ඉතිං වසන්ත අයියේ කොහොමද තොරතුරු . . . 

කියන්න තරම් වරදක් නැහැ. ඒත් මේ දවස්වල පොඩ්ඩක් මම අසනීපෙන් ඉන්නේ. කතා කරන්නත් අමාරුයි. ඒත් සුපුරුදු වැඩ ටික කරගෙන යනවා. අවුරුද්දට ගම් පළාතේ යන්න තමයි ඉන්නේ. ඒත් තවම වැඩ නිසා ලොකු සූදානමක් නම් නැහැ. ඇත්තටම ගමේ යනවා කියන්නේ මගේ මේ තියෙන අසනීපෙ තවත් වැඩි වෙන වැඩක්. මොකද ගමේ ගියොත් හැම ගෙදරකටම ගොඩ නොවී බැහැනේ. ඒ යන හැම ගෙදරකින්ම කැවුම් ගෙඩියක්, තේ එකක් නොබී එන්න බැහැ. දවල්ට ගියොත් කාලම තමයි එන්න ඕනෑ. එහෙම නොවුණොත් අපේ තියෙන නෑ හිතවත්කකම් පවා නැති වෙනවා. ඒ ඛ්යන්නේ අපේ සම්බන්ධතාවය සුහදත්වය පෙන්වන දෙයක් තමයි අවුරුද්ද. අවුරුද්දකට සැරයක් හරි ගොඩ වෙලා එන ඒ ගෙදරකින් තේ එකක් නොබී එන්න බැහැනේ.

ඔබ වඩාත් ජනප්‍රියත්වයට පත් වුණේ කෘෂිකාර්මික වැඩසටහන් ඔස්සේ. ඒකට විශේෂ හේතුවක් තියෙනවාද?

මම මුලින්ම රූපවාහිනී වැඩසටහන් සඳහා සම්බන්ධ වුණේ ඒකාකාරී රාමුවකට කොටු වුණු සරල වැඩසටහන්වලට. තරු හමුව වැනි වැඩසටහන්වලින් මිදෙන්න මට වුවමනාව තිබුණා. එහි ප්‍රතිඵලයවක් හැටියට තමයි ‘කමත’ පටන් ගත්තේ. ඒ වැඩසටහන් සමඟ තමයි මට සීල් එක වැදුනේ දුකා කමතට තමයි ගැළපෙන්නේ කියලා. හැබැයි මම මේ සියලු වැඩ කරන්න කලින් මුද්‍රිත මාධ්‍යයට සම්බන්ධ වෙලයි හිටියේ. මම අනුරාධපුරෙන් කොළඹ ආවේ කැම්පස් යන්න. ඒ කැම්පස් යන කාලේ මම රාවයට ලිව්වා. පස්සේ යුක්තිය වගේ පත්තරවලට ලියන්න පටන් ගත්තා. ඒ හරහා තමයි මට විද්‍යුත් මාධ්‍යයට එකතු වෙන්න අවස්ථාව ලැබුණේ.

ඔබ විද්‍යුත් මාධ්‍යයට සම්බන්ධ වෙලා දැන් දිගු කාලයක් වෙනවානේ. ඔය කාලයේ ලැබූ අත්දැකීම් මොන වගේද?

මට විද්‍යුත් මාධ්‍ය හරහා මුලින්ම ලැබුනේ සජීවි වැඩසටහන් කරන්න. අපි තමයි මුලින්ම රාජ්‍ය නාට්‍ය උළෙල සජීවීව ආවරණය කළේ. ජැක්සන් ඇන්තනී මහතා තමයි මට ඒ සඳහා උපදෙස් දුන්නේ. එක දවසක් නාට්‍ය උළෙලකදී සුගතපාල ද සිල්වා මහත්තයා සමඟ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. මට ඕනෑ වුණා කොර වෙන ප්‍රශ්නයක් අහන්න. ඒ කාලේ නාට්‍ය කලාව අවරට යන කාලයක් නිසා මම ඒ ගැන ඔහුගෙන් ඇහැව්වා ඒකට විසඳුම මොකක්ද කියලා. ඔහු එක පාරටම කව්වා වසන්ත . . . මම ඒකට විසඳුම දන්නවා නම් කිය කියා ඉන්නේ නැහැනේ. ඒකට පිළියමක් කරනවානේ. ඇත්තටම ඕක මගෙන් අහන්න ඕනේ ප්‍රශ්නයක් නොවෙයි කියලා. ඇත්තටම ඒ කතාවෙන් පස්සේ මම තේරුම් ගත්තා අපි අහන ප්‍රශ්න ඉතාම කල්පනාකාරීව අහන්න.

තවත් දවසක මට ඔය වගේම සිද්ධියක් වුණා. සජීවි වැඩ සටහනක් කරගෙන යද්දී මම දැක්කා සයිමන් නවගත්තේගම මහත්තයා එම ස්ථානයට එනවා. මගේ තිබුණු කලබලයට අත වනලා ඔහුට කතා කළා. නමුත් ඔහු ආවේ නැහැ. ආපහු දිව්වා. මට හිතාගන්න බැරි වුණා ඉන් පස්සේ මොකද වුණේ කියලා. ඇත්තටම මට අමතක වුණා මේ වගේ වැඩසටහනකට ඔහු වගේ ප්‍රවිණ ලේඛකයකුට කලින් සූදානමක් නැතුව අත වනලා කතා කරන එකේ වැරැද්ද.

වසන්ත අයියා ගමෙන් ආපු මාධ්‍යවේදියකු විදිහට ඔයාට සංවේදී අත්දැකීම් එහෙම ඇතිනේ?

මගේ ජීවිතයේ සංවේදීව දැනුණ දවස තමයි අම්මාගේ මරණය. මම මාධ්‍යයට ඇවිත් වැඩසටහනක ඉන්නවා අම්මාට ජීවතුන් අතර ඉන්න කාලේදී දකින්න ලැබුණේ නැහැ. ඒත් අම්මා නැති වෙලා හත් දවසේ බණ කියන මොහොතේදී තමයි මගේ මුල්ම නාට්‍ය ඉන්ගම්මාරුව රූපවාහිනිියේ විකාශය වුණේ. එදා බණ කීම නවත්තලා හාමුදුරුවෝ හැමෝටම කිව්වා මගේ නාට්‍ය බලන්න කියලා.

ඔයාට ආදරේට කවුරුත් කියන්නේ දුකා කියලා. ඔය නම හැදුණේ කොහොමද?

ඒකට විශේෂ හේතුවක් නැහැ. නමුත් මම ඉදිරිපත් කළ වැඩසටහන් එක්ක වසන්ත කියනවාට වඩා දුකා කියන නම ප්‍රසිද්ධ වුණා. ශූර ගොවියා, කමත වගේ වැඩසටහන් හරහා දුකා කියන නමත් හොඳින්ම ගැළපුණා. ‘රාළ, දුකා කියන නම ගොවි ජනතාව අතරට කොයි තරම් ගියාද කියනවා නම් දවසක් මොනරාගල පැත්තේ ප්‍රාදේශීය දේශපාලන නායකයෙක් මාව හොයාගෙන ආවා. ඒ පළාතේ තිබුණු වේල්ලක් හදන්නේ නැතුව ඉන්න කොට එක කාන්තාවක් ඇවිත් කියනවාලු මේ ඇනිකට් එක මාස දෙකකින් හැදුවෙ නැත්නම් ‘රාළ’ට කියලා හොඳ පාඩමක් උගන්වනවා කියලා. ඇත්තටම මේ මන්ත්‍රීවරයා එහෙම කරයි කියලා බය වෙලා ඇල හදලා මට කියන්නත් ආවා.

ඔබේ ඔය වැඩසටහන්වලින් ගොවියෝ අතරට යන්න පුළුවන් වුණේ කොහොමද?

එම වැඩසටහන්වල තිබෙන තාත්වික බවයි, ඉදිරිපත් කරන පුද්ගලයාගේ ආකර්ෂණීය බව ගොවි වැඩසටහන්වලට හේතු වෙනවා. අද නගුලෙන් ගොයම් පාගන ගොවියෝ නැහැනේ. අපි නවීන තාක්ෂණයත් සමඟ වැඩසටහන් සජීවි ලෙසින් මිනිසුන්ට ඉදිරිපත් කරන්න ඕනෑ. ඒකට හොඳම උදාහරණයක් තමයි මම කමත ‘සිරස’ කරන කාලේ ආවරණය වුණු කලාපය හරිම අඩුයි. ඒත් ඈත ගම්වල මිනිස්සු උණ ගස් දෙකක් බැඳලා ඒ වැඩසටහන බලනවා. අපි ඉදිරිපත් කරන දේ පැන්ටැසියක් නොවී රියැලිටියක් වීම තමයි ඒකට ප්‍රධානම හේතුව.

වසන්ත අයියගේ පවුලේ තොරතුරු එහෙම?

මගේ බිරිය මනෝජා. එයත් ශ්‍රී එෆ්. එම්. නාලිකාවේ මාධ්‍යවේදිනියක්. පුතා සඳලිඳු. දුව සඳපිණි. දෙන්නම ලයිසියම් ජාත්‍යන්තර පාසලේ ඉගෙනුම ලබනවා. අපේ කාර්යය බහුලත්වය නිසා නුගේගොඩ පදිංචි වෙලා හිටියට ගමේ ඇති සුන්දරත්වයට තමයි කැමැත්ත. එයින් ලැබෙන සතුට, සිසිලස, සුවඳ මේ කොන්ක්‍රිට් වනයේ කොහොම ලබන්නද?

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery