facebook page

Powered by Blogger.

Blogger templates

රජ සබයට ගිය බල්ලා




පන්සිය පණස් ජාතක පොතේ කුක්කුර ජාතකය ඇසුරෙන් ලියැවිණ. මෙහි බෝසත් බලු පතියා ය.


සුදු අශ්වයන් සිව් දෙනකු විසින් ඇදැගෙන ආ අලංකාර රිය මාළිගා අංගණයෙහි නතර කැරිණ. අශ්වයන් මුදා ලූ රථාචාර්ය තෙමේ රාජකීය රථය මාළිගා අංගණයෙහි ම තිබෙන්නට හැරියේ ය.

පසු දා පිබිදුණු නුවර වැසියනට ඉවසුම් නොදෙන දුගඳක් දැනිණ. නැහැ පුඩු හකුළුවාගනිමින් “මේ කුමක් දැ?” යි ඔවුහු විමසූ හ.

රාජකීය රථයේ අසුන්වල වූ සම් සහ සම්පටි ඉරී, කොට්ටාවල පුළුන් ඉවතට වැටී තිබිණ. දුගඳ නැගුණේ තෙමුණු සම් කැබැලිවලිනි.

‘මේ අපරාධය කළෝ කවුරු ද?’ රාජ උදහසින් අපට මිදුමක් නම් නැහැ.’ මුරකරුවෝ සිතූ හ.

සුවඳ දුමින් පිරුණු, සුවඳ දිය විසුරුණු, විසිතුරු කුටියෙක සැතැපී සිටි රජුට මේ දුගඳ නොදැනිණ. පිබිදුණු පසු ඔහුට ළං වූ කුමරියක් රියට වූ විපත හෙළි කළා ය.

ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රජු ඉදිරියේ පෙනී සිටියේ ය.

“රජතුමනි, රාජකීය රථයේ ආසන බල්ලන් විසින් වනසලා.”

“බල්ලන් විසින්?”

“එහෙමයි. ඊයේ රෑ වැස්සට රථයේ ආසනවල හම් සහ හම්පටි තෙමිලා - පෙඟිලා. දුගඳ හමන විට බල්ලන් පැමිණ ඒවා කාලා.”

රජු රිය නැරැඹුවේ ය. ඔහුගේ නැහැය ද හැකිළිණ. තෙත පුළුන් කුට්ටි සහ ඉරුණු සම් කැබැලි ඔහුට පෙනිණ.
“උදේ දැකිය යුතු දෙයක් නොවෙයි නුඹලා මට පෙන්නුවේ!” රජුගේ දත් සැපෙන හඬ ඇසිණ.
රාජ පුරුෂයෝ වෙවුලන්නට වූ හ.

“වහා ම මේ රථය වඩුවන්ට දෙනු. පිටිනුවර එක බල්ලකුත් ජීවත් ව සිටිනු මා දුටුව හොත් නුඹලාට ද ජීවත් වීමට ඉඩ නොලැබෙන බව දැනගනිව්! වහා ම, වහා ම පිටිනුවරට යව්! ඒ රාජ ද්‍රෝහීන් සමූල ඝාතනය කරව්!” රජ අණ නිකුත් විණි.

“ඒ අණ නිවැරැදි යි,” රජු පසුපසින් ආ පුරෝහිතයා ද කී ය.

රාජ පුරුෂයෝ දුනු-හී ද ගල්-මුගුරු ද ගෙන පිටිනුවරට දිවූ හ.

මේ රජ අණ නොදත් බල්ලෙක් බියෙන් සැකයෙන් තොර ව වීදිය දිගේ ගමන් කළේ ය. ඈත දිව එන රාජ පුරුෂයන් පෙනුණ ද ඌ ඔවුන් පිළිබඳ ව නො සිතී ය.

“අන්න රාජ ද්‍රෝහියෙක්!” රාජ පුරුෂයෙක් කෑගැසී ය.

බලු හිස මතට මහ මුගුරක් වැටිණ. හීන් කෙඳිරියක් නගමින් ඌ තවත් අඩි හත-අටක් දුරට ගියේ ය; පා පැකිළ වැටුණේ ය. යළි හිස එසවුණේ නැත.

“ඔන්න එක රාජ ද්‍රෝහියෙක් ඉවර යි!” මුගුරු පහර දුන් පුරුෂයා සතුටින් කෑගැසී ය.

යමක් කටින් ඩැහැගත් බලු පැටියෙක් පටු වීදියක් දිගේ දිව ගියේ ය.

“අන්න, අන්න රාජකීය රථයේ සම් කැබැල්ලක් ගෙන යනවා. පුංචි රාජ ද්‍රෝහියෙක්.” රාජ පුරුෂයෙක් ඇඟිල්ල දික් කළේ ය. හී සරයක් පුංචි බලු හිස සිදුරු කළේ ය. නැගුණේ මඳ කෙඳිරියක් පමණි. බලු පැංචා ඇද-වැටිණි. දෑස පියවිණි.

“බඩුත් එක්ක හොරු අහු වුණා.”

දුන්න ගත් පුරුෂයා බලු පැටියාට ළං විය. ඒ කුඩා මළ සිරුරු මුවෙහි වූයේ මස් කෑල්ලකි.

පැටියා සොයා ආ මව ඔහු නොදුටුව ද මුගුරු පහරකින් පරලොව දුටුවා ය.

පිටිනුවර මිනිස්සු කැලඹුණහ. තැන තැන වැටුණු බලු මළ සිරුරු පෙනිණ.

“මොකක් ද මේ බලු සංහාරේ?” ඔවුහු ඇසූ හ.

“රජ අණ - රජ අණ. ප්‍රශ්න කරන්න එපා!” රාජ පුරුෂයෝ ගුගුළහ. “බල්ලෝ රජතුමාගේ රථය වනසලා.

උන් රාජ උදහසට ලක් වෙලා.”

මිනිස්සු යළි ප්‍රශ්න නො කළහ; කරබාගෙන සිය කටයුතුවල යෙදුණහ.

‘අපට මොක ද? ඕක බල්ලන්ගේ ප්‍රශ්නයක් නේ’ ඔවුහු සිතූ හ.

එහෙත් බල්ලෝ භීතියෙන් ඇවිස්සුණහ.

“මොකක් ද මේ අපේ වර්ගයාට
සිදු වන්නේ? දුටු දුටු තැන අප මරන්නට රජතුමා නියෝග කරලා,” බල්ලෙක් තවත් බල්ලකුට කී ය.

“මහ සොහොනේ සිටින අපගේ නායකතුමා හමු වෙමු. මේ විපත ගැන කියමු,” අනෙක් බල්ලා යෝජනා කළේ ය.

පිටිනුවර මහ සොහොන් බිම බල්ලන් දහසක් වෙසෙන තැනකි. ඔවුන් විසින් තෝරාගැනුණු නායකයෙක් එහි විය. ඒ නායක තෙමේ තැන්පත් ය; කාරුණික ය; සිය පිරිසේ කිසිවකුට ගැටුමකට, කලහයකට, ඉඩ නොලැබෙන පරිදි දැහැමින් සෙමෙන් පාලනයෙහි යෙදෙන්නේ ය.

පිටිනුවර බල්ලන් දෙදෙනා හෙළි කළ පුවත නිසා සොහොනේ බල්ලෝ ද කැලඹුණහ.

“පිටිනුවර බලු මළ සිරුරු සිය ගණනක් මා දුටුවා. රාජ පුරුෂයන් දුනු-හී ගෙන, කඩු-මුගුරු ගෙන අප ලුහු-බඳිනවා. එහෙන්-මෙහෙන් පැන අපි ඔබතුමා හමු වීමට ආවා,” බල්ලෝ නායකතුමාට කී හ.

ඒ මොහොතේ ම තවත් බල්ලෝ කීප දෙනෙක් සොහොනට ආ හ.

“පස්සෙන් ඊතල එනවා; ගල්-මුගුරු වැටෙනවා. අපේ වර්ගයා විනාශ යි,” හති හලමින් එක බල්ලෙක් කී ය.
“රාජ පුරුෂයෝ මේ ළඟට ම ආවා. උන් කැලේ පාරවල් සොයාගන්න බැරි ව යන්න ඇති. ඒත් මට බය යි. උන් කොහොම හරි මෙහාටත් ඒවි,” පිටිනුවරින් ආ බලු මහල්ලෙක් කී ය.

සොහොන් වැසි බල්ලකුට තැතිගැන්මක් ඇති විය:

“ආරක්ෂාව පතා නුඹලා අප සිටින තැනට එනවා. රාජ පුරුෂයන් එය දැනගත් විට අපටත් මෙහි වසන්නට ලැබෙන්නේ නැහැ.”

බලු නායකතෙමේ ඔවුන් නිහඬ කළේ ය:

“ආරක්ෂාව සඳහා පැමිණි සියලු දෙනා අපි සාදරයෙන් පිළිගන්න ඕන. ඔවුනට අනාථයන් වන්නට ඉඩ දෙන්නට එපා. ඔවුන් අපේ ම අය. මේ භීෂණය දුරු වන තුරු ඔවුන්ට අප සමග ජීවත් වන්නට ඉඩ දෙමු. ඒ අතර අපි විසඳුමක් සොයාගන්න ඕනෑ.

“රජතුමා අපේ වර්ගයාට සතුරු වූයේ ඇයි?” නායකයා පිටිනුවරින් ආ අයකුගෙන් ඇසී ය.

“දවසක් රජතුමාගේ නිල රථය මාළිගාවේ අංගණයේ තිබිලා වැස්සට තෙමිලා. රථයේ ආසනවල තෙමුණ හම් බල්ලන් කෑවලු. රජතුමා කෝප වෙලා නියෝග කළා ලු බලු සංහාරය පටන් ගන්න.”

“නුවර දොරවල් වැහුවට පස්සෙ පිටිනුවර කෙනකුට ඇතුළට යන්න පුළුවන් ද?”

“පුළුවන්කමක් නැහැ නායකතුමනි, මා දිනක් රාත්‍රියක ඇතුළු නුවරට යෑමට තාප්පය වටේට ම ඇවිද්දා. හැම තැන ම මුරකාවල්. මීයකුට රිංගන්න පුළුවන් තරමේ සිදුරක් වත් නැහැ. මීයෙක් නම් තාප්පෙට උඩින් පනීවි - බල්ලන්ට ඒ හපන්කම් බැහැ.”

“ඇතුළු නුවරත් බල්ලන් ඉන්නවා නේද?”

“එහෙමයි. රජතුමා සමග දඩයමේ යන බල්ලන් ඉන්නවා.”

“ඒ කියන්නෙ කීන බල්ලො?”

“එහෙමයි. එක දවසක දවාලක මා ඇතුළු නුවරට ගියා. මාළිගාවේ සඳලුතලවල කීන බල්ලන් සිටිනවා මා දැක්කා.”

නායකයා හිස සලමින් යමක් සිතුවේ ය. ඔහු සිය සගයන් රැස් කළේ ය.

“පිටිනුවරින් ආ අය අපේ ම වර්ගයේ අය බව, අපේ ඥාතීන් බව අමතක කරන්න එපා. ඔවුන්ට කළ හැකි සියලු සත්කාර කරන්න. තවත් ටික දවසකින් ඔවුන්ට ආපසු පිටිනුවරට යන්නට ලැබේවි.”

සගයෝ නායකයාගේ බස පිළිගත්හ. එහෙත් ඔවුන්ගේ සිත බියෙන් පිරී තිබිණ. ‘රජුගේ හී සර වන ළැහැබට ඉහළින් හා පහළින් යම් මොහොතක සොහොනට පැමිණිය හැකි යි’ ඔවුනට සිතිණ.
නායක බලු තෙමේ සොහොන් බිම මැද වූ ගල් තලාවේ වැතිර සිතන්නට විය:

‘මේ රාජ නීතිය හරි ම අසාධාරණ යි; අයුක්තිසහගත යි. දඬුවම් නිවැරදිකරුවන්ට යි, වැරදිකරුවන්ට සැලකිලි. රාජකීය රථයට සිදු වූ දේ සොහොනේ සිටින මට පෙනෙනවා. එහෙත් එය මාළිගාවේ සිටින රජුට පෙනෙන්නේ නැහැ. ඔක්කොම වැරදිවලට දඬුවම් ලැබෙන්නේ ලොක්කන් සමග සමීප බව නැති පිටිනුවර සිටින අහිංසකයන්ට යි. ‘පහත් තැනින් යයි ගලා ජලේ’ කීවා නේ. මා රජතුමා හමු වී, ඇත්ත පහදා දෙනවා.’
ඔහු ගල්තලාවෙන් බැස සගයකුට සිය සිත හෙළි කළේ ය.

“නායකතුමනි, සොහොන් බිමෙන් පිටතට යෑම ගැන නම් සිතන්නට එපා! රාජ පුරුෂයන් වියරු වැටිලා. උන් පිටිනුවර බල්ලන් සොයනවා. පිටතට ගියොත් ආපසු එන්න ලැබෙන්නේ නැහැ. ඔබතුමාගේ ගුණ-යහපත්කම් උන්ගේ ඊතල-මුගුරුවලට පේන්නේ නැහැ,” සගයා කී ය.

“මා හිතනවා ඔය ගමනේ දී මට කිසිදු උපද්‍රවයක් වන්නේ නැහැ. මා යන්නේ යහපත් අරමුණක් ඇති ව, සියලු අහිංසකයන්ගේ ජීවිත රැකගැනීමේ පරමාර්ථයෙන්.”

නායකයා ඇතුළු නුවරට යන පුවත සොහොන් බිමේ පැතිරිණ.

“නායකතුමනි, ඔබතුමාට පිටිනුවර වීදියක අඩියක්-දෙකක් වත් යන්නට ලැබෙන්නේ නැහැ,” බලු මහල්ලෙක් කී ය.

බොහෝ දෙනකුගේ ඇස්වලට කඳුළු නැගිණ.

“මිත්‍රවරුනි, මගේ අරමුණේ පිවිතුරු බව, උතුම් බව සැබෑ නම් මට අනතුරක් නොවී, ඒ අරමුණ ඉටු කරගෙන එන්නට ලැබෙනවා. මා එන තුරු සන්සුන් ව, සාමකාමී ව ඉන්න,” නායකයා ගමන අරඹමින් කී ය.
සොහොන් දොර තෙක් සිය නායකයා කැටුව පිරිස ගමන් කළහ.

“ඔබතුමාගේ ගමන සරු වේ වා! නිවැරැදි අපට සාධාරණය ඉටු වේ වා!” ඔවුහු පැතූ හ.

බලු නායක තෙමේ පිටිනුවර වීදි ඔස්සේ නුවර මහ දොරටුව දක්වා ගියේ අවට වූ සිය වර්ගයාගේ මළ සිරුරු කීපයක් ද දුටුවේ ය. දුනු-හී, අසිපත් ගත් අත් ඇති රාජ පුරුෂයනට මේ නායකතුමා ගමන් කරනු නොපෙනිණ.

මහ දොරටුවේ රැකවල්ලු ද කරබාගෙන සිටියහ. ඔහු මාළිගා අංගණය මැදින් ගියේ, සුවිසල් මැඳුරක සඳලුතලෙහි කීන බල්ලන් සිටිනු ද දුටුවේ ය.

‘සැප සේ වැඩුණු අපගේ වර්ගයේ ම අය. එහෙත් ඔවුන් සිටින්නේ රජු වෙනුවෙන් අහිංසකයන් දඩයම් කිරීමට යි. ඒ සඳහා ඔවුන්ට රජුගෙන් රජ සැප!’
මෙසේ සිතමින් ගිය ඔහු රාජ මාළිගාවට ද ඇතුළු විය.

ඉදිරිපස දිගු ශාලාවකි. එහි විසිතුරු භාණ්ඩ තැන්පත් කර තිබිණ. පහළ බිතු කොටස කැටපත් පුවරුවලින් සරසා තිබිණ. බලු නායක තෙමේ සිය පිළිබිඹුව දැක මඳක් විමසිලිමත් වූයේ ය. මුහුණේ වූයේ විඩාව මිස බියක සැකයක ලකුණු නො වේ. ඒ ශාලාව කෙළවර විසල් දොරටුවකි. එහි ඇතුළට ගිය විට පෙනුණේ රාජ සභාව ය.

සිංහාසනාරූඪ ව සිටි රජු ඇමැතිවරයකුගේ බසට කන් දෙනු බලු නායකයාට පෙනිණ. පුරෝහිත බමුණා ද, ඇමැතිවරු කීප දෙනෙක් ද, සෙන්පතිවරු ද, දිලෙන අසිපත් ඉහළට නගාගත් අත් ඇති රාජපුරුෂයෝ ද එහි වූ හ. ඔවුන්ගේ ඇස්වලට ගොදුරු නොවූ බලුපතියාණෝ නරපතියාණන්ගේ සිහසුන යටට වැද මඳ විවේකයක් ගන්නට සිතී ය.

එක් රාජපුරුෂයකුගේ ඇසට සිහසුන යටට රිංගාගත් බලුපතියා පෙනිණ. ඔහු මුගුර ගෙන බලුපතියා පිටතට ගැනීමට සැරසුණේ ය.

“ඌ පිටතට ගන්න එපා,” රජු කී ය.

බලුපතියා ද නරපති අසුන යට වැතිර ඇමැති දෙසුමට සවන් දී සිටියේ ය.

“මහරජතුමනි, පිටිනුවර වැසියන් කැරලි නොගසන-එක ගැන මට පුදුම යි! ඔවුන් විරුද්ධ වන්නේ බලු සංහාරයට නො වේ; තැන තැනැ දමා ඇති බලු මළ සිරුරුවල දුර්ගන්ධයට යි. රාජ පුරුෂයන්ට අණ ලැබී ඇත්තේ උන් මරා-දැමීමට පමණ යි. මළ සිරුරු වළ දැමීමට නියෝගයක් නැහැ. පිටිනුවර මහා පරිසර දූෂණයක් සිදු වෙනවා. වසංගත රෝග බිය ද ළඟ ළඟ ම එනවා. දැන් පිටිනුවර පණ ඇති එක බල්ලෙක් වත් නැහැ. උන් මහ සොහොනට ගොස් සැඟවුණු බව මට මේ දැන් සැල වුණා.”

වැතිර සිටි බලුපතියාගේ හිස එසවිණ; සවන් පත් දික් විය.

“මේ නිසා රජතුමනි, රාජ පුරුෂයන් වහා සොහොන් බිමට ද යැවිය යුතු යි. නැති නම් අපගේ සම් ද උන් කා-දමනු ඇති.”

රජු ඇමැතියකු දෙස බැලී ය.

“සියලු බලු මළ සිරුරු සොහොනට ගෙන ගොස් ගිනි තැබීමටත්, සොහොනේ සිටින බල්ලන් ද, ඒ ගිනි ගොඩට ම දමා මැරීමටත් නියෝග කරමි.”

රාජ සභාවේ කටයුතු අවසන් විය.

නරපති සිහසුනෙත් බසින්නට සැරසුණි.
බලුපති සිහසුන යටින් පිටතට පැමිණ රජුට නමස්කාර කළේ ය.

“මහරජතුමනි,” ඔහු, රජුගේ දෑස තමා දෙසට ඇදගත්තේ ය.

“ඇයි? මොක ද?” රජු නොමනාපයෙන් මෙන් ඇසී ය.

“ඔබතුමා සමග සාකච්ඡා කිරීමට මට කාරණයක් තියෙනවා.”

රජු යළි සිහසුනේ හිඳගති.

නිවෙස් කරා යෑමට සැරසුණු පුරෝහිත බමුණා ද, ඇමැතිවරු ද, සෙන්පතිවරු ද යළි සිය අසුන්වලට බර දුන්හ.

“මොකක් ද කාරණය?” රජු ඇසී ය.

“අපේ වර්ගයා ඝාතනය කිරීමට ඔබතුමා නියෝග කරලා තියෙනවා. ඒක සාධාරණ නියෝගයක් නො වෙයි.”

“කොහොම ද ඒක අසාධාරණ වෙන්නෙ? මගේ රථයේ ආසනවල හම් බල්ලන් විසින් කා-දමා විනාශ කරලා. ඒක රාජ ද්‍රෝහි අපරාධයක්! මා කළේ සාධාරණ නියෝගයක්.”

“ඔය නියෝගය සෑම බල්ලකුට ම වලංගු ද?”

“නැහැ මාළිගාවේ සිටින අපේ කීන බල්ලන්ට ඔය නීතිය වලංගු නැහැ.”

“ඔබතුමා දඬුවම් දෙන්නේ තමන්ගේ අය බේරලා. පිටිනුවර අයට පමණ යි ඔය නීතිය වලංගු. ඉතින් මා ඒක නේ කීවේ ඔය නීතිය අසාධාරණ යි කියල. හොඳයි රජතුමනි, මේ අපරාධය කළේ පිටිනුවර බල්ලන් බව ඔබතුමා හරියට ම දන්නවා ද?”

රජු සබය දෙස බැලුවේ ය. ඇමැතිවරු උඩ-බිම බැලූ හ. පුරෝහිත බමුණා හිස කැසී ය.

“මූ නම් යකාගේ බල්ලෙක්!” පුරෝහිත දත්මිටි සැපුවේ ය.

“පිටිනුවර බල්ලන්ම ඔය අපරාධය කළ බවක් මා හරියට ම දන්නේ නැහැ,” රජු පිළිතුරු දුන්නේ ය.
“හරියට ම දන්නේ නැති ව වරදකට දඬුවම් දෙන්නෙ කොහොම ද? ඔබතුමා ළඟ සිටින බල්ලන් ගැන සැක කරන්න බැරි ද?”


“ඒ අපේ මාළිගාවේ අප සමග සිටින අය. ඔවුන් ගැන අවිශ්වාසයක් නැහැ.”

“ඔබතුමා පක්‍ෂපාති ව තීරණ ගන්නවා. සමහර විට ඔය අපරාධය කළේ ඔබතුමාගේ කීන බල්ලන් විය හැකි යි.”

“මා එසේ සිතන්නේ නැහැ.”

“නොසිතන්නට සාධාරණ හේතුවක් තියෙන්න එපා යැ?”

“හේතුවක් නම් නැහැ.”

“හරි ම කණගාටු යි රජතුමනි, රාජ නියෝගයකට
සාධාරණ හේතු තිබිය යුතු යි. නැත් නම් ජනතාවට රජයෙන් යුක්තිය ඉෂ්ට වෙන්නෙ කොහොම ද? හේතු නැති ව පැනවූ මේ නියෝගය අසාධාරණ බව මම ඔබතුමාට නැවතත් කියනවා.”
“පිටිනුවර බල්ලන් මෙය නොකළ බව ඔබට කිව හැකි ද?”

“එහෙමයි රජතුමනි, රාත්‍රි කාලයේ පිටිනුවර කිසිවකුට මේ නුවරට ඇතුළු වීම අපහසු යි. මීයෙක් වුණත් එන්න ඕන තාප්පයට උඩින්.”
පුරෝහිතයා නැගිට්ටේ ය:

“රජතුමනි, පුරයේ සිට වතුර ගලා බසින ඇළ මාර්ගයෙන් බල්ලන්ට ඇතුළට එන්නට පුළුවනි.”
බලුනායක තෙමේ මඳ සිනාවක් පාමින් පුරෝහිතයා දෙසට හැරුණේ ය.

“කුණු කඳු ගොඩගැසුණු පල් වතුර පිරුණු මේ ඇළ ඔස්සේ බල්ලකුට එන්නට හැකි දැ යි රාජ පුරුෂයකු යවා බලන්න රජතුමනි, එන්න බැහැ. කිසිවක් නොසොයා නොබලා පැනවූ නීතිය නිසා අහිංසක ජීවිත දහස් ගණනක් දැනටමත් විනාශ වෙලා.”

“නුඹ කියන්නේ මේ අපරාධය කළේ අපේ කීන බල්ලන් ය කියල ද?”

“එහෙම යි.”

“ඔප්පු කළ හැකි ද?”

“එහෙම යි. මා එය ඔප්පු කරනවා. මෝරු වතුරත්, ඊතණ ටිකකුත් දෙන්න.”

නරපතියා, බලුපතියාට ඒවා සැපයී ය.

“මෝරු වතුර සමග ඊතණ මුසු කොට ඔබතුමාගේ සුරතලුන්ට පොවන්න.”

කීන බල්ලෝ සඳලුතලවලින් බැස රාජ සභාවට පැමිණියහ. උන්ගේ සාඩම්බර ගමන, ආඩම්බර බැල්ම බලු නායකයාට පෙනිණ.

රාජ පුරුෂයෝ මෝරු ඊතණ මිශ්‍රණය කීන බල්ලන්ට පෙවූ හ.

“අපි දැන් මේ ඇත්තන් සමග මාළිගා අංගණයට යමු,” බලුපති, නරපතිට කී ය. නරපතියා සිහසුනෙන් බැස්සේ ය. පුරෝහිත ද ඇමැතිවරු ද, සෙනෙවිවරු ද ඔහු සමග මාළිගා අංගණයට ගියහ. බලුපතියා නරපතියා අසලට වී කීන බල්ලන් දෙස විමසිල්ලෙන් බලා සිටියේ ය.

එක් කීන බල්ලෙක් “ඕහ්... ඕහ්...” හඬක් නැගුවේ ය. උගේ කට ඇරිණ. දිව එළිය වැටිණ. තවත් බල්ලන් කීප දෙනකුගෙන් ද ඒ හඬ ඇසිණ. උන්ගේ මුහුණුවල පීඩාකාරී රෝගී පෙනුමක් ඇති විය. පුරෝහිතයා බලු නායකයා දෙස බැලී ය. ‘නුඹ අපේ සුරතලුන්ට වස පෙව්වා’ යන අදහස ඔහුගේ සිතට නැගිණ; දිවට නොනැගිණ.

එක් කීන බල්ලකුගේ කටින් සෙම ගුළියක් වැටිණ. ඒ සමග කළු පැහැති යමක් ද විය.
“අන්න රජතුමනි, අන්න...” බලුපතියා නරපතියාට එය පෙන්වූයේ ය.

නරපති හිස බිමට නැඹුරු විය.

“සම් කැබැල්ලක්!”

පුරෝහිත මුහුණ රතු විය.

අනෙක් කීන බල්ලෝ ද සෙමගුළි සමග සම් කැබලි පිටතට දැමූ හ.
පුරෝහිත බ්‍රාහ්මණයා රජු දෙස බැලී ය. රජුගේ මුහුණ කෝපයෙන් පිපිරෙමින් තිබිණ.
‘ඒ කීන බල්ලන් නිසා උපන් කෝපයක් නො වෙයි. දැන් අප ද රාජ උදහසට ලක් විය හැකි යි,’ පුරෝහිතට සිතිණ.

යළි රාජ සභාව රැස් විය.

“බලු නායකතුමන්ට අසුනක් පනවනු” යි රජු රාජ පුරුෂයකුට අණ කළේ ය.

“එපා රජතුමනි, අපට අසුන් නුහුරු යි,” කියමින් බලුපතියා බිම හිඳගත්තේ ය.

“ඔබ වෙසෙන්නේ කොතැන දැ යි අසන්නට වත් මට බැරි වුණා,” රජු සිහසුනේ හිඳගනිමින් කී ය.
“පිටිනුවර මහ සොහොනේ බල්ලන් දහසක් සමග මා ජීවත් වෙනවා. ඔබතුමා ඇති කළ භීෂණය නිසා පිටිනුවර බල්ලන් ද දහසක් පමණ දැන් එහි සැඟවී සිටිනවා.”

රජුගේ දෙතොල සැලෙනු ද, එහෙත් හඬ නොඑනු ද සබයට පෙනිණ. රජ බිසව රන් කෙණ්ඩිය ගෙන ඔහුට පැන් ස්වල්පයක් පෙවූවා ය. රජු දෙතොල පිස බලුපතියා දෙසට හැරුණේ ය.

“ඔබ සිව්පාවකු වුව ද මේ සබයේ සිටින සියලු දෙනාට ම වඩා ඥානවන්තයි. මේ පුරෝහිත බමුණා මෙන් ම මාත් දිසාපාමොක් ඇදුරුතුමාගේ ශිෂ්‍යයෙක්. අපි තක්‍ෂිලා උපාධිධාරියෝ. ඒත් ඔබ අපට අද වැදගත් ම පාඩමක් ඉගැන්වූවා; ඇත්ත-යුත්ත සාධක සහිත ව පෙන්නුවා. ඔබ සිටිය යුත්තේ ඔතැන නො වෙයි, මෙතැන. බලුපතිතුමනි, ඔබට මා රජකම පුදනවා. මේ රට ඔබට පවරනවා,” රජු සිහසුනෙන් නැගිටිමින් කී ය.

රජ සබය ද නැගී සිටියේ ය.

බලු නායක තෙමේ මඳ සිනා පාමින් සබය දෙස බලමින් නැගිට යළි හිඳගත්තේ ය.

“රජතුමනි, ඔබතුමාගේ නිහතමානිකමට මා ගරු කරනවා. මට දැක්වූ සැලකිල්ල පිළිබඳ ව තුති පුදනවා. එහෙත් රජකමත්, රටත්, මට එපා. බුද්ධිමත් ව තීරණ නොගෙන ඥාතීන්ට, හිතවතුන්ට, පාක්‍ෂිකයන්ට අවශ්‍ය ලෙස වැඩ කිරීම නිසා, ඔවුන්ට තනතුරු දීම නිසා රට අවුල් වූ හැටි සමහරු කියනවා මා අසා තිබෙනවා. මේ නිසා රජතුමනි, ‘රට බල්ලාට ගිහිල්ලා’ ය කියලාත් සමහරු කියනවා මා අසාගෙන. බල්ලා ගැන ඒ මිනිස්සු සලකන්නේ පහළ මට්ටමෙන්.”

“එහෙත් ඔබතුමා බුද්ධිමත්.”

“රජතුමනි, මට රජකම එපා. මා ප්‍රශ්නයක් අසනවා: ඔබතුමා දශරාජ ධර්මය දන්නවා ද?”

“මා එය තක්ෂිලාවේදි උගෙන තිබෙනවා.”

“දශරාජ ධර්මය මතක ද?”

“ඒ කාලෙ නම් මතක යි. දැන් මතක නැහැ.”

“අන්න ඒක යි රජතුමනි, වැරැද්ද. බලය ලැබුණාට පසු ඒවා අමතක වෙනවා. හුඟක් රජවරුන්ට එහෙමයි. මගෙන් පාලනය වන්නේ බල්ලන් වුණත් මා එය කරන්නේ දශරාජ ධර්මය අනුව.

“රජතුමනි, මුලින් ම පන්සිල් රකින අයකු වන්න. එවිට මේ ආකාරයේ පරපණ නැසීම්, පක්‍ෂපාතී තීරණ ගැනීම් සිදු වන්නේ නැහැ. ඔබතුමාගේ අර අසාධාරණ තීන්දුව නිසා දහස් ගණනක් ජීවිත නැති වුණා. ඔබතුමාගේ ඇමැතිවරු කතා කළේ බලු මළ සිරුරු නිසා ඇති වන පරිසර දූෂණය ගැන මිස ජීවිත විනාශය ගැන නො වෙයි. රජතුමනි, ඥානවන්තයන් ඇසුරු කරන්න. ඔබතුමා කියන හැම දේට ම ‘එහෙයි, එහෙයි’ කියන අය දුරු කරන්න. මෝඩ උපදේශකයන් නිසා විනාශ වූ රජවරු ගැන මා දන්නවා. පළමු ව පන්සිල්, දෙවනු ව දශරාජධර්මය. රජතුමනි, දැහැමින්-සෙමෙන් රට රැක, රටේ ජීවත් වන සියලු ප්‍රාණීන් රැක, බොහෝ කලක් සතුටින් ජීවත් වන්න.”

බලුපතියාගේ දෙසුමෙන් සබයේ ඇතැමකුගේ මුහුණු රතු වී ගිය ද නරපතියා නම් සොම්නසට පත් විය.
“ඉතින් මා දැන් යා යුතුයි රජතුමනි, මට අවශ්‍ය වූයේ පිටිනුවර බල්ලන් අපරාධකරුවන් නොවන බව පෙන්වීමට පමණ යි; ඔවුන් මරණ බියෙන් ගලවාගැනීමට පමණ යි,” බලු නායකයා නැගිටිමින් කී ය.
“බලුපතිතුමනි, ඔබ නැවත යා යුතු නැහැ. මෙහි රැඳී අපට උපදෙස් දෙන්න,” රජු ඉල්ලීමක් කළේ ය.
“රජතුමනි, මට මෙහි රැඳෙන්නට අපහසු යි. මගේ සගයන් අතරට මා යා යුතු යි. දශරාජධර්මය හඳුනාගත් විට අමුතු උපදේශයක් ඔබට අවශ්‍ය නැහැ.”

“ඔබතුමන් කැමැති දෙයක් ඉල්ලන්න,” රජු කී ය.

බලු නායක තෙමේ මඳ වේලාවක් දෑස බිමට යොමු කොටගෙන සිටියේ ය; යළි හිස එසැවූයේ ය.
“එසේ නම් රජතුමනි, ඔබගේ රටවැසියන්ට කියන්න ආහාර ගැනීමෙන් පසු අපගේ අයට ද ආහාර ස්වල්පයක් දෙන්න කියා. අප වෙනුවෙන් මා කරන්නේ ඒ ඉල්ලීම පමණ යි.”

බලුනායකතුමා රජුට වැන්දේ ය; සබයට හිස නමා ගරු කළේ ය.
රජු සිහසුනෙන් බිමට බැස, බලුනායකයාගේ හිස පිරිමැද්දේ ය.

“ඔබේ ඉල්ලීම අද සිට ම ක්‍රියාත්මක වෙනවා. සෑම රටවැසියෙක් ම සිය ආහාරය ගැනීමෙන් පසු ඒ යුතුකම ඉටු කරනු ඇති.”

කෘතඥතා පූර්වක බැල්මක් රජු දෙස හෙළූ බලුනායකතුමා රාජ සභාවෙන් පිට වී ගියේ ය.

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery