facebook page

Powered by Blogger.

Blogger templates


ශ්‍රී ලංකා ක්‍රිකට් පි‍ලේ දීප්තිමත් නවක ක්‍රීඩකයකු වන කුසල් ජනිත් අද කා අතරත් ජනප්‍රිය අපූරු පිතිකරුවෙකි. ශ්‍රී ලංකාවට විස්සයි විස්ස ලෝක කුසලානය දිනා දුන් තරගාවලිය තුළද ඔහුගේ දස්කම් මැනවින් කැපී පෙනුණි. 

ඔබේ පවු‍ලේ තොරතුරු ටිකක් දැනගන්නත් ක්‍රිකට් ලෝලීන් කැමති වෙයි? අම්ම තාත්ත එහෙම මොනවද කරන්නෙ?

තාත්තා ව්‍යාපාරික කටයුතු තමයි කළේ. හැබැයි දැන් නම් ඒ කටයුතුවලින් ඉවත් වෙලා ඉන්නෙ. අම්ම නම් රැකියාවක් කළේ නැහැ.

ඔවුන් ඔබේ ක්‍රිකට් ක්‍රීඩාවට උදව් කළාද?

ඔව් මුල් කා‍ලේ ඔවුන් දෙන්නම හුඟක් උදව් කළා. දැන් නම් ඉතින් එහෙම විශේෂයෙන් උදව් කරන්න තරම් දෙයක් නැහැ. මම දැන් යම් කිසි ස්ථාවරත්වයකට ඇවිත් ඉන්න නිසා. ඉතින්  දැන් මට තමයි ඔවුන් දෙන්නාගේ ජීවිතයට උදව් කරන්න තියෙන්නෙ.

වැඩිමල් සහෝදරයෙකුත් ඉන්නව නේද?

ඔව්. අයියත් දැන් රැකියාවක් කරනව. ඔහු මෝටර් කාර්මික ඉංජිනේරු ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නෙ. නංගි කෙනෙකුත් ඉන්නව. ඇය තවම ඉගෙන ගන්නව.

අම්මයි තාත්තයි මුල් කාලෙ ආසාවෙන් හිටියෙ ඔබ කවුරු වෙනව දකින්නද?

ඇත්තටම එහෙම ලොකු පීඩනයක් තිබුණෙ නැහැ. මට විතරක් ‍නෙවෙයි අපේ පවුලෙ කාටවත් අම්මගෙනුයි තාත්තගෙනුයි ලොකු බලපෑමක් ආවෙ නැහැ. ඔවුන් හිතුවෙ අපි අපේ දක්ෂකම් තියෙන ක්‍ෂේත්‍රවලින් ඉස්සරහට යවන්න ඕන කියන එකයි. ඔවුන් නිතරම කිව්වෙ ඔයගොල්ලො අපිට ඕන දේ ‍නෙවෙයි, ඔයගොල්ලන්ගෙ දක්ෂතා තියෙන දේවල්වලින් ඉහළට යන්න කියන එකයි. සමහර අවස්ථාවල මම ක්‍රිකට් තරග නිසා පන්ති යන්න එහෙම බැරි වෙනකොට යම් යම් අවවාද දුන්න, නැත්තෙම නැහැ. නමුත් මං හිතන්නෙ අද ඉන්න හුඟක් ළමයින්ට දාන විදියෙ පීඩනයක් ඇති කළේ නැහැ.

පාස‍ලේ ක්‍රිකට් ක්‍රීඩා කරපු කාලෙත් ඔබ ආරම්භක පිතිකරුවෙක් හැටියටද ක්‍රීඩා කළේ?

නැහැ. ඒ කාලෙ හුඟක් වෙලාවට අංක තුන හතර වගේ ස්ථානවල තමයි. පාසල් කාලෙ වගේම ඉන්පස්සෙ ක්‍රීඩා සමාජවලට ගහන කාලෙත් එහෙම තමයි.

එතකොට කොහොමද ආරම්භක පිතිකරුවෙක් වෙන්න අවස්ථාව පෑදුනේ?

ඒක අහම්බෙන් වගේ වෙච්ච දෙයක්. මුලින්ම මට ආරම්භක පිතිකරුවෙක් හැටියට ගහන්න වුණේ ඕස්ට්‍රේලියාවේ විස්සයි විස්ස තරගයකදී. 

කොහොමද ඒ අවස්ථාව ලැබුණෙ?

ජාතික කණ්ඩායමට ඇවිත් මට මුල්ම තරගාවලියට යන්න වුණේ ඕස්ට්‍රේලියාවට. ඉතින් ඕස්ට්‍රේලියාවට එරෙහිව ඒ විදියට නවකයෙකු හැටියට ක්‍රීඩා කරල හොඳටම ඒ රටේ තත්ත්වයන්ට මුහුණ දීල තිබුණෙ මම. ඒකත් එක හේතුවක් වෙන්න ඇති. අනික පුහුණුකරුවන්  කියන විදියට මගේ ඇස සහ දෑත අතර තියෙන සම්බන්ධය (hand- eye co-ordination) හුඟක් හොඳයි. ඒ කියන්නෙ ඉක්මනින් පන්දුව දැකල ක්ෂණිකව පහර එල්ල කරන්න තියෙන හැකියාව වැඩියි. සාමාන්‍යයෙන් වේග පන්දු යවන්නන්ට මුහුණ දෙනකොට මේ ඇස සහ දෑත අතර සම්බන්ධය හුඟක් ප්‍රයෝජනවත්. ඒ කාලෙ පුහුණුකරු හැටියට හිටියෙ ග්‍රැහැම් ෆෝඩ්, නායකත්වය දැරුවෙ මහේල අයිය. ඔවුන් තමයි කතා කරල මට කිව්වෙ විස්සයි විස්ස තරගවලදී ආරම්භක පිතිකරු හැටියට ක්‍රීඩා කරන්න කියල. ඉතින් ඒ විදියට ක්‍රීඩා කරල ලකුණු හොඳින් රැස් කරන්නත් පුළුවන් වුණා. ඊට පස්සෙ බංග්ලාදේශය සමග තරගාවලියකදි තමයි එක්දින තරගයකදිත් මුල් වරට ඕපන් කරන්න අවස්ථාව ලැබුණෙ. ඒකෙදිත් හොඳින් ලකුණු රැස් කරන්න පුළුවන් වුණා. ඉතින් මහේල අයියයි, පුහුණුකරුවනුයි කතා කරල කිව්ව ‘ඔයා දිගටම ඕපන් කරන එක හොඳයි. ඒ විදියෙ ආරම්භයක් ලැබෙන එක කණ්ඩායමටත් හොඳයි. ඒ නිසා දිගටම ආරම්භක පිතිකරුවා හැටියට ක්‍රීඩා කරන්න’ කියල. ඇත්තටම මමත් පුද්ගලිකව හුඟක් ආසාවෙන් හිටියෙ ආරම්භක පිතිකරුවෙක් වෙන්න. මොකද මම වැඩියෙන්ම ආස වේග පන්දු යවන්නන්ට මුහුණ දෙන්නයි. ඉතින් ඒ ආසාවත් ඉෂ්ඨ කරගන්න පුළුවන් වුණා.

ඒ කියන්නෙ ඔබට දඟ පන්දු යවන්නන්ට මුහුණ දෙන්න අමාරු ගතියක් තියෙනවද?

නැහැ. එහෙමම නැහැ. දඟ පන්දු යවන්නන්ට හොඳින් මුහුණ දෙන්න පාද හැසිරවීමේ හැකියාව හොඳින් තියෙන්න ඕන. මට එහෙම කරන්න බැරිකමක් නැහැ. නමුත් මම නිතරම ඉක්මනින් ලකුණු රැස් කරන්න උත්සාහ ගන්න නිසා වෙන්න ඇති දඟ පන්දු යවන්නන්ට ගහන්න ගියාම ටිකක් වැඩිපුර දැවී යන ගතියක් තියෙනව. ඒක සිද්ධ වෙන්නෙ ඇත්තටම දඟ පන්දු යවන්නන්ට ගහන්න බැරිකමක් නිසා ‍නෙවෙයි. නිතරම මම ඉක්මනින් ලකුණු රැස් කරන්න ගිහින් ටිකක් අනතුරුදායක පහරවල් එල්ල කරන්න යන නිසයි. ඒකත් හැම තරගයකම සිද්ධ වෙන දෙයකුත් ‍නෙවෙයි. සමහර තරගවලදී කණ්ඩායම වෙනුවෙන් ටිකක් වේගයෙන් ලකුණු රැස් කරන්න සිද්ධ වෙන අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට තමයි ඔය ප්‍රශ්නය ඇති වෙන්නෙ. නමුත් මට නිතරම පුහුණුකරුවන් උපදෙස් දෙනව ඒ වගේ අනතුරුදායක පහරවල් ගහන්න උත්සාහ කරන්න එපා කියල. මම හිතන්නෙ තව අත්දැකීම්, පළපුරුද්ද ලැබෙද්දී මට ඒ දුර්වලකම් මගහැර ගන්න පුළුවන් වෙයි.

ඔබ හිතන විදියට එක්දින (ඕවර් 50) තරගද වඩා අමාරු නැත්නම් විස්සයි විස්ස තරගද?

විස්සයි විස්ස තරගයක තියෙන දුෂ්කරතාව තමයි තරගය අපෙන් ගිලිහුණොත් ආපහු ඒක අපේ පැත්තට හරව ගන්න තියෙන අමාරුකම. මොකද කොයි දේටත්, ඒ කියන්නෙ පන්දුවට පහර දෙන්න සහ පන්දු යවන්න තියෙන්නෙ ඕවර් 40ක් විතරක් නිසා. එක් දින තරගයකදී ඕවර් 100 ක් තියෙනව. තරගයක් අපෙන් ගිලිහුණත් යම් කිසි අවකාශයක් තියෙනව ආපහු ඒක අපේ පැත්තට ගන්න. ඒ නිසා සාපේක්ෂව ගත්තම වඩාත් අභියෝගාත්මක වෙන්නෙ විස්සයි විස්ස තරග කියලයි මම හිතන්නෙ.

කොට්ටාව ධර්මපාල විද්‍යාලයට ගිය ඔබ කොළඹ රාජකීය විද්‍යාලයට එන්න හේතු වුණේ මොකක්ද?

ඇත්තටම ඒ කාලෙ කොළඹ පාසල් කිහිපයකින්ම මට කතා කළා ඒ පාසල්වලට ඇවිත් ක්‍රීඩා කරන්න. එතැනදි මම තෝර ගත්තෙ රාජකීය විද්‍යාලයට යන්න.

විශේෂ හේතුවක් තිබුණද?

තාත්ත තමයි ඒ ගැන හුඟක් උනන්දු වුණේ.  ඔහු ඒ සම්බන්ධයෙන් හුඟක් අය එක්ක සාකච්ඡා කළා. මගේ එතකොට හිටපු පුහුණුකරුවන් එක්කත් සාකච්ඡා කළා. හැමෝගෙම අදහස් සැලකිල්ලට අරගෙන තමයි රාජකීය විදුහලට යන්න තීරණය කළේ. නව වෙනි ශේ්‍රණියට තමයි මම මුලින්ම ඇතුළත් වුණේ.

මට මතක හැටියට ඔබ අන්තර් සමාජ තරගාවලියක එක තරගයකදී ලකුණු 300 ක් ලබා ගත්ත නේද?

ඔව්. කෝල්ට්ස් ක්‍රීඩා සමාජය වෙනුවෙන් තමයි ඒ ලකුණු 300 ලබා ගත්තෙ. ඒ මීට අවුරුදු එකහමාරකට විතර කලින්. ඒ අවුරුද්දෙ මම එක දිගට තරග තුනකදී ලකුණු 100ක්, 200ක් හා 300ක් වාර්තා කළා. ඒකෙන් පස්සෙ තමයි මට ජාතික කණ්ඩායමට සම්බන්ධ වෙලා පළමු තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවට යන්නත් පුළුවන් වුණේ.

කවුද මුල් කාලෙ ඔබ තුළ ආත්ම විශ්වාසයක් ඇති කළේ ඔබට කවද හරි ශ්‍රී ලංකා කණ්ඩායමට ගහන්න පුළුවන් වෙයි කියල.

අවුරුදු 19 න් පහළ කණ්ඩායමට ගහන කාලෙ මම එච්චරම හොඳට ක්‍රීඩා කළා කියන්න බැහැ. සමහර අවස්ථාවල හොඳට ගහනව, සමහර අවස්ථාවල අසාර්ථක වෙනව. තරමක් අවිනිශ්චිත තත්ත්වයක් තිබුණ. කොහොම හරි ඔය කාලෙ තමයි මට අනුෂ අයිය (පුහුණුකරු අනුෂ සමරනායක) හම්බ වුණේ. ඔහු මා තුළ මොකක් හරි වෙනසක්, විශේෂත්වයක් දැක්ක. ඔහු නිතරම කිව්ව මට පුළුවන් වෙයි කියල ලංකාවේ ක්‍රිකට්වලට වෙනස්ම විදියක සේවයක් කරන්න. ඒ තුළින් ඔහු මගේ හිතේ ලොකු ආත්ම විශ්වාසයක් ඇති කළා. සමහර අවස්ථාවල මම අසාර්ථක වෙද්දී පවා ඔහු මට අධෛර්යයට පත් වෙලා ගෙදර ඉන්න දුන්නෙ නැහැ. පාන්දර පහට හයට නැගිට්ටවල මාව ඛෙත්තාරාම  හරි, එන්.සී.සී හරි, ඒ වගේ තැනකට ගෙන්වගෙන උදේ ඉඳන් රෑ වෙනකම්ම පුහුණුවීම් කරවනව. ඒ විදියට පුහුණුවීම් කරල ටිකක් සාර්ථක වෙද්දි තමයි මට ශ්‍රී ලංකා ‘ඒ’ ටීම් එකට ඇතුළත් වෙන්න අවස්ථාව ලැබුණෙ.  ඒ විදියට තමයි ක්‍රමයෙන් ඉහළට එන්න පුළුවන් වුණේ.

අපි දන්න විදියට ඔබ කඩුලු රැකීමටත් දක්ෂ කෙනෙක්?

ඔව්. ක්‍රීඩා සමාජ තරගවලදී මම තමයි අපේ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ නිත්‍ය කඩුලු රකින්නා හැටියට ක්‍රීඩා කරන්නෙ. මර්කන්ටයිල් තරගාවලියෙදීත් මම දිගටම කඩුලු රකින්නා හැටියට  කටයුතු කරනව. ඒ වගේම ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ තරගවලදිත් කිහිප වතාවක් කඩුලු රැකීම කරල තියෙනව.

තවමත් ඔබ ක්‍රීඩා කරන්නෙ විස්සයි විස්ස සහ එක්දින කණ්ඩායම්වල පමණයි. ටෙස්ට් තරගවලට ක්‍රීඩා කරන්නත් ඔබ තුළ බලා‍පොරොත්තුවක් ඇති. නමුත් ඔබේ ප්‍රහාරාත්මක පිති හරඹය නිසා ඔබ වඩා සුදුසු එක්දින සහ විස්සයි විස්ස තරගවලට පමණයි කියල කෙනෙක් හිතන්න පුළුවන්. නමුත් ඔබ අන්තර් සමාජ තරගාවලියකදි ලකුණු 300 ක් ලබා ගත්තෙ දින තුනක තරගයකදියි. මොකද මේ ගැන ඔබ හිතන්නෙ?

ඇත්ත වශයෙන්ම ක්‍රිකට් ක්‍රීඩකයෙකුගෙ අවසාන බලා‍පොරොත්තුව වෙන්නෙ කවදහරි ටෙස්ට් තරගවලටත් ක්‍රීඩා කරන එක තමයි. මොකද ඒක ඇත්තටම විශේෂ අත්දැකීමක් සහ ජයග්‍රහණයක්, ගෞරවයක් හැටියටයි සලකන්නෙ. මටත් ඒ බලා‍පොරොත්තුව තියෙනව.  ඉතින් මම විශ්වාස කරනව මම ඒ සඳහා සුදුසු තත්ත්වයට පත් වුණාම මට ඔවුන් ඒ අවස්ථාවත් ලබා දෙයි කියල.

ඔබ හිතන විදියට මොනවද ඔබ තවදුරටත් හදා ගත යුතු දුර්වලකම්?

මම හිතන්නෙ මම විතරක් ‍නෙවෙයි ඕනෑම ක්‍රීඩකයෙක් නිරන්තරයෙන් තමන්ගේ ෙශෙලිය, තාක්ෂණය වැඩි දියුණු කරගත යුතුයි. වෙනස්කම් කර ගත යුතුයි. අලුත් අලුත් විධි සොයාගත යුතුයි. මොකද අද විශාල තරගකාරිත්වයක් තියෙන්නෙ. පිතිකරුවෙක් පන්දුවට පහර දෙන්නෙ කොහොමද කියල අනෙක් කණ්ඩායම් නිතරම විශාල අවධානයකින් ඉන්නෙ. ඔවුන් නිතරම වීඩියෝ පට ආදිය නරඹමින් ප්‍රතිවාදී ක්‍රීඩකයින්ව විශ්‍ලේෂණය කරනව. ඔවුන්ව අධ්‍යයනය කරනව. ඉතින් මේ කාලෙ අපිට හැමදාම එකම විදියට ක්‍රීඩා කරන්න බැහැ. නිතරම අලුත් අලුත් දේවල් අලුත් පහරවල් අලුත් ෙශෙලීන් සොයා ගන්න වෙනව. දැන් උදාහරණයක් කිව්වොත්  ශරීරයට ඈතින් යන පන්දු වලට මම හොඳින් පහර දෙන බව දන්න නිසා දැන් හැමෝම හදන්නෙ මගේ ඇඟටම පන්දුව එල්ල කරන්න. එතකොට මට යම් කිසි හිරවීමක් සිදුවන බව ඔවුන් දන්නව. ඉතින් දැන් මම උත්සාහ කරනව ඒ  ඇඟට එවන පන්දුවලට මුහුණ දෙන්න අලුත් විධික්‍රමයක් හොයා ගන්න.

කොහොමද ඔබ ජීවිතය දකින්නෙ? ජීවිතේ ක්‍රිකට්වලටම කැප කරන්න සිදුවීම සතුටක්ද, එහෙම නැත්නම් කරදරයක් වෙන වෙලාවලුත් තියෙනවද?

මම ක්‍රිකට් ඕනාවට වඩා ඇඟට ගන්න කෙනෙක් ‍නෙවෙයි. ඒ නිසා මට ඒක කරදරයක් කියල හිතෙන්නෙ නැහැ. උදාහරණයක් කිව්වොත් පුහුණුවීම් හරි, තරගයකින් හරි පස්සෙ මම ක්‍රිකට් ගැන හිතන්නෙම නැහැ. කොටින්ම ක්‍රිකට් ගැන කතා කරන තැනක පවා ඉන්න  මම අකමැතියි. සම්පූර්ණයෙන්ම ඒක හිතෙන් අයින් කරනව. ඒ නිසා මගේ ජීවිතේ හරි සරලයි කියල කියන්න පුළුවන්. යාළුවොත් මං ගැන දන්න නිසාද කොහෙද, මාත් එක්ක වැඩිය ක්‍රිකට් ගැන කතා කරන්න එන්නෙත් නැහැ. ග්‍රවුන්ඩ් එකෙන් එළියට ආවට පස්සෙ මම ක්‍රිකට් ගැන හිතන එක පැත්තකින් තියනව. ආපහු ඒ ගැන හිතන්නෙ නැවතත් ග්‍රවුන්ඩ් එකට ගියාට පස්සෙයි. ඒ අතරතුර මම ක්‍රිකට්වලින් නිදහස් වෙලා ඉන්න තමයි නිතරම උත්සාහ කරන්නෙ.

අනික් වෙලාවට මොනවද කරන්නෙ?

දවස් දෙකක හරි නිවාඩුවක් ලැබුණොත් මම බොහෝ වෙලාවට කොළඹින් පිටවෙනව.

කොහෙද යන්නෙ?

මම සෆාරි (වනයේ සංචාර) යන්න හුඟක් කැමතියි. කැලෙත් එක්ක මගේ ලොකු හිතවත්කමක් තියෙනව. (සිනා) ඉතින් යාළුවොත් එක්ක කැ‍ලේ යන එක තමයි ලොකුම විනෝදාංශය.

සංගීතය සිනමාව වගේ, කලාව පැත්තට වැඩි කැමැත්තක් නැද්ද?

නැත්තෙම නැහැ. ඒත් මගේ ඔළුව නිදහස් කරගන්න මම හුඟක් වෙලාවට කරන්නෙ කැ‍ලේට යන එක තමයි. සාමාන්‍ය පරිසරයෙන් බැහැර වෙන්න වගේම සත්තු බලන්නත් මම හුඟක් ආසයි.

සාකච්ඡා කළේ - කැළුම් ශ්‍රීමාල්

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery