට හිමිකම් කීවේය. මෙතෙක්‌ එම පළාත් සභාවේ තෙවැනි බලවේගය වී සිටි ජවිපෙ සිව්වැනි ස්‌ථානයට පත් වූ නමුත් පසුගිය වර ලැබූ ඡන්ද සංඛ්‍යාවට වඩා ඡන්ද ලක්‍ෂයක්‌ පමණ ලබා 156208 ක්‌ හිමිකරගත් අතර මන්ත්‍රී ධුර ප්‍රමාණය ද තුනේ සිට හය දක්‌වා මන්ත්‍රී ධුර තුනක්‌ වැඩි කර ගැනීමට සමත් විය.

දකුණු පළාත් සභාවෙන් ද එජනිසය කලින් මැතිවරණයෙන් ඡන්ද අටලක්‍ෂ හාරදහසක්‌ ඡන්ද ලබා මන්ත්‍රී ධුර 38 ක්‌ හිමිකරගත් නමුත් මෙවර එම ප්‍රමාණය ලක්‍ෂයකින් පමණ අඩු වී ඡන්ද හයලක්‍ෂ අනූනව දහසක්‌ හිමි වූ අතර මන්ත්‍රී ධුර ප්‍රමාණය ද පහකින් අඩු විය. එක්‌සත් ජාතික පක්‍ෂය කලින් ලැබූ ඡන්ද ප්‍රමාණයට වඩා ඡන්ද දහතුන් දහසකින් පමණ වැඩි කරගෙන ඇති අතර කලින් ලැබූ මන්ත්‍රී ධුර 14 ආරක්‍ෂා කර ගැනීමට හැකි වී ඇත.

ජනතා විමුක්‌ති පෙරමුණ කලින් සිටි තෙවන ස්‌ථානයේම මෙවර ද රැඳෙමින් සිය ඡන්ද ප්‍රමාණය තිස්‌හත් දහසකින් වැඩිකරගෙන ඇති අතර මන්ත්‍රී ධුර ප්‍රමාණය තවත් දෙකකින් වැඩිකරගෙන 05 දක්‌වා වර්ධනය කරගෙන තිබේ. ප්‍රජාතන්ත්‍රවාදී පක්‍ෂය ඡන්ද හැත්තෑපන් දහසක්‌ ලබා මන්ත්‍රී ධුර 03 ක්‌ ද හිමිකරගෙන ඇත.

දිස්‌ත්‍රික්‌ක හයේම තැපැල් ඡන්ද ප්‍රතිඵලවලින් එජනිසය ජයග්‍රහණය කළේය. එමෙන්ම ආසන මට්‌ටමේ ප්‍රතිඵලවලට අනුව මහර, ගම්පහ, අත්තනගල්ල, කඩුවෙල, කැස්‌බෑව, බණ්‌ඩාරගම යන කොට්‌ඨාසවලින් එජනිසය එජාපයට වඩා වැඩි ඡන්ද තිස්‌පන්දහසකින් පමණ ජය ගැනීමට සමත් විය.

එමෙන්ම හොරණ, බියගම, කටාන, මිනුවන්ගොඩ, තංගල්ල, මුල්කිරිගල, හිනිදුම, දෙනියාය, හෝමාගම, තිස්‌සමහාරාමය, අගලවත්ත, මතුගම, හක්‌මන, කඹුරුපිටිය, අම්බලන්ගොඩ, බුලත්සිංහල, දොම්පෙ ඇතුළු ආසන කිහිපයකින් ද එජනිසය එජාපයට වඩා වැඩි ඡන්ද විසිදහසකින් පමණ ජය ගත්තේය. මැද කොළඹ ආසනයෙන් එජාපය එජනිසයට වඩා වැඩි ඡන්ද විසිතුන් දහසක්‌ ලබාගත් අතර බටහිර කොළඹින් එජනිසය තෙවැනි ස්‌ථානයට ඡන්ද හිමි විය.

මෙවර ආසන වැඩි ප්‍රමාණයක එජනිසයට 2009 පළාත් සභා මැතිවරණයට වඩා අඩු ඡන්ද ප්‍රමාණයක්‌ හිමි වූ අතර එජාපයට ද ආසන කිහිපයකින්ම මෙවර ඡන්ද ප්‍රමාණය අඩු වී ඇත.

කොළඹ දිස්‌ත්‍රික්‌කයේ පසුගිය වර මන්ත්‍රී ධුර 25 ක්‌ හිමිකරගෙන සිටි එජනිසයට මෙවර 18 දක්‌වා අඩු වූ අතර ගම්පහ දිස්‌ත්‍රික්‌කයේ කලින් හිමිකරගෙන තිබූ මන්ත්‍රී ධුර 27 ප්‍රමාණය 04 කින් අඩු වී ඇත. කළුතරින් ද එක ධුරයක්‌ අඩු විය. කොළඹින් මන්ත්‍රී ධුර 03 ක්‌ එජාපයට අහිමි වූ නමුත් කළුතරින් එක්‌ මන්ත්‍රී ධුරයක්‌ වැඩිකර ගැනීමට සමත් වී ඇත. ජවිපෙට මන්ත්‍රී ධුර කොළඹින් දෙකක්‌ හා ගම්පහින් එකක්‌ වැඩි වී තිබේ.

එජනිසයට ගාල්ල දිස්‌ත්‍රික්‌කයේ මන්ත්‍රී ධුර 03 ක්‌ ද මාතරින් 02 ක්‌ ද අඩුව ඇති අතර එජාපයට මාතරින් එක්‌ මන්ත්‍රී ධුරයක්‌ අඩු විය.

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery