ඕනෑ කරන දේවල්ද එපා කරවන තරමට එපා කරන දේවලින් පිරී ඇති ශ්‍රී ලංකාවේ වැඩි දෙනකුට අද වැඩියෙන්ම ඕනෑ වී ඇත්තේ අනාවැකි බව පෙනේ.
අප එසේ කියන්නේ අද දවසේ තරම් විවිධ මාධ්‍යයන් ඔස්සේ අනාවැකි පවසන්නන් අන් කිසි දිනක දක්නට නොලැබුණු බැවිනි. ඒ හැරුණු කල මෙය ඉතා හොඳ ස්වයං රැකියාවක් වී තිබෙන බවද අපට පෙනී යන්නේ සියලු මාධ්‍යයන් ඔස්සේ ඒ පිළිබඳව ප්‍රචාරය වන වෙළෙඳ දැන්වීම් දකින කල්හිය.
මේ අනාවැකි ප්‍රකාශ කරන්නන් පිළිබඳ විවිධාකාර වාද විවාද තර්ක විතර්ක කොතෙක් ඇති වුණද මෑතදී අතුරුදන් වුණු මැලේසියන් ගුවන් යානය කොයි සක්වලක ගියා දැයි කියන්නට මේ කිසිවෙකුට නොහැකි වුණද රූපවාහිනී සහ ගුවන් විදුලි මාධ්‍යයන් ඔස්සේ නොකඩවා නොනවත්වා අනාවැකි පැවැසීම තවම අඩුවී නැති බව පෙනේ. දැන් අප කියන්නට යන්නේ ගිරවුන් මෙන් දිගින් දිගටම අනාවැකි කියාගෙන යාම ගැන නොවේ. මීට කලකට ඉහතදී ඇත්තටම ගිරවුන් අනාවැකි කියූ ආකාරය ගැන කියන්නටය.
මෙම සාස්තර ගිරවුන් සිටියේ වැඩි වශයෙන් ඔවුන් දක්නට ලැබුණේ ආමර් වීදියේ සහ කොටහේන සෙල්ලමහල් සිනමාහල අසලය.
එකල ගිරා ශාස්ත්‍රකරුවන් සුලභ දසුනක් විය. මගේ මතකයේ හැටියට මේ ගිරා ශාස්ත්‍රකරුවන් දෙමළ වාර්ගිකයන් වූ අතර ඔවුහු මැදි වයසේ පසු වූවෝ වූහ. මෙම ශාස්ත්‍රකරුවන්ගෙන් බහුතරයකගේ හිසේ ජටාවක් බැඳ තිබිණි. නළල මැද විශාල පොට්ටුවක් තබා තිබිණි. මුහුණ පුරා වැඩුණු දළ රැවුලකින්ද සමන්විත විය.
පදික වේදිකාවේ වාඩි වී සිටි ශාස්ත්‍රකරු ඉදිරියේ ඉටි රෙද්දක් අතුරා තිබිණි. ඔහු වාඩි වී සිටි තැනින් එක් පසෙක ගිරා කූඩුවකි. ගිරා කූඩුවේ වහළයේ හඳුන්කූරු දෙකක් දල්වා තිබෙනුද දැකිය හැකි විය. කූඩුවක සමීපයෙහිම ලියුම් කවර දොළහක් පමණ පිළිවෙළට අසුරා තිබිණි.
ඉදින් මේ ශාස්ත්‍රකරු පදිකයන්ට ගිරා ශාස්ත්‍රයක් බලා අනාගතයේ සිදුවිය හැකි අපල උපද්‍රවයන්ට පිළියම් යොදා ගන්නා ලෙස ඉල්ලා සිටී. අනාවැකියක් බලා ගැනීම සඳහා එකල ශත දහයක මුදලක් ගෙවිය යුතු විය. ආප්පය ශත පහක්ව තිබූ, ඉඳි ආප්පය ශත දෙකකට පමණ අලෙවි කළ ටිං කිරි තේ කෝප්පය ශත දහයක් ඉක්මවා නොගිය ශත 10කින් ආමර් වීදියේ සිට බොරැල්ලට ගිය හැකි ඒ කාලයේ ඒ මුදලද බලගතු කාසියක් විය.
ශාස්ත්‍ර අසන්නා ශත දහයක් දුන් පසු, එසැණින් ගිරා අයිතිකරු කූඩුවේ කුඩා දොර විවෘත කරයි. එවිට කූඩුව තුළ සිටින ගිරවා ශාස්ත්‍රකරු ඉටි රෙද්ද මත අසුරා තිබෙන ලියුම් කවර අසලට පැමිණෙයි. තත්පර කිහිපයක් ඒ දෙස බලා සිටින ගිරවා එයින් එක් කවරයක් හොටෙන් අල්වා අදියි. අනතුරුව ශාස්ත්‍රකරු ගිරවා යළි කූඩුව තුළට දමා එම ලිපි කවරය අතට ගනියි. එම ලිපි කවරය තුළින් දෙමළෙන් හා සිංහල භාෂාවෙන් මුද්‍රණය කර තිබෙන පලාපල විස්තරය ශාස්ත්‍ර අසන්නා අත තබයි.
ශාස්ත්‍ර අසන්නාට කියවීමේ අපහසුතාවයක් තිබුණොත් එහි සඳහන් පලාපලය ශාස්ත්‍රකරු විසින්ම කියා දෙයි. එහි වැඩිදුරටත් සඳහන් වන්නේ අපල උපද්‍රව අවම කර ගැනීම සඳහා දෙවියන්ට කන්නලව් කළ යුතු බවය. භාර හාර විය යුතුය. එවිට අපල දුරුවී වාසනාවන්ත කාලයක් උදා විය හැකි බවද ශාස්ත්‍රකරු සඳහන් කර සිටී. ඒ කෙසේ වුවද ඒ කාලයේ හැටියට ‘ගිරා ශාස්ත්‍රකරුවන්ට දිනකට රුපියල් දෙක තුනක් වැනි සතුටුදායක මුදලක් හරි හම්බ කර ගත හැකි විය.
මගේ අදහස නම් නොපෙනෙන භූතයන් යක්ෂයන් පිහිටෙන් ශාස්ත්‍ර කියා අහිංසකයන් ගසා කනවාට වඩා පෙනෙන්නට සිටින ගිරවා ලවා සාස්තරයක් අනාවැකියක් පවසා කීයක් හෝ උපයා ගැනීම අවංකබවය.
සුනිල් කුලරත්න රාහුබද්ධ