වෛද්‍ය ග්‍රිෆිත් පග්ගේ පර්යේෂණයන් සුවිශේෂී වන්නේ ඉන් එවරස්ට් කඳු මුදුන ජය ගැනීමට හැකි වූ නිසාම පමණක් නොව, එමගින් සමස්ත මානව ගවේෂණ චාරිකාවන්හි අනාගතය හැඩ ගැන්වීමෙහිලා අඩිතාලමද යෙදූ නිසාය.
දෙවන ලෝක යුද්ධයේ නිමාවෙන් සත් වසරකට පසුව නේපාල රජය විසින් ලොව සය වෙනුවට උසැතිම කඳු මුදුන වන “චෝ ඔයු” තරණයටත්, ඉන් වසරකට පසුව එවරස්ට් මුදුන තරණයටත් බ්‍රිතාන්‍ය ගවේෂකයන්ට අවසර ලබාදෙන කල්හීත්, කඳු තරණය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයන් පසුවන ලද්දේ ආධුනික මට්ටමකය. ඒ වන විටත් කඳු තරණය සම්බන්ධයෙන් පහළව තිබූ නිමිතිද කිසිසේත් සුබවාදී බලාපොරොත්තු ඇති කිරීමට හේතු වූයේ නැත.
1921 සිට දෙවන ලෝක යුද්ධය පැවැති කාලය අතරදී “ඒකාබද්ධ හිමාල කමිටුව“ විසින් ලොව උසම කඳු මුදුන වෙත යැවූ ගවේෂණ කණ්ඩායම් හතම අසාර්ථක වී තිබුණේ අඩි විසිනවදහසක් උස් වූ කඳුමුදුනට, අඩි දහසක් තිබියදී වීම එකල ඉමහත් ආන්දෝලනයක් ඇති කිරීමට තුඩු දී තිබිණි. ඒ හරියටම අඩි විසිඅට දහසේ සීමාවෙන් ඔබ්බට යා නොහැකි වන සේ කිසියම් බන්ධනයක් සිදු කළා සේය. එසේ වුවද ඊට හේතු වූ බාධාවන් පිළිබඳ සොයා බැලීමට කිසිවෙකු හෝ උත්සාහ දැරුවේද නැත.
වෛද්‍ය ග්‍රිෆිත් පග්, වෛද්‍ය පර්යේෂණායතන කවුන්සිලයේ මානව කායිකවිද්‍යා ඒකකය විසින් අත්‍යන්න පරිසර තත්ත්වයන්හිදී හමුදා සෙබළුන් හා නාවිකයන් විසින් මුහුණ දෙන්නා වූ ගැටලු පිළිබඳව හැදෑරීම සඳහා පත් කරනු ලැබුවේ මෙම වකවානුවේදීය. 1909 වසරේදී කොල්කොතා නුවර විසූ වේල්ස් ජාතික බැරිස්ටර්වරයෙකුට දාව උපන් පග්, ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලයෙන් පුහුණුව ලැබූ වෛද්‍යවරයෙකු වීම නිසාවෙන් මේ සඳහා ඔහු උපරිමයෙන් සුදුසුකම් ලැබූවෙකු විය. වෛද්‍ය වෘත්තිකයෙකුට අමතරව, හිම මත ලිස්සා යාමේ ඔලිම්පික් ශූරයෙකු වූ පග් හට 1941 වසරේදී ඔහු එතෙක් සිහින දුටු රැකියාව, එනම් සෙඩාර්ස්හි පිහිටුවන ලැබූ අලුත්ම හිම මත ලිස්සා යාමේ යුද ඒකකය පුහුණු කිරීමේ වගකීම ඔහුට පැවරිණි.
අධික ශීතල පරිසර තත්ත්වවලදී එනම් හිම මත සටන්වැදීමේදී භාවිතා කළ යුතු මෙවලම් හා ශරීර සෞඛ්‍ය පවත්වාගෙන යාම කෙරෙහි අවධානය යොමු කළ බ්‍රිතාන්‍ය හමුදා නිලධාරීන් තුටු කරනු වස් පග් පූර්ණ කාලීනව කැප වුයේ පර්යේෂණාත්මක මට්ටමේ ඇඳුම් හා අංගෝපාංග රාශියක් හමුදා සෙබළුන් වෙනුවෙන් නිර්මාණය කරමිනි. සැහැල්ලු ද්විස්ථර ඇඳුම්, කඳු තරණය සඳහාම වෙසෙසින් සැකසුණු නම්‍යශීලී පාවහන්, මෙවලම් රැගෙන යාම සඳහා බර සමබර ලෙස බෙදී යන අයුරින් නිර්මාණය කළ ගමන් මලු, ගිනි උඳුන් දීර්ඝ සංචාර සඳහා උචිත ද්වි ස්ථර එහෙත් සැහැල්ලු බවින් යුතු කූඩාරම්ද ඒ අතර වේ. මීට අමතරව, එබඳු ශීත දේශගුණික තත්ත්ව මධ්‍යයේ සංචාරයේ නියැළෙන සෙබළුන් විසින් දිනකට කෙතරම් තරල ප්‍රමාණයක් පරිභෝජනය කළ යුතුද යන්නත් (පයින්ට් අටක්) වෙහෙසට පත් වීමකින් තොරව දරාගෙන යා හැකි බර ප්‍රමාණයන්ද සම්බන්ධයෙන් වෛද්‍ය පග් සිදු කළ අධ්‍යයනයන් පසුකලෙකදී එවරස්ට් තරණය සඳහා මූලික අඩිතාලම සැපයීය.
කෙසේ වුවද කඳුතරණයේ නියැළෙන්නන් යොදා ගනිමින් වෛද්‍ය පග් විසින් සිදු කළ
පළමු පර්යේෂණය සිදු කෙරෙන්නේ 1952 දී “චෝ ඔයු” කඳු මුදුන තරණය කළ
ගවේෂණ කණ්ඩායම සමගය. ඒ ඉහළ උන්නතාංශවලදී ඔක්සිජන් භාවිතය සම්බන්ධයෙන් නව උපක්‍රම වර්ධනය කරනු වස් ඒකාබද්ධ හිමාල කමිටුවෙන් කරනු ලැබූ ආරාධනාවක් මතය.
මීළඟ වසරේදී සිදු කිරීමට නියමිත එවරස්ට් තරණයට පෙර සූදානමක් ලෙස සිදු කෙරුණු “චෝ ඔයු” ගවේෂණය වෙනුවෙන් වෛද්‍ය පග් විසින් මාස ගණනක් පුරා සිදු කරන ලද කැපවීම් සියල්ල දියට කැපූ ඉනි මෙන් නිෂ්ඵල වන ලද්දේ කිසිදු එකමුතුභාවයක් නොතිබුණ ගවේෂණ කණ්ඩායම
කඳු මුදුනට ළඟා වීමට අපොහොසත් වූ හෙයිනි. විද්‍යාත්මක න්‍යායන් පිළිගැනීමට මැලිවූ ගවේෂකයන් වෛද්‍ය පග් විසින් ඉදිරිපත් කළ නිර්දේශයන් අනුගමනය කිරීම්ද ප්‍රතික්‍ෂේප කිරීම එම අසාර්ථකත්වයට හේතු වුවද ඉහළ උන්නතාංශවලදී ඔක්සිජන් සැපයුමේ ඇති ඵල ප්‍රයෝජන පමණක් නොව, ඒ සම්බන්ධයෙන් වසර ගණනාවක් මුළුල්‍ලේ කඳු නගින්නන් විසින් සිදු කළ පැමිණිලිවල සත්‍යතාවද තහවුරු කර ගැනීමට මෙම ගවේෂණයේදී පග්ට හැකිවිය.
ඔක්සිජන් භාවිතයෙන් ලැබෙන සියලු වාසි ඔක්සිජන් ටැංකි ඉහළට ඔසවාගෙන යාමට දැරිය යුතු අධික පරිශ්‍රමය හේතුවෙන් අවලංගු වී යන බවට කඳු නගින්නන් විසින් නොයෙක් වර සිදු කළ පැමිණිලි කෙතරම් සාධාරණදැයි අත්දැකීමෙන් අවබෝධ කොට ගත් පග් අඩු බරැති මෙවලමක් ආධාරයෙන් මිනිත්තුවකට ඔක්සිජන් ලීටර හතර බැගින් කඳු නගින්නෙකුට ආශ්වාස කිරීමට ලබා දීමේ වැඩපිළිවෙළක් සැකසීය.
මීළඟ වසරේදී එවරස්ට් තරණය සඳහා කිසිවක් අමුතුවෙන් සැලසුම් කිරීමට අවශ්‍ය නොවූ අතර ගවේෂණ කණ්ඩායම් නායක කර්නල් හන්ට් විසින් ඉදිරිපත් කරනු ලැබූ ගවේෂණ සැලසුම් ලේඛනයේ සෑම පිටුවකින්ම ඒ සාර්ථක කර ගැනීම සඳහා වෛද්‍ය පග් වෙතින් ලැබුණු අනුබලය පැහැදිලිව පෙන්වා දී තිබිණි. පග් විසින් උපදෙස් දුන් පරිදි, මිනිත්තුවකට ඔක්සිජන් ලීටර හතර බැගින් පරිභෝජනය කිරීමේ වැඩපිළිවෙළත්, ඉහළ උන්නතාංශවල පාරිසරික හා දේශගුණික තත්ත්වයන්ට කඳු නගින්නන් අනුවර්ථනය කිරීමේ සති හතරක විශේෂ වැඩසටහනත්, මෙන්ම ෙදෙනික තරල පරිභෝජන සැලසුමක් හාන්ට් විසින් ක්‍රියාත්මක කරන ලද්දේ පග් වෙත පූර්ණ විශ්වාසය තබමින් මිස තමන් ලද කිසිදු අත්දැකීමක් පදනම් කර ගනිමින් නොවේ.
ශරීරය විජලනයට ලක්වීම හේතුවෙන්, ශරීරය තුළ රුධිරය මගින් සිදු කෙරෙන ඔක්සිජන් පරිවහනය අඩාල කෙරෙන බවට වෛද්‍ය පග්ට හැර ඒ වන විට අන් කිසිවෙකුට හෝ හරිහැටි අවබෝධයක් නොවීය. යුද සමයේදී පග් විසින් නිර්මාණය කළ මිදුණු හිම ද්‍රව බවට පත් කළ හැකි විශේෂිත උඳුන මෙන්ම සතියේ එක් එක් දිනය සඳහා ඔහු විසින්ම සැලසුම් කරන ලද කලින් පිසින ලද එකිනෙකට වෙනස් ආහාර වට්ටෝරුද එවරස්ට් තරණය සඳහා ඵලදායී ලෙස යොදා ගැනිණි.
කඳු නගින්නෙකු සඳහා අවශ්‍ය වන කිසිදු සාධකයක් පග්ගේ විමසුම් සහගත ඇසට හෝ තාර්කික බුද්ධියට මගහැරී ගියේ නැත. ඔහු විසින් නිර්මාණය කළ අඩි විසිදහසක උසකදී පැළඳිය හැකි ක්ෂුද්‍ර ෙසෙලීය රබර්වලින් තැනුණු සැහැල්ලු පාවහන්වල අඩිය, සාමාන්‍යයෙන් කඳු නැගීම සඳහා භාවිතා කෙරෙන බූට් වර්ගයේ පාවහන්වල අඩියේ ඝනත්වයෙන් හරිඅඩක් වූවාසේම, එමෙන් තෙගුණයක් පරිවරණයට ලක්වූවක්ද විය
. සුළඟට ප්‍රතිරෝධී නව කපු හා නයිලෝන් මිශ්‍රිත කඳු නගින්නන් වෙනුවෙන්ම නිර්මාණය කරනු ලැබූ විශේෂිත ඇඳුම්වලට බොත්තම් වෙනුවට සිප් යෙදීමටත් අතිරේක සාක්කු යෙදීමටත්, සැලකිලිමත් වූ පග් විසින් නිර්මාණය කළ එම ඇඳුම් කට්ටල මීට පෙර භාවිතාවූ ඒවාට වඩා සාපේක්ෂව සැහැල්ලු වීමද සැලකිය යුත්තකි. මීට අමතරව කඳු නගින්නන් විසින් භාවිතා කරන්නාවූ කූඩාරම්, නිදන බෑග් ආදියේ වෙනස්කම් සිදු කිරීමටත්, අඳුරු පැහැ ඇස් ආවරණ හා පැළඳීමට හිරු එළියෙන් ආරක්ෂාව සපයන ආලේපන (ඉභදජපඥචථ) ගැල්වීමටත් පග් විසින් නිර්දේශ කොට තිබිණි.
කඳු නගින්නන්ගේ ආරක්ෂාව හා සුවපහසුව තහවුරු කරනු වස් කෙතරම් ඇප කැප වුවද ඔවුන් වෙතින් වෛද්‍ය පග්ට හිමිවන ලද්දේ සුබවාදී ප්‍රතිචාරයක් නම් නොවේ. ගවේෂණ කණ්ඩායමක් සමග විද්‍යාඥයෙකු ගමන් කිරීම අපුලකින් යුතුව හෙළා දැකීමට මුලදී ඔවුහු ඉක්මන් වුවද, ක්‍රම ක්‍රමයෙන් කඳු මුදුන වෙත ළඟා වන කල්හි ලද අත්දැකීම් ඇසුරින් වෛද්‍ය පග්ගේ නිර්දේශයන් කෙතරම් අවස්ථාවෝචිතද යන්න වටහා ගැනීමත් සමග
, එම අප්‍රසාදය හද පිරි කෘතඥතාවක් බවට පරිවර්තනය වී තිබිනි. ගවේෂණ චාරිකාව සඳහා පග් විසින් හැඳි ඇඳුම වන නිල් පැහැති රාත්‍රී පිජාමා ඇඳුම් කට්ටලයත්, කුඩය හා තොප්පියද පිරිසේ සෙස්සන්ගේ අවඥාවට ලක්වුවද පග්ගේ අවවාදයන් නොතකා හැරි “චාල්ස් වයිලී” වැන්නවුන්ට දැඩි හිරු එළියෙන් දරුණු ලෙස පිළිස්සුම් තුවාල ලැබිමට සිදුව තිබූ බව ගවේෂණ කණ්ඩායම් සාමාජික “විල්ෆ්‍රඩ් නොයිස්ගේ වාර්තාවේ සඳහන්වේ
.
1953 මැයි 23 දින, එවරස්ට් තරණයේ නියැළුණු එඩ්මන්ඩ් හිලරි, ටෙන්සිං නෝර්ගේ ප්‍රමුඛ සමස්ත ගවේෂණ කණ්ඩායමටම එවරස්ට් කඳු මුදුන ජය ගැනීමේ විජයග්‍රහණයේ ජයපැන් බිමට වරම් හිමි වූ දිනයක් වූයේ වෛද්‍ය පග්ට පින්සිදු වන්නටය. එවන් වෙහෙසකර භාරදූර ගවේෂණ චාරිකාවක නිරතවූ අයෙකු වෙතින් සාමාන්‍යයෙන් පළ විය හැකි අන්දමේ කිසිදු උපද්‍රවයකට ලක් වූ බව කියැවෙන ලකුණක සේයාවකුදු නොමැතිව යළිත් ගවේෂණ කණ්ඩායම වෙතට පැමිණි හිලරි හා ටෙන්සිං ලද ජයග්‍රහණය, පග් හට නම් එක්තරා ආකාරයක බලාපොරොත්තු කඩ වීමක්ද විය.
ඒ බව ඇසීම පුදුමයට කරුණක් වුවද ගවේෂණයේ සාර්ථකත්වය සම්බන්ධයෙන් පග් කිසියම් දොම්නසකින් පෙළෙන ලද්දේ කිසිදු බාධකයකින් තොරව සාර්ථක වූ එබඳු ගවේෂණයකින් කායික විද්‍යාත්මක වශයෙන් සිදු කළ හැකි අනාවරණයන් අවම වන නිසා බව වෛද්‍ය පග් විසින්ම සම්පාදනය කරන ලද ලේඛනයන්හි ඇතුළත්ය.
නමුත් එවරස්ට් තරණය ජය ගැනීමේ පිටුපස සැඟවුණු ඛිෙදනීය සත්‍ය නම් එහි සාර්ථකත්වය වෙනුවෙන් දිවි හිමියෙන් කැප වූ වෛද්‍ය පග් හට ඒ වෙනුවෙන් කිසිදු ආකාරයක උපහාර පිදීමක් හෝ ඔහුව අගයනු ලැබිමක් හෝ සිදු නොවීමයි. මේ සියලු නොසැලකීම්වලටත් වඩා පග් හට සිදු වූ ප්‍රබලම අසාධාරණය වන්නේ ගවේෂණයේ සාර්ථකත්වයට විද්‍යාවෙන් ලද සැබෑ පිටිවහල හෙළි කරන ලැබුවහොත් ඉන් එම දැවැන්ත ජයග්‍රහණය ලැබිමට මුල්වූවන්ගේ වීරත්වය ඉන් බාල්දු කරනු ලැබිමකට ලක්වේ යැයි බිය වූ කර්නල් හන්ට් විසින් පග්ගේ න්‍යායාත්මක නිර්දේශයන් ගවේෂණ වාර්තාවෙන් ඕනෑකමින්ම ඉවත් කරලීමයි. පසුකලෙකදී හන්ට් විසින් “ඹ්ඪටඥ ඪඵ ථඥඥබඪදඨ” ලෙස රචනා කරනු ලැබූ සිය ස්වයං චරිතාපදානයෙන් තමා නිසා වෛද්‍ය පග්ට සිදු වූ අසාධාරණය හෙළි කර සිටීමට ඔහු පෙළඹුණද එවරස්ට් තරණය ජය ගැනීම සඳහා වෛද්‍ය පග් විසින් වේදිකාවෙන් පිටුපස සිට ලබා දුන් දායකත්වය මුළුමනින්ම අමතකව ගියේ නැත.
කර්නල් හන්ට් විසින් එවරස්ට් තරණය අළලා සම්පාදනය කළ කෘතියේ උපග්‍රන්ථයට ඇතුළත් වීමට වරම් ලැබූ වෛද්‍ය පග්ගේ ඔක්සිජන් හා ආහාර පරිභෝජනය ශරීරය විජලනයට ලක්වීමෙන් වළක්වා ගැනීම, දැඩි ශීතලට මුහුණ දීමේ උපක්‍රමයන් පිළිබඳ නව හෙළිදරව් කිරීම් ලොව පුරා සිටින කඳු නගින්නන් විසින් දැඩි උනන්දුවෙන් යුතුව කියවනු ලැබුවේ එවරස්ට් තරණයේ වීරයන් වූ එඩ්මන්ඩ් හිලරි හා ටෙන්සිං නෝර්ගේගේ විජයග්‍රාහී චාරිකාව කියවූ තරම්ම උදේයා්ගයකිනි.
එවරස්ට් කඳු මුදුන ජය ගැනීමෙන් පසුව ගෙවුණු තෙවසරක කාලය තුළදී ලෝකයේ වන සෙසු උසැතිම කඳු ජය ගැනීමටද මිනිසා සමත් වූයේ වෛද්‍ය පග් විසින් මීට හැට එක් වසරකට පෙරදී ලොව හමුවේ තැබූ කඳු නැගීම පිළිබඳ එම න්‍යායාත්මක වූ මූලධර්මයන් පදනම් කර ගනිමිනි.
රුක්ලන්ති පෙරේරා