facebook page

Powered by Blogger.

Blogger templates



තංගල්ල ‘ද නේචර්’ හෝටලයේදී බ්‍රිතාන්‍ය ජාතික කුරාම් ෂේක් මරා දමා ඔහුගේ රුසියන් ජාතික පෙම්වතිය වන වික්ටෝරියා ඇලෙක්සැන්ඩේ‍රා්නාට පහරදී සමූහ දූෂණයට ලක් කළ බවට සැකපිට අත්අඩංගුවට ගෙන ඇප මත මුදාහැර සිට සියලුම සැකකරුවන් වහාම යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු රෝහිණී වල්ගම මහත්මිය  (26)  නියෝග කළාය. 

මෙම නඩු විභාගය ඊයේ උදේ 10.00 සිට සවස 3.00 දක්වා දවස පුරාම පැවැත් වූ අතර මියගිය කුරාම් ෂේක්ගේ රුසියන් ජාතික පෙම්වතිය වික්ටෝරියා සාක්ෂියට කැඳවා තිබුණි.

රුසියන් භාෂාවෙන් සාක්ෂි දුන් ඇයගේ සාක්ෂි සිංහලට පරිවර්තනය කරන ලද්දේ සිංහල ශබ්දකෝෂයේ සහකාර කර්තෘ රංජන දේවමිත්ත සේනාසිංහ මහතා විසිනි.

‍‍‍ජ්‍යෙෂ්ඨ රජයේ අධි නීතිඥ තුසිත් මුදලිගේ මහතා විසින් මෙහෙවන ලද පැමිණිල්‍ලේ සාක්ෂියට ඇය පැය ගණනාවක් එක දිගටම සාක්ෂි දුන්නාය. 

වර්ෂ 2011 දෙසැම්බර් 24 දින රාත්‍රියේදී ද නේචර් හෝටලයේ පැවැති නත්තල් සාදය අතරතුරදී පිහිනුම් තටාකයෙන් ගොඩට ඒමට නොදී තමන්ට පයින් පහර දුන්නේ මෙහි පළමු විත්තිකාර ඕබඩ ආරච්චිගේ ළහිරු කැළුම් නොහොත් රවීන්ද්‍ර නම් තැනැත්තා බව ඔහු සිටි විත්ති කූඩුව ළඟට ගොස් ඔහුව පෙන්වමින් විවෘත අධිකරණයේදී ඇය හඳුනා ගත්තාය. එසේම එදින ඇය ඇඳ සිටි කළු පාට යට කලිසම නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට  ඉදිරිපත් කෙරුනි. රැවුල කැපීමට යොදා ගන්නා බ්‍ලේඩ් තලයක් සමග තිබූ කොටස් 3 ට ඉරා කපන ලද කළු පාට යට ඇඳුම තමා ප්‍රිය කරන තමාගේ යට කලිසම බව ඇය අධිකරණය ඉදිරියේ කියා සිටියාය.

තමන් 1988 වසරේ උපන් බවත්, දැනට වයස අවුරුදු 25ක් වන අතර රුසියාවේ පරිපාලන සහකාරවරියක ලෙස කටයුතු කරන බවත්, කියා සිටියාය. 

කොරියානු භාෂාව පිළිබඳ කොරියාවේදී වසර 5 ක් සරසවි අධ්‍යාපනය ලබමින් ශාස්ත්‍රවේදී උපාධියක් ලබාගත් බව කීවාය.

ඇය තවදුරටත් මෙසේ පවසමින් පැමිණිල්‍ලේ ප්‍රශ්නවලට පිළිතුරු දුන්නාය. 

“මගේ පෙම්වතා බ්‍රිතාන්‍ය ජාතිකයෙක්. අපි හඳුනා ගත්තේ 2009 අගෝස්තුවල කොරියාවේදී, ඔහු රතු කුරුස සේවයේ යෙදුණු කාලයේදී අපි පෙම් කළා. සමීප සම්බන්ධයක් තිබුණා. 2011 දෙසැම්බර් 17 ලංකාවට එන්න තීරණය කළේ නිවාඩුවකට මම ආවේ රුසියාවේ ඉඳලා. කුරාම් ආවේ පලස්තීනයේ ඉඳලා ඕමානය හරහා. ඒ කාලෙ ඔහු ගාසා තීරයේ රැකියාව කළේ.

අපි සති 3ක් තංගල්ලෙ හෝටලයේ ඉඳලා යන්නයි ආවේ. 17 දින අපි හෝටලයට ආවා. එහි කළමනාකාරිනිය ඇතුළු පිරිස අපිට හොඳින් සංග්‍රහ කළා. ආගන්තුක සත්කාර කළා. මීට කලින් 2011 පෙබරවාරි අපි ලංකාවට ඇවිත් නුවර, යාපනයේ සංචාරය කරලා සති 2 ක් ඉඳලා ගියා. එවර හිටියේ මිරිස්ස බිච් නමැති නිකේතනයක. මෙවර තංගල්‍ලේදී අපි සතුටින් හිටියා. අපි හුඟක් ප්‍රේමයෙන් හිටියේ. 2012 වසරේ විවාහ වෙන්න දරුවෝ හදාගන්න වගේ හුඟක් බලා‍පොරොත්තු තිබුණා. තංගල්ල හෝටලයේදී අපි මූදේ නෑවේ නෑ රළ පහර සැර හින්දා. අපි අඹු සැමියන් ලෙස හැසිරුණා. අවසාන වරට 2011 දෙසැම්බර් 23 දින රාත්‍රියේදී දෙසැම්බර් 25 දින නත්තල් සාදයක් සංවිධානය කරලා තිබුණා. ඒකට මේ හෝටලයට ආසන්න හෝටල්වල සිටි විදේශීය සංචාරකයින්ටත්, දේශීය සංචාරකයින්ටත් ආරාධනා කරලා තිබුණා. දෙසැම්බර් 24 දා දවල් මමයි කුරාම් දෙන්නම නත්තල් ගහ සැරසුවා. අපි රෑ 8.30 විතර සාදයට ආවේ. එතකොට 40 ක් විතර පැමිණ හිටියා. සාදයට මම ඇඳගෙන ආවේ කොළපාට ගවුමකුයි, පාට සෙරෙප්පු දෙකකුයි.

මට ඉංග්‍රීසි භාෂාවෙන් කියන දේ අවබෝධ කරගන්න පුළුවන්. යම් යම් දේවල් ප්‍රකාශ කළ හැකියි. ඒත් විශිෂ්ට දැනුමක් නැහැ.

නත්තල් සාදය වෙලාවේදී ගිනි මැලයක් දල්වන්න එහි සේවකයෝ හුඟාක් උත්සාහ කළා. ඒත් මුලදී දැල්වුණේ නැහැ. ගිනි මැලය දැල්වුණේ පහුවෙලා. බුෆේ ක්‍රමයට සැකසුණු රාත්‍රී ආහාරය අරන් අපි සාදයට එක් වුණා. මම කුරාම් එක්ක මත්පැන් පානය කළා. වොඩ්කා සමග රෙඩ්බුල් තමයි අපි ගත්තේ. ඊට පස්සේ කුරාම් බාර් එකේ කෙනෙක් එක්ක කතා කරමින් හිටි නිසා මම ගිනි මැලය ළඟට ගියා. ඉන් පස්සේ මම වෙරළට ගිහින් ඉක්මනින් කුරාම් හිටිය තැනට ආවා.

මම වෙරළ ළඟට ගියා කියලා කවුරු හරි කුරාම්ට කියලා තිබුණා. කුරාම් තරහින් හිටියේ. මා එක්ක කතා කළේ නැහැ. මට හරියට දුක හිතුණා. මට ඇඬුණා. මම නැවත මුහුද ඔබ්බට ගිහින් වැල්‍ලේ බිම වාඩිවෙලා හොඳටම ඇඬුවා. ඊට පස්සේ හෝටලය පැත්තේ ඉඳලා ආව ලංකාවෙ පිරිමියෙක් මගෙන් ඇහුවා ‘ Why are you crying’  ඉංග්‍රීසියෙන්. ඔහු සුදුපාට කමිසයක් හැඳගත් කැරලි ගැසුණු කොණ්ඩයක් තියන කෙනෙක්. මට බය හිතුණා. මම නැගිටලා හෝටලය පැත්තට දිව්වා. මට පිහිනුම් තටාකය ළඟට පමණයි යන්න ලැබුණේ. එතනදී මා ප්‍රහාරයකට ලක්වුණා. පිරිමි කීපදෙනෙක්ම අතින් පයින් මට පහර දුන්නා. ඔළුවටත් ගැහුවා. මම දෑතින් ඔළුව බදා ගත්තා. දිගටම මට පහර දුන් නිසා මාව බිම ඇදගෙන වැටුණා. ඊට පස්සෙත් මට පයින් පහරදීලා පිහිනුම් තටාකයට මාව විසි කළා. මම පිහිනුම් තටාකයෙන් ගොඩ එන්න හදද්දී කළු මූණක් තියෙන ලංකාවෙ කෙනෙක් සෙරෙප්පු දැමූ කකුලකින් මට ඔළුවට ගැහුවා. නැවතත් මාව පිහිනුම් තටාකයට වැටුණා. පිහිනුම් තටාකයේ වෙනත් පැත්තකින් මම ගොඩට පැනලා කෑ ගසමින් කුරාම්ව සෙව්වා. එතකොට වෙලාව රාත්‍රී 11.00 විතර ඇති.

මට පහර දුන් කෙනා මට හඳුනා ගන්න පුළුවන්. ඔහු සාදයේදී ගෑනු ළමයෙක් සමග අශෝභන ලෙස හැසිරුණා. ඇඳලා හිටියේ ලා නිල් පාට ෂර්ට් එකක්.

කුරාම් පිහිනුම් තටාකයට එහායින් බිම වැටිලා හිටියා. ඔහුට සිහිය තිබුණේ නෑ. මුහුණේ කැපුම් තුවාල තිබුණා. මම ඔහුගේ නම කියා කෑ ගැහුවා. ඔහු ප්‍රතිචාර දැක්වූයේ නෑ. මම ඔහුට කෘත්‍රිම ශ්වසනය දුන්නා. ඒත් හරි ගියේ නෑ. මම කෑ ගැහුවා. ඒත් කවුරුත් ආවේ නෑ. ඊට පස්සෙ මම හිතන්නෙ මට සිහි නැති වුණා. මම පුදුම විදිහට කම්පනයට හා  පීඩාවට පත්වෙලා හිටියේ. මට සිහිය ආවේ රෝහලට ගෙනියන අතරමගදී. මට හිස කැක්කුම හා වමනය දැනුණා. මාව මාතර රෝහලට අරන් ගියේ. මට කාගේ හෝ ටී ෂර්ට් අන්දවලා තිබුණා. ගවුම ඉන දක්වා පහළට හෙලා තිබුණා. ඇඟ පුරාම ‍ලේ තැවරිලා නිසා ඇඳුම් ගලවලා වෙන ඇඳුම් ඇන්දුවා. ඒ වෙලාවෙයි මම දැන ගත්තේ යට ඇඳුම් නෑ කියලා. මට ඇඬුණා. 

මගේ ඇඟ හා මූණ  ඉදිමිලා තිබුණා. ශරීරය පුරාම දැඩි වේදනාවක් වගේම ලිංගාශ්‍රිත ප්‍රදේශයේත් දැඩි වේදනාවක් දැනුණා. කරාපිටිය රෝහලින් මාව ශල්‍යකර්මයකට භාජනය කළා. ඉන්පසු කොළඹ ලංකා රෝහලට ගෙනිච්චා. එහිදී තමයි මා දැනගත්තේ කුරාම්ව මරා දාලා කියලා. එතෙක් හැමෝම මගෙන් එය හැංගුවා. 2012 ජනවාරි 05 දා මාව තංගල්ල අධිකරණයට අරන් ගියා. හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී මට පහර දුන් කෙනා දුටු විටම හඳුනා ගත්තා. ඒත් මම ඒ බව නොකීවෙ මගේ ජීවිත ආරක්ෂාව ගැන හිතලා. මගේ ආරක්ෂාව ගැනවත් විශ්වාසයක් තිබුණේ නෑ. මට උවමනා වුණේ ඉක්මනින් රුසියාවට යන්න. 

මේ නඩුවට සහභාගි වෙන්න තානාපති කාර්යාලය හරහා මට දැනුම් දුන්නා. මේ වෙලාවේ ශ්‍රී ලංකාවේ ආණ්ඩුව මට ඉහළම ආරක්ෂාව සපයනවා. ඒ නිසා මගේ ආරක්ෂාව ගැන චකිතයක් නැහැ. මම රුසියාවෙ ගිහින් එහෙ ශල්‍ය වෛද්‍යවරයෙක්ගෙන් ස්නායු වෛද්‍යවරයෙකුගෙන්, මානසික ස්නායු වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ගත්තා. මට ගැඹුරු විශාදිය නමැති රෝගයක් හටගෙන තියන බව වෛද්‍යවරු කියනවා. දැනටමත් මා ඖෂධ බොහොමයක් පාවිච්චි කරනවා.

ඊට පස්සේ විවාහයක් ගැන මම හිතුවෙ නෑ. කුරාම් මට හිටි සමීපතම ආදරවන්තයා. ඔහුගේ තැනට වෙන කෙනකු ආදේශ කර ගැනීමට අපහසුයි“

විත්තියේ හරස් ප්‍රශ්නවලට වික්ටෝරියා සාක්ෂි දීමට නියමිතය. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, විජේසිරි අඹවත්ත, ලිලාන් අමරකෝන්, ගාමිණි ඉලංගසිංහ, සජිත් සේනානායක යන නීතිඥවරුන් ඇතුළු නීතිඥ මඩුල්ලක් පෙනී සිටිති.

මෙම නඩු විභාගය අද 28 දවස පුරාම විභාගයට නියමිතය. මෙම නඩුවේ ප්‍රධාන සැකකාර තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් චන්ද්‍ර පුෂ්පවිදානපතිරණ නඩුව අවසන් වනතුරු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත. ඕබඩ ආරච්චිගේ ළහිරු කැළුම්, උඩුවනගේ සමන් දේශප්‍රිය, වීරප්පුලිගේ ප්‍රගීත් චතුරංග, මොහොට්ටිගේ සරත් නොහොත් සහන් සරණ ආරච්චි, පටබැඳිගේ චානුක චතුරංග යන සැකකරුවන් රුසියන් කාන්තාවගේ සාක්ෂි අවසන් වනතුරුම යළිත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

නිශානි හේරත් බන්නැහැක

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery