facebook page

Powered by Blogger.

Blogger templates


නගාරික ධර්මපාල තුමා 1915 වසරේ දී සුද්දන් විසින් මදුරාසියේ නිවාස අඩස්සියේ රඳවා සිටිය දී ලියූ ලිපියකි මේ.

බුදුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව සිය ධර්මදූත ව්‍යාපාරය ආරම්භ කළේ තෘෂ්ණාවත්, ද්වේෂයත්, මෝහයත් නිසා පවෙහි හා දුකෙහි ගැලී සිටින සත්ත්වයන්ට, එයින් සදාකාලික විමුක්තියක් ලබාගැනීම සඳහා දිය හැකි අමරණීය ත්‍යාගයක් වූ ශ්‍රී සද්ධර්මය, එයට සවන් දීමට කැමැත්තෙන් සිටින අයට දේ්ශනා කිරීම සඳහා ය.

සජීව සියලු සත්ත්වයන් සාමයත්, සන්තුෂ්ටියත් භුක්ති විඳිමින් ජීවත් විය යුතුª යන්න උන් වහන්සේගේ අපේක්‍ෂාව විය. නේරංජනා ගඟ අසබඩ, උරුවෙල් දනව්වේ බෝරුක මුල දී බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසු ව, සත් සතියක් ම ස්ථාන හතක දී සියලු දුකින් මිදීමේ පී‍්‍රතිය වූ විමුක්ති සුවය විඳිමින් කල් ගෙවූ හ. සූවිස්සක් හේතූන් නිසා හටගන්නා වූත් සංකීර්ණ වූත්, විස්තීර්ණ වූත්, සූවිස්සක් වූ ඵල සමුදායක් සම්බන්ධ ව උන් වහන්සේ මනෝ විද්‍යාත්මක ව විමර්ශනය කළහ. මුළු මහත් විශ්වය ම එක්තරා ප්‍රබල නීතියකින් මෙහෙයවනු ලබයි. විද්‍යමාන සියලු දෙයකට ම හේතුවක් ඇත (යේ ධම්මා හේතුප්පභවා).
හේතුව කුමක් ද යන්න තථාගතයන් වහන්සේ දේශනා කොට ඇත. මෙම සූවිසි ප්‍රත්‍යයන්ගේ විචිත්‍ර වූ, වෛවර්ණ වූ ක්‍රියාකාරිත්වය තථාගතයන් වහන්සේ සාක්ෂාත් කරගත්හ. මෙම සම්පූර්ණ දර්ශනය ම උන් වහන්සේ මැනැසින්, සම්මර්ශනය කරද්දී උන් වහන්සේගේ දිලිසෙන ශරීරයෙන් නීල, පීත, ලෝහිත, ඕදාත, මංජේෂ්ඨ, ප්‍රභාස්වර යන ෂඩ් වර්ණ රශ්මි මාලාවක් පිටතට විහිද මඳ දුරක් දක්වා විශ්වය කරා පැතිරුණු බව ප්‍රකාශ වේ.

උන් වහන්සේ සිය අපේක්ෂාවන් සාක්ෂාත් කොට පරම වූ නිවන්සුව අවබෝධ කරගත් පසු ව කාම ලෝකයේ ප්‍රධාන දෙවියා වූ මාරදිව්‍ය පුත්‍රයා උන් වහන්සේ වෙත පැමිණ, ලබාගත් නිවන්සුවය හුදෙකලා ව, විවේකී ව භුක්ති විඳින ලෙස ඉතා ඕනෑකමින් යුතු ව ඉල්ලා සිටියේ ය. තවදුරටත් වෙහෙසෙන්නේ ඇයි? සාමයෙන් සුවයෙන් වැඩ සිටින්නැයි හේ බුදුන් වහන්සේගෙන් ආයාචනය කළේ ය. එම්බා රුදුරු මාරය, තගේ ඉල්ලීමට පිළිතුරු දිය නොහැකි ය. තොපට විවේකය හා සාමය අවශ්‍ය වුව ද සියලු ලෝක සත්ත්වයා ම මෙම විවේකයේත්, සාමයේත්, කොටස්කරුවන් වන තුරු මට එය අවශ්‍ය නො වේ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස ධර්මයේ ප්‍රගුණ කරවන තුරු, මගේ ධර්මයෙන් නියමාකාරයෙන් සන්නද්ධ වන තුරු, දුර්මතයන් අඩු කරන තුරු හා ඔවුන්ට ශ්‍රේෂ්ඨ වූ ධර්මය දේශනා කිරීමට හැකි වන තුරු මට විවේක ගත නොහැකි ය. ඊට පසු ව මට විවේකගත හැකි ය. මාරය, තා මෙතනින් වහා පිට වී යවයි උන් වහන්සේ ප්‍රකාශ කළහ.

ධර්මය මිනිසුන්ට අවබෝධ කරගැනීමට අසීරු එකකැ යි උන් වහන්සේට කල්පනා විය. ජනයා කාමභෝගී ව, සුඛෝපභෝගී ව පී‍්‍රතියෙන් කල් ගෙවද්දී ඔවුහු කෙසේ මෙම ගැඹුරු ධර්මය අවබෝධ කරගනිත් ද? ඒ සමඟ ම ස්වාමීනි, ලෝකයා ධර්මය පිළිගැනීමට සූදානමින් සිටිති. ධර්මය දේශනා කර ලෝකය දුකින් මුදාගනු මැනවියි දිව්‍ය ලෝකයෙන් හඬ නගනු ඇසිණි. සියලු දෙවියන්ගේ ප්‍රධානියා වූ මෛත්‍රියට අධිපති වූ සහම්පතී බ්‍රහ්මයා ද මෙසේ ප්‍රකාශ කරමින් බුදුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ ය.

මිනිසා ආගම උදෙසා හිංසා-පීඩාවලට පත් කළ යුතු යයන්න බුදු දහම කිසි සේත් විශ්වාස නොකරන්නකි. (1) සම්පූර්ණ අවබෝධයක් ඇති, (2) අවබෝධය ලබාගැනීමට සූදානම් හා (3) පසු ව අවබෝධ කරගත හැකි යනාදි වශයෙන් වශයෙන් වූ තෙවර්ගයකට අයත් මිනිසුන් ඇති බව බුදුන් වහන්සේට පෙනී ගියේ ය. තුන් ආකාරයකින් මිනිස් මනස පියුමක් හා සමාන වූවකි. සම්පූර්ණයෙන් පිපුණු මල, පිපීමට ආසන්න ව ජලයෙන් උඩට පැනනැගි මල හා තව මත් වතුර යට වූ නොපිපුණු මල වශයෙන් පියුමක අවස්ථා තුනක් දක්නට ලැබේ.

පහළ ශ්‍රේණියක උගන්නා ශිෂ්‍යයෙක් මධ්‍යම ශ්‍රේණියේ ළමයකු හා සම නො වේ. ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියක උගන්නා ශිෂ්‍යයෙක් මොවුන් දෙදෙනාට ම සම නො වේ. පහළ ශ්‍රේණියේ ශිෂ්‍යයා එකවර ම ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියේ ශිෂ්‍යයාගේ තත්ත්වයට පත් විය යුතු යැ යි සිතීම මෝඩකමකි. වර්ධනය සඳහා කාලය අවශ්‍ය වේ. මෙම ධර්මතාව තථාගත ධර්මයෙන් තහවුරු කර ඇත. මිනිසා වනාහි ලේ පිපාසයෙන් පෙළෙන දේව-යක්ෂයකු විසින් නිර්මාණය කරන ලද හෝ වාත්තු කරන ලද මැටි පිළිමයක් නො වේ. ඔහු තමාගේ ම ක්‍රියාවලියේ නිෂ්පාදකයෙකි. මිනිසා හා තිරිසන් සත්ත්වයාගේ මූලාරම්භය ගැන දැනගත නොහැකි ය.
ලෝකයේ ආරම්භයක් ගැන බුදු දහමේ සඳහන් නො වේ.

දැනගත http://www.namaskara.lk/2014/03/23-3.jpgහැකි මූලාරම්භයක් නැති නිසා ආරම්භය සොයාගත නොහැකි ය. එහි උඩ යට දෙක ම අනන්ත ය. ස්ථිර වූ කිසිවක් නැති අතර, සම්පූර්ණ විනාශයක් දක්නට නැත. වෙනස් වීමේ ධර්මතාව පමණක් පවතින අතර, මුළුමහත් විශ්වය ම හේතු-ඵල ධර්මතාවේ න්‍යායෙන් බද්ධ ව පවතී.

මිනිසා වනාහි ඔහුගේ මරණාසන්න මොහොත දක්වා ම සුභවාදී අපේක්ෂාවකින් කල් ගෙවන්නෙකි. කෙනකුගේ අකැමැත්තෙන් යමක් කිරීමට ඔහුට බලපෑම් කිරීම නොකළ යුත්තකි. ඔහුට යමක් ඒත්තු ගැන්විය යුත්තේ ආදරයෙන් හා කරුණාවෙනි. යමකු තමා ම විනාශය කරා යන මාර්ගයේ ගමන් කරයි නම්, එයින් අදහස් වන්නේ ඔහු අන් අය ද නොසතුටට පත් කරවන බව යි. මිනිසකුට හුදෙක් තමාට පමණක් අයහපතක් කරගත නොහැකි ය. 

යමෙක් තමන්ට යහපතක් කරගනී නම්, හේ අන් අයට ද යහපතක් සිදු කරන්නෙකි. ඒ හැරත් සෑම අයකුට ම උරුම වූ උපනිශ්‍රය කර්ම ඇති බවත්, යමක් අවබෝධ කරගැනීමට හැකියාවක් නැති අයකුට යමක් කිරීමට බල කිරීම, කර්ම න්‍යායට පටහැණි වූවක් බවත් බුදුන් වහන්සේ දුටු කරුණකි. කටු පැළෑටියකින් දිඹුල මල් ඉපදවීමට ඔබට නොහැකි ය. අඹ ගසක් අඹ ගෙඩි මිස පොල් ගෙඩි නිෂ්පාදනය නො කරයි.

සහජ උරුමය පිළිබඳ නියාමය, බීජ හටගැනීමේ නියාමය, ක්‍රියාකාරකම් පිළිබඳ නියාමය හා ස්වභාව ධර්මයේ නියාමය (කම්ම නියාමය, බීජ නියාමය, උතු නියාමය, ධම්ම නියාමය) යන නියාම ධර්මයන් උන් වහන්සේ දේශනා කළහ. හිංසාව හා අයුතු බලපෑම ආගමික හෝ මානසික විද්‍යා ක්‍ෂේත්‍රයේ නොමැති බව බුදු දහමේ පෙනේ. නිත්‍ය වූ සියලු දේ ද ඔබ හමුවෙහි ඇති නම් විනාශය ගැන බිය වන්නේ කුමට ද? ප්‍රඥාව හේතු කොටගෙන බුදුවරුන් තුළ දයානුකම්පාව හටගෙන ඇත. යහපත දැකීමට කැමැති අය ආරක්‍ෂා කිරීමට බුදුවරු කැමැති වෙති. යම් තාක් දුරට මෙම සංසාර පැවැත්ම ඇත්තේ ද, ඒ තාක් දුරට බුදුවරයන්ගේ පරම්පරාවක් ද වැඩසිටිනු ඇත. දයානුකම්පාව නොකඩවා ම අනුගමනය කරමින් අනාගත බුදුවරුන්ගේ ධර්මය පිළිගැනීම සඳහා මිනිස් වර්ගයා පෙළගැසී සිටිති. ලොව කිසිවිටෙකත් ශුද්ධවන්තයන්ගෙන් තොර නො වේ.

ආර්ය ගෘහය පී‍්‍රතිමත් තැනක් කිරීම බුදුන් වහන්සේගේ අපේක්‍ෂාව විය. එම ගෘහයේ බිරිඳ දෙවඟනක ද, ස්වාමිපුරුෂයා දෙවියකු ද වනු දැක්ම උන් වහන්සේගේ අභිලාෂය විය. එසේ ම නගර අලංකාර කිරීම, ගෙවතු, උයන්වතු, වතුර ටැංකි, වනපෙත්, දානශාලා, නානස්ථාන, විශ්‍රාම ශාලා, ආරෝග්‍යශාලා, නගරශාලා, ආගමික ශාලා, ප්‍රසූතිකාගාර, විසිතුරු මල් උයන්, දිවා හා රාත්‍රී විවේකාගාර, සක්මන් මළු, විහාරාරාම, භෝජන ශාලා, සේවා ස්ථාන, විසිතුරු උයන් ආදි මේ සැම දෙයක් සකස් කිරීම හා පිළියෙල කිරීම සම්බන්ධ ව, භික්ෂූන් වහන්සේලා පුහුණු කරවූ අතර, ඒවා සම්බන්ධ ව වැඩිහිටි මෙන් ම තරුණ අයට ද ඉගැන්විය යුතු බවට උපදෙස් දුන්හ; ගිහියන්ට සදාචාර සම්පන්න ව ජීවත් වීමට ද උපදෙස් දුන්හ. දන් දීමට උගත යුතු අතර, දිනපතා ස්වල්පයක් හෝ පරිත්‍යාග කළ යුතු ය. මේ අන්දමින් දන් දීමේ ක්‍රමය තමා ම ප්‍රගුණ කළ යුතු ය. බත් පිඬක් පවා දන් දීමට පුරුදු-පුහුණු විය යුතු ය.

පී‍්‍රතිමත් ගෘහ ජීවිතයක් සඳහා වූ දහම සදාචාරය යි. යමෙක් සොරකම් කරයි නම් ඔහු වැදගත් සමාජයකට භාර ගනු නොලැබේ. මිනිසා වූකලි සමාජශීලී, හැඩගැසෙනසුලු, ආධ්‍යාත්මික සත්ත්වයෙකි. සමාජයකින් තොර ව ඔහුට ජීවත් විය නොහැකි ය. ඔහුගේ පී‍්‍රතිය සඳහා නෑදෑයෝ ද ඔහුට සිටිය යුතු ය. මිතුරන් නෑයන් හා අඹු-දරුවන් නැති මිනිසකුට සම්පූර්ණ ජීවිතයක් ගත කළ නොහැකි ය. දෙවියන් දිනපතා ම මිනිසුන් ආශ්‍රය කිරීමට බිමට නොබසින නිසා සමාජශීලී ව මෙන් ම සුචරිතවාදී ව ද අන් අයගේ සතුට සඳහා ද කටයුතු කිරීමට උගත යුතු වේ.

ඇතැම් ආගම්වල එක ම දෙවියකුගේ පැවැත්මක් ගැන ඉගැන්වේ. එම දෙවියා අසතුටින් ජීවත් වන්නෙක් විය යුතු ය. සමාජයක් නැති දෙවියා හිරකරුවෙකි. එවැනි දෙවියන් ගැන ලෝකයට හඳුන්වා දෙන්නෝ තම සතුට ගැන විනා දෙවිවරුන්ගේ සතුට ගැන කථා නො කරති. ඇතැම් විට ඔහු අත්තනෝමතික ව එක් දෙවියකු ගැන විශ්වාස කරන්නැ යි මිනිසුන් රැවටුවා විය හැකි ය. දුප්පත් එම දෙවියාට අනුකම්පා කළ යුතු ය. ඔහුට ලබාදෙන ලේ ස්වල්පයකින් සෑහීමකට පත් වීමට සිදු වී ඇති අතර, දේව වක්තෘවරයා තමා කැමැති පරිදි, වැඩියෙන් ස්ත්‍රීන් ද, වැඩිපුර සුරාව ද, වැඩිපුර මස් ද ලබාගනී. සර්වබලධාරී දෙවියකු වූකලි මානසික ව අස්වාභාවික වූවෙකි. පරිණාමවාදය එවැන්නකු ප්‍රතික්‍ෂේප කරන අතර, වනචාරී අන්ධභක්තිය එවැන්නකු පිළිගනී.

පැරණි ඉන්දීය වැසියෝ දෙවියන්ට බිය නො වූ හ. ඔවුහු එකිනෙකාගේ සතුරන් නොවූ අතර, අනොන්‍ය වශයෙන් උපකාරී ව කටයුතුª කළහ. ආර්ය දේව කවය තුළ, ලේ පිපාසාවෙන් පෙළෙන යකකු බදු ඊර්ෂ්‍යාකාර දෙවියකුට පැවැත්මක් නො වී ය. උත්තරීතර සත්‍ය ධර්මයත් සදාචාරයත් දෙවියන්ට ඉහළින් වැජඹිණි. එම ශ්‍රේෂ්ඨ නීතියට අකීකරු වූවෙක් නම් නො වී ය. අත්තනෝමතික දෙවියකු ගැන දේශනා කළ අයට ශ්‍රේෂ්ට වූ හේතු- ඵලවාදයනම් සදාතනික න්‍යාය සම්බන්ධ ව කිසිදු වැටහීමක් තිබී නැත.

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද පී‍්‍රතිමත් ගෘහ ජීවිතයේ සදාචාරය තුළ හේතු-ඵලවාදයේ සදාතනික නීතියට පටහැණි වූ අත්තනෝමතික දෙවියාට තැනක් නැත. ආත්මෝපකාරයපිළිබඳ ඉගැන්වීම බුදුන් වදාළ ගැඹුරු දහමකි. මැවුම්කාරයාගේ කැමැත්ත පරිදි කටයුතු කිරීමෙන් අදහස් වන්නේ එම මිථ්‍යා දෘෂ්ටිය ප්‍රකාශ කළ අයගේ මෝඩකම තහවුරු කරන බව යි. එමෙන් ම ග්‍රාම්‍ය වූ ද අත්තනෝමතික වූ ද දෛවවාදයට ද (සියල්ල පෙර නියමය පරිදි සිදු වන) සදාචාර ධර්මයේ තැනක් නැත.

කලින් නියම වූ රටාවකට අනුව මිනිසා දුක් විඳිය යුතු යැයි සිතීම මෝඩකමකි; චින්තන ක්‍රියාකාරීත්වයේ බලමහිමය, එනම් එක් එක් අයට සහජයෙන් උරුම වූ විද්‍යාත්මක වටිනාකම විනාශ කිරීමකි. සංස්කාර නිපදවීම හැරෙන්නට සිතට වෙන කිරීමට දෙයක් නැත. එය ප්‍රඥාව, එනම් විද්‍යාත්මක සිතිවිලි සමඟ මුසු වූ විට, “සියල්ල දෛවයෙන් නියමිත පරිදි සිදු වේ යයන දෛවවායට තැනක් නැත. මිනිසාට, කලින් නියමිත පරිදි දෛවය අනුව සියල්ල සිදු වන නිසා ඔහු දෛවවාදයට යටත් විය යුතු යැ යි, දැඩි ලෙස කියා සිටින, අත්තනෝමතික මැවුම්කරු හා එම චිරන්තන දෘෂ්ටිය හේතු-ඵලවාදී න්‍යාය සමඟ නොගැළපෙමින්, ඒ ඒ මිනිසුන් තුළ ක්‍රියාත්මක වන්නා වූ, චින්තන ශක්තිය සොරකම් කරයි; පැහැරගනී. මිනිසාට අතීතයක් නැත; අනාගතයක් නැත. භෞතික ශරීරය විනාශ වීමෙන් පසු සියල්ල කෙළවර වේයන අදහස ද ඊට ම සමාන වූ තුච්ඡ වූ දෘෂ්ටියකි. මේවා ඉපැරණි ඉන්දියාවේ පැවති අන්තවාදී විශ්වාස ය.

යුදෙව් චින්තනය අනුව මිනිසා මහ පොළොවේ වූ ධූලිවලින් සැදී ඇති බව හඟවයි. ඔහුට අතීතයක් නැත. එක්තරා කාලසීමාවක දී ජීවිතය පටන්ගෙන මරණයෙන් ඔහුගේ භෞතික ශරීරය විනාශ වී ගියාට පසු කිසිදු පැවැත්මක් නැත. මෙවැනි ධර්මයන්, වැසිපොද නැති කාන්තාරයක රස්තියාදුකාරයන් සඳහා පමණක් ගැළපෙයි. ආචාර්ය ප්ලින්ඩර්ස් පෙට්‍රි මහතාගේ ඉතා වැදගත් කෘතියක් වූ ච්චඹද ධට ඛ්ඪමඪතඪලචබඪධද නම් ග්‍රන්ථයේ ඉපැරණි ඊජිප්තු ප්‍රතිමා කැබැල්ලක ඡායාරූපයක් දක්නට ලැබේ. එහි කුඹලකුගේ මේසයේ මිනිස් රුවක් ලෙස අඹන ලද කුහුමුනම් දෙවියාගේ රුවක් දක්නට ඇත.

ආසියාවේ බටහිර වෙරළබඩට ආසන්න ව පැතිර ගිය යුදෙව් ආගම්වල දෙවියා විසින් මැටි පිඬකින් මිනිසා මවන ලදියන අදහස ස්ථාපිත කොටගන්නා ලදි. මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය අන්තර්ගත වන්නේ යහපත් දේ කිරීමට දක්වන ස්ථිරසාර අභිප්‍රාය හා ඔහුගේ ආත්ම පරිත්‍යාගයෙන් සත්‍යය දැන-හැඳිනගැනීම සඳහා යොදවනු ලබන ශක්තීන් තුළ ය. මෙම උතුම් ශක්තිය පැහැරගන්නා මිනිසා, කොටියාගේ හා වලසාගේ සහජ ගතිවලින් යුතු ම්ලේච්ඡයකු බවට පත් වෙයි.

ඇතැම් රටවල් ස්වභාවයෙන් ම කෘෂිකර්මය සඳහා සුදුසු නො වේ. වී ගොවිතැනෙහි යෙදෙන රටවල ජනයාට ඒ සඳහා අවශ්‍ය ඥානය ලබාගැනීමට ස්වභාව ධර්මය ද උදව් කරයි. බීජ තවන් කිරීම සඳහා පොළොව සකස් කිරීමේ දී දෛනික ව දරනු ලබන පරිශ්‍රමය තුළින් මෙම අවබෝධය ලැබේ. වී ගොවිතැනේ යෙදෙන්නාට, බීජ තවන් කිරීමට සුදුුසු වන කාලය ගැන ද, ඒ ඒ අවස්ථානුකූල ව සිදු වන ඍතු විපර්යාසයන් ගැන ද අවධානය යොමු කිරීමට සිදු වෙයි. ගොයම් පැළ වැඩීමේ දී ක්‍රමානුකූල ව සිදු වන වෙනස්කම් ගැන ද සැලකිලිමත් වීමට සිදු වෙයි.

හොඳ පලදාවක් ලබාගැනීම සඳහා තමා විසින් දරන ලද වෙහෙස මහන්සිය මෙන් ම, හරකුන් නොමැති ව කුඹුර හාගන්නට නොහැකි නිසා, උන්ගෙන් ඒ සඳහා ලබාගත් ශ්‍රමය ගැනත් ගොවියා තක්සේරු කරයි. බත ප්‍රධාන ආහාරය ලෙස ගන්නා කෘෂිකාර්මික රටවල මැවුම්කරුවකුපිළිබඳ අදහස සොයාගැනීමට නැති වීම පුදුම සහගත ද? අන් අය මංකොල්ලකමින්, ඝාතනය කරමින්, කටයුතු කරන විට ඇති වන උවදුරුවලින් තමන් ගලවාගැනීම සඳහා දුෂ්ට දෙවියකුට යාච්ඤා කිරීම, රස්තියාදුකාර, මංකොල්ලකරුවකුට අවශ්‍ය වූවකි.

පී‍්‍රතිමත් ආර්ය නිවෙස, මස් මරන්නකුගේ ඝාතක ස්ථානයක් බවට පරිවර්තනය නො වී ය. තමාගේ ආත්මාර්ථකාමී ගිජු ආශාවන් සංසිඳුවාගැනීම සඳහා, අහිංසක හා අසරණ සතුන් ඉතා අමානුෂික ලෙස මරණයට පත් කරමින් උන්ගේ ලෙයින් පොළොව තෙත් කරන ජීවිතයකට හේ පුරුදු නො වෙයි. අසරණ සතුන්ගේ ලේ වැගිරවීම සඳහා හේ කෝපයෙන් වියරු වූ දෙවියකුගේ අවසරය නො පතයි. ආර්යයා අහිංසා පරමාධම්මායන ආදර්ශ පාඨයෙන් යුතු ව දවසේ වැඩ අරඹයි. කරුණාව වූකලි විශිෂ්ටතම ධර්මය යි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන මේ ශ්‍රේෂ්ඨ ගුණාංග සතර ආර්යයා වඳින-පුදන දෙවියාගේ ගුණධර්ම යි. ඔහු බ්‍රහ්ම නමින් ද හැඳින්වේ. ආර්ය දෙවියෝ පොළොවට ශාප නො කරති; ආශීර්වාද කරති. දෙවියෝ ලොවට ශාප කරති යි සිතීම ඉතා පිළිකුල් කට යුතු මතයකි. එය සාප සංකල්පයේ අතිබිහිසුණු ම උපරිම අවස්ථාව යි.

පී‍්‍රතිමත් ගෘහ චර්යාව පවුලකට නියමිත වූ යුතුකම් රැසක් ගැන නිරතුරු ව ම අවධානය යොමු කරයි. පවුලේ ප්‍රධානියා අරිය සාවකනමින් යුතු වන අතර දේවනාමයෙන් ද ඔහු සම්භාවිත යි. කීකරු භාර්යාව දේවියනමින් හැඳින්වේ. ආර්ය ගෘහපතියා නිතර ම සදාචාරය ගරු කළ යුතු අතර, සෑම කරුණක් සම්බන්ධ ව ම හේතුඵලවාදී ව සලකා බැලිය යුතු ය. ඔහු විසින් අත්හළ යුතු දේ ද ඇත. ඒවා ඔහු කිලිටි කරන කම්ම කිලේසනමින් හඳුන්වයි. සමහර ඒවා කිරීමෙන් වැළකී සිටිය යුතු ය (පාපකම්මං න කරෝති). ඔහු අපායට හෙළන්නා වූ, සම්පූර්ණයෙන් ම අත්හළ යුතු දෑ ඇත (අපාය මුඛානි න සේවති).

මිනිසා කිලිටි කරවන ක්‍රියාවන් නම්: (1) ප්‍රාණඝාතය, (2) සොරකම, (3) පරදාර සේවනය හා වැරදි ලෙස ඉඳුරන් පිනවීම සහ (4) බොරු කීම යි. යහපත් ආර්යයා ඡන්ද, දෝස, භය, මෝහ යන සතර අගතියට නොපැමිණ, ඒවායින් දුරු විය යුතු ය. මිනිසා අපායට පමුණුවන දුෂ්චරිතයන් වූකලි සුරාපානය, අවේලාවේ වීථිසංචාරය කිරීම, මධුපානෝත්සවයන්ට සහභාගි වීම, පාපමිත්‍ර සේවනය හා අලස වීමට පුරුදු වීම යන මේවා ය.
සුරාපානයෙන් ගෘහපතියාගේ පී‍්‍රතිය සම්පූර්ණයෙන් විනාශ වී යයි. බුදුන් වහන්සේ සුරාපානය කිරීමෙන් සිදු වන හානිය පැහැදිලි ව සඳහන් කළ සේක: (1) බල-බලා සිටිය දී ම ධනය විනාශ වීම, (2) කලහකාරී වීම, (3) දබරවලට පැටලීම හා කෝප වීම, (4) ලජ්ජා-බිය නැති වීම, (5) ප්‍රඥාව දුබල වීම හා ඊළඟ භවයේ දී උමතු බවට පත් වීම යන මේවා එහි ප්‍රතිඵල ය.

යහපත් ගෘහපතියකු අනිවාර්යයෙන් ම ඉටු කළ යුතු යුතුකම් රැසක් ද දක්වා ඇත. ඔහුගේ දෙමවුපියන් ද, අඹු-දරුවන් ද, හොඳින් රැක- බලාගත යුතු ය. ඔහුගේ යහළු-මිත්‍රාදීන්, උපස්ථායකවරුන්, දාස-කම්කරුවන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් යන මේ සියලු කොටස්වලට හොඳින් සැලකිය යුතු ය. තම දරුවන්ට ශිල්ප කර්මාන්ත, විද්‍යා හා කලා ශිල්ප යන මේවා උගැන්විය යුතු ය. එමෙන් ම තමන්ගේ දරුවන්ට උගන්වන ගුරුවරුන්ගේ අවශ්‍යතාවන් සොයා-බලා ඒවා ඉටු කර දිය යුතු ය. 

මිතුරන්ට සත්‍යවාදී විය යුතු අතර, අසීරු අවස්ථාවල දී ඔවුන් අත්නොහැර අවශ්‍ය උදව් කළ යුතු ය. නියම මිතුරා වෙනුවෙන් තම ජීවිතය වුව ද පිදීමට සූදානම් විය යුතු ය. තමාගේ ආදායම කොටස් හතරකට බෙදා එක් කොටසක් සිය පරිභෝජනයටත් කොටස් දෙකක් ජීවත් වන කර්මාන්තය සඳහාත් අනෙක් කොටස් අර්ථසාධක අරමුදලක් වෙනුවෙනුත් යෙදවිය යුතු ය. 

තමන්ගේ පරිභෝජනය සදහා යොදාගන්නා කොටසින් දහයෙන් පංගුවක් දිනපතා දන් දීමට යෙදවිය යුතුය. 

සතුටින් ජීවිත ගත කිරීමට කැමැති ආර්ය ගෘහපතියා කිසිවිටෙකත් අලස ව නොසිටිය යුතු ය. අලස මිනිසා තම මහන්සියෙන් උපයාගන්නා ධනය නැති කරගන්නා අතර, අලුතින් ධනයක් උපයාගැනීමට ද අපොහොසත් වේ. අලසකම අපායට මාර්ගයකි. ක්‍රියාකාරීත්වය අමරණීය ගුණයක් බව ඥානවන්තයා කල්පනාවට ගත යුතු ය (අප්පමාදෝ අමතපදං). පරිත්‍යාගශීලී වීම (දානය), මිහිරි වචන කථා කිරීම (පි‍්‍රයවචන), සැමට සමාන ව සැලකීම (සමානාත්මතා), සමාජ සේවය (අර්ථචර්යාව) යන මේ සතර සංග්‍රහ වස්තූන් ආර්ය ගෘහපතියා විසින් වැඩි-වර්ධනය කරගත යුතු ය.

බුදුන් වහන්සේ ආර්යාවර්තයේ උපාසක-උපාසිකාවන් සඳහා හතළිස්පස් වසරක් තිස්සේ උපදෙස් දුන් සේක. ආර්ය පවුලේ සැමියා හා බිරිය කරත්තයේ රෝද දෙක බඳු ය; අන්‍යොන්‍ය වශයෙන් ක්‍රියාත්මක විය යුතු ය; අන්‍යොන්‍ය ගරුත්වයකින් කටයුතු කළ යුතු අතර, නුවණින් හා ගුණයහපත්කම්වලින් එකා වන් ව පිළිපැදිය යුතු ය. ආර්ය සැමියකු හා ආර්ය බිරියක සම්බන්ධ ව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන හොඳ ම උදාහරණය නම් නකුල පිතෘවරයාගේ හා නකුල මාතාවගේ කථාන්තරය යි. 


පරිවර්තනය බන්දුසිරි කංකානම්ගේ

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery