facebook page

Powered by Blogger.

Blogger templates


1928 අප්‍රේල් 23 දාසැන්ටා මොනිකා නුවරදී උපත ලැබූ ෂර්ලි ටෙම්පල් බැංකු කළමනාකරුවෙකු වූ ජෝර්ජ් ටෙම්පල් හා ගර්ටෘෘඩ් යුවළගේ තෙවන දරුවාය. නාට්‍යාංගනාවක වීමට තමා තුළ තිබූ කිසිදා සැබෑ කර ගැනීමට නොහැකි වූ සිහිනය සිය දියණිය විසින් සැබෑ කරනු දැකීමේ නොතිත් ආශාවෙන් පෙළුණු ගර්ටෘෘඩ් ටෙම්පල්, සිය දියණියට කුඩා කල පටන් නර්තන පුහුණුව ලබාදීමට කටයුතු කළාය. යන්තම් තෙහැවිරිදි වියට පාතබන කලම ඇයට ‘පවර්ටි රෝ’ නමැති චිත්‍රපටයේ රඟපෑමට අවස්ථාව ලැබුණේ එහි ප්‍රතිඵලයක් ලෙසය.

එසේ වුවද ‘ෂර්ලි ටෙම්පල්’ නමැති හුරුබුහුටි දැරියව ලෝකයම හඳුනාගන්නා ලද්දේ 1934 දී  තිරගත වූ ‘බ්‍රයිට් අයිස්’ චිත්‍රපටයෙනි. ‘ද ඊඩඥ ට්ධධඤ ඉඩඪන ඹ්ධතතඪනධන’ ගීතයේ ඇය විසින් ඉදිරිපත් කළ රංගනය නිසාවෙන් බොකුටු හිසකෙස්ද දේවදූතයකුගේ වන් සුරතල් පෙනුමක්ද තිබූ ෂර්ලි එම යුගයේදී බොක්ස් ඔෆීස් වාර්තා පිහිටුවීමට චිත්‍රපටයකට අත්‍යවශ්‍ය සාධකයක් බවට පත්ව සිටියාය. එම වසර අවසාන වන විට ඇය ලොව  වැඩිම ආදායමක් ලබන තාරකාවන්ගේ ලැයිස්තුවේ අටවන ස්ථානය හිමි කර ගෙන සිටියා පමණක් නොව 1935 වසරේදී ළාබාලයන් උදෙසා පිරිනැමෙන විශේෂ  ඔස්කාර් සම්මානයකින්ද පිදුම් ලබන ලද්දේ, ඔස්කාර් සම්මාන ඉතිහාසයේ ළාබාලතම සම්මානලාභිනිය බවට පත් වෙමිනි.

ඒ වන විට ඇගේ වයස අවුරුදු හයක් විය. 1935-1938 අතර කාලයේදී ලෝකයේ අංක එකේ බොක්ස් ඔෆීස් තාරකාව ලෙස සිය කිරුළ අඛණ්ඩව රැක ගැනීමට සමත් වූ හුරුබුහුටි ටෙම්පල්ගේ රංගන දිවියේ පෙරගමන්කරු  වූයේ නිබඳව ඇය අසල රැඳී සිටි ඇගේ දයාබර මව වූ ගර්ටෘෘඩ්ය. සිය දියණියව සෑම රූපගත කිරීමකටම රැගෙන ගියේද, රූගත කිරීම් කෙරෙන කාලය මුළුල්‍ලේම ඇය අසලම රැඳී සිටියේද ගර්ටෘෘඩ්ය.  එතෙකින් නොනැවතුණු ඇය ඒ හැම රූගත කිරීමක්ම සඳහා සිය දියණියගේ කෙස් කළඹ රැලි ගන්වා මුදු ලෙස සකස් කරන ලද්දේ හැමවිටම කැරලි පනස් හයක් සිටින සේය.

ඉතාම ළාබාල  වියකදී හොලිවුඩයේ ආටෝපකාරී විසිතුරු ඇවැතුම් පැවැතුම්වලට නිරාවරණය වූ කුඩා ටෙම්පල්ව ප්‍රසිද්ධියත් සමග එන අනිටු ඵල විපාකයන්ට ගොදුරු නොවනසේ පරෙස්සම් කර ගන්නා ලද්දේ ඇගේ මව විසිනි. හතළිහ දශකයේදීෂර්ලි ටෙම්පල් උන්මාදය කෙතරම් උග්‍රව පැවැතියේද යත් එකල ඇමෙරිකානුවන් මුහුණ දී සිටි මහ වෙළෙඳ පරිහානිය හමුවේ වුවද ඇයට හිමි වූ ජනප්‍රියත්වයේ අඩුවක්  සිදුවූයේ නැත.එකල ඇමෙරිකානු ජනපතිව සිටි ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ද වරෙක මේ බව අවධාරණය කරමින් කියා සිටින ලද්දේ කවර අර්බුද පැමිණියේද , සිය රටට ෂර්ලි ටෙම්පල් සිටින තුරු ප්‍රශ්නයක් නොවන බවය. එම අර්බුද සමයේදී ඇ. ඩොලර් මිලියන හතළිස් දෙකක ණය බරකින් මිරිකී බංකොළොත්භාවයට පත්ව තිබූ ප්‍රකට චිත්‍රපට නිෂ්පාදන සමාගමක් වන ටුවෙන්ටියත්සෙන්චරි ෆොක්ස් සමාගම ඉන් මුදවා ගන්නා ලද්දේ කුඩා ටෙම්පල් විසිනි.

1950 දී ඇය හොලිවුඩයට සමුදෙන කල චිත්‍රපට හතළිස් තුනකට රංගන දායකත්වය ලබා දී තිබිණි. සිව් වසරකට පමණක් සීමා වූ ඇගේ පළමු විවාහය අසාර්ථක වූයේ ඇගේ සැමියා වූ ඇමෙරිකානු ගුවන් හමුදා සෙබළ ජෝන් ඒගාර්ගේ බේබදුකම හා දුරාචාරය නිසා වුවද කැලිෆෝනියාවේ ව්‍යාපාරිකයකු වූ චාල්ස් ඕල්ඩන් සමග ගෙවුණු ඇගේ දෙවන විවාහ දිවිය අතිශය ප්‍රීතිමත් වූවක් විය. 2005 වසරේදී ඔහු මිය යන කල ඔවුන්ගේ විවාහ දිවියට පනස් පස් වසරක් සපිරී තිබිණි. 2006 වසරේදී ෂර්ලි ටෙම්පල් යාවජීව සම්මානයෙන් පිදුම් ලබන කල තමාගෙන් වියෝ වූ සැමියා පිළිබඳ ආදරණීය මතකය අවදි කරමින් ඇය කියා සිටින ලද්දේ ‘සිය ජීවිතයේ ආදරය’ වූයේ ඔහු බවය.

හොලිවුඩ් උණුසුමෙන් ඈත් වුවද යළිත් හැත්තෑව දශකයේදී ඇමෙරිකානු දේශපාලන කරළියෙන් මහජනතාව අභිමුවට පැමිණි ටෙම්පල් ඝානාවේ හා චෙකොස්ලෝවේකියාවේ ඇමෙරිකානු තානාපතිනිය ලෙසද සේවය කළාය. මේ කවර භූමිකාවක් නිරූපණය කළද හොලිවුඩ් සිනමාවට පෙම් බැඳි සිනමා ලෝලීන්ගේ හදවතේ ෂර්ලි ටෙම්පල් සදා ලැගුම් ගනු ඇත්තේ
ගීතයෙන් අප හමුවට ආ කැරලි කෙස් සහිත දීප්තිමත් ඇස් ඇති ඒ සුරතල් දැරිය ලෙස බවට සැකයක් නැත.


ප්‍රියන්ති රුද්‍රිගු 

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery