facebook page

Powered by Blogger.

Blogger templates


සේන තරමක මෝඩ පහේ ගැමි තරුණයෙක්. චිත්‍රපටයක ටෙලිනාට්‍යයක රඟපෑමේ ආසාවෙන් පසුවෙන ඔහු තමා නළුවකු යැයි සිතා හැසිරෙන අතර මේ නිසා ම ගමේ අයගේ සමච්චලයට ද ලක්වනවා.
සේනගේ මේ නළු පිස්සුව ඉවසාගෙන ඔහුට ආදරය කරන ලතා උත්සාහ කරන්නෙත් ඔහුව කෙසේ හෝ නළුවකු කරන්නයි. එහෙත් තමන්ට ආදරය කරන ලතා ගමේ තනිකර දමා සේන නගරයට යන්නේ නළුවකු වීමේ නොතිත් ආශාව නිසා.‍

අවසානයේ උත්සාහවන්තයා සියල්ල ජයගනී යන කියමන සනාථ කරමින් සේන ජනප්‍රිය නළුවකු බවට පත්වෙනවා.

ස්වාධීන රූපවාහිනී සේවයේ රාත්‍රි 9.00 ට විකාශය වූ සේන චරිතය මේ දිනවල වඩාත් ජනප්‍රියයි. ජෝශප් ජෙරම් පෙරේරා අධ්‍යක්ෂණය කළ ජගත් විජේනායක ගේ නිෂ්පාදනයක් වුණු පබසරා ටෙලිනාට්‍යයේ සේන චරිතයෙන් අපේ ආලින්දයට පැමිණි ඔහු වික්‍රමසිංහ මුදියන්සේලාගේ චමින්ද කුමාර වික්‍රමසිංහ.
කලා ලෝකයේ ඔහු හඳුන්වන්නේ චමින්ද වික්‍රමසිංහ නමින්. රටම කතා කරන ‘සේන’ චරිතය ගැන කතා කරමින් අප  සමඟ පිළිසඳරකට ඔහු එක්වුණා මෙලෙසින්.

“මගේ ගම උඩුබද්දාව. අපේ ගමේ හිටියා තරුණ වයස ඉක්මවීමට ඔන්න මෙන්න වගේ මුදලාලි කෙනෙක්. එයා චිත්‍රපට පිස්සෙක්. කොණ්ඩෙ පීරන්නෙ, යන්නෙ එන්නෙ කතා කරන්නෙ එයා විජය කුමාරතුංග කියල හිතේ තියාගෙන. කඩේ පුරාම විජය ඉන්න චිත්‍රපටි පෝස්ටර් අලවල තිබුණෙ‍. ජෝතිගෙ සින්දු තමයි හැම වෙලාවෙම කිය කිය ඉන්නෙ. පොඩි කාලෙ දැකපු ඔහුගේ ඒ හැසිරීම් මට හොඳට මතකයි‍‍.

‘පබසරා’ ටෙලිනාට්‍යයේ සේන කියන්නෙත් ඒ වගේ කෙනෙක්. ඉතින් සේන ගේ චරිතය නිරූපණය කිරීමේදී මට ගමේ හිටි ඒ මුදලාලි ගැන මතකය ගොඩක් ප්‍රයෝජනවත් වුණා.”

මේ චරිතය නිසා චමින්දට ලැබෙන ප්‍රතිචාර මොනවගේ ද?

“යන හැම තැනකදීම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වැඩියෙන් ම ප්‍රතිචාර තියෙන්නෙ පොඩි දරුවන්ගෙන්. ඔවුන් තමයි මට ගොඩක් ආදරේ කරන්නෙ. දැක්ක දැක්ක තැන සේන මාමා කියල කතා කරනවා. එත‍කොට විශාල සතුටක් දැනෙනවා.”

විහඟ ගීතය ටෙලිනාට්‍යයේ පොලිස් නිලධාරියා, නිලංජනා හි ඇමැති ලේකම්වරයා, ගෞතමී හි කේටරින් සර්විස් හිමිකරු, ලොක්කයියා හි විජය, ජීවිතේ ම ක්‍රිකට් වගේ හි සෑම්, සඳට අහස ආදරෙයි හි මාක්, හිරු දහසක් හි නිව්ටන්, මිලාහි උදාර, තරු පිරි අහස හි භාරත, පිත්තල කොණ්ඩෑරුම හි ඇමැතිවරයාගේ ලේකම්, සිහින තාරකා හි තොප්පි ලාල්, ගිනිමැද සක්මන් හි රහස් පරීක්ෂණ සාජන් සහ හිම ගිර නැග හි මාක් (සර්පයා) චමින්ද මේ දක්වා විවිධ නාළිකා තුළින් අප වෙත ආ චරිත අතර කීපයක්.

රංගනයට පිවිසුණු අයුරු සඳහන් කළොත්.

“මම පාසල් ගියේ පේර‍ාදෙණිය මධ්‍ය මහා විද්‍යාලයට. කලාවට යොමුවුණේ පාසල් කාලයේදීමයි. ආර්.ජී. සිරිවර්ධනගේ ‘ගෝනි බිල්ලා’ නාට්‍යයේ තමයි මුලින් ම රඟපෑවෙ. එහි මම කළේ විල්ලියා චරිතය. එම නාට්‍යයට සම්මාන 7 ක් හිමිවුණා.

ඉන්පස්සෙ සනත් අබේසේකරගේ ‘කහ බළල්ලු’ නාට්‍යයේ චිත්‍රනාද චරිතය රඟපෑවා.
ඉන්පස්සෙ ව්‍යාපාර වලට යොමු වුණා. මේ නිසා ඇතිවුණු කාර්ය බහුල බවත් එක්ක රඟපෑමෙන් ඉවත් වෙන්න සිද්ධ වුණා. ඊට පස්සෙ විදේශ කටයුතු ඇමැතිතුමන්ගේ සම්බන්ධීකරණ නිලධාරී ලෙස රැකියාවට බැදුණා.”
චමින්ද ටෙලිනාට්‍ය නිෂ්පාදකවරයෙක්.

ඔව්. ‘හිමගිර නැග’ ටෙලිනාට්‍යයට දර්ශන තල සොයා දීමට මට සිදුවුණා. රඟපෑමට තිබුණු ආසාව නිසා මම එහි ‘මාක්’ චරිතය රඟපෑවා.
එහිදී මට සුසිල් ප්‍රේමජයන්ත ඇමැතිතුමාගේ පුතා හඳුනාගන්න ලැබුණා.

එතුමා මට යෝජනාවක් කළා ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කරන්න කියලා. ඒ අනුව තමයි මම ‘සඳට අහස ආදරෙයි’ ටෙලිනාට්‍යය නිෂ්පාදනය කළේ. ඒකට මම යෙදෙව්වේ ගෙයක් හදන්න කියල එකතු කරගත්තු මුදල් සහ රත්‍රන් බඩු උකස් තියල ගත්ත මුදල්. කොහොම හරි අවසානයේ ඒ ටෙලිනාට්‍යය විකාශය කරවාගන්න සෑහෙන කාලයක් ගතවුණා.”

එයින් ම ඔබට නිෂ්පාදනය එපා වුණා ද?

එහෙම නෑ. මම ළඟදීම අලුත් ටෙලිනාට්‍යයක් නිෂ්පාදනය කිරීමට සූදානමින් ඉන්නෙ. මේ දවස්වල ඊට නළු නිළියන් සොයනවා. මේ ටෙලිනාට්‍යයෙන් මම රඟපෑමට උනන්දුවක් හැකියාවක් තියෙන ආධුනික පිරිසකට අත දෙන්න සූදානමින් ඉන්නවා.

ආධුනිකයින් කෙරෙහි විශේෂ සැලකිල්ලක් ඇයි?

දෙවැනි වර මම රංගනයට යොමුවුණාට පස්සෙ මට ලැබුණෙ සුළු සුළු චරිත. සමහර ටෙලිනාට්‍යවල රඟපාන්න එන්න කියල ගියාම ඒකට කවුරු හරි අරගෙන. තවත් සමහර ටෙලිනාට්‍යවල මේකප් පවා කරල ඔහේ පැය ගාණක් තියලා චරිතය නොදී ඉඳල තියෙනවා. ඒත් මම ඒ හැම දෙයක් ම විඳ දරාගෙන හෙමින් හෙමින් පැමිණි මේ ගමන් මඟ ගැන මම නිහතමානීව ආඩම්බර වෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery