facebook page

Powered by Blogger.

Blogger templates


කඳුළු තමයි මේ හිනැහෙන්නේ...
ඔබම තමයි ඒ ගැන දන්නේ...

මේ දිනවල අපට නිතර දෙවෙලේ අහන්න ලැබෙන මේ ගීතයේ අයිතිකාරිය තමයි අනුපමා ගුණසේකර. කඳුළ උරුම වුණු පෙම්වතියක් වුණේ ඇයි දැයි අහන ගමන්ම ඇගේ අලුත් තොරතුරු කතා බහ කරන්නත් අප අමතක කළේ නැහැ.

සුපිරි මාවතට පිවිස වසර ගණනාවකට පසුයි ඔබේ කුලුඳුල් නිර්මාණය එළි දක්වන්නේ?

2006 මම ෆීල්ඩ් එකට ආපු කාලෙමයි 'ආදර ගීයේ නාදෙට මල් පිපිලා ' කියන ගීතය එළි දක්වන්නේ. ඒ කාලයේ මේ ගීතය උපරිමව ජනප්‍රිය වුණා කියල හිතනවා.

නමුත් ඔබව හඳුනා ගන්නේ 'පා රම් පම් පෝ' ගීතය ඔස්සේ කිව්වොත්?

ඉතාමත් නිහතමානිව එය මට පිළිගන්න වෙනවා. වසර ගණනාවකට පසුව අනුපමා ගුණසේකර දැවැන්ත ප්‍රතිරූපයක් එක්ක නැවත කරළියට එන්නෙ මේ ගීතය සහ වීඩියෝව නිසයි.

වසර ගණනක් නිහඬ වීමට විශේෂිත වූ හේතුවක් තිබුණද?

ඒ කාලය මම විශේෂවේදී උපාධිය හදාරන්න යොදා ගත්තා. ඒ ඔස්සේ මට ඕනෑ වුණේ උපතින්ම හිමිවූ මේ පින්වත් කටහඬ තවත් ඔපදමා ගන්නයි. සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය මගේ අරමුණට කදීම තෝතැන්නක් වුණා. ඉතින් ඒ කාලය මම උපරිම ඉගෙනීමට යොමු කළ නිසා සාර්ථක පල නෙළා ගන්නටත් හැකියාව ලැබුණා.

'පා රම් පම් පෝ' ගීතයට අරාබි ජන ගීතයක් පසුබිම් වුණා කියන්නේ ඇත්තක්ද?

මෙය හරි අපුරු සිදුවීමක්. එක්තරා කාලයකදී පිට පිට වසර දෙකක් ජාත්‍යන්තර ජන ගී ප්‍රසංගයකට ආරාධිතයෙක් ලෙස සහභාගි වෙන්න මේ අරාබි ජන ගීය සිංහලට පරිවර්තනය කරලා සිංහල රසවින්දනයට එකතු කිරිම ලොකු අභියෝගයක් වුණා. මෙය පර්යේෂණාත්මක ගීතයක් කිව්වොත් නිවැරැදියි. මේ පර්යේෂණාත්මක ගීතයට සංගීතයෙන් සහ පද රචනයෙන් තිළිණ සහ රචිතාත් මට ලොකු සහයෝගයක් දුන්නා. මේක ටීම් වර්ක් එකක් විදිහටයි නිර්මාණය වුණේ. හැමෝගෙම වෙහෙස මහන්සියේ ප්‍රතිඵලයක් විදිහට අපි කරපු පර්යේෂණය සාර්ථක වුණා.

මේ දින වල ඔබ කඳුළු සලමින් ඉන්නවා කියලා ආරංචියක් ලැබුණා?

ඔය අහන්නේ මගේ 'කඳුළු තමයි' ගීතය ගැන නේද?ඇත්තටම මෙහි තේමාව වුණේ කෝමා තත්ත්වයේ සිටින තම සැමියාට ජීවිතය දෙන්න වෙහෙස මහන්සි වෙන බිරිඳක් ගැනයි. ගැහැනු චපලයි කියල හිතන් ඉන්න අද වගේ කාලේක මට ඕනෑ වුණේ මෙවැනි බිරින්ඳෑවරූ ඕනෑ තරම් අපේ රටේ ඉන්නවා කියලා මතක් කරලා දෙන්නයි. මොන චෝදනා ආවත් ‍මේ ගීතයෙන් කතා කෙරෙන්නේ ලංකාවේ කාන්තාව ගැනම තමයි. කාව්‍යමය රසයක් තිබෙන පදවැල් පෙළක් ගැළපීමෙන් නිර්මාණය වූ ගීතයේ වීඩියෝවත් අතිශයින්ම ජනප්‍රිය වෙලා තියෙනවා.

ඒත් මෙතරම් පතිවත ගැන කතා කළ අනුපමා හදිසියේම අනියම් පෙමකට පැටලුණේ ඇයි?

අනියම් වූ ප්‍රේමයක් සුන්දරව දකින්න ගත් උත්සහයක් තමයි මගේ අලුත්ම ගීයෙන් කියවෙන්නේ. හැබැයි මේ අත්දැකීම මගේ මයිල් ගහකටවත් කිසිම සම්බන්ධයක් නැහැ. මෙය නාරද විජේසූරිය මහතාගේ ආරාධනය මත කළ ගීතයක්. ඇත්තටම මටත් එය අමුත්තක්. නමුත් මම පෞද්ගලිකවම මේ ගීතයට ගොඩාක් ආදරෙයි. කවුරු කොහොම කිව්වත් වර්තමානයේ අපිට වැඩිපුරම අහන්න දකින්න ලැබෙන්නේ අසාර්ථක පවුල් ජීවිත සහ දික්කසාද වීම්. මේකට හේතු නම් හොයාගන්න බැරි වෙයි. නමුත් අපි දැනගත්තත් නොදැක්කා නොදන්නා සේ ඉන්න දෙයක් තමයි මේ අඟින් කොනින් හොරෙන් හොරෙන් එහෙන් මෙහෙන් කෙරෙන ආදර බැඳිම්. ආදරයට වයස් භේදයක් නැහැනේ. ඉතින් මේ අනියම් කියන වචනෙට මම විරුද්ධයි. මෙය අනියම් ප්‍රේමයක් ගැන කියවීමක් නෙමෙයි. මේ ගීතය මම නිර්වචනය කරන්නේ වර්තමාන සමාජයේ දක්නට ලැබෙන බහුලතම ප්‍රේමය පිළිබඳ වූ සොඳුරු අත්දැකීම යනුවෙනුයි. ඒ නිසා ඔබ ඔය කියන චෝදනාවෙන් මම මිදෙනවා.

සුපිරි තරු මාවත නොතිබුණා නම් අනුපමා නැහැයි කිව්වොත්?

මාව ලාංකේය ජනතාව හඳුනා ගන්නේ ඒ ඔස්සේ තමයි. නමුත් අනුපමා කියන ගායන ශිල්පිනිය ජනතාව අතරට යන්නේ ඇගේ ගීත නිසයි.

සුපිරි තරු මාවත ගැන ඔබ ඉන්නේ කලකිරීමෙන් වගෙයි ?

ඒ පිළිබඳ මට තිබෙන්නේ මධ්‍යස්ථභාවයක්. රියැලිටි වැඩසටහන් මේ වෙද්දී ලංකාවේ මුල් බැස ගත් තත්ත්වයකට පත් වෙලා තිබෙනවා. ඉතින් අපේ කාලේ වගේ දැන් පවතින තරගාවලි ගැන සියයට සියයක් සතුටු වීමට බැරි වුණත් වසරින් වසර ගලාගෙන යන මේ රියැලිටි ආගමනයේ ස්වභාවය මධ්‍යස්ථභාවයකින් යුක්තව දකින්නයි මා උත්සහ කරන්නේ.

ඔබේ සමකාලීනයන් හා ගත් විට ඔබ තවමත් ඉබි ගමනක යන ගායන ශිල්පිනියක්?

මම ඕකට සරල උදාහරණයක් දෙන්නම්කො. පුංචි කාලයේ අපි අහපු කතාවක් තමයි ඉබ්බගෙයි හාවගෙයි කතාව. ඉතින් මමත් ඒ ඉබ්බා වගේ ඉබි ගමනක ගිහින් අමරණීය ගායන ශිල්පිනියක් වෙනවා. මගේ නිර්මාණ හෙමින් වුණත් දිගු කාලීනව මතකයේ රැඳෙනවා නම් ඒ තමයි මගේ සාර්ථකත්වය. හෙමින් යන ගමන කලා ශිල්පිනියකට හරිම උචිතයි.

අනුපමා විවිධ සංගීත ශෛලීන් හදාරන්න කැමැති කෙනෙක් කියන්නේ ඇත්තද?

ඔව් අනිවාර්යයෙන්ම. කලා ශිල්පියෙක් ඉගෙනීම තුළින් තව තවත් පරිපුර්ණ වෙනවා. ඒ සිද්ධාන්තය කලා ශිල්පිනියක් වන මටත් ගොඩක් වටිනවා. අපි හැමදාම අලුත් වෙන්න ඕන. අලුත් දේවල් කරන්න ඕන. අලුත් සම්ප්‍රදයයන් ඉගෙන ගන්න ඕන. මේ වෙද්දී උත්තර භාරතීය සංගීතය පිළිබඳ යම්තාක් දුරට ඉගෙන ගන්නවා. මෙතෙක් මම ගැඹුරින්ම අධ්‍යනය කළේ දක්ෂිණ භාරතීය සංගීතයයි. ඉදිරියේදී බටහිර සංගීතය පිළිබඳත් ටිකක් ගැඹුරින් හදාරන්න බලාපොරොත්තුවක් තිබෙනවා.

ප්‍රසංග වලට සහභාගී වෙන්නේ තෝරා බේරා ගෙනද?

ඔය චෝදනාව නම් මටත් ආරංචි වුණා. කවුරු කොහොම චෝදනාවක් කළත් කවුරු හරි ආරාධනාවක් කළොත් මම ඒ ප්‍රසංගයට සහභාගී වෙනවා. මම ඔය උස් පහත් ජාති කුලමල භේද බලන්නේ නැහැ.

මේ දිනවල ඔබ ලහි ලහියේ තවත් වැඩකට අත ගසා තිබෙන බව ආරංච්යි?

මේ දිනවල බැති ගීයක් සහ එහි වීඩියෝ එකකට සුදානම් වෙනවා. මේ අපුරු ගීතය නිර්මාණය වුණේ සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ ජ්‍යේෂ්ඨ මහාචාර්ය උප කුලපති ජයසේන කෝට්ටේගොඩ විසින්. සංගීතවත් කළේ බිබිලියාදෙණිය මහානාම ස්වාමින් වහන්සේ. අපි මෙතෙක් අසා දැක තිබෙන බැති ගීයෙන් වෙනස්ම වූ අර්ථයක් තමයි මින් කියවෙන්නේ. කාන්තාවකට ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඳ නමස්කාර කර ගන්න දින කිහිපයක් අවසර ලැබෙන්නේ නැහැ. ඇය මේ වේදනාව දරා ගන්නා විදිහ හරි අපුරුවට මේ ගීතයෙන් කියැවෙනවා.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery