facebook page

Powered by Blogger.

Blogger templates



දෙරණ රූපවාහිනී නාළිකාව ගායන ලොවේ යොවුන් සිහින තරු සොයා යන ගමනේ පස්වැනි අදියරේ අවසානයට මේ වන විට පැමිණ සිටී. “ Dream Star වැඩසටහනේ 5 වැනි අදියර සඳහා දිවයින පුරා විසිරී සිටින යෞවන යෞවනියන් අනූතුන්දහසකට අධික සංඛ්‍යාවක් අයදුම්පත් යොමුකර තිබුණි. තරග වට ගණනාවකට මුහුණදීමෙන් අනතුරුව මේ වන විට තරගයේ සිටින්නේ අවසන් දසදෙනාය. මෙම දස දෙනා අතරේ දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි විවිධ ශෛලීන්වලින් ගීත ගයන තරගකරුවන් අටදෙනෙක් ද තරගකාරියන් දෙදෙනෙක් ද සිටිති. මොවුන් සියලුම දෙනා එකම කිරුළක් වෙනුවෙන් තරග වැදුණද ඔවුන් අතර ඇත්තේ අසීමිත බැඳීමකි; හිතවත්කමකි. ඔවුන් එකම පවුලක සහෝදර සහෝදරියන් මෙනි.

මෙවර අවසන් මහා තරගයෙන් ජයගන්නා සිහින තරුව සහ දෙවැනි තුන්වැනි ස්ථාන ලබාගන්නා තරගකරුවන්ට සුවිශේෂ ත්‍යාග රැසක්ම ලබාදීමට දෙරණ නාළිකාව සූදානම් ය. රුපියල් ලක්ෂ 60කට ආසන්න වටිනාකමක් ඇති නවීන මෝටර් රථයක් මෙන්ම සංගීතය ඉගෙනීම සඳහා ශිෂ්‍යත්වයක් ද සිහින කිරුළ දිනාගන්නා තරගකරුවාට හෝ තරගකාරිණියට හිමිවනු ඇත.

මෙම තරගාවලියේ දී දක්ෂතා දැක්වූවන්හට දෙරණ නාළිකාව මඟින් නිර්මාණය කරනු ලබන ටෙලිනාට්‍යවල මෙන්ම විවිධ වැඩසටහන්වල ද ගීත ගායනා කිරීමේ අවස්ථාව ලබාදීමට දෙරණ සූදානම් බව Dream Starවැඩසටහන් නිෂ්පාදකවරයා වන කැලුම් දර්ශන පවසයි. Dream Starවැඩසටහන දෙරණ සභාපති ලක්සිරි වික්‍රමගේ, විධායක අධ්‍යක්ෂ මාධව මඩවල, වැඩසටහන් අධ්‍යක්ෂිකා ශර්මිලා ධර්මරාසා යන අයගේ අධීක්ෂණය යටතේ සහ ක්‍රිෂාන්ති, චමින්ද, ලසිනිකා, චානක, රුසිරු, යන අයගේ දායකත්වයෙන් නිර්මාණය වන්නකි.

Dream Star වැඩසටහනේ අවසන් තරගකරුවන් දසදෙනා ඔවුන්ගේ විවිධ දක්ෂතාව නිසාම මේ වන විට ප්‍රේක්ෂක ආදරය ආකර්ෂණය හොඳින් දිනා සිටී. අපි ඔවුන්ගේ තොරතුරු විමසා බලමු.

චමිල මධුෂාන්
කඩුවෙල - නවගමුව වයස අවුරුදු 23යි.

පුංචි කාලෙ ඉඳලම මම සංගීතයත් සමඟ ජීවත්වුණු කෙනෙක්. මගෙ මාම සංගීත කණ්ඩායමක සාමාජිකයෙක්. මාමගේ ආභාසය මගෙ ජීවිතයට ගොඩක් ලැබිල තියෙනවා. පාසලේ දී මම සංගීතය විෂයක් හැටියට හැදෑරුවා. පාසලේ පැවැත්වුණු පද්‍ය ගායනා තරගවලටත් පාසල නියෝජනය කරමින් සමස්ත ලංකා මට්ටමේ ගායනා තරගවලටත් මම සහභාගි වෙලා තියෙනවා. ඒවායින් ජයග්‍රහණ ලබාගෙනත් තියෙනවා. පුංචි කාලෙ ඉඳලම මම ජනගායනාවලට ඉතාම ආශා කළා. පාසල් ගියේ කඩුවෙල බෝමිරිය ජාතික පාසලට. උසස් පෙළට සංගීතය හැදෑරුවා. මේ වන විට මම ශාස්ත්‍රීය සංගීතය හදාරමින් ඉන්නවා. ම‍ෙග් බලාපොරොත්තුව අනාගතයේ සංගීතය පැත්තෙන්ම ඉදිරියට යන්න. මේ මම රියැලිටි ගායනා තරගයකට සහභාගි වුණු පළමු අවස්ථාව. විශාල පිරිසක් අතරින් අවසන් තරගකරුවන් 10 දෙනා අතරට එන්න ලැබීම ගැන ගොඩක් සතුටුයි.

විශ්මිත සචින්තක
වැල්ලවත්ත වයස අවුරුදු 20යි

මගෙ තාත්තගෙ ගම අම්පාර. අම්මා වැල්ලවත්තෙ. පුංචි කාලෙ ඉඳලම පසල් ගියේ කොළඹ ඉසිපතන විද්‍යාලයට. පසුගිය අවුරුද්දේ උසස් පෙළ විභාගයට පෙනී සිටියා. පුංචි කාලෙ ඉඳලම සංගීතයට ඉතාම කැමැතියි. පාසලේ දී සංගීතය විෂයක් හැටියට කළේ සාමාන්‍ය පෙළ විභාගය දක්වා පමණයි. උසස් පෙළට කළේ ජීව විද්‍යා විෂයන්. මම පෙර පාසල් යන කාලෙ සේනානායක වේරලියද්ද මහතාගේ “මල්පබා” ගීතය ගායනා කරල තියෙනවා. මගෙ අම්මට පෙනිල නැහැ මම ගීතය ගායනා කරනව. අම්මට ඇහිල විතරයි. අම්ම හිතල තියෙන්නෙ රේඩියෝ එකේ සින්දුව යනව කියල. මගෙ අම්මා තාත්තාගෙනුත් අම්පාරෙ ඉන්න තාත්තගෙ නෑදෑයනුත් වැල්ලවත්තේ ඉන්න අම්මගෙ නෑදෑයනුත් මගේ සංගීත ජීවිතයට ගොඩක් උදව් කරනවා. අනාගතයේ දී සංගීතය රැකියාව කරගන්න මගේ බලාපොරොත්තුවක් නෑ. වෙනත් රැකියාවක් කරන ගමන් සංගීත කටයුතුවල යෙදෙන්නයි හිතාගෙන ඉන්නේ.

ගයානී කෞශල්‍යා
පාදුක්ක වයස අවුරුදු 20යි.

මේ මම Dream Star තරගයට සහභාගි වුණු පළමු අවස්ථාව. විශාල පිරිසක් අතරින් අවසන් 10 දෙනා අතරට එන්න ලැබීම වාසනාවක්. මට විශ්වාසයක් තිබුණා අවසාන 12 දෙනා අතරට එන්න ලැබෙයි කියලා. මම පාසල් ගියේ පාදුක්ක සිරිපියරතන මධ්‍ය මහා විද්‍යාලයට. මේ වන විට මම උසස් පෙළ විභාගය කරලයි ඉන්නේ. ඉදිරියේදී භාත්ඛණ්ඩ විභාගවලට පෙනී සිටින්න බලාපොරොත්තු වෙනවා. Dream Star තරගාවලියේ දී ඒ ඒ වටයට හොඳින් මුහුණ දෙනවා කියන හැඟීමෙන් තමයි ඉදිරිපත් වුණේ.
මම ඉදිරියේදී නීතිය ඉගෙනගන්නයි බලාපොරොත්තු වෙන්නේ. පොඩි කාලෙ ඉඳල තිබුණු එක් හීනයක් තමයි නීති අංශයෙන් රැකියාවක් කිරීම. අනෙක් හීනය තමයි සංගීත අංශයෙන් ඉදිරියට යාම. මම මොන රැකියාව කළත් සංගීතයෙන් ඉවත් වෙන්නේ නෑ. ම‍ෙග් පවුලේ උදවිය තමයි අම්මයි තාත්තයි අයියල දෙන්නයි අක්කයි. ඒ සියලුම දෙනාත් ම‍ගේ පාසල් යාළුවොත් මට ගොඩක් උදව් කරනවා. සමහර වෙලාවට මට ගීත තෝරල දෙන්නෙ මගෙ යාළුවො. Dream Star තරගය නිසා ගම්පළාතෙ අය වගේම රටේ ගොඩක් දෙනෙක් මාව හඳුනනවා. මේ තරගය නිසා මටත් දැන් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා කියල දැනෙන විට සතුටක් ඇතිවෙනවා.

ළහිරු රත්නායක
දෙහිඕවිට වයස අවුරුදු 19යි

මම පාසල් යන්නේ දෙහිඕවිට ජාතික පාසලට. පාසලේදී උසස් පෙළට සංගීතය විෂයයක් හැටියට හදාරනවා. මට අයිය කෙනෙකුත් අක්ක කෙනෙකුත් ඉන්නවා. මම පවුලේ බාලයා. මගෙ තාත්තට හොඳට සින්දු කියන්න පුළුවනි. මට මතකයි ම‍ගෙ තාත්තා මම පුංචි කාලෙ මට ඇහෙන්න සින්දු කියනවා. Dream Star තරගයේ දී ගීත තෝරා ගැනීමේදී ම‍ගෙ අම්ම තාත්තා වගේම අයියත් අක්කත් මට ගොඩක් උදව් කරනවා. තෝරාගන්නා සින්දුව හොඳින් අහල තනිවම පුහුණු වෙලා තමයි මම ගොඩක් වෙලාවට තරගයට සහභාගී වෙන්නේ. Dream Starr තරගාවලියේ මේ තරම් දුරක් එන්න පුළුවන් වෙයි කියලා මම හිතුවේ නෑ. මේ තරගාවලිය තුළ මටම කියල පුංචි අනන්‍යතාවයක් හදාගන්න මට හැකිවෙලා තියෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි. Dream Star නරඹන ප්‍රේක්ෂකයින් ගොඩක් දෙනෙක් මාව හඳුනනවා. ඔවුන් මට දුරකථනයෙන් පවා කතාකරනවා. ඒ දක්වන හිතවත්කමට මම හරිම කැමැතියි.

කසුන් තරිඳු විජයන්ත
රත්නපුරය වයස අවුරුදු 21යි

මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි, අයියයි අක්කයි. ම‍ෙග අම්මගෙ ලොකු බලාපොරොත්තුවක් තිබිල තියෙනවා මාව ගායන අංශයෙන් ඉදිරියට යවන්න. ඒ නිසා ගෙදර අය මට විශාල සහයෝගයක් දක්වනවා. මම පාසල් ගියේ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයට සහ රත්නපුර සීවලී මහා විද්‍යාලයට. උසස් පෙළට පෙනී සිටියේ පසුගිය අවුරුද්දේ. පුංචි කාලෙ බණ්ඩාරවෙල සාන්ත තෝමස් විද්‍යාලයේ ඉගෙන ගන්න විට මම පද්‍ය ගායනා තරගයකට මුහුණ දුන්නා. එයින් මට පළමු ස්ථානය ලැබුණා. එතැනදී තමයි මට අවබෝධ වුණේ මට ගායනයට පුංචි හැකියාවක් තිබෙන බව. ඉන්පසුව මම විවිධ ගායනා තරගවලට සහභාගි වුණා. උසස් පෙළට සංගීතය විෂයක් ලෙස කළා. උසස් පෙළ විභාග ලිව්වේ පසුගිය අවුරුද්දේ. අනාගතයේ දී මම වෘත්තීය වශයෙන් ඇඟලුම් ක්ෂේත්‍රයේ රැකියාවක් කරන්නයි බලාපොරොත්තුව. මේ වන විටත් මම ඒ පිළිබඳව පාඨමාලාවක් හදාරනවා. මොන වෘත්තියක නියැළුණත් මම සංගීතය විෂයෙන් දුරස් වෙන්නේ නෑ. අනාගතයේ දී සංගීත අංශයෙන් හොඳ දෙයක් කරන්න බලාපොරොත්තු වෙනවා.

ආශේර් ගයනෙත් ප්‍රනාන්දු
කඳාන වයස අවුරුදු 17යි

Dream Star තරගාවලියේ දැනට ඉන්න ළාබාලම තරගකරුවා මමයි. මම වයසින් බාල වුණාට මගේ කටහඬ බාල නැති බවයි විනිශ්චය මණ්ඩලයත් මට කතා කරන විවිධ අයත් කියන්නේ. මගෙ හඬ ‘යුනික්’ හඬක් බව විනිශ්චය මණ්ඩලයෙන් ප්‍රකාශ වෙලා තියෙනවා. ඒ ගැන මට හරිම සතුටුයි. මේ වන විට මම කඳාන ද මැසනෙද් විදුහලේ වාණිජ අංශයෙන් උසස් පෙළට සූදානම් වෙනවා. Dream Star තරගය සඳහා මගේ පාසලෙන් විශාල සහයෝගයක් ලැබෙනවා.

මගේ පවු‍ෙල්ඉන්නේ අම්මයි තාත්තයි මමයි මල්ලියි. අම්මා රැකියාව කරන්නෙ එංගලන්‍තයේ. පසුගිය අවුරුද්දේ මමත් අම්මා ළඟට යන්නයි හිතාගෙන හිටියේ. මගේ ආශාව තියෙන්නේ ගුවන් නියමුවෙක් වෙන්න. විදෙස්ගත වෙලා ඒ ගැන ඉගෙනගන්නයි මගේ බලාපොරොත්තුව. මම හිතුවේ නෑ Dream Star තරගාවලියේ අවසන් 10 දෙනා අතරට එන්න මට ලැබේවි කියලා. මේ දක්වා එන්න ලැබීම වාසනාවක්. මේ තරගයේ ඉන්න සේරම එකම පවුලක අය වගේ හරිම එකමුතුයි. ඒ හිතවත්කමට එකමුතුකමට මම හරිම කැමැතියි. මම විවිධ ශෛලියේ ගීත ගායනා කරනවා. මේ රටේ මටත් ප්‍රේක්ෂක පිරිසක් ඉන්නව කියල හිතෙන විට විශාල සතුටක් දැනෙනවා.

හර්ෂ ධනෝෂ්
කුණ්ඩසාලෙ වයස අවුරුදු 27යි

මම සංගීත කණ්ඩායමක සාමාජිකයෙක්. දැන් අවුරුදු 14ක් තිස්සෙම සංගීතයත් එක්කයි ඉන්නේ. මේ වන විට මගේ රැකියාවත් ගීත ගායනයමයි. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අක්කයි අයියයි මල්ලියි මමයි. Dream Star 3වැනි වටයේ දී අවසන් 250න් මම ඉවත් වුණා. 4 වැනි වටයේදී අවසන් 72න් ඉවත් වුණා. අවුරුදු ගණනාවක් තිස්සේ මම උත්සාහ කළා සංගීත අංශයෙන් කිසියම් තැනක් හදාගන්න. නමුත් බැරිවුණා. හැබැයි මේ සැරේDream Star තරගයෙන් මට ඒ අවස්ථාව ලැබිල තියෙනවා. මම පාසල් ගියේ පිලවල නවෝද්‍යා පාසලට. පාසලේදීත් මම ප්‍රසංගවල ගීත ගායනා කරල තියෙනවා.
මම ගායනා කරන්නේ රොක් ශෛලියේ ගීත. රොක් ශෛලියට මම හරිම කැමැතියි. අවුරුදු ගණනක ඉඳල මේ ශෛලිය පුහුණු වුණා. මේ විදියට කටහඬ හදාගන්න උගුර ලේ රහ වෙනකල් පුහුණුවීම් කරල තියෙනවා. මම කැමැතිම ගායකයා තමයි බ්‍රයන් ඇඩම්ස්. ඒ වගේම චිත්‍රාල් සෝමපාලටත් ඉන්ද්‍රචාප ලියනගේටත් මම හරිම කැමැතියි. රොක් ශෛලියට අවශ්‍ය බාහිර පෙනුමත් සකසාගන්න තමයි මගේ කොණ්ඩයත් පාට කරල තියෙන්නේ.

ලෝකයේ වැඩිම පිරිසක් අහන්නේ රොක් සංගීතය. ඉස්සර නම් රොක් ශෛලිය අහන පිරිස ලංකාවේ අඩුයි. දැන්නම් මේ ශෛලියට ගොඩක් දෙනෙක් කැමැති බව පේනවා.

නවීන් දිල්ශාන්
රාගම වයස අවුරුදු 24යි.

මම පාසල් ගියේ සාන්ත අන්තෝනි මහා විද්‍යාලයට. උසස් පෙළට කළේ ජීව විද්‍යා විෂයන්. සාමාන්‍ය පෙළ දක්වා සංගීතය හැදෑරුවා. ගිටාරය වාදනය කරන්න මට හැකියාව තියෙනවා. පසුගිය කාලෙ මම පෞද්ගලික අංශයේ රැකියාවක් කළා. මේ දවස්වල නම් රැකියාවෙන් ඉවත්වෙලයි ඉන්නේ මේ Dream Star තරගාවලිය නිසා. මගේ පවුලේ ඉන්නේ අම්මයි තාත්තයි අයියයි අයියගෙ බිරියයි.
පසුගිය කාලෙ රියැලිටි සංගීත වැඩසටහන් ගැන රූපවාහිනී ප්‍රේක්ෂකයින්ගේ එතරම් ප්‍රසාදයක් තිබුණේ නෑ. ඒ ඒකාකාරී බව නිසා. නමුත් මෙවර Dream Star වැඩසටහන ගැන ගොඩක් දෙනෙක් කතාකරන්න ගත්තා. මම හිතන විදියට ඒකට හේතුව තමයි මෙවර Dream Star වැඩසටහනේ විවිධ ශෛලියෙන් ගීත ගයන්න අවස්ථාවක් ලබා දී තිබීම. මෙවර Dream Star තරගාවලිය මගේ ජීවිතයේත් වැදගත් අවස්ථාවක් වුණා. අද ප්‍රදේශයේ සමාජයේ ගොඩක් දෙනෙක් මාව හඳුනනවා. ඒ අය මාත් එක්ක කතාකරනවා. මට සුබ පතනවා. ඒක මට අලුත් අත්දැකීමක්. රටේ තරුණ පිරිසෙන් මට විශාල සහයෝගයක් ලැබෙනවා.

මංජුලා සෙව්වන්දි
කැබිතිගොල්ලෑව වයස අවුරුදු 23යි.

මම පාසල් ගියේ කැබිතිගොල්ලෑව මහා විද්‍යාලයට. පාසලේදීත් සංගීතය විෂයක් හැටියට කළා. උසස් පෙළ විභාගය සමත් වුණේ දැනට අවුරුදු කීපයකට ඉස්සර. මට ඉන්නෙ අම්මා විතරයි. අම්මා මාව මේ තැනට ගේන්න ගොඩක් දුක්වින්දා. අම්ම මගේ පණ වගේ. Dream Star තරගයට මාව ඉදිරිපත් කළේ බ්‍රිගේඩියර් සෙනෙවිරත්න සර්. සර් තමයි මා වෙනුවෙන් මේ තරගයට ඇප්ලිකේෂන් එක පවා යොමු කළේ. මම කැබිතිගොල්ලෑවෙන් කොළඹ ආවේ නිකම්ම නිකං මංජුලා විදියට. නමුත් දැන් මේ සමාජයේ කිසියම් තැනක් තියෙනවා කියලා මට දැනෙනවා. මම හැමදේකින්ම පිරිලා කියලා මට දැනෙනවා. මම හැමතිස්සේම තෝරාගත්තේ මට ගැළපෙන දේ. මට ගැළපෙන ගීත. අනාගතයේදී දක්ෂ ජනප්‍රිය ගායිකාවක් වෙන්නයි මගේ බලාපොරොත්තුව. ඉදිරියේ දී සංගීතය ඉගෙනගන්න මගේ ලොකු බලාපොරොත්තුවක් තියෙනවා.

එම්.ඩී.ධනුෂ්ක
ඇඹිලිපිටිය වයස අවුරුදු 24යි.

මීට පෙර Dream Star තරගාවලියේ දී වසර කීපයකම ඉදිරිපත් වුණා. පසුගිය Dream Star තරගාවලියේ දී තරගයෙන් ඉවත්වුණාට පසුව මම හිතුවා ආයෙමත් මේ තරගවලට ඉදිරිපත් වෙන්නේ නෑ කියල‍. එහෙම හිතල මම රැකියාවක් කළා. මම රැකියාවන් කීපයක්ම කරල තියෙනවා. අවසන් වතාවට වැඩ කළේ සෙවණගල සීනි කර්මාන්තශාලාවේ. මෙවර Dream Star තරගයට මගෙ නමින් ඇප්ලි‍ෙක්ෂන් එක දාලා තියෙන්නේ මගෙ තාත්තා. ඒ විදියටයි මේ තරගයට ආවේ. මට ඉන්නෙ නංගිල දෙන්නයි තාත්තයි. නංගිල දෙන්නම විවාහකයි.

මගෙ තාත්තා මාව මේ තත්ත්වයට ගේන්න උපරිමයෙන් දුක් විඳල තියෙනවා. මමත් විවිධ රැකියා කරමින් හරියට දුක් විඳල තියෙනවා. ඒක කියන්න බැරි තරම්. මගෙ තාත්ත රැකියාව විදියට කරන්නෙ මේසන් අත්වැඩ දෙන එක. මම කිසිම තැනක මගෙ දුක කියන්නෙ නෑ. මට ඕන මගෙ හැකියා‍ෙවන් ඉදිරියට යන්න.

මම උසස් පෙළට කළේ කලා විෂයයන්. පුංචි කාලෙ ඉඳලම මම සින්දු කියන්න ආසයි. ගම්පළාතෙ සමහර සංගීත ප්‍රසංගවල සින්දු කියන්න පැය ගණන් බලා ගෙන ඉඳල තියෙනවා. සමහර ප්‍රසංගවල මම සල්ලි දීල සින්දු කියන්න ගිය අවස්ථා තිබුණා. ඒ අවස්ථාවල මට බැණල එළවපු අවස්ථාත් තිබුණා. ඒ වගේ ගමනක් තමයි මම ආවේ. දැන් මට මේ සමාජයේ ගොඩක් දෙනෙක් ආදරය කරනවා. මේ තරගාවලියේ ඉන්න සහෝදර සහෝදරියො වගේම ඒ අයගෙ දෙමවුපියනුත් මට හරිම ආදරෙයි. ඒ ගැන මට හරිම සතුටුයි. ඒකට හේතුව මමත් ඔවුන්ට අවංකවම ආදරය කරන නිසා වෙන්න ඕන. මේ තරගාවලියෙදි මම මුලින් කිව්වේ සරල ශාස්ත්‍රීය ගී. නමුත් මට ගැළපෙන ශෛලිය වේග රිද්මයේ බයිලා ශෛලිය කියලා මට පහදල දුන්නේ නදීක ගුරුගේ සර්.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery