facebook page

Powered by Blogger.

Blogger templates


ජීවිතය මහා පෙරළියක්. දුක, සතුට තුළ ඒ මේ අතට අපේ ජීවිතය හැරෙන්නේ අපි නොහිතපු, නොපතපු වෙලාවලදී කියලා ඔබට දැනිලා ඇති. නමුත් දුක, සතුට තුළ දෝලනය වන ජීවිතය තුළ අපි වැඩිපුර හෙව්වේ සතුට. අපි සොයා ගියපු සතුට විටෙක ලැබුණා. ඒත් එය සදාකාලික සතුටක් විදියට අපේ ජීවිතය තුළ හිර කර ගන්න බැරි වුණා. ඒ අතරේ සදාකාලික නිවීමක් සොයා යන බුද්ධ පුත්‍රයන් මේ මිහිකත තුළ යම්කිසි සතුටක් ජීවිතයේ කොටසක් ලෙස අත්කරගෙන සිටිනවා. මේ එවන් බුද්ධ පුත්‍රයකුගේ වදන් වැල්.

නම : එරියාවේ මංගල හිමි
ගම : වයඹ පළාතේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ එරියාව කියන ගමේ තමයි මම ඉපදුණේ.
පාසල : එරියාව කනිෂ්ඨ විද්‍යාලයේ තුන වසර දක්වා ඉගෙනුම ලැබුවා.
පවුලේ විස්තර : අම්මයි, අයියයි, අක්කයි, නංගියි ඉන්නේ. තාත්තා මම පුංචි කාලෙම නැති වුණා.

පැවිදි වුණේ වයස අවුරුදු කීයෙදිද?

අවුරුදු නවයෙදි.

පැවිදි වුණේ ඇයි?

පුංචි කාලේ මට පැවිදි වෙන්න ආසාවකුත් තිබුණා. නමුත් මම ඉපදිච්ච දවස්වල මගේ කේන්දරය බලලා අපේ කිරි අත්තා කියලා තියෙනවා මම මහණ වෙනවා කියලා. ඒ වෙලාවෙම මාව මේසේ උඩ තියලා කිරි අත්තා මට වැඳලා තියෙනවා. ඒ සිද්ධිය වෙලා තියෙන්නේ අවුරුද්දක් වගේ කාලයෙදි ඒ සිද්ධිය මට මතක නෑ. ඒත් අම්මා ඒ සිද්ධිය තාම මතක් කරනවා. ඒ නිසා මටත් මහණ වෙන්න ආසාවක් තිබුණා. ඔය අතරේ මගේ අයියා පළල්ල පන්සලේ පිරිවෙන් ඉගෙන ගන්න කොට ලොකු හාමුදුරුවෝ කියලා තියෙනවා මහණ කරන්න කවුරු හරි හොයා දෙන්න කියලා. අයියා ගෙදර ඇවිත් කිව්වම මම කිව්වා හා එහෙනම් මම යනවා කියලා. අම්මා මට දෙපාරයි ගහලා තිබ්බේ. අවසන් වතාවට එදා අම්මා මට ගැහැව්වා. කොහොම හරි අයියා නිවාඩුවට ගෙදර ඇවිත් ඉඳලා යනකොට මමත් එනවා කියලා මමත් යන්න ලෑස්ති වුණා.

මහණ වෙන්න එන ගමනට ගෙදර අය කැමැති වුණාද?

කිරි අම්මා කිව්වා පුංචි කාලේ ඉඳන් තිබ්බ ආසාවනේ, කිරි අත්තත් බලාපොරොත්තුවෙන් හිටිය නම් මහණ වුණාට කමක් නෑ කියලා. පන්සලට ගිහින් ටික දවසක් ඉඳලා ආසාව නැති වෙලා ආයෙම ඊළඟ නිවාඩුවට එයි කියලා හිතන් හිටියා. කුරුණෑගල බළල්ල කිඹුල්ගිරි රජමහා විහාරයේ තමයි මම පැවිදි වුණේ. පන්සලට ආවට පස්සේ පන්සලට ආසා හිතුණා. අම්මත් ඒකට විරුද්ධ වුණේ නැහැ.

සහෝදර සහෝදරියො අතැහැරලා එන්න දුක හිතුණේ නැද්ද?


මාත් එක්කම අයියා පන්සලේ හිටපු නිසා, අයියත් එක්ක ඉගෙන ගත්ත නිසා පාළුවක් දැනුණේ නැහැ.
ගිහි ජීවිතේදි ඔබ වහන්සේ මොනවගේ චරිතයක්ද?

පුංචි කාලේ ඉඳන් මම බය චරිතයක් නෙවෙයි. හැබැයි දඩබ්බර චරිතයක් නෙවෙයි. හැමෝම ගරු කරනවා. මොකද මගේ කතා විලාසය වුණත් සංවර බවක් තිබුණා. ඒක සංසාරේ අරන් ආපු දෙයක් වෙන්න ඕන. ඒත් එක්ක හැමෝම මට ආදරය කළා. ඒ වගේම ඒ කාලේ ඉස්කෝලේ ඇරිලා ආපු ගමන් බෑග් එක පැත්තකට විසික් කරලා කලිසන් කොටේ පිටින්ම පිට්ටනි ගාණේ, වෙල් ගාණේ ඇවිදලා, දුවලා පැනලා විනෝදයෙන් තමයි හිටියේ. අධ්‍යාපනය පැත්තට වැඩි නැඹුරුවක් නොතිබ්බත් හැමදාම පන්තියේ තුන්වැනියා වුණා. මට වඩා හොඳට ඉගෙන ගත්ත අය ඉන්නවා. ඒ අයට විශ්වවිද්‍යාලයට යන්න බැරි වුණා. මම විතරක් මෙහෙට ආපු නිසා විශ්වවිද්‍යාලයට ගියා.

ගිහි ජීවිතේ හිටියා නම් අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කර ගන්න බැරි වෙයිද?


මට මහණ වෙන්න සසරේ පින තිබුණු නිසා සමහර විට මට ගෙදර හිටියත් ඉගෙන ගන්න තිබුණා. නමුත් ගොඩක් දුරට මම විශ්වාස කරන්නේ මහණ වුණ නිසා තමයි මට මෙච්චර අධ්‍යාපනයෙන් ඉදිරියට යන්න පුළුවන් වුණේ.

පැවිදි වෙන මොහොතේ මොනවගේ හැඟීමක්ද දැනුණේ?

මට හරිම ආඩම්බරයක් දැනුණා. පුංචි කාලේ ඉඳන් කාටවත් බය නෑ කියලා තිබ්බ ගතිය තවත් වැඩි වුණා. මොන දේ නැති වුණත් මට සිවුර තියෙනවා කියන ආත්ම විශ්වාසය මට තියෙනවා. මොකද මම ඒ සිවුරට ගරහලා නෑ. ඒ නිසා එදා ඉඳන් මම ජීවිතයට සිවුරට කැමැතියි.

පැවිදි වෙන්න හැමෝටම බෑ. එසේ නම් කෙනෙක් පැවිදි වෙන්න මොනවගේ හේතුවක්ද බලපාන්නේ?

පින තමයි මීට බලපාන්නේ. සමහරු හඳහනේ තියෙනවා කියලා පැවිදි වෙනවා. ඒත් ටික කාලයක් ඉඳලා සිවුර දාලා යනවා. සමහරු ඉගෙන ගන්න බලාපොරොත්තු තියාගෙන සිවුරේ රැඳිලා ඉන්නවා. නමුත් ඔය කොයි හේතුව වුණත් පැවිද්ද තුළට ඇවිත් එහි රැඳිලා ඉන්න පින තමයි හේතු වෙන්නේ.

පින තිබිලා සිවුරට එන සමහරු සිවුරු ඇරලා යන්නේ ඇයි?

පන්සල්වල, ගෙවල්වල ප්‍රශ්න සිවුරු ඇරලා යන්න බලපානවා. පුංචි කාලේ ආසාවට සමහරු මහණ වෙනවා. නමුත් පිරිමි ළමයෙක් ගෙදර නැති වුණාම ගෙදරින් කතා කරනවා පිරිමි දරුවෙක් නැති නිසා ගෙදර එන්න කියලා. ඒ වගේම පැවිදි වෙලා නිවාඩුවට ගෙදර ගිහින් පුංචි කාලේ යාළුවොත් එක්ක හිටපු ජීවිතේම ගත කරනවා නම් එයාට සිවුරු හැරලා යන පරිසරය හදා ගන්න ලේසියි. මොකද ඒ කෙනාගේ පැවිදි ජීවිතයයි, ගිහි ජීවිතයයි අතර වෙනසක් නෑ.

පවුලේ අය බලන්න යනවද?

අවුරුද්දකට එක පාරක් හෝ දෙපාරක් වගේ යැවෙනවා. ඒ ගියත් උදේ ගිහින් හවස එනවා. නැත්නම් හවස ගිහින් පහුවදා උදේ එනවා. වෙන බැඳීමක් නෑ ගෙදරත් එක්ක.

පවුලත් එක්ක ගැටෙන කොට ගෙදර නවතින්න බලපෑම් ඇවිත් නැද්ද?

මේ ජීවිතයට මට මුලින්ම අඩිතාලම දාලා දුන්නේ මගේ අම්මා. මම මහණ වෙන කොටත් අම්මා හෙදියක් විදියට කටයුතු කළා. පවුල් පසුබිම තුළ මට බරක් කර දරන්න වුණේ නෑ. එදා ඉඳන් නැති බර මම දරන්න ගියෙත් නෑ. ඒ නිසා මට පැවිද්දෙන් එන්න කියලා ගෙදරින් කවදාවත්ම බලපෑම් ආවේ නැහැ.

නිදහස හොයාගෙන යන මිනිසුන්ට ජීවිතයේ උපරිම නිදහස සොයා ගන්න පුළුවන්ද?

අපි හැමදාම ඉන්නේ ටික කාලයයි. බැඳීම්වලින් අයින් වුණ තැන කෙනෙක්ට නිදහසක් ලබන්න පුළුවන්. එය මානසික අත්හැරීමක් විය යුතුයි. මට දැන් ඒ නිදහස තියෙනවා. මොකද මට ගෙදර ගැන හොයන්න දෙයක් නෑ. ගෙදර අය එක්ක වැඩිදුර සම්බන්ධතාව මම ගොඩනඟාගෙන නැහැ. ඒ දේ මම අම්මටත් පුරුදු කරනවා. මම කවදා හරි මේ භව ගමනෙන් මිදෙනවානේ. මට ඒ තැනට අම්මවත් අරන් යන්න පුළුවන් නම් මම එතැනයි නිදහස ලෙස සලකන්නේ.

මට ඒ දේ ලැබුණේ බුදු දහමින්. මානසිකව කෙනෙක්ව අත්හරින්න හැකි වුණේ බුදුදහම නිසාමයි. මම මහණ වෙලා දැන් අවුරුදු දහඅටක් වෙනවා. පුංචි කාලේ ඉඳන්ම ධර්මයත් එක්ක ඉඳීම තුළ මට මේ නිදහස අත්විඳින්න හැකිවුණා.

ගිහියෙක්ට බුදුදහම ඇසුරු කළ පමණින් මානසික බැඳීම් අතහරින්න පුළුවන්ද?


මූලික වෙන්නේ අවශ්‍යතාව. අවුරුදු හැත්තෑවක් ගිය කෙනෙක්ගෙන් ඇහුවොත් පැවිදි වෙන්න කැමැතිද කියලා ඒ කෙනා තාම පැවිදි වෙන්න කැමැති නෑ. බැඳීම් අයින් කරන්න උත්සාහ කරන්නෙ නෑ. උත්සාහ කළොත් ඒ දේ කරන්න ඕනම කෙනෙක්ට පුළුවන්.

කෙනෙක් තව කෙනෙක්ගේ ආරක්ෂාව පතන්නේ ඇයි?


ගිහි ජීවිතයක් ලෙස තනියෙන් සිටීම බුදු හාමුදුරුවොත් අගය කළේ නැහැ. කෙනෙක්ට තනියෙන් ජීවත් වෙන්න බෑ කියලා හිතෙනවා නම්, ඒක තමන්ගේ තියෙන දුර්වලකමක්. මට හැකියි කියන දේ හිතට ගත්තේ නැත්නම් හැම වෙලාවෙම පරාජය වෙනවා. අනෙකාගේ පිහිට බලාපොරොත්තු වෙනවා.

පැවිද්දකුටත් යම් කෙනෙක්ගේ රැකවරණය අවශ්‍යද?

ඔව්. මම ඉන්නේ ලොකු හාමුදුරුවො ළඟ. මම පුංචි කාලේ අසනීප වුණාම ලොකු හාමුදුරුවෝ මට උණු වතුර, දාන ටික, බෙහෙත් ටික ළඟට ගෙනත් දුන්නා. දැන් මගේ ලොකු හාමුදුරුවන්ට අවුරුදු අනූවක් වෙනවා. ඒ නිසා ලොකු හාමුදුරුවන්ට ඒ දේවල් කරන්න බෑ. දැන් මම ලොකු හාමුදුරුවන්ට ඒ දේවල් ඉෂ්ට කරනවා. හැබැයි ලොකු හාමුදුරුවෝ එක්ක මගේ බැඳීමක් නෑ. ගුරුවරයා කියන තැන ඉඳන් මගෙන් ඉටු විය යුතු යුතුකම් ඉටු කරනවා මිසක් ඊට එහා ආත්ම ගාණක් ගෙනයන බැඳීමක් මම එකතු කර ගෙන නෑ.

බුදුදහම කියන්නේ පිළිපැදිය යුතු දහමක්ද? අවබෝධ කරගත යුතු දහමක්ද?


මම හිතන්නේ පිළිපැදීමයි. අවබෝධයයි දෙකම තියෙන්න ඕන. මම නිතර දෙවේලේ භාවනා කරන හාමුදුරු කෙනෙක් නෙවෙයි. ඒත් මම හිතන්නේ අවබෝධය ජීවිතයේ ඇති කර ගන්න පිළිපැදීමක් අවශ්‍යයි.

යමක් පිළිපැදීම නිසාම එම පුද්ගලයා අවබෝධයකින් ජීවත් වෙන කෙනෙක්ද?


පුංචි ළමයෙක් පන්සලට එන්නේ කිසිම අවබෝධයක් නැතිවනේ. මල් ටික තියලා සාදු කියනවා මිසක් එතැනින් එහාට පින පව පිළිබඳ ලොකු අවබෝධයක් එයාට නෑ. හැබැයි ඒ හුරුව තමයි වැඩිහිටියෙක් වුණාම අවබෝධයෙන් කටයුතු කරන්න වැදගත් වෙන්නේ. අපේ මහණ ජීවිතේ වුණත් එහෙමයි. ලොකු හාමුදුරුවෝ කිව්ව නිසා අතු ගානවා. අවබෝධයක් නෑ. කරදරයක් විදියටයි ඒ දේවල් දැක්කේ. නමුත් පසුකාලීනව ඒ දේවල් ගැන අවබෝධ වෙනවා. බුදු හාමුදුරුවොත් දේශනා කර තිබෙනවා වත් සම්පූර්ණ නොකරන කෙනා තුළ සීලය සම්පූර්ණ වෙන්නේ නැහැ. ඒ නිසා පිළිපැදීම් තුළින් අවබෝධයක් ලබා ගන්න පුළුවන්.

අද සමාජයේ ඉන්නේ පිළිපැදීමෙන් අවබෝධයට යන පිරිසක්ද?


ගොඩක් අය පිළිපැදීමෙන් අවබෝධය ඇති කරගත්තත් එය ස්ථිර නැහැ. ගොඩක් අය පන්සල් එන්නේ තමන්ගේ අවශ්‍යතාව ඉටු කර ගන්න විතරයි. අවබෝධයෙන් එන්නේ සීමිත පිරිසක් විතරයි.

මිනිස්සු තමන්ට වරදින තැන් ගැන ගොඩක්  කතා කරනවා. මෙච්චර මිනිසුන්ට ජීවිතය වරදින්නේ ඇයි?

අපිටත් ජීවිතයේ වැරැදිලා තියෙනවා. සමහරවිට යම් ප්‍රශ්නයක් දිහා දුරින් නොබැලීම සහ උත්සාහය නැති වීම තමයි වරදින්න බලපාන්නේ. වරදිනවා කියන්නේ පරදිනවා නෙවෙයි. වැරැදීම කියන්නේ තවත් උත්සාහයක්. ඒ උත්සාහය තියාගෙන යන කෙනාට දෙපාරක් තුන්පාරක් වරදින්න පුළුවන්. එතැනින් එහාට වරදින්නේ නැහැ.

තරුණ පරම්පරාව ආදරය ගැන නිවැරැදි අවබෝධයකින්ද ඉන්නේ?


ආදරය කියලා මේ යන රැල්ල වැරැදියි. තමන් තව කෙනෙක් ගැන හිතනවට වඩා තමන්ගේ ජීවිතේ ගැන ඊට වඩා හිතන්න ඕන. ඒ තමන් ආදරය කරන කෙනා නෙවෙයි. තමන්ගේ ජීවිතය තරුණ වයසේ ආදරය ඇති වෙනවා. ඒක පහු කරන්න බැහැ. අවුරුදු දහඅට දහනවය වෙනකල් ඔය මානසික තත්ත්වයෙන් මිදෙන්න බෑ. පුංචි කාලේ මටත් ආදරේ ඇතිවෙලා තියෙනවා. හරි මඟ කියා දුන්නාම අපි හරි මඟ තේරුම් ගත්තා. දරුවන් මේ යන රැල්ල වැරැදියි කියලා, කියලා දෙන්න කෙනෙක් නැහැ. ඒකට මවුපියෝ වගකිව යුතුයි. බොහෝ කාලයක් මවුපියෝ යටතේ හැදෙන දරුවා කාවද ආශ්‍රය කරන්නේ කියලා මවුපියෝ හොයන්න ඕන. තරුණ වයස වැරැදි කරන වයස. ආදරයෙදි වුණත් ඒ වැරැදි කරනවා. ඒ නිසා මේ හැම දෙයටම හරි පාර පෙන්වීම මවුපියන්ගේ වගකීමක්.

ගිහි ජීවිතයට සාපේක්ෂව මේ ජීවිතයෙදි ඔබ වහන්සේ ලබන සැනසීම?


ඒ සැනසීම මහණ වුණ දවසේ ඉඳන් අද වෙනකල් තියෙනවා. ජීවිතයේ ප්‍රශ්න තියෙනවා. ඒත් ඒවා ගැන හිත හිත ඉන්නෙ නෑ. පසුතැවෙන්නෙත් නෑ. මම ජීවිතයේ ලබපු උතුම්ම සැපත විදියට පැවිදි ජීවිතය මම සලකනවා.

තරුණ පරම්පරාවට දෙන පණිවුඩය?

මොන දේ වුණත් අධ්‍යාපනය ලැබිය යුතුයි. ඒ වගේම අපි ටික කාලයයි ජීවත් වෙන්නේ. ඒ කාලේ ජීවත් වෙලා මැරෙන්න කිට්ටු වෙනකොට පන්සලට ඇවිත් වැඩක් නෑ. ළපටි පොල් ඉරට්ටක් නමන්න ලේසියි. ඒ නිසා තරුණ කාලේ ආගම දහමට ළැදි විය යුතුයි. සක්මන් කරන ගිහියෙක් විය යුතු නැහැ. පන්සිල් ආරක්ෂා කරගෙන තමන් වටේ සිටින අයත් ඒ මඟට අරගන්න තරුණ පිරිසක් හැදීමයි වැදගත් වෙන්නේ.

තිළිණි කෞශල්‍යා විජේසිංහ

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery