අම්මා ගැන මුල්ම මතකය

හුඟාක් පුංචි කාලේ නම් පැහැදිලි මතකයක් නෑ. ඒත් මම මොන්ටිසෝරි ගිය පළමුවැනි දවසේ අම්මා මාව දාල එද්දී මම කෑ ගගහා ඇඬුවා, අම්මාගේ ආදරය, මාව තනිවීම මේ හැම දේම එක්ක මාව දාලා යන්න එපා කියලා ඇඬුවා... මට මතකයි ඒ දවස්වල මම අම්මාට කියනවා "මම අම්මාට පොල් ගාලා දෙන්නම් මාව මොන්ටිසෝරි යවන්න එපා" කියලා.

තාත්තාගේ ආදරේ වැඩියෙන්ම දැනුණේ

තාත්තාගේ ආදරේ හැමදාටම දැනෙනවා. ඒත් මම විවාහ වුණ දවසේ පිටත් වෙන්න කලින් තාත්තාට වැන්දම කවදාවත් නැති විදියේ ආදරයක්, උණුසුමක් තාත්තාගේ වැලඳගැනීමත් එක්ක දැනුණා.

මතකද ඉස්සෙල්ලම දැලි රැවුල කපපු දවස

ඉස්කෝලේ කෙඩෙට් කළානේ. කෙඩෙට් කරනවා නම් රැවුලයි කොණ්ඩෙයි කපන්න ඕනෑ. මගේ දැලි රැවුල දැකලා අයියලා කපන්න හැදුවා. ඕක කපාගෙන ගෙදර ගියොත් තාත්තාගෙන් විසුමක් වෙන්නෙ නැති නිසා අයියලාට නොවඳිනා වැදුම් වැඳල රැවුල කපන්න දවස් කීපයකට කල් ඉල්ලා ගත්තා. "ඔය එක එක්කෙනාට කියලා රැවුල කපාගෙන උඹේ රැවුල වැවෙන්නෙත් නැතිවෙයි" කියලා අම්මා හොඳ නැකතක් බලලා 2001 සැප්තැම්බර් 03 වැනිදා උදේ 6.31ට තාත්තාට කියලා නැකතට රැවුල කැප්පුවා.

තාත්තාගෙන් රිදෙන්න ගුටියක් කෑවේ

විශ්වාස කරයිද මන්දා අද වෙනකන් තාත්තාගෙන් ගුටි කාලා නෑ. අම්ම නම් තුන්පාරක් ගහලා තියෙනවා. ගුටිකන වැරැදි නොකෙරුවම නෙවෙයි. ඒත් තාත්තා ගහන්නෙ නැතිව "දැන් චූටි මහත්මයා ඔයා මෙහෙම කරපු නිසානේ මෙහෙම වුණේ... එහෙම නොකළානම් මෙහෙම වෙන්නේ නෑනේ..." වගේ දේවල් ආදරයෙන් කියනවා. ඒ වෙලාවට තාත්තාගේ හිත රිදවපු දුකට මට හිතෙනවා අනේ මට රිදෙන්න ගැහුවා නම් විඳගන්න තිබුණා කියලා.

මුලින්ම දුම්වැටියක් කටට ගත්තේ


මේ ඇත්තමයි කියන්නේ. කවදාවත් කටේ තියලා නෑ.

මධුවිතක් තොලගෑවේ අවුරුදු කීයෙදිද

අවුරුදු 20යි. යාළුවෙක්ගේ පාටියකදී උගුරයි බිව්වේ නොකවුට්. ගෙදර ගියෙත් නෑ. ඇතිවෙච්ච ලැජ්ජාවට මාස හත අටක් යනකන් කටේ තිබ්බේ නෑ. 

පොලිසියට මාට්ටු වුණේ

අපි හොඳම යාළුවො පස්දෙනා 2003දී මැස්ඩා වෑන් එකක් රෙන්ට් එකට අරගෙන රන්දෙණිගල ගියා පාසින් අවුට් බලන්න. ඒ එනකොට පොලිසියෙන් නතර කළානේ. එකෙක්ටවත් ලයිසන් නෑ. වාහනේ එළෙව්වේ මම නිසා මට යන්න වුණා. ලයිසන් අහනකොටම ලයිසන් නම් නෑ කිව්වා. ඊළඟට ජාතික හැඳුනුම්පත ඇහුවා. ඒකත් නෑ. හැබැයි පෝස්ටල් අයි.ඩී. එකක් නම් තියෙනවා, ඒකත් ගෙදර කිව්වා. අපි ගිය කාරණයි, මවුපියන්ගේ වතගොතයි අහලා අවවාද 100ක් විතර දීලා ගෙදර එව්වා.

හා හා පුරා කියලා කෙල්ලෙක්ට ආදරෙයි කියලා කිව්වේ

2004දී. ආදරෙයි කියලා මාස එකහමාරක් විතර පස්සෙන් ගිහින් යාළු කරගත්තා. අපරාදෙ මහන්සිය කෙල්ල මාව දාලා ගියානේ.

ආදරය ඉල්ලන්න ගිහින් ලැබුණු අමතක නොවන ප්‍රතිචාරය

අනේ ඉතින් හිත ගිය කෙල්ලෙක් හිටියා. ඇත්තටම ආදරේකුත් හිතුණා. ඒත් කියාගන්න බැරිව හිටියේ. මාස හතක් අටක් විතර අපි හොඳම හොඳ යාළුවෝ විදියට හිටියා. දවසක් තවත් මේක හිතේ හිරකරගෙන ඉන්න බැරිම තැන එයාට කියන්න කියලා හිතාගෙන 'මට ඔයාට දෙයක් කියන්න තියෙනවා' කියලා කිව්වා. එතකොට එයත් කිව්වා 'මටත් ඔයාට කියන්න දෙයක් තියෙනවා' අර ඔයාගෙ යාළුවා කාලෙක ඉඳන් මගෙන් යාළුවෙන්න අහනවා. මමත් එයාට කැමතියි. මම කැමැතියි කියන්න ඉන්නේ හොඳයි නේද? කියලා මගෙන්ම ඇහුවානේ...

පෙම්වතියක් එක්ක මුලින්ම ගියේ?

කොහෙ යන්නද අනේ ඒ කාලේ දෙන්නා එක්ක බස් එකේ ගෙදර ගියා. පෙම්වතියක් එක්ක හා හා පුරා කියලා ගමනක් ගියේ දැන් මගේ බිරිය වුණ ඉස්සර මගේ පෙම්වතිය එක්ක. ඒ ඕස්ට්‍රේලියාවේ. අපි වැඩිපුරම ගියේ පෙම්වතුන් නොයන ළමයි පමණක් යන තැන්වලට.

ලැබුණු අමතක නොවනම තෑග්ග

තාත්තයි නැන්දයි 1997 සැප්. 17 මගේ උපන් දිනේට මම හුඟක් ආසාවෙන් හිටපු බයිසිකලයක් තෑගි දුන්නා. ඊට පස්සේ මට මතක හිටින තෑග්ගක් ලැබුණේ 2009 දෙසැ. 24.... මම ආසාවෙන් හිටපු කාර් එක ගන්න සල්ලි මදි වෙලා හිටියේ. තාත්තා ඒ සල්ලි ටික දීලා මගේ හීනේ හැබෑ කළා. ළඟකදි මම ඒ කාර් එක දීලා බෙන්ස් එකක් ගත්තා.

ඉස්සෙල්ලාම කැමරාවක් ඉදිරියට ආවේ

1992 නොහඬන් ළඳුනේ චිත්‍රපටයේ. රංජන් අයියාගේ පොඩි කාලෙට...

අහපු නරකම කටකතාව

කටකතා නම් තියෙනවා. ඒත් ඒවා ඇත්ත නෙවෙයිනේ... පබළු කරද්දි පබෝධා අක්කා සම්බන්ධ කරලා කට කතාවක් හදපු වෙලාවේ මම මාර අපහසුතාවට පත්වුණා. ඒ වෙන මොනවත් නිසා නෙමෙයි පබෝධා අක්කාට මූණ දෙන්න බැරිව. ඒත් පබෝධා අක්කි ඒක තඹේකට මායිම් කළේ නැහැ. මගේ හිතත් හැදුවා.

දැකපු සුන්දරම හීනය?

ප්‍රීති... සින්ටා... දැ...ක්...කා...නේ... මීට වඩා නම් ඒ ගැන වචනයක්වත් කියන්න බෑ... ඉතුරු ටික කොටු... කොටු...

හිමේෂා සවන්තී රාජපක්‍ෂ

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery