facebook page

Powered by Blogger.

Blogger templates


ප්‍රංශයේ හිටපු ජනාධිපති නිකොලස් සාකෝසිගේ බිරිය කාර්ලා බෲනි පසුගිය අප්‍රේල් 27 ඉරිදා ලොස් ඇන්ජලිස් නුවර පැවැති ප්‍රසංගයේදී ගී ගයද්දී ඇගේ සැමියා නිකොලස් ද ප්‍රේක්ෂකාගාරයේ සිටියේය.
කාර්ලා බෲනි ලොස් ඇන්ජලිස්හි දී එසේ ගී ගැයුවේ ඇය ලොව පුරා සංචාරය කරමින් පැවැත්වීමට නියමිත ප්‍රසංගවලින් එකකදීය. එම සංචාරයේදී කාර්ලා ඔස්ට්‍රියාව, ජර්මනියේ බර්ලින් හා මියුනිච්, ප්‍රංශය, ඇමෙරිකාවේ නිව්යෝර්ක්, කැනඩාවේ කියුබෙක් හා මොන්ට්‍රියල් යන නගර හා රටවල ප්‍රසංග පැවැත්වීමට නියමිතය. පසුගිය ඉරිදා කැලිෆෝර්නියාවේ ලොස් ඇන්ජලිස් හි ප්‍රසංගයට පෙර ඇය පසුගිය අප්‍රේල් 25 සිකුරාදා සහභාගි වූයේ ඇමෙරිකාවේ සැන් ෆ්‍රැන්සිස්කෝවල පැවැති ප්‍රසංගයකටය.
නිකොලස් සාකෝසි ප්‍රංශයේ 23 වෙනි ජනාධිපතිවරයා ලෙස 2007 මැයි මස 16 දා සිට 2012 මැයි මස 15 දා දක්වා ප්‍රංශය පාලනය කළේය. ඊට පෙර දෙවතාවක් විවාහ වී සිටි සාකෝසිට මුලින්ම කාර්ලා මුණගැසී ඇත්තේ 2007 වසරේ නොවැම්බරයේ දීය. කෙටි කාලයක් ඇසුරු කළ දෙදෙනා 2008 පෙබරවාරි දෙවැනිදා පැරීසියේදී විවාහ වූහ.

කාර්ලා ගිල්බර්ටා බෲනි ටෙඩෙස්ච් 1967 දෙසැම්බර් 23 දා උපත ලබා ඇත්තේ ඉතාලියේ ටියුරින් හීදීය. පසු කලෙක ඇය ප්‍රකට වූයේ ප්‍රංශ ගායිකාවක, ගීත රචිකාවක හා නිරූපණ ශිල්පිනියක ලෙසිනි. ඇගේ මව ඉතාලියේ ප්‍රකට පියානෝ වාදන ශිල්පිනියක වූ මරිසා බොරිනි ය. පියා කර්මාන්තශාලා හිමියකු මෙන් ම සංගීත අධ්‍යක්ෂවරයකු ද වූ ඇල්බර්ටෝ බෲනි ටෙඩෙස්මිය. කාර්ලා බෲනි කෝටිපතිනියක ද වන්නේ ඇගේ සීයා 1920 දශකයේදී ඉතාලියේ ‘සියැට්’ ටයර් කර්මාන්තශාලාව පිහිටුවීමට පුරෝගාමී වූ තැනැත්තා හෙයිනි. 1970 දී එම කර්මාන්තශාලාව විකුණා දැමුණු අතර බෲනි පවු‍ලේ අය 1975 දී ප්‍රංශයට සංක්‍රමණය වූහ. ඊට හේතුව ඔවුනට ඉතාලියේ මාක්ස් - ලෙනින් වාදීන්ගෙන් එල්ල වූ තර්ජන නිසා බව කියැවේ. කෙසේ වෙතත් බෲනි පවුලේ දේපළට අද ෆර්ලා ද හිමිකම් කියන්නීය.
ඇය වයස අවුරුදු 19 දී ජීවිතය ඇරඹූයේ මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙසිනි. 1990 දශකයේ ඉහළ ම ගෙවීම් ලබා මෝස්තර නිරූපණ ශිල්පිනියන් විසි දෙනා අතර කාර්ලා ද සිටියාය. එම වෘත්තියේ නියැළෙමින් ඇය එකල වසරකට ඩොලර් ලක්ෂ 75 ක් පමණ ඉපැයූ බව කියැවේ.

1997 දී මෝස්තර නිරූපණ ක්ෂේත්‍රයෙන් ඉවත් වූ ඇය පිවිසියේ සංගීත ක්ෂේත්‍රයටය. පළමුව ඇය කටයුතු කළේ ගීත රචිකාවක ලෙසිනි. කාර්ලා ගායිකාවක ලෙස ලොව හමුවට පැමිණියේ 2002 දී ගී කළඹක් නිකුත් කරමිනි. එම ගී කලඹේ ගීත තුනක් ම 2005 දී ප්‍රදර්ශනය වූ ‘කොන්වර් සේෂන්ස් විත් අදර් විමෙන්’ යන හොලිවුඩ් සිනමා පටයට ඇතුළත් විය. පළමු ගී කළඹෙන් ම ඉහළම ජනප්‍රියතවයක් අත්කරගත් කාර්ලා සිය දෙවැනි ගී කළඹ ‘හෝ ප්‍රොමිසස්’ නිකුත් කළේ 2007 වසරේ ජනවාරියේදීය.

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා ගේ 91 වෙනි උපන් දිනය වෙනුවෙන් කාර්ලා නිව්යෝර්ක් නුවර ‘රේඩියෝ සිටි මියුසික් හෝල්’ හි ගී ගැයුවාය.
කාර්ලාගේ ‍තෙවැනි ගී කළඹ 2009 වසරේ ඔක්තෝබරයේදී නිකුත් වූ අතර සිවුවෙනි ගී කලඹ නිකුත් වූයේ 2013 අප්‍රේල් මාසයේදීය.

ප්‍රංශ ජනාධිපති බිරිය ලෙස කාර්ලා තම සැමියා සමඟ නිල විදෙස් සංචාරයන් හි නියැළුණාය. ඇය එසේ එක් අවස්ථාවක අමෙරිකාවේ සංචාරයක නියැළෙද්දී, 1997 වසරේ ඇය මෝස්තර නිරූපණ ශිල්පිනියක ලෙස ගත් නිරුවත් ඡායාරූපයක් ක්‍රිස්ටීන් වෙන්දේසි ශාලාවේදී අලෙවි කෙරුණේ ‍ඩොලර් 91,000 ක මුදලකටය. ජනපති බිරියකගේ නිරුවත් සේයාරුවක් එසේ ප්‍රසිද්ධියේ අලෙවි කෙරුණු ප්‍රථම අවස්ථාව එය වූ අතර එම සිද්ධිය ලොව පුරා ඇති කළේ මහත් ආන්දෝලනයකි. ‍‍

කෙසේ වෙතත් සාර්කේසි හා විවාහ වීමට පෙර කාර්ලා ප්‍රකට ගායක මික් ජැගර් ගේත් හිටපු ප්‍රංශ අගමැති ලෝරන්ට් ෆැබිසන්ගේත් පෙම්වතියව සිටි බවද පැවසෙයි.

ඒ හැර තවත් පිරිමින් කිහිපදෙනකුගේ ම නම් ඇගේ නම හා ඈඳී තිබේ. ප්‍රංශය කාර්ලාට නයිට් නාමයක් පිරි නැමුවේ 2003 වසරේදීය. ස්පාඤ්ඤය 2009 වසරේදී ඇයට ග්‍රෑන්ඩ් ක්‍රොස් පදක්කම පිරිනමමින් ගෞරව කළාය.

තවමත් සිය රූමත් බව රඳවාගෙන සිටිය ද කාර්ලා දැන් 47 හැවිරිදිය. ලොස් ඇන්ජලිස් හි පැවැති ප්‍රසංගයෙන් පසු ඇය ජනමාධ්‍යවලට පැවසුවේ වයසට යනවාට තමන් කැමතියි කියායි.
“මම වයසට යන්න කැමැති එය මගේ කටහඬට යෝග්‍ය නිසායි. වියපත් වෙද්දී කටහ‍ඬේ සිදුවන වෙනස්කම් නිසා මට ගායනයේදී නව මාර්ගවල යා හැකි යැයි මා සිතනවා” ඇය පවසන්නීය.
නිකොලස් සාර්කෝසි ඇය සමඟ ලොව පුරා සංචාරය කරනවාදැයි මාධ්‍යවේදියකු විමසූ ප්‍රශ්නයකට ඇය දී ඇත්තේ මෙවැනි පිළිතුරකි.
“එයා මගේ ගී ගායනා අහන්න කැමැතියි අනික දැන් දේශපාලනයෙන් සමු අරගෙන නිසා එයාට වෙන කරන්න දෙයක් ඇත්තේ නහැ.”
එය සත්‍යයකි. දේශපාලකයන්ගේ තනතුරු ඉදිරියට ‘හිටපු’ යන යෙදුම භාවිත කෙරුණ ද කලාකරුවකු කලා කාරියක වෙනුවෙන් එම යෙදුම භාවිත වන්නේ නැත.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery