facebook page

Powered by Blogger.

Blogger templates


ලස්සන වීමට ඇතැමුන් නොගන්නා වෙහෙසක් නැතිතරම්ය. ඒ සඳහා දරන උත්සාහය මෙන් ම වැය කරන මුදල් සම්භාරය ද අපමණ ය. ලොව පුරා රූපලාවණ්‍ය නිෂ්පාදන වෙනුවෙන් වැය කෙරෙනා මුදල් සම්භාරයෙන් ම එය පසක් වේ. එපමණක් නොවේ රූපලාවණ්‍ය නිෂ්පාදන සඳහා පවතින අති මහත් ප්‍රචාරය ද ඊට හොඳ නිදසුනකි.

අනුන්ට පෙනෙන ලෙස කොටසක් එසේ වෙහෙසෙද්දී තවත් කොටසක් ලස්සන වීමට කරන මෝස්තර නිසා අනුන්ගේ හාස්‍යයට ලක්වෙති. මේ සේයාරූ වලින් දැක්වෙන්නේ රටවල් දෙකක කාන්තාවන් ලස්සන වීමට දරන උත්සාහයන්ය. ඒ ලස්සන අපට නම් අරුමයක් වුවද ඔවුන්ට නම් එය සුරූපීබ වේ සංකේතය වේ.

ඉතියෝපියාවේ සූරි ගෝත්‍රික දැරියක වැඩිවිය පැමිණි වහාම ඇගේ යටිතොල ඇද ඒ දිගට තාටියක් දමනුයේ ඔවුන්ගේ සුරූපී බව වැඩිදියුණු කිරීම සඳහාය. දිගු අතට ඇදුණු යටිතොල උඩින් දමන මැටි පුවරුව අතරින් දත් හතරක් මතුවීම සඳහා සිදුරු විදිනු ලැබේ. ඊට පෙරාතුව ගෝත්‍රික චාරිත්‍රානුකූලව යාතුකර්මයක් පවත්වා දැරියගේ දත් දෙකක් ගලවා දැමීම සිදු කෙරේ. ඉන් අනතුරුව යටිතොලේ කුඩා සිදුරක් ද විදිනු ලබයි. ඉන්පසු ඒ සිදුර අතරින් යටිතොල අදිමින් මැටි පුවරුව රඳවයි.

ක්‍රමයෙන් වරින් වර මේ රඳවන මැටිපුවරුව ප්‍රමාණයෙන් විශාල කිරීම සිදු කෙරේ. යටිතොලේ රඳවන මේ මැටි පුවරුව විශාල වෙන තරමට දියණියගේ පියාට ඇගේ විවාහයේ දී දෑවැදි වශයෙන් වැඩිපුර හරකුන් සංඛ්‍යාවක් ඉල්ලීමේ අවස්ථාව සැලසේ.

ගෝත්‍රික චාරිත්‍ර කෙසේ වුවද මෑත කාලයේ සූරි ගෝත්‍රික බොහෝ තරුණියෝ මේ වේදනාකාරී චාරිත්‍රයට මුහුණදීම ප්‍රතික්ෂේප කරති.

මේ ආකාරයේ ම සිරුරට වද දෙමින් ලස්සනවීමට දරන ප්‍රයත්නයක් නැගෙනහිර මියන්මාරයේ ගෝත්‍රික ජනකොට්ඨාසයක් වෙතින් ද වාර්තා වෙයි. නැගෙනහිර මියන්මාරයේ කායාන් ප්‍රාන්තයේ වෙසෙන මේ ගෝත්‍රික ජනතාව සිය කාන්තාවන්ගේ සුරූපී බව මනිනුයේ ඔවුන්ගේ ගෙල වටා පැලැඳ සිටින ලෝහමය වළලු ප්‍රමාණය අනුවය.

කුඩා කල සිටම ගෙල දිගුවන සේ ලෝහ වළලු පැලැඳීම නිසා දිගු ගෙලවලින් යුතු මේ කාන්තාවෝ ‘ජිරාෆ් කාන්තාවන්’ ලෙස ද හඳුන්වති. කායාන් සංස්කෘතිය අනුව දිගු ගෙල සහිත කාන්තාවන් සැලකෙනුයේ සුරූපී කතුන් ලෙසය.


වයස අවුරුදු පහේදී ගෙල වටා තඹ වළලු පැලැඳීම ආරම්භ කරන අතර වයසින් වැඩෙත්ම ගෙල වටා වැටෙන වළලු සංඛ්‍යාව ද වැඩිවේ. ගෙල වටා මෙලෙස තඹ වළලු පලඳිද්දී ඒවායේ බරට ගෙල වටා ඇති මස්පිඩු පහළට තල්ලු වී ගෙල දිගුවීඹ සිදුවේ. මෙලෙස ගෙල වටා බරැති තඹ වළලු පලඳිද්දී ගෙල තුවාලවීම සිදුවන අතර ම ඒ සඳහා කාලයක් ගතවන අතර ම ඉමහත් වේදනා ද ගෙන දේ.
මෙලෙස පලඳින සම්පූර්ණ වළලු සංඛ්‍යාවේ බර කිලෝ 10 ක් පමණ වෙයි. ඇතැම් කාන්තාවෝ සිය ගෙල තවත් දිගු කිරීමට වැඩිපුර ලෝහ වළලු පැලඳීම ද සිදු කරති. මේ වළලු පැලඳීමට ගතවන කාලය නිසා ඔවුන් නිතර වළලු ගැලවීම සිදුනොකරන අතරම වළලු නිසා හම වෙනත් පැහැයකින් දිස්වීම නිසා ද බරක් පැලැඳි වළලු ගැලවීමට ප්‍රිය නොකරන බව ද පැවසේ.

මේ වළලු පැලඳ නොසිටින අවස්ථාවල තමන් නිරුවත් ව සිටින බවක් හැ‍ඟේ යැයි ද කායාන් කාන්තාවෝ පවසති.

මේ සම්ප්‍රදාය කවදා කෙලෙස ආරම්භවීදැයි නිශ්චිත නැතත් ජනප්‍රවාදවල එන මකරුන් මෙන් පෙනීම සඳහා වළලු පලඳින බව කියැවේ. තවත් කොටසක් පවසනුයේ වනාන්තරවලදී ගෙලට කඩා පනින දිවියන්ගෙන් බේරීමට එසේ ගෙල වටා වළලු පැලැඳි බවය. කෙසේ වුවද දැන් ඔවුන් වළලු පලඳිනුයේ සම්ප්‍රදාය රැක ගැනීම සඳහා මෙන් ම අන්ගෝත්‍රවලින් කැපී පෙනීම සඳහාය.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery