facebook page

Powered by Blogger.

Blogger templates


බස්නාහිර, දකුණ පළාත් සභා මැතිවරණයේදී මහ ඇමැති ධුරය ලබාගන්නට ප්‍රසිද්ධියේ දේශපාලන සටනක යෙදුණු හා තමන් ප්‍රධාන ඇමැති ලෙස පත්වනු ඇති බවට ඡන්දදායකයන්ට බලාපොරොත්තු ලබාදුන් කීප දෙනෙක් වූහ. දැන් මැතිවරණ ප්‍රතිඵල නිකුත් වී අවසන්ය. එසේ බලාපොරොත්තු දුන් අයගෙන් වැඩි දෙනෙක් මනාප ඡන්දයෙන් පළමු හෝ දෙවැනි ස්ථාන ලබාගෙන සිටිති. මහ ඇමැති ධුරය ගැන අද ඔවුන් කළ ප්‍රකාශයි මේ.

ප්‍රසන්න රණතුංග

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා සුදුසු පුද්ගලයා කවුරුන්ද යන්න තෝරා ගැනීම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හා පක්‍ෂ නායකත්වය විසින් සිදු කළ යුතු කාරණයක් බව බස්නාහිර පළාතේ හිටපු ප්‍රධාන ඇමැති ප්‍රසන්න රණතුංග මහතා පැවැසුවේය.

බස්නාහිර පළාතේ ප්‍රධාන අමාත්‍ය ධුරය සඳහා තමන් සුදුසු අයෙක් දැයි විමසූ විට ඊට පිළිතුරු ලෙස ප්‍රසන්න රණතුංග මහතා එසේ සඳහන් කෙළේය.

ගම්පහ දිස්ත්‍රික්කයේ මනාප ඡන්ද 2,49,678ක් ලබා හිටපු ප්‍රධාන ඇමැතිවරයා වූ රණතුංග මහතා ගම්පහ මනාප ලැයිස්තුවේ පළමුවැනියා විය.

බස්නාහිර ප්‍රධාන ඇමැති ධුරයට ශ්‍රී ලංකා නිදහස්

පක්‍ෂය විසින් සුදුසුම පුද්ගලයා තෝරා ගනු ඇතැයිද රණතුංග මහතා විශ්වාසය පළ කෙළේය.

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලබාගත් හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය කීවේ, තමාට මේ සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බවයි.

උදය ගම්මන්පිල

බස්නාහිර පළාතේ මහ ඇමැති ධුරය තමාට දුන්නොත් බාරගන්න බවට පැවැසුවද මහ ඇමැති ධුරය තෝරාපත් කිරීමේ පූර්ණ වගකීම සහිත බලතල පැවැරී තිබෙන්නේ ජනාධිපතිවරයාට බව බස්නාහිර පළාත් සභාවට කොළඹ දිස්ත්‍රික්කයට සන්ධානයෙන් තේරී පත්ව සිටින උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කරයි.

බස්නාහිර මහ ඇමැති ධුරය කාට හිමිවේදැයි යන්න 
පිළිබඳ  කළ විමසීමකදී  මේ බව පැවැසීය.

මහ ඇමැති තෝරා පත් කිරීමේ බලය යම් ලෙසකින් තමාට ලබාදුනහොත් එවිට තෝරා පත් කරන්නේ කවුරුන් දැයි කියා මාධ්‍ය විසින් තමන්ගෙන් විමසා සිටි අවස්ථාවකදී පවා ඊට ප්‍රසන්න රණතුංග මහතා සුදුසු බවට තමා ප්‍රකාශ කළ බවත් ගම්මන්පිල මහතා සඳහන් කෙළේය.
එහෙත් තමාට එවැනි බලතලයක් ලබාදී නොමැති බවත් ජනාධිපතිවරයාගේ බලතලවලට ඇඟිලි ගැසීමට නොයන බවත් ඔහු සඳහන් කෙළේය.

මහ ඇමැතිකම සඳහා ප්‍රසන්න රණතුංග මහතා සුදුසු බවට තමාගේම ස්වාධීන තේරීමක් තිබෙන බවද උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කෙළේය.

ෂාන් විජයලාල් ද සිල්වා

මහ ඇමැති ධුරයට සුදුස්සකු නිල වශයෙන් නම් කරන තුරු තමන්ට ඒ සම්බන්ධව කිසිවක් ප්‍රකාශ කළ නොහැකි බව දකුණු පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ෂාන් විජයලාල් ද සිල්වා ප්‍රකාශ කරයි.

දකුණේ ජනතාව එක්සත් ජනතා නිදහස් සන්ධානයට පස් වතාවක් බලය ලබාදී හයවැනි වතාවටත් මෙවර බලය ලබාදෙමින් සන්ධානයට විශිෂ්ට ජයග්‍රහණයක් අත්කරදුන්නේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයා වෙත ජනතාව තබා ඇති බලවත් විශ්වාසය හා බලාපොරොත්තු නිසා බව සඳහන් කරන හිටපු මහ ඇමැතිවරයා ජනාධිපතිවරයා මෙවරද සුදුසු අයකු මහ ඇමැති ධුරයට පත්කරනු ඇතැයි තමා තුළ බලවත් විශ්වාසයක් තිබෙන බව සඳහන් කරයි.

ගීතා කුමාරසිංහ

තමන්ට දකුණු පළාත් මහ ඇමැති ධුරය නොලැබෙන බව ගාල්ල දිස්ත්‍රික්කයෙන් පළාත් සභාවට තරග කළ ප්‍රවීණ නිළි ගීතා කුමාරසිංහ මහත්මිය පැවැසුවාය.
එසේ පවසමින් ඒ මහත්මිය කියා සිටියේ මේ ධුරයට පත්වන බොහෝ දෙනා ජනතාවට සෙතක් කරනවා වෙනුවට තමන්ගේ ගොඩ වැඩි කරගන්නා අතර තම තමන්ව පෞද්ගලික පුම්බා ගැනීමක් පමණක් සිදුකරන බවයි.

දකුණු පළාතම නියෝජනය කරන එකම කාන්තාව ලෙස තමන් ඒ කාන්තාවන් වෙනුවෙන් කැපවී කටයුතු කරන බවත්, මෙම ජයග්‍රහණය තමන්ගේ පෞද්ගලික ජයග්‍රහණයක් නොවන බවත්, මෙය සමස්ත දකුණු පළාතේ කාන්තාවන්ගේ ජයග්‍රහණයක් බවත් ඇය සඳහන් කළාය.

ඩී.වී. උපුල්

තමන් ජනාධිපතිවරයාගේ ඥාතියකු හෝ මිතුරකු නොවන බවත් දකුණෙන් මහ ඇමැති ධුරය හිටපු මහ ඇමැති ෂාන් විජයලාල් ද සිල්වා මහතාට පිරිනැමීමට ජනාධිපතිවරයා ගෙන ඇති තීරණයට තමන් ආශීර්වාද කර සුබපතන බවත් හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් වැඩිම මනාප ලබාගත් දකුණු පළාත් සභාවේ හිටපු ඇමැති ඩී.වී. උපුල් මහතා ප්‍රකාශ කරයි.

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery