facebook page

Powered by Blogger.

Blogger templates



14 හැවිරිදි ළමයාගේ සාක්ෂිය බලවත් වුණාද?

මහනුවර පළාත්බද මහාධිකරණ පරිශ්‍රයේ ඉකුත් මාර්තු විසිහත්වැනි දින පෙරවරු 11.20 ට විදුලි ආලෝකය නිවී ගියේ පෙර නොවූ තීන්දුවක් ප්‍රකාශයට පත් කිරීම උදෙසා ය. ඒ මාතලේ රත්තොට නාගල මාඩුපට්ටිය ලයිමේ විසූ විසි අට හැවිරිදි අයියා වූ මුත්තුකුමාර් තරුණයා පොලුවලින් ගසා මරා දැමීම සම්බන්ධයෙන් වරදකරුවන් වූ දස දෙනකුට මරණීය දණ්ඩනය නියම ‍කිරීම ය.

අදාළ තීන්දුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මහාධිකරණ විනිසුරු මනිලාල් වෛද්‍යතිලක මහතා පිටු පනස් දෙකකින් යුත් නඩු තීන්දුවට අස්සන් තබා සිය පෑන් තුඩ බිඳ දමා අසුනින් බැස ගියේ ය.

පවුල් දහයක බිරින්දෑවරු ස්වාමියෝ දරුවෝ ‍මවුපියෝ මහාධිකරණ ශාලාව තුළ බිය සංත්‍රාසය හද කොනක තෙරපා හඬා වැලපුණහ. සිහිසුන්ව ඇද වැටුණාහ. හිස මත ද‍ෑත් රුවා විලාප තැබුවෝ ය.
එහෙත්; මේ දඬුවම් හිමි වූයේ; ජීවත්වීමේ අයිතිය හිමිව තිබූ තරුණයකුගේ මරණය සිදු කළ බවට සාක්ෂි විමසා; සාධාරණ සැකයකින් තොරව ඔප්පු වූ වරදකරුවන් දස දෙනකුට ය.
මෙය අතීත රජ දවසේ පටන් පෘතුගීසි, රෝම ලන්දේසි, කෝල්බෲක් කැමරන්, 1972-1978 කාල වකවානු ඇතුළත් ඉතිහාසයක මෙතෙක් නොවූ සුවිශේෂී නඩු තීන්දුවක් වූයේ, වැඩි පිරිසකට එකවර (දස දෙනෙකුට) මරණ දඬුවම් නියම කිරීම මතය.

මෙයට පෙර අට දෙනකුට ප්‍රසිද්ධියේ එල්ලා මැරීමේ දඬුවම් හිමි වූයේ, 1857 දී කෑගල්ලේ ජුලියස් අප්පු මැරූ වරදටය. එහිදී පහළොස් දෙනකු අත්අඩංගුවට ගෙන හත් දෙනෙක් නිදහස් කළ අතර, අට දෙනකු ‍එකවර එල්ලා මැරීමට තීන්දුව ප්‍රකාශයට පත් කළේ ය.

වසර 2004 අප්‍රේල් මස 8 වැනිදා හෝ ඊට ආසන්න දිනෙකදී සිදුවූ මුත්තුකුමාර් ඝාතන සිද්ධිය 2014 අප්‍රේල් මාසය වන තෙක් දස වසරම විභාග විය. මහේස්ත්‍රාත් උසාවියේ මූලික විභාග කිරීම්වලින් අනතුරුව මහාධිකරණය වෙත යොමු කෙරුණු අතර සැකකරුවන් දහ හතර දෙනෙක් සම්බන්ධයෙන් සාක්ෂි ගොනු කරනු ලැබූයේ; මුත්තුකුමාරට පහර දුන් පොලු කැබලි දෙක ද සාක්ෂි භාණ්ඩයක් ලෙස තබාගෙන ය‍.

මාඩුපට්ටිය ‍කෝවිල අසල පැවති තෙරු උත්සව අවස්ථාවේදී වරින් වර තරුණයින් අතර ඇති වූ බහින් බස් වීම දුර දිග යාමත්, රැස්ව සිටි තරුණ පිරිස අතරේ වූ සැලකිය නොහැකි තරම් වූ ගැටලු අළුයට ගිනි පුපුරු මෙන් සුරැකිව තිබීමත් මුත්තුකුමාර්ට පහරදීම දක්වා ප්‍රබල විය.
එදා සිදුවූ සිදුවීමේ අතීත කතාව විමසීම අත්‍යවශ්‍ය කරුණක් වන්නේ සිද්ධිය පිළිබඳ සියලු තොරතුරු දැක්වීම පාඨකයන්ට පහසුවක් වන බැවිනි.

2004 සිංහල - හින්දු අවුරුදු උත්සවය අත ළඟ විය. අප්‍රේල් 8 දා සවස 5 ට පමණ තරුණයින් දෙදෙනකුට ගම්මඩුවේ සිට නාගලට යාමට අවශ්‍ය විය. දෙදෙනාම සිටියේ තරමකට බීමත්ව ය. ගම්මඩුවේ තරංගට අයත් ත්‍රි‍රෝද රියෙන් දෙදෙනා නාගලට යාමට ගමන් ඇරඹූහ. ටික දුරක් ගිය විට හමුවන්නේ මාඩුපට්ටියයි. එය පසුකොට තවත් කි.මී. හත අටක් ගිය විට ත්‍රිරෝද රථය අනතුරකට ලක්විය.

තරංග ත්‍රීවීලරය රැගෙන ආපසු ආවේ ය. ඔහු පැවසුවේ ගිය දෙදෙනා තමන්ට පහරදී රථය ද පෙරලා දැමූ බවයි. එය ඇසූ ගම්මු එතැනට එකතු වූහ. යුද හමුදාවේ සේවය කළ තරංග‍ගේ මස්සිනා ද මේ අතර සිටියේ ය.

ටික වෙලාවකට පසු මේ පිරිස ඒ තරුණයන් දෙදෙනා සොයාගෙන ඔවුන් පදිංචිව සිටි කම්කරු නිවාස පෙළ අසළට රැගෙන ආහ. ඒ වනවිටත් ඒ තරුණයින් දෙදෙනා ගිය පිරිසේ අයගේ පහරදීම්වලට ලක්වී තිබුණි. අසළ පිහිටි දිය අගලේ ඔබමින් පහර දුන් බවට ද සාක්ෂි වලින් හෙළිවිණි. ඔවුන්ගේ පහර දීම්වලින් හෙම්බත්වූ තරුණයන් දෙනෙනා ඇළ අසළ වැටී සිටිනු ගම්මුන් දැක ඇත.
පසුවදාට පහන් වනවිට ඇළ අසළ වැටී මියගොස් සිටියේ මුත්තුකුමාර් බව හඳුනා ගැනිණි. අනික් තරුණයා තුවාල ලබා වැටී සිටියේ ය.

මේ බව රත්තොට පොලිසියට සැළවී තිබුණි. රත්තොට පොලිසියේ ස්ථානාධිපති පො.ප.එස්.පී. ද සිල්වා, සැරයන් එන්.එම්. හේමචන්ද්‍ර පො.සැ. 57215 අලහකෝන් යන නිලධාරීහු එතැනට ගියහ‍. කටඋත්තර ගත් පොලිසිය ඔහු රත්තොට රෝහලට ඇතුළත් කෙළේ ය.

පොලිසියේ සැරයන් හේමචන්ද්‍ර මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණය ඇරඹූහ. වීරයියාට අමතරව තවත් අයෙක් සාක්ෂි දීමට ඉදිරිපත් විය. ඒ අවුරුදු 14 ක් වයසැති පාසල් සිසුවෙකි. ඔහු
තම දෑසින් දුටු දේවල් හෙළි ‍ෙකළේ ය. ඔහුගේ නම වෙංගඩා සලං රාජේන්ද්‍රන් ය. ඒ සාක්ෂිය ඉතා ප්‍රබල විය.

නඩුව මාතලේ උසාවියට ඉදිරිපත් කළ අතර එය මහනුවර මහාධිකරණයට ගෙන ගියේ ය.
සැකකරුවන් 14 ‍ක් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කළ අතර 14 දෙනාම රිමාන්ඩ් භාරයට පත් කෙරිණ. මාස කීපයකට පසුව ඔහු හට ඇප ලැබිණි.
ඉන්පසුව 8 වන සැකකරු තංගයියා මිය ගියේ ය. නඩුව වසර 10 ක් තිස්සේ විභාගයට ගැනිණ.

පසුගිය පෙබරවාරි 13 දා නඩුව විභාගයට ගත්තේ ය. එදිනම සැකකරුවන් 13 දෙනා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

27 දා සැකකරුවන් 13 දෙනා ගෙන් 10 කට මරණ දඬුවම නියම කළ අතර 3 ක් නිදහස් කෙරිණ.

මේ සිද්ධියේ සත්‍ය තත්ත්වය සනාථ කිරීමට රත්තොට දිසා රෝහ‍ෙල් වෛද්‍ය නිලධාරි ජී.එම්.විජේසූරිය සහ වෛද්‍ය ශාන්තදේව යන මහත්වරුන්ට ද මරණ පරීක්ෂණ වාර්තා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට සිදුවිය.

නඩු විභාගයේ දී අධි චෝදනා ලබා සිටි විත්තිකරුවන් දහහතරදෙනාගෙන් තිදෙනකු වන සුප්පයියා වඩිවේල් නොහොත් වාඩියා (39) සින්නයියා ක්‍රිෂ්ණකුමාර් නොහොත් ෆලීම් (33) සහ සන්නාසි රාමලිංගම් (38) අවසන් මොහොතේ නිදොස් කොට නිදහස් කළේ, සාධාරණ සැකයෙන් තොරව සාක්ෂි ඔප්පු කළ නොහැකි වූ නිසාය. තවත් සැකකරුවකු වන තාගයියා සෙලම්බරම් (37) නඩු විභාගය අතරතුර කාල වකවානුවේදී හෘදයාබාධයක් වැලඳී මිය ගියේය.

සෙසු සැකකරුවන් වන, රත්නායක මුදියන්සේලාගේ තිස්ස බණ්ඩාර (40), ආරච්චි රත්නායක මුදියන්සේලාගේ විජේබණ්ඩාර නොහොත් චූලේ බාස් (38), නාගලිංගම් පුණ්‍යමූර්ති නොහොත් වයිටා (32), ලොච්චමුනම් විජේකාන්ත් නොහොත් ජෙමිනි නොහොත් සිඟිති (31), කරුප්පයියා
යෝගේෂ්වරන් නොහොත් සීලක්කු (39) හේවාපොරඹගේ රංජිත් ජිනසිරි නොහොත් පුංචි අයියා (39), ලොච්චමනම් යෝගරාජා නොහොත් එලී (31), ශිවසාමි ශිවා නොහොත් කරාටේ සිවා (30), රාමනාදන් අබ්දුල්ලා (36) සහ රාජතුරේ ඉලේරාජා නොහොත් සෝකු (32) යන දසදෙනාට මරණ දඬුවම් හිමි විය.

නීතිපතිවරයා විසින් අධිචෝදනා තුනක් යටතේ මේ විත්තිකරුවන්ට එරෙහිව නඩුව ගොනු කැර තිබිණි. තුවාල කිරීම පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්වීමකදී සාමාජිකයන් ලෙස කටයුතු කිරීම, පොලුවලින් පහර දී තුවාල සිදුකිරීම සහ මිය යනතෙක් පහරදීම යන අධිචෝදනා ගොනු කර තිබූ අතර, දණ්ඩ නීති සංග්‍රහයේ 140 වගන්තිය, 296 වගන්තිය සහ 315 වගන්තිය යටතේ දඬුවම් නියම කෙරිණි.

වසර 138ක‍ට පසුව බෝගම්බර බන්ධනාගාරය මහජනතාව වෙනුවෙන් ප්‍රදර්ශනයට විවෘත ව තිබෙන මේ සමයේ එය නැරඹූ පොදු මහජනතාවගෙන් සියයට අනූවකට වැඩි පිරිසක් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරන ලෙස බන්ධනාගාර සටහන් පොතේ සටහන් තබා ‍ගොස් තිබේ.

1975 අගෝස්තු පස්වැනිදා බෝගම්බර දී අවසන් වරට එල්ලා මැරූ සිරිපාල නොහොත් මරුසිරා ගේ බිරිය වන රන්මැණිකා ද යළි මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා තිබේ. මෙවන් කතිකාවතක් ඇති සමයෙක මෙවන් දඬුවමක් නියම කිරීම සැබැවින්ම භීතිය ඇතිකරවන්නකි.

ලෝක ධර්මතාව අනුව, අපරාධයක් කළ විට කවදා හෝ දඬුවම් විඳිය යුතුමය. අද පවුල් දහයක ඥාතීන් සහෘදයන් දුක් සෝ තැවුල් මැද හඬාවැටෙන්නේ තමන්ගේ එකාට වූ විපත ගැන සිතාය.
එදා පොලු පහර කා දුක්විඳ මියගිය මුත්තුකුමාර් ද, ඔහුගේ පවුලේ උදවිය ද, මුත්තුකුමාර් සමඟ අනාගතයක සිහින දකින්නට බලාහුන් උදවිය ද මොනතරම් නම් දුකක් සන්තාපයක් විඳින්නට ඇද්ද? අදටත් විඳිනවා ඇත්ද?

වරදට දඬුවම පොදුය. අද මරණ දඬුවම් හිමිවී යකඩ කූඩු අතර හිරවූ දසදෙනාගේ සැබෑම වූ දඬුවම විඳින්නේ ඔවුන්ගේ දූ දරුවන්ය. තව කෙටි දිනකින් මෙලොවට බිහිවන්නට සිටින නූපන් දරුවන්ය.
අද සමාජයේ මිනිස්කම පාගමින් දරුණුකම් මතුව එන සෙයක් දක්නට ලැබෙන බැවින්ම මෙවන් සුවිශේෂී නඩු තීන්දුවක් ප්‍රකාශයට පත්කිරීම අතිවිශේෂිත වූ සංසිද්ධියක් බව කිව යුතුය.

ඉකුත් සතියේ රට තුළ සිදුවූ ම්ලේච්ඡ නින්දිත ක්‍රියා පිළිබඳ විමසිල්ලෙන් බලන කළ ජර්මන් ජාතික තරුණියක් සහ රුසියනු ජාතික තරුණියක දූෂණය කිරීම ඇතුළු සමස්ත දූෂණ සියල්ලක්ම පිළිකුල් සහගත සිද්ධීන්ය.

කුරාම්ෂේක් ඝාතනය පිළිබඳව නඩු විභාගය ද මේ දිනවල විභාග කෙරෙමින් පවතී. එහෙයින්ම, මිනිස් ඝාතනය යනු සුළුකොට තැකිය හැක්කක් නොවේ. එය උස්, පහත්, ආගම්, ජාති භේද කුල වර්ගවාදීන් අනුව වෙනස් නොවේ. එක් මිනිස් ජීවිතයක් වෙනුවෙන් අද මිනිස් ජීවිත දහයක් වන්දි ගෙවීමට සූදානම්ව සිටී.

නීති‍ෙය් දෙවඟන හෙවත් නීතියේ සංකේතය වූ කන්‍යාව දෑස වසා වම් අතෙහි රුවා සිටින තරාදියේ එක් පසකට මුත්තුකුමාර් දමා, තරාදිය තුලනය කිරීමට අනෙක් පසට දහදෙනකු දමා තිබේ. වරද, නීතිය හා දඬුවම සැබෑවන්නේ එවිටය.

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery