facebook page

Powered by Blogger.

Blogger templates

Showing posts with label ආගමික පුවත්. Show all posts





රාවණ යුගයට සම්බන්ධ ජනප්‍රවාදයකට අනුව හනුමන්තා රාමාට තුවාලයක් වූ කලි ප්‍රතිකාර ලබාදීමට හිමාල වන අඩවියෙන් ඔසවාගෙන ආ බෙහෙත් කන්දෙන් කොටසක් අත්ලෙන් උනා වැටුණු බවත්. එම ගම් පෙදෙස දකුණු ලක උණවටුන ලෙස අද හඳුනාගෙන ඇති බවත් අත්ලේ ඉතිරි කොටස ගෙන හනුමන්තා පැමිණියේ දොළුකන්ද නම් මේ ස්ථානයට බවත් කියැවේ. දොළුකන්දේ ඇති බෙහෙත් වන ඔසුවලින් හා රූමස්සල කන්දේ බෙහෙත් ඔසුවලින් මේ බව ඔප්පු කරන්නට ජනශ්‍රැති පර්යේෂකයෝ වෙරදරති.



කෙසේ වෙතත් අපේ අරමුණ දොළුකන්ද ඉතිහාසය විමසීම නොව එහි ආශිර්වාද පූජාව හා මහා අනුහස හදිසියේ වියැකී ඇත්තේ කුමක් නිසාදැයි සොයා බැලීමය. දොළුකන්ද පසු කලෙක බොරුකන්දකින් වැසී ගිය බවත් ඒ හිමියන් චන්ද්‍රිකා වැව පවා පිරිත් කළ බවත්. රන් කොතකට රත්තරන් එකතු කළ බවත් එදා රට පුරා ගලා ගිය ප්‍රවෘත්තිය.



මේ පර්යේෂණයේදී අපට හැඟී ගියේ එය එසේ නොව ඊටත් වඩා ගැඹුරු ඇතුළාන්තයක් මේ තුළ සනිටුහන් වූ බවයි. ගැමියන් විද්වතුන් මතු නොව නොයෙක් පාර්ශ්වයන් විමසමින් සත්‍ය සොයා ගැනීමට අප ගත් උත්සාහය සාර්ථක විය.


අපවත් වී යැයි සමහරුන් කී ඒ හිමියන් විවේකීව භාවනානුයෝගීව වැඩවසන මහ වනයකට පවා අපි ගියෙමුග වසර 15 කට පමණ පසු හිමියන් මේ චෝදනා පත්‍රයට පිළිතුරු දීමට යොමු කරවා ගැන්ම ද අපට අසීරු කරුණක්ම විය. අලි කොටි වග වලසුන් ගහණ වනන්තරයේ දී වන සිවුපාවුන් වැනි මිනිසුන්ගේ කතාව උන්වහන්සේ අවසානයේ අපට හෙළි කළහ.


දොළුකන්ද ප්‍රධාන දායක සමිතියේ ලේකම්වරයා වශයෙන් වැඩ කළ එච්. එස්. විමලසිරි මෙසේ කියයි


හාමුදුරුවන්ගේ ආශිර්වාද පූජාවට මේ රටේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආවා. උන් වහන්සේ ආශිර්වාද කරන පිරිත් පැන් දුන්නාම තමන්ගේ ලෙඩ රෝග විතරක් නොවේ ජීවිතයෙනුත් ඔවුන් වෙනස් ප්‍රතිපත්තිගරුක හොඳ මිනිසුන් බවට පත්වුණා. විශාල පිරිසක් මේ ආශිර්වාද පිරිත් පැන්වලින් ප්‍රයෝජන ගත්තා.



මුලින්ම හාමුදුරුවන්ට මේ දොළුකන්දෙ තිබිලා රන් කොතක් හමුවුණා. මාත් ඒක දැක්කා. කිසිම දෙයක් ගැන තෘෂ්ණාවක් නැති උන්වහන්සේ ඒක පුරාවිද්‍යාවට බාර දුන්නේ අපට පෙන්වලා. ගමේ මිනිසුන්ට මේ ආරංචිය ගියාම ඒ අයගෙන් සමහරෙක් හිතුවා පූජා භූමිය දියුණු කරන්නෙ රන් කොත විකුණලා කියලා.


ඒ නිසා හාමුදුරුවො දොළුකන්දෙදි ඒ රන් කොත ප්‍රදර්ශනය කරන්නට නැවත පුරා විද්‍යාවෙන් ඉල්ලීමක් කළා. ඒ වතාවෙ නියම රන් කොත ගෙනාවා හාමුදුරුවන්ගේ ආශිර්වාද පූජාවට එන බැතිමතුන් ලබා දෙන දේවලින් තමා ස්ථානය දියුණු කළේ. හාමුදුරුවන්ගේ ඡායාරූපය විකුණලත් මිනිස්සු සල්ලිකාරයො වෙන්ඩ පටන් ගත්තා.


ඒ හිමියන්ගේ බලය විශාලයි. මගේ හරකෙකුට බෙල්ලෙ පණු ගෙඩියක් ආවා “බුදු ගුණ අනන්තයි” කියලා කරන සත්‍ය ග්‍රහ බලයෙන් පිරිත් කළ පැන් ටිකකින් ගෙඩිය නෑව්වා විතරයි. දවස් දෙකක් ගියේ නෑ ගෙඩිය අතුරුදන් අප නම් ඒ බලය විශ්වාස කළා. මේ රටේ දෙනෝ දාහක් එහෙමයි හාමුදුරුවො පළාත දාලා වැඩියෙ නොයෙක් අය වැරැදි දේවල් කරමින් දොළුකන්ද විනාශ කරමින් හිටි නිසයි.


අයියනායකල වීරමුණ්ඩල ගම්භාර දෙවියන්ගේ අඩවිය මේක. වැරැදි වැඩවලින් ආශිර්වාදය අපට නැති වුණා. කියන්ඩ දෙයක් අමතක වුණා. දෙවැනි වතාවටත් හාමුදුරුවො පුරා විද්‍යාවට කීවා ලැබුණු රන් කොත ප්‍රදර්ශනය කරමු කියලා. ඒ වතාවෙ නම් ගෙනාවෙ නියම රන් කොත නොවේ. ඒ වගේ රන් නොවන වෙනත් කොතක්. කාට ද කියන්නෙරෑ හාමුදුරුවො ඒ ගැන ඊට පස්සෙ කතා කළෙත් නෑ.


ආර්. එච්. සී. රත්නායක මහමූකලන්යාය පාසලේ ගුරුවරයෙකි. 


දොළුකන්දෙ ආශිර්වාද පුජාව කියලා පටන් ගත්ත ඒ දේ ගැන මිනිස්සු අතර මත කීපයක් තියෙනවා. මුලින් මුලින් හාමුදුරුවො මේ ගමට පිණ්ඩපාත වැඩලා ඉතාම සුපේශල ශික්ෂාකාමී හිමිනමක් ලෙස කටයුතු කරගෙන ඔය දොළුකන්දෙ හිටියා.


පස්සෙ දේශපාලකයොල ව්‍යාපාරිකයො හා පළාතේ තවත් ප්‍රභුන් මේ ආශිර්වාද පූජාව වට කරගෙන තමන්ගේ ප්‍රියසාද උත්සවවලට පවා ආශිර්වාද පූජාව ගෙනාවා. පළාතේ සමහර මිනිස්සු මේක වැරැදි තැනකට පත් කළා. ඔය දොළුකන්දෙ තිබෙන වටිනා මල් වර්ග බෙහෙත් පැළෑටි පුංචි පුංචි කෝප්පවල හිටවාගෙන වෙළෙඳාම් කරන්ඩ ගත්තා.


රටේ විවිධ ප්‍රදේශවලින් දොළුකන්දට ආපු මහ ජන සන්නිපාතයට අවශ්‍ය කැසිකිළි වැසිකිළි පහසුකම්වත් තිබුණෙ නෑ. ඒ නිසා ගමේ ගෙවල්වලට කරදර වුණා. අන්තිමට වැසිකිළි වටා කම්බි වැටවල් පටලවන්න තරම් ගමේ මිනිසුන්ට සිදුවුණා. ගස් මුල් හා කුඹුරු වැනසුණා. සමහරු සල්ලි අරන් ඒ වැඩ කරන්ඩ වැසිකිළි දුන්නා


ඒත් ලක්ෂ ගණන් ජනතාව යන්නෙ කොහොම ද? ගියාම පළාතම ගඳ ගහන්ඩ ගත්තා. පරිසරය විනාශ වුණා. කුඩා හැඩයා මහ හැඩයා ඉරරාජල සඳරාජ මේ වගේ වටිනා ගස් වඳ වෙන්ඩ ගත්තා. ඒ විතරක් නොවේ දොළුකන්දෙ තිබෙන විවිධ කහට ගෙඩි වර්ග අත්තික්කා වගේ දේවල් විකුණලත් ජීවත්වෙන පිරිසක් ඇති වුණා.


ඒ අය එන බැතිමතුනට “සීනිවලට හොඳයි”. “රුධිර පීඩනයට හොඳයි” කිය කියා මේවා වික්කෙ.‘දන්නෝ දනිති’ කියලා බත් පැකට් විකුණන්නත් කට්ටියක් හිටියා. ඒ බත් පැකට් එකේ ගමේ මත් වතුර පැකට් එකක්. එක්ක බත් මාළු තියෙනවා. මත් වතුර හොයන මිනිස්සු ඒ පැකට් පොර කකා ගත්තා.


මේ වගේ විශාල මගඩි මෙහි සිදුවුණා. හාමුදුරුවන් ආශිර්වාද පූජාව කළා මිසක් මේවා වළක්වන්න ඒ දායක සමිතියවත් පියවර ගත්තේ නෑ. දායක සමිති කළෙත් සල්ලි හම්බ කිරීම. හාමුදුරුවන්ගේ ඡායාරූප පවා විකුණුවා. ආපු බස් කන්දරාව නවත්වන්න ඉඩම් දීපු අය අද විශාල සල්ලිකාරයො. ඒ අයටත් බස් තියෙනවා. සමහර දායක කාරකාදීන් අද වී මෝල් පවා දාගෙන.


ඒ හිමියන්ට හා දොළුකන්දෙ අනෙකුත් යෝගාවචරයන්ගේ පැන් පහසුව සඳහා කුඩා වැවක් තැනවීම උන්වහන්සේට මහත් ප්‍රශ්න පැමිණි අවස්ථාවකි. ඒ හරහා බොහෝ තොරතුරු මට ලැබිණ.


පුරා විද්‍යාවට අයිති භූමියේ නිධන් හාරන්ඩ හාමුදුරුවො යනවා. මේක පැන් පහසුව සඳහා ම නොවේ. සමහරු එදා කීහ :ඒත් අපේ සමීක්ෂණ අනුව ඇත්තටම ස්වාමින් වහන්සේ හාරපු නිධානයක් නැත. දොළුකන්දේ හිමිවරුනට පැන් පහසුවට හරිහැටි තැනක් අදත් නැත. තිබෙන්නේ ඒ වැව පමණි . පුරා විද්‍යාව මේ වැඩ සම්බන්ධයෙන් නීති මඟට ගියේය. අධිකරණ විනිසුරුවරයා සියල්ල විභාග කොට කීවේ අපූරු කතාවකි “හොඳ වැඩක් කරන්ඩ මේ රටේ ඉඩක් නෑ” යන්නය





මේ ස්වාමින් වහන්සේ මුදල් අකැප බැවින් මුදල් කිසිත් පරිහරණය කළේ නැත. ලැබෙන සියලුම මුදල්වලින් නැතිබැරි අයට නිවාසල සෞඛ්‍ය පහසුකම් හා වෙනත් දේ ඉටුකළ බව ඇතැම් ගැමියෝ කියති

මකුල්වැව දෙමටාවවත්ත ඉඩමේ දොළුකන්දේ හිමියන් තැනු ගෙවල් 30 බැලීමට ද අපි ගියෙමු.


කාමර දෙකක් සාලයක්. කුස්සියක්. පුංචි ඉස්තෝප්පුවක් සහිත ගෙවල් 30 ක් හාමුදුරුවන්ගේ සම්පූර්ණ වියදමෙන් ඉදිකරවා ප්‍රදේශයේ නැති බැරි අහිංසක පිරිසකට ලබාදීමට කටයුතු කැර තිබිණ. එහෙත් එහිදී ද හාමුදුරුවන්ගේ අරමුණට 2002 කාලයේ තිබුණු එජාප ආණ්ඩුවේ මකුල්වැව ප්‍රදේශය පාලනය කළ කිසියම් අධිපතියෙක් හරස් විය. ඔහු තමාගේ ගෝලබාලයන් මේ ගෙවල් 30 න් 28 කම පදිංචි කළේය. බේරුණු ගෙවල් දෙකින් එකක පදිංචි සරත් හාමුදුරුවන්ගේ ප්‍රධාන දායකයෙකි. ඔහුගේ බිරිය ඉන්ද්‍රානි හේමලතා අපට කරුණු කීවාය.


හාමුදුරුවන් අපට මේ සෙවණ ලබා දුන්නෙ. ඊට ඉස්සෙල්ලා අපි හිටියෙ දොළුකන්ද රක්ෂිතයේ ඔය විහාරය ඉඩමට යාව තැනෙක. අපේ අහිංසකකම බලලා අපට උන්වහන්සේ උදව් කළා. මේ ගෙවල් 30 ටම වතුර දෙන්ඩ හාමුදුරුවො හදාපු ජල ටැංකිය තවමත් එහෙමමයි.


ඒ කටයුතු කරගන්ඩ හාමුදුරුවන්ට ඉඩ ලැබුණේ නෑ. උන්වහන්සේට ඇතැමුන් නින්දා කළා. හයිරන් කමින් මේ අනෙත් ගෙවල් ලබාගත්තට කාටත් තවම ඔප්පු තිරප්පුත් නෑ. උන්වහන්සේ දොළුකන්ද දාලා ගියා.


දොළුකන්දේ විහාරයේ දැන් විහාරාධිපතිව වැඩ ඉන්නේ නන්දවිමල හිමියන්ගේ ගෝලනමක් වන වේදෙණියේ නන්දසීල හාමුදුරුවෝය. මේ සමීක්ෂණය කළ මොහොතේ උන්වහන්සේ පිට පළාතක වැඩ සිටි හෙයින් අපි දැනට එහි වැඩ සිටින දොළුකන්දේ සංඝානන්ද හිමියන් බැහැදකිමු.


දොළුකන්ද මහා හාස්කම් ඇති තැනක්. ගමේ කිරිඅත්තලා පවසා ඇති අන්දමට සිරිලක පැරැණිම බුලත් වැල තිබෙන්නෙත් මේකේ. මේකෙ කුටි 101 ක් තිබෙනවා. අපේ ලොකු හාමුදුරුවො මේවා රැක බලාගෙන ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආශිර්වාද පූජාවෙන් සුවපත් කළා.


උන්වහන්සේට කෙතරම් ශ්‍රද්ධාසම්පන්න පිරිස් හිටියත් ඇතැම් දේශපාලකයන් හරහට හිටියා. බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා ඕනෑම දෙයක් ඇති වෙනවා පවතිනවා නැති වෙනවා කියලා. ඒ හිමියන්ගේ ආශිර්වාද පූජාවටත් වුණේ මේ ටිකමයි.


උන්වහන්සේ කපාපු මේ කුඩා වැව නැත්නම් මටත් මේ වැඩවසන සාමණේරයන්ටත් අද පැන් පහසුවවත් නෑ. තවමත් අපට දානෙ වරදින්නෙ නෑ. සතාසර්පයා කෙතරම් මේ රක්ෂිතයේ හිටියත් අපට කරදරයක් නෑ. මිනිසාගෙන් තමයි ප්‍රවේශම් විය යුත්තේ.


 මානවසිංහ හේරත් ගමේ වැඩිහිටියෙකි. ඔහු කී යමක් අපේ සිත සලිත කරයි.


මේ හාමුදුරුවෝ පිණ්ඩපාතෙ වැඩලා ශාසනකාමීව වැඩ හිටියා. ඒත් උන්වහන්සේ පසු කාලයක වෙනස් වුණා. :

ඒ වෙනස ගැන මම දිගින් දිගටම ප්‍රශ්න කළෙමි. 

වෙනස කියන්නෙ මුලින් හිටි අය අමතක වුණා. ව්‍යාපාරිකයො. දේශපාලකයො. සමීප කරගත්තා. එතැනින් තමයි විනාශය ළං කරගත්තෙ. හාමුදුරුවන්ට පැමිණි ජනකාය නිසා අනෙත් කටයුතු සොයා බලන්ඩ වෙලාව නැති වෙන්නත් ඇති.


ජනතාව ඇදී එන විට තම හරකාබාන ගෙවල් දොරවල් පසෙක තබා හාමුදුරුවන්ගේ සේවාවට උදව් කරන දායක කාරකාදීන්ට වැටුප් පවා ගෙවීමට දායක සභාව වරක් තීරණය කැර තිබිණ. එහෙත් එසේ වැටුප් නොලැබ වැඩ කළ පිරිත් නූල් ඔතන්නකු වූ තෙන්නකෝන් මහතා අපේ අවධානය තවත් පසෙකට යොමු කළේය.


එදා ජනතාවට පිරිත් නූල් බඳින්ඩ මොන තරම් නූල් ඔතන්න ද මහත්තයා. මාත් පන්සලෙන් දෙන දෙයක් කාලා නූල් එතුව එකමයි වැඩේ. හැබැයි! සල්ලි ගත්තෙ නෑ. පස්සෙ පස්සෙ හාමුදුරුවන්ගෙ මේ දියුණුව ඉවසන්න බැරි පිරිසක් පහළ වුණා.


ඔහුගේ බිරිය බණ්ඩාර මැණිකේ හඬ අවදි කළාය


මහත්තයො. හාමුදුරුවො බලසම්පන්නයි. ඒ පිරිත් පැන් දිව්‍ය වතුරක්. අපේ ගොයම් වගාවට කීඩැවන්ගෙන්, ගොයම් මැස්සන්ගෙන් හානි වන කොට ඒවා වළක්වන්න හාමුදුරුවො පිරිත් පැන් ආශිර්වාද කරලා දුන්නා. පිළිගන්න! අපට කෘමිනාශක ගහන්ඩ සල්ලි නෑ. අපි කන්න කීපයක් සාර අස්වැන්න ගත්තෙ හාමුදුරුවන්ගෙ පිරිත් පැන් වතුරින්. හාමුදුරුවො ඒ පූජා කරනකොට මේ ගමේ කඩවල එක බිත්තරයක් විකිණෙන්නෙ නෑ. මස් මාළු ගැන කවර කතා ද මේවාට පිරිසක් පෙළ ගැහුණා මහත්තයො.


සමහර දේශපාලකයන් හාමුදුරුවන්ගේ කුටියට ගැහැනු ඇඳුම් පවා ගෙන ගොස් දමන ලදැයි නම් හෙළි නොකළ කිසිවෙක් කියති


“පතිරූප දේශ වාසොච” යන නියමයට අනුව උන්වහන්සේ දොළුකන්ද අත හැර වැඩියේය. උන්වහන්සේ අපවත් වී යැයි කියුවත් අපට සෑහෙන්නට බැරිය. අපි විශ්වාසදායක ආරංචි මාර්ග ඔස්සේ ගවේෂණයේ යෙදෙමින් උන්වහන්සේ හමුවීමු.


“විළඳකට්ටිය” පුරා විද්‍යා ස්ථානය පිහිටියේ කරුවලගස්වැව පසුකැර ගොස් 13 කණුවෙන් හැරි අනුරාධපුර පාරේ සැතපුම් 16 ක් පමණ ගිය තැනයග එතැනින් මහ කැළයේ පටු දුෂ්කර පාරකින් අපි ඒ අරණට ඇතුළු වීමු


උන්වහන්සේ වන අලි මැද පිහිටි මේ අරණේ තවත් වයෝවෘධ තපෝවෘධ හිමිනම කීප දෙනෙකු හා වෙසෙයි. දානය පවා වළකින වේලාවන් ඇත. එතැනින් කරුවලගස්වැවට ඒමට උන්වහන්සේට අද ප්‍රාඩෝ නැත. තම මෑණියන් කැඳවා එහි වෙනම කුටියක රඳවා ගත් අප හිමියන් ඉතා අල්පේච්ඡ දිවියක් ගත කරනු මම සියැසින් දුටිමි. කුඩා වැවකට ඉහළින් බැඳි දිරා ගිය දඬුවැටකින් එගොඩ වී උන්වහන්සේ කුටියට පිවිසෙනු මම දකිමි.


ඔබ වහන්සේ අද මේ විදියට වන වැදිලා ඉන්නෙ ඇයි ?


අරණ්‍යගත භික්ෂුවක් ලෙස සිටීමයි වැදගත් කියා මා සිතුවා. වනවාසී භික්ෂුවකට බණ භාවනා නිහඬව වැඩිය හැකියි. ඒකට සුදුසු තැනකට මා පැමිණියා.


ඔබ වහන්සේ ලක්ෂ සංඛ්‍යාත ජනතාවකට ආශිර්වාද කළ හිමිනමක්. හිටි ගමන් ඒක නැවතුණේ


ලොව්තුරා බුදුන් දෙසු පංචශීල ප්‍රතිපත්තිය මිනිසුනට පුහුණු කැරවීම හා ඔවුනට අනන්ත අප්‍රමාණ බුදු ගුණේ ශාන්තිය ලබාදීමයි මා කළේග දුප්පත් අහිංසක මිනිසුනට තම කුඹුරට හේනට වන වගාවට වන හානිය පිරිතෙන් වළකන්න පුළුවන්ග ඒ කටයුත්තයි මා මුලදි පටන් ගත්තේග පසුකාලීනව ඔවුන්ගේ ලෙඩ දුක පවා මේ පිරිත් පැනින් සුවපත් වුණා.


ඔබ වහන්සේ ගේ අද වයස කීය ද ? ඇස්වල අසනීපයක් තිබෙනවා කියලා ඒ කාලෙත් ප්‍රචලිත වුණා.


මට වයස 57 යි. මගේ එක ඇසක් දැන් පෙනෙන්නෙම නැති තරම්. මේක සංසාරගත අකුසල කර්මයක් පලදීමක්.


එක් ආත්මයක කුරුල්ලෙකුට කෝටුවකින් ඇසට ඇනීමෙන් ඔබ වහන්සේට එහෙම වුණා කියලා ඔබ වහන්සේම ප්‍රකාශ කැර තිබෙනවා.


මට එහෙම හැ‍ඟෙනවා. එහෙම දැනෙනවා. බුදුරජාණන් වහන්සේටත් ලෝහිත පක්කන්ධිකා (ලේ අතීසාරය) රෝගය හැදුණා කලන්තෙ හැදුණා ඔළුව කැක්කුම හැදුණා අගසව් හිමියන් අතර සිටි මුගලන් තෙරුන්ටත් අවසානයේ සොරු පහර දුන්නා උන්වහන්සේගේ ඇට සුණුසහල් තරමට කෙටුවා


චන්ද්‍රිකා වැවටත් වතුර බවුසර්වලටත් ඔබ වහන්සේ පිරිත් කළා කියන්නෙ ඇත්තද ?


සමහර දේ ඇත්තයි සමහර දේ කටකතා. මං බුද්ධ පාරමිතා ආශිර්වාද පූජාව කරනකොට මගේ අත ඒ පිරිත් පැන් බඳුනේ තබන්ඩ වෙනවා ලක්ෂ ගණන් මිනිස්සු එනකොට ඒක කරන්නෙ කොහොම දරෑ වතුර බවුසරවලටනම් පිරිත් පැන් එකතු කළ බව ඇත්ත ඒත් ඔය වැව් මං කවරදාවත් පිරිත් කළේ නෑ.


ඔබ වහන්සේට දොළුකන්දෙදි රන්කොතක් හමුවුණා පසුව එය පුරා විද්‍යාවට බාර දී නැවත ප්‍රදර්ශනයට ඉල්ලු වෙලාවක පුරා විද්‍යාවෙන් ගෙනාවෙ බාර දුන් කොත නොවේ ද


:උන්වහන්සේ නිහඬය* මම නැවත නැවතත් ඒ ප්‍රශ්නය අසමි


මා සියල්ල අත්හැර කොත බාර දුන්නෙ ඒ රන් කොතක් ඊට වඩා දෙයක් අහන්ඩ එපා

ඇයි ඒ


මා දැන් සිටින්නෙත් පුරා විද්‍යා ස්ථානයක. අනුරාධපුරයෙන් මෙහා පුත්තලමේ මේ ස්ථානය තමයි පෞරාණික බෞද්ධ උරුමය


දොළුකන්දෙ නිධන් හාරන්ඩ යම් යම් දේ කළ බව ඔබ වහන්සේට චෝදනා තිබුණා


මේ දැන් ඉන්නෙත් ඒ වගේ වටිනා තැනෙක. මා යෝගාවචරයන්ට පැන් පහසුව පිණිස වැවක් කැපුවා එච්චරයි.
 නිධන් හාරනවානම් මේ ස්ථානයේ ඉන්ඩ මට බාර දෙයි දරෑ පුරා විද්‍යා චක්‍රවර්තී එල්ලාවල ‍නාහිමියන් මට උදව් කරනවා :මම එල්ලාවල නාහිමියන් අමතමි* උන්වහන්සේ මේ ස්ථානය රැක බලාගෙන ඉඳීමම ඒ හිමිනම කරන විශිෂ්ට කර්තව්‍යයක් බව ඒ හිමියන් මට දුරකථනයෙන් වදාරයි


ඇයිරෑ මේකට විළඳගොඩ කියන්නෙ


උන්වහන්සේ එහි ගල් කුටියකට මා කැඳවා ගෙන යයි.

 මෙතැන තමා සාලිය කුමරා අශෝකමාලා හා සැඟැවී ජීවත්වුණේ. මහ රජු ගැමුණුගේ සේනාධිපතියෙක් උදව් කරලා තියෙන්නෙ මෙතැනින් තරමක් එහා බැලුම්ගල නම් සුවිශේෂ ගලකුත් තියෙනවා. ඒකත් මේ භූමියේමයි. මහ රජුට තම පුත්‍රයා සිහසුනත් හැර දමා අශෝකමාලා සමඟ මෙහි වසන බව ආරංචි වුණා. එතුමා තම පුත්‍රයා බලන්ඩ සේනාව තරමක් ඈත නවත්වා මෙහි ආවා. ඒ වෙලාවෙ කුමරාත් කුමරිත් රජතුමාට පිළිගන්වා තිබෙන්නේ විළඳ හා මීපැණි. මේ ලැබුණු විළඳගොඩ වගේම වෙහෙර විහාර ඔබ මෙහි කරවන්ඩ ඕනෑ කියා රජතුමා පුතාට අණ දී පිටත්වුණා. ඒ නිසා විළඳගොඩ නම පටබැඳුණා. මේ භූමියේ අක්කර දහස් ගණනක්ග පුරා අතීත යෝගාවචරයන්ගේ වාස භූමියක් කියා පෙනෙනවා. කටාරම් කෙටු ගල් ලෙන් මෙහි ඕනෑ තරම්.


ඔබ වහන්සේ රත්රන් එකතු කළ කතාව ඇත්ත දරෑ ඔබ වහන්සේගේ දායකයො වංචාකාරී වැඩ රැසක් කළාලු


මා රන් කොතක් හදන්ඩ රත්තරන් එකතු කළ කතාව ඇත්ත. දායකයො රන් මාල වළලු දැම්මට වැඩියෙන් තිබුණේ ඉමිටේෂන් බඩු. ඒ රන් කොත මං දොළුකන්දෙම ආරක්ෂාකාරීව තැබුවා. ජනතාවට සුව පහසුව සලසන්න මට ඉඩක් ලැබුණේ නෑ. මං කවරදාවත් සල්ලි අල්ලන්නෙ නෑ. සල්ලි අපට අකැපයි. මුදල් ලැබුණානම් ඒවායින් ප්‍රජා කටයුතු විතරයි කළේ


මකුල්වැව හදපු ගෙවල් 30

හාමුදුරුවන් සාදා දුන් නිවෙස්


ඒක මහත්තයා දැක්ක ද ? ඒකත් කරන්ඩ දුන්නෙ නෑ


ඔබ වහන්සේ ළඟ තිබුණු වාහන දැන් කෝ

සියල්ල අනිත්‍යයි. මා ඒවා ද ලැබුණු අනෙකුත් දේවලුත් දන් දීලා ආවෙ


ඔබ වහන්සේගේ මෑණියො මේ කැලේ රඳවාගත්තෙ ඇයි


අම්මා අසනීපයෙන්. ඇය බලාගන්නෙ අපේ ඥාතිවරියක්. අද අම්මාට බෙහෙත් ගන්ඩ කරුවලගස්වැවට යන්ඩ ත්‍රීවිලරයට රුපියල් 1100 මා සොයාගන්නේ අමාරුවෙන්. මා කෝටි ගණන් හම්බ කළානම් මෙහෙම ඉන්නව ද?  උන්වහන්සේ වැඩවසන ලෙන වවුල් ගඳය දාන මාන පවා මෙහි ගෙන ඒමට බොහෝ දුක් විඳිය යුතුය.


ඇයි මේ තරම් දුෂ්කර තැනකට ආවෙ වන සතා සීපාවාත් ඉන්නවා නේද


ඒ අයගෙ ගෙදරට අපි ඇවිත් ඉන්නෙ. ඒ අය ඒත් අපට කරදර කරන්නෙ නෑ. මාත් අනෙක් භික්ෂුන් මුල් කාලෙ පිණ්ඩපාතෙ වැඩලා ජීවත් වුණා. අද දායකයො කීප දෙනෙක් එනවා. අපේ හිමිනමක් එක් වතාවක් දහවල් උදේ දානය නැතිව පුත්තලමටත් වැඩියා. උදේට ලැබුණු දානෙ දවල්ටත් වළඳලා හිටපු දවස් තියෙනවා.


ඔබ වහන්සේට අද සාලියවැව පොලීසියෙන් ආරක්ෂාව ලැබිලා කියලා ආරංචියිග ඒක කොහොම ද වුණේ ?


මෙහි ධන නිධාන කඩන්න සමහරුන් මාන බලන නිසා අතිගරු ජනාධිපතිතුමා මගේ ආරක්ෂාවට රැකවල් දුන්නා. එතුමාත් එල්ලාවල හාමුදුරුවොත් මා සිටි තැන මෙතෙක් දැන සිටියා.


දැන් ආශිර්වාද පූජාව කළහොත් බලයක් නැද්ද


එහෙම වෙන්නෙ කොහොමද බුදු ගුණ අනන්තයි අප්‍රමාණයි. ඒ බලය සදාකාලිකයි. ඒ ආශිර්වාද බලය තවමත් එහෙමමයි


මේ ලිපිය බලලා මිනිස්සු මේ කැළයට ආවොත්


කවරදාවත් මා කිසිවකුට වෛරී හිතින් බලන්නෙ නෑ. මෛත්‍රි සිතින් කටයුතු කරනවා. උදව් බලාගෙන එන අයට එහෙම කරන්ඩ හොඳ නෑ. ඒත් විවේකීව වන සෙනසුනේ ඉඳීමට මං මනාපයි



උපාලි සමරසිංහ








බෝගම්බර බන්ධනාගාරය පල්‍ලේකැ‍ලේ දුම්බර බන්ධනාගාරය වෙත ගෙන යාමත් සමගබෝගම්බර බන්ධනාගාරය නැරඹීමට මහජනතාවට අවස්ථාව උදා විය. දින 18ක් තුළ ලක්ෂ 18ක් පමණ මහජනයා වැල නොකැඩී බන්ධනාගාරය නැරඹීමට පැමිණි අතර මහජනතාවගේ දැඩි උනන්දුවක් තිබුණේ එකවර තිදෙනෙකු එල්ලා මැරිය හැකි එල්ලුම්ගස දැකගැනීමය. බන්ධනාගාරය නැරඹූ අයගේ අදහස් දැනගැනීමට සටහන් ‍පොතක්ද එහි විය. එහි බොහෝ දෙනා ලියා ඇත්තේ නැවත එල්ලුම්ගස ක්‍රියාත්මක කරන ලෙසය.

මල්වතු පාර්ශ්වයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික මහෝපාධ්‍යය අලුත්ගම ධම්මානන්ද හිමියන් බන්ධනාගාර රැඳවියන් සමග වසර හැටහතරක් කටයුතු කළ හිමිනමකි. මරණ දඬුවම හිමිවූවන් එල්ලා මරණ අවස්ථාවේදී ඔවුන්ට බණ කීමට අවස්ථාව හිමිවූයේද ධම්මානන්ද හිමියන්ටය. සිරකරුවන්ගේ අදහස් පිළිබඳව ඉතා හොඳින් දන්නා උන්වහන්සේගේ වසර හැටහතරක බන්ධනාගාර මතකය පිළිබඳව කළ කතාබහකි මේ.

අද බොහෝ දෙනා නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියනවා?

මහජනතාව තුළ ඉඩකඩම් හා වෙනත් භෞතික දේවල් සම්බන්ධව ඇතිතෘෂ්ණාව, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය. කාමාශාවන් ඇතිවීම් නිසා මිනීමැරීම සිදුවනවා. එයට වයස් භේදයක් නැහැ. මරණ දඬුවම දුන්නා කියලා සමාජයේ මිනීමැරුම් අඩුවෙන්නෙ නැහැ. එල්ලුම්ගස ක්‍රියාත්මක වූ කාලයෙදීත් මේ රටේ ඕනතරම් මිනීමැරුම් සිදුවුණා.

ආගමික කටයුතු සඳහා ඔබ වහන්සේ සිරගෙදර තෝරා ගත්තේ ඇයි?

දැනුවත්ව හෝ නොදැනුවත්ව වරදක් කරලා සිරගතවූවන්ට උපකාරයක් කරන්න ඇත්නම්, ඒ අයට හොඳ නරක කියාදෙන්න පුළුවන් නම් හොඳයි කියන අදහසක් මට ඒ කාලෙ තිබුණා. එලෙස සිරගතවූවන් නිදහස් වූ පසුව ඔවුන්ට දහම් දැනුම ලබාදුන්නෙ නැතිනම් නැවතත් ඔවුන් සමාජයේ වරදක් කරලා සිරගෙදරට එන නිසා මට ඒ අයට දහම් දැනුම දෙන්න අවශ්‍ය වුණා.

ඒ අවස්ථාව උදා වුණේ කොහොමද?

බෝගම්බර බන්ධනාගාරයේ 1950 වසරෙදී ආගමික කටයුතු කළේ කලගන්වත්තේ සුමන කියන ස්වාමීන් වහන්සේ නමක්. දවසක් උන්වහන්සේ මට පැවැසුවා උන්වහන්සේගේ සහයට ඇවිත් උදව් කරන්න කියලා. ඒ අනුව මම 1950 වසරේ වෙසක් ‍පොහොය දිනයේ බෝගම්බර බන්ධනාගාරයට ගියා. එදා මම ආගමික කටයුතු සිදුකළ පසුව ඒ අය ඉතා හොඳින් බුදු දහම ගැන අවබෝධයක් ලබාගත්තා. මම ඒ වසරේදීම සිරකරුවන් වෙනුවෙන් සුචරිතෝදයනමින් බෝගම්බර සිරගෙදර ඇතුළේ දහම් පාසලක් ආරම්භ කළා. පසුව මම ආගමට දහමට ලැදි සිරකරුවන් පිරිසක් බන්ධනාගාරය තුළින් තෝරාගෙන ඒ අය සෑම පසළොස්වක ‍පොහොය දිනයකදීම ශ්‍රී දළදා මාලිගාවට රැගෙන ගොස් ඒ අයට දළදා වහන්සේ වන්දනා මාන කරන්න අවස්ථාව ලබා දුන්නා. තවමත් ඒ දහම් පාසල ඒ ආකාරයටම පවත්වාගෙන යනවා.

වරදක් කර සිරගතවන පුද්ගලයින් ආගම දහමින් යහමගට පැමිණ තිබෙනවද?

ඇයි නැත්තෙ? තමන්ගෙ බිරිඳ මැරූ පුද්ගලයෙක් ඒ කාලයේ බන්ධනාගාර ගතව සිටියා. ඔහුගේ ගම අනුරාධපුරයේ. ඒ පුද්ගලයා එල්ලුම්ගහට නියම වී සිටි අයෙක්. එයා අපේ බන්ධනාගාර දහම් පාස‍ලේ ලොකුම ලොකු උපාසක මහතා ලෙස කටයුතු කළේ. පසුව ඇපිල් එකකින්ද කොහෙද එයාගේ මරණ දඬුවම ජීවිතාන්තය දක්වා ලිහිල් වුණා. එයා බන්ධනාගාරය තුළ බොහොම හොඳින් කාලය ගත කළා. ඒ නිසාමද කොහෙද එයාට ඉක්මනින් නිදහසත් ලැබුණා. සිරගෙදරින් නිදහස් වී ඔහු මිහිඳු ආරාමයේදී පැවිදි බව ලැබුවා.
මිනිසුන් එල්ලා මැරීම ගැන ඔබ වහන්සේට දුකක් වේදනාවක් දැනුණද?

මිනී මරලා සාක්ෂි සම්පූර්ණ වූ විට රටේ නීතියට අනුව එය සිදුකරන නිසා අපට එය වෙනස් කරන්න බැහැ. මරණ දණ්ඩනය නියමවීමට පෙර ඒ සිරකරුවන් සිරගෙදර වසර ගණනක් සිර දඬුවම් විඳින නිසා ඒ අය මාත් සමග හොඳින් ආශ්‍රය කරනවා. මම ඒ අය හොඳින් හඳුනන නිසා ඒ අය එල්ලා මරන දිනයේ ඒ අයට බණ කියන්න මට හිත දෙන්නෙ නැහැ. ඒ නිසා ඒ කටයුත්ත වෙන හිමි නමකට පවරා මම කරන්නෙ පූජාවක් හදා මරණ දඬුවමට පෙර ඔහුට ඒ පූජාවට අත ගස්වනවා. අප ඒ අයට පහදා දෙනවා ජීවිතය අනිත්‍යයයි මරණය නියතයි කියන එක. ලෙඩ දුකකින් මරණය සිදුවුණත්, අනතුරකින් මරණය සිදුවුණත්කුමන වයසකදී මරණය සිදුවුණත් එල්ලුම්ගහට නියම වුණත් ඒ මරණය අපට හිමියි කියන එක අප ඒ අයට පහදා දෙනවා. 

එල්ලුම්ගසට නියමවූවන් තමන් කළ වරද ගැන පසුතැවිලි වෙනවද?

සමහරු එදා වැරදි කළත් පසුව ඒ ගැන පසුතැවිලි වෙනවා. බෝගම්බර බන්ධනාගාරයේ හිටියා ගොඩගේ කියලා මහත්මයෙක්. එයා ගැහැනු ළමයෙකුට මෝල්ගහෙන් ගහලා මරා දමලා තිබුණා. ඒ වරදට ඔහුට එල්ලුම්ගහ නියම වුණා. එල්ලුම්ගසට යන්න පෙර එයාට අනෙක් හාමුදුරුවො බණ කියලා එයාගෙ හිත ටිකක් කලකිරිලා තිබුණා. එයා ඒ ටික දවසට වෙන ආගමකට යන්න සූදානම් වන බව මට ආරංචි වුණා. මම එතනට ගියා. ඒ කාලෙ එල්ලුම්ගහට නියමවූවන් හතළිස් ගණනක් සිරකුටිවල සිටියා. ඒ සෑම සිරකුටියකටම මම ගියා.
 Dammananda-himi
ඒ අයට බණ කියා ඒ අයගේ සිත් සන්සුන් කර මම ගොඩගේ කියන පුද්ගලයාගේ සිරකුටිය ළඟටත් ගියා. මම එතනට යනවිට ගොඩගේ කියන පුද්ගලයා මට කිසිදු ගරුසරුවක් දැක්වූවේ නැහැ. ඒත් මම එයාට විනාඩි දහයක් පමණ බණ කියන විට එයා මා ඉදිරියේ දණ ගැසුවා. එයා මට වැඳලා කීවා අන්න එහෙම බණ තමයි මට ඕනෙකියලා. අනෙක් හාමුදුරුවො මම සිදුකළ වරද ගැන කියනවා. මම නැවත ඒවා අහන්න කැමති නැහැ. ඒවා මතක් කරනවටවත් මම කැමති නැහැ. මම ඒවා දන්න නිසා මට ඒ බණෙන් ඇති වැඩක් නැහැකියලා එයා කිව්වා.

 පසුව ඔහු මට වැඳලා පැවසුවා එයා එල්ලා මරන්න තව දින තුනයි තියෙන්නෙ. ඒ නිසා අනේ හාමුදුරුවනේ මට සාංඝික දානයක් දෙන්න ඕනෙ කියලා. එවකට මෙහි සිටි බන්ධනාගාර අධිකාරිවරයාට මේ පිළිබඳව දැන්වූ විට ඔහු එයට අවසර දෙන්න බැහැ කියා එකහෙළාම කීවා. පසුව මම තෙරිපැහැ ධම්මානන්ද හිමියන් සමග කොළඹ ගිහින් බන්ධනාගාර කොමසාරිස්වරයා මුණගැසී ඒ ගැන කරුණු කාරණා කියලා එතුමාගෙන් එයට අවසර අරගෙන ආවා. පසුව ඒ ගොඩගේ කියන සිරකරු සිටි සිරකුටිය ආසන්නයේම ඔහු එල්ලා මරන්න පෙර ඔහු ඉදිරියේ සංඝයා වහන්සේලා හත් නමකට සාංඝික දානයක් දුන්නා.

මරණ දඬුවම නියමවූවන් බේරා ගන්නටත් ඔබවහන්සේ ඉදිරිපත් වුණාද?

හිරගෙදර හිටියා ධර්මදාස කියලා විශ්‍රාමික ‍පොලිස් නිලධාරියෙක්. ඔහුට බොරු සාක්ෂි දාලා එල්ලුම්ගස් යවන්න තීරණය කර තිබුණලු. ඒ කාලෙ අග්‍රාණ්ඩුකාරවරයා එල්ලා මරන්න නියම කළේ පසළොස්වක ‍පොහොය දිනයේදී. මට ඒ බව ආරංචි වෙලා ඒ දිනයේ ඔහු එල්ලා මැරීමට මම ඉඩ දුන්නෙ නැහැ. කොහොම හරි එය නැවැත්වීමට කටයුතු කළා. නැවත ටික දිනකට පසුව ධර්මදාස  එල්ලා මරන්න නියම කළේ ශ්‍රී දළදා මාලිගාවේ පළමු කුඹල් පෙරහර වීදි සංචාරය කරන දවසේ.

මම එදත් කොහොම හරි එයා එල්ලා  මැරීම නැවැත්වූවා. ආගම සම්බන්ධයෙන් දෙවතාවක් මරණ දඬුවම නැවැත්වූ මෙම පුද්ගලයා ගැන නඩු වාර්තා ගෙන මම බැලුවා ඇයි  දෙවතාවක් මේ ආකාරයට බේරුණේ  කියලා සාකච්ඡා කළා. පසුව තේරුම් ගියා එයා ‍පොලීසියෙ ඉන්න කාලෙදී කුකුල් හොරකමකට සම්බන්ධව ඇල්ලූ හොරෙකුගේ සාක්ෂියකට අනුවයි ධර්මදාස මිනීමැරුමක් සිදුකළා කියලා තීන්දු වෙලා තිබුණේ කියලා. මම එයට දැඩි ලෙස විරුද්ධ වුණා. මම එවකට සිටි අධිකරණ ඇමැතිට මෙය දැන්වූවා. එයා ඒක පිළිගත්තේ නැහැ. පසුව ධර්මදාසව එල්ලා මැරුවා. මම එදා ඇමැතිතුමාට කිව්වා මෙය දේශපාලන හේතු මත කළ මිනීමැරුමක්. මේක වස අපරාධයක් කියලා.

ඇතැම් සමාවන් යටතේ එල්ලුම්ගසෙන් බේරුණු අය නැවත යහපත් ජීවිත ගත කරනවද?

ඇයි නැත්තෙ. මොරටුවෙ පදිංචි ප්‍රනාන්දු කියලා අයෙක් එල්ලුම්ගසට නියම වෙලා හිටියා. එයා හොඳම හොඳ දක්ෂ වඩුවෙක්. ඔහුට සමාවක් ලැබිලා නිදහස් වුණා. නමුත් ඔහු ගමට යන්න මැලිකමක්  දැක්වූවා. මම එයා මේ පන්ස‍ලේ නතර කර ගත්තා. එයා පන්ස‍ලේ වඩු වැඩත් කළා. මේ පළාතෙ වඩු වැඩ කර ජීවත් වුණා. එයා මැරෙන්න කිට්ටු වෙලා තමයි නැවත ඔහුගේ ගමට ගියේ. එතෙක් ඔහු මගේ ළඟ හිටියේ. එයාගේ දරුවොත් මා මුණගැහෙන්න ආවා. 

එල්ලුම්ගහට යන්න පෙර ඔවුන් ඔබ වහන්සේලාගෙන් විශේෂ ඉල්ලීම් එහෙම කරනවද?

සමහරු යම් යම් ඉල්ලීම් කරනවා. මට මතකයි තමන්ගේ මව මැරූ  අයෙක් එල්ලුම්ගසට නියම වී සිටියා. එයා එල්ලන්න ළංවෙනකොට කීවා හාමුදුරුවනේ මට බෝධියක් ළඟ හත් දවසක් පහන් හතළිස් පහක් පත්තු කරන්න ඕනේ කියලා. එයා  එල්ලා මැරුවට පස්සෙ මම පළමු දිනයේ දී පන්ස‍ලේ පහන් හතළිස් පහ පත්තු කර එම ඉල්ලීම ඉටුකළා. ඊට පසුව තෙල් සහ පහන් බන්ධනාගාරයට දීලා කීවා බන්ධනාගාර බෝධිය අසල ඉතිරි දින හයේ පහන් පත්තු කරන්න කියලා.

එල්ලුම්ගහට යන අය යන්නෙ බියෙන්ද?

මොන මනුෂ්‍යාද තමන්ගේ පණට ආදරය නැත්තෙ කියලා එහිදී හිතෙනවා. එක් දිනක් එල්ලුම්ගසට නියම වූ අයෙකුට මම බණ කියමින් සිටියා.  එයා තුන් පාරක් මුත්‍රා කළා. මරණ බයට එයාගේ ඇඟේ රෝම කෙළින් වී තිබුණා. මට එවිට තේරුණා අනුන්ගේ ජීවිත නැති කළත් කවුරුත් තමන්ගේ ජීවිතයට කොපමණ ආදරෙයිද කියලා.

එල්ලා මරණ විට නොමැරී බේරුණු අය ඉන්නවද?

එහෙම දෙයක් නම් මම දැකලා අහලා නැහැ. නමුත් එක දවසක සිරකරුවෙක් එල්ලා මරන්න අරගෙන යන විට එල්ලන්න එපා” “නිදහස තියෙනවා” “එල්ලන්න එපානිදහස තියෙනවාකියමින් එක් අයෙක් මහ හඩින් කෑ ගහගෙන  ආවා. ඒ අන්තිම  මොහොතේ එයාට තාවකාලික නිදහසක් ලැබෙන්න ඇති. එයා එල්ලුම්ගහෙන් එදා අනූනවයෙන් බේරුණා. තව විනාඩි දෙකක් පරක්කු වුණා නම් එයා එල්ලා මරනවා. 
 Ellum-gaha
ඔබ වහන්සේ කිසියම් පුද්ගලයෙකු එල්ලා මරනවා දැක තිබෙනවාද?

එල්ලුම්ගස ක්‍රියාත්මක කරන විට ඒ අසල සිට එම පුද්ගලයාට  ඇහෙන්න යම් ආගමික කටයුත්තක් කරන්න ඕනෙ.  එවිට අප එතන  තිබෙන තිරයට මුවාවෙලා එම ආගමික කටයුත්ත සිදු කරන්නෙ. අලුගෝසුවා නියමිත වෙලාවට මරණ දඬුවම ක්‍රියාත්මක කරන විට දඩස් ගාලා ලෑලි දෙක පහළට වැටෙන ශබ්දය ඇසෙනවා. ඒත් එක්කම ලණුව ගැස්සෙනවා පේනවා. එපමණයි මම දකින්නෙ. මම තවම එල්ලා මරනවා දැකලා  නැහැ. ඒ  අය එල්ලන වෙලාවට කියනවා හිත හැදෙන්න මොනවා හරි කියන්න කියලා. එවිට අප කරන්නෙ ජීවිතයේ තියන අනියත ස්වභාවය වැටහෙන්න යමක්     කියනවා. නැතිනම් බොහෝ විට ඉතිපිසෝ ගාථාව කියනවා. 

මරුසිරා නමින් ප්‍රකට වූ සිරිපාලව එල්ලා මරණ විටත් ඔහුට බණ කීවෙ ඔබ වහන්සේද?

ඔව්. මරුසිරා හරි දඩබ්බර පුද්ගලයෙක්. එයා බණට ඇහුම් කන් දෙන අයෙකුත් නොවෙයි. එල්ලා මරන්න යන වෙලාවෙ මම එයාට බණ කිව්වා. එයා කීවා ඔය බණවලින් මට වැඩක් නැහැ කියලා. එයා නොසරුප් ආකාරයට මට කතා කළා. නමුත් ඔහු එල්ලා මැරුවා. 

මරු සිරා  මරලා එල්ලුවා. මැරුණු අයෙකුට බණ කියන්න බැහැ කියා හාමුදුරු කෙනෙක් කී බවට කතාවක් තියෙනවා?

ඒවා සම්පූර්ණ බොරු. ඒ කාලෙ නොයෙක් කතා පැතිර ගියා මරලා එල්ලුවා  කියලා. නමුත් එහෙම දෙයක් වුණේ නැහැ. එයාගේ කිසිදු අමුත්තක් තිබුණේ නැහැ. එයා මරණ දණ්ඩනයට ගෙන ගියා. මමත් පිටුපසින් ගියා. එයා අපටවත් ගරු සරු කළ අයෙක් නොවේ.

අපේ හාමුදුරුවනේ නැවත මරණ දඬුවම ක්‍රියාත්මක කරන්න කියා රටේ ජනතාවගේ විශාල ඉල්ලීමක් තිබෙනවා. 

මරණ දණ්ඩනය ක්‍රියාත්මක වන්නේ වත්මන් ජනාධිපතිවරයා හෝ අනාගතයේ පත්වන ඒ හා බලය ඇති අයෙක් අනුමත කර අත්සන් කළොත් පමණයි. එම අනුමැතියෙන් මරණීය දණ්ඩනය දීම නිසා ඔහුත් යම් පාපකර්මයකට ගොදුරු වනවා. එය ඔහුගේ සංසාරයේ උපනූපන් ආත්මයේදී ඒ පව ඵල දෙන්න පුළුවන්. ඒ නිසා එයට තවත් අයෙක් කොටස් කරුවෙකු වනවාට මම කොහෙත්ම කැමති නැහැ. 

එදා රජ දවස සිට මෙරට මරණ දණ්ඩනය ක්‍රියාත්මක වුණු බව ඉතිහාසයේ සඳහන් වෙනවා නේද?

කීර්ති ශ්‍රී රාජසිංහ රජු බෞද්ධාගම ආරක්ෂා කර දියුණු කිරීමට ඇප කැපවී  කටයුතු කළ ප්‍රධාන දායකයා. ඔහුට රාජ නීතිය අනුව මරණීය දණ්ඩනය සිදු කරන්න සිදුවුණා. ඒ අවස්ථාවේ දී සංඝරාජ හිමියන් දේශනා කළා මරණීය දණ්ඩනය ක්‍රියාත්මක නොකර කුමන ආකාරයට කටයුතු කළ යුතුද කියලා. අද මේ රට තුළ පවත්වන්නේ ඒ සඟරජ  හිමි ආරම්භ කළ ශාසනයයි. ඒ චාරිත්‍ර විදි අප දිගටම ගෙන යන්න ඕනෙ.  ඒ සඳහා මිනිසුන්ගේ සිත්සතන් අප හදන්න ඕනේ. රටේ භික්ෂූන් වහන්සේලා මෙන්ම රජයත් එක්ව අප  ඒ සඳහා කටයුතු කළ යුතුයි. අද බෞද්ධයන් සියයට දහයක්වත් බෞද්ධ පිළිවෙත් රකින්නෙ නැහැ.

මරණයක් මඟුලක් වෙලාවට බිමත්කම ඉහ වහා ගිහින් තියෙන්නෙ. අද බණ දේශනා කිරීම නොව බණ අහන්න ජනතාව දැනුවත් කිරීමට රජයත් භික්ෂූන් වහන්සේලාත් එක්ව කළ යුත්තක්. 

ඒ නිසා සඟරාජ හිමියන්ට ගරු කිරීමක් වශයෙන් මෙරට මරණ දඬුවම ක්‍රියාත්මක නොකරනවා ඇතැයි  මම විශ්වාස කරනවා.


සටහන හා ඡායාරූප - ගයා වන්නිආරච්චි


පළමු වැනි ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැ දැකීමට පැමිණි මහා බ්‍රිතාන්‍යයේ දෙවැනි එළිසබෙත් මහ රැජන සහ පිලිප් කුමරු පාප් වහන්සේ වෙත ත්‍යාගයක් ලෙස විශාල හැම්පර් එකක් පරිත්‍යාග කරන්නට වූහ.

රෝමයේ සංචාරයක නිතර වෙමින් මෙලෙස එළිසබෙත් මහ රැජින ෆ්‍රැන්සිස් පාප් වහන්සේ බැහැදැකීමට පැමිණි අතර, පාප්වහන්සේගේ පදවි ප්‍රාප්තියෙන් පසු එළිසබෙත් රැජින හමුවන ප්‍රථම අවස්ථාවද මෙය වීම විශේෂත්වයකි.

එළිසබෙත් රැජින හා පාප් වහන්සේ අතර සිදුවූ මෙම පෞද්ගලික හමුව බ්‍රිතාන්‍යය සහ වතිකානුව අතර රාජතාන්ත්‍රික සබඳතා තවදුරටත් තහවුරු කෙරෙන දීර්ඝ ක්‍රියාදාමයක කොටසක් බව විදෙස් පුවත් සේවා පවසා සිටියි.

එංගලන්ත සභාව සහ රෝමානු කතෝලික සභාව අතර සබඳතා වර්ධනය කිරීමට ගෙන ඇති පියවර සඳහා එංගලන්ත සභාවට නායකත්වය දෙන බ්‍රිතාන්‍ය මහ රැජිනගේ සහයෝගය හිමි වී ඇති බවද මෙහිදී සිදුවී ඇත.

මේ අතර, පාප් වහන්සේ බැහැ දැකීමට පැමිණි රැජින හා පිලිප් කුමරු විසින් පාප් වහන්සේ වෙත විශාල හැම්පර් එකක් තෑගි ලෙස ලබාදෙන ලදී. එහිදී, හැම්පර් එකෙහි වූ විශේෂත්වය පාප් වහන්සේ වෙත පවසා සිටීමද පිලිප් කුමරු අමතක නොකළේය.

කෙසේ වෙතත්, පාප් වහන්සේ හමු වීමට පෙර එළිසබෙත් රැජින සහ පිලිප් කුමරු වෙත ඉතාලි ජනපති ජිඔර්ජිඕ නැපොලිටානෝ විසින් දිවා ආහාර වේලක් පිළිගන්වා ඇති බවද වාර්තා වෙයි.



ලෝකයේ විශාලතම සක්මන් බුද්ධ ප්‍රතිමා වහන්සේ විවෘත කිරීම පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථානයේදී පසුගියදා සිදුකෙරිණි.


පිළිමතලාව, රණවන පුරාණ රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය අම්පිටියේ සරණංකර සුමනජෝති හිමියන්ගේ සංකල්පයක් මත දෙස්විදෙස් පරිත්‍යාගශීලීන්ගේ අනුග්‍රහයෙන්  මූර්ති ශිල්පී සුරංග රාජවර්ධන මහතා විසින් නිර්මාණය කරන ලද.



 මෙකී පිළිමය විවෘත කිරීම මල්වතු පාර්ශ්වයේ අනුනායක නියංගොඩ විජිතසිරි නාහිමියන්ගේ සහ අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. 

රජ සබයට ගිය බල්ලා




පන්සිය පණස් ජාතක පොතේ කුක්කුර ජාතකය ඇසුරෙන් ලියැවිණ. මෙහි බෝසත් බලු පතියා ය.


සුදු අශ්වයන් සිව් දෙනකු විසින් ඇදැගෙන ආ අලංකාර රිය මාළිගා අංගණයෙහි නතර කැරිණ. අශ්වයන් මුදා ලූ රථාචාර්ය තෙමේ රාජකීය රථය මාළිගා අංගණයෙහි ම තිබෙන්නට හැරියේ ය.

පසු දා පිබිදුණු නුවර වැසියනට ඉවසුම් නොදෙන දුගඳක් දැනිණ. නැහැ පුඩු හකුළුවාගනිමින් “මේ කුමක් දැ?” යි ඔවුහු විමසූ හ.

රාජකීය රථයේ අසුන්වල වූ සම් සහ සම්පටි ඉරී, කොට්ටාවල පුළුන් ඉවතට වැටී තිබිණ. දුගඳ නැගුණේ තෙමුණු සම් කැබැලිවලිනි.

‘මේ අපරාධය කළෝ කවුරු ද?’ රාජ උදහසින් අපට මිදුමක් නම් නැහැ.’ මුරකරුවෝ සිතූ හ.

සුවඳ දුමින් පිරුණු, සුවඳ දිය විසුරුණු, විසිතුරු කුටියෙක සැතැපී සිටි රජුට මේ දුගඳ නොදැනිණ. පිබිදුණු පසු ඔහුට ළං වූ කුමරියක් රියට වූ විපත හෙළි කළා ය.

ප්‍රධාන ආරක්ෂක නිලධාරියා රජු ඉදිරියේ පෙනී සිටියේ ය.

“රජතුමනි, රාජකීය රථයේ ආසන බල්ලන් විසින් වනසලා.”

“බල්ලන් විසින්?”

“එහෙමයි. ඊයේ රෑ වැස්සට රථයේ ආසනවල හම් සහ හම්පටි තෙමිලා - පෙඟිලා. දුගඳ හමන විට බල්ලන් පැමිණ ඒවා කාලා.”

රජු රිය නැරැඹුවේ ය. ඔහුගේ නැහැය ද හැකිළිණ. තෙත පුළුන් කුට්ටි සහ ඉරුණු සම් කැබැලි ඔහුට පෙනිණ.
“උදේ දැකිය යුතු දෙයක් නොවෙයි නුඹලා මට පෙන්නුවේ!” රජුගේ දත් සැපෙන හඬ ඇසිණ.
රාජ පුරුෂයෝ වෙවුලන්නට වූ හ.

“වහා ම මේ රථය වඩුවන්ට දෙනු. පිටිනුවර එක බල්ලකුත් ජීවත් ව සිටිනු මා දුටුව හොත් නුඹලාට ද ජීවත් වීමට ඉඩ නොලැබෙන බව දැනගනිව්! වහා ම, වහා ම පිටිනුවරට යව්! ඒ රාජ ද්‍රෝහීන් සමූල ඝාතනය කරව්!” රජ අණ නිකුත් විණි.

“ඒ අණ නිවැරැදි යි,” රජු පසුපසින් ආ පුරෝහිතයා ද කී ය.

රාජ පුරුෂයෝ දුනු-හී ද ගල්-මුගුරු ද ගෙන පිටිනුවරට දිවූ හ.

මේ රජ අණ නොදත් බල්ලෙක් බියෙන් සැකයෙන් තොර ව වීදිය දිගේ ගමන් කළේ ය. ඈත දිව එන රාජ පුරුෂයන් පෙනුණ ද ඌ ඔවුන් පිළිබඳ ව නො සිතී ය.

“අන්න රාජ ද්‍රෝහියෙක්!” රාජ පුරුෂයෙක් කෑගැසී ය.

බලු හිස මතට මහ මුගුරක් වැටිණ. හීන් කෙඳිරියක් නගමින් ඌ තවත් අඩි හත-අටක් දුරට ගියේ ය; පා පැකිළ වැටුණේ ය. යළි හිස එසවුණේ නැත.

“ඔන්න එක රාජ ද්‍රෝහියෙක් ඉවර යි!” මුගුරු පහර දුන් පුරුෂයා සතුටින් කෑගැසී ය.

යමක් කටින් ඩැහැගත් බලු පැටියෙක් පටු වීදියක් දිගේ දිව ගියේ ය.

“අන්න, අන්න රාජකීය රථයේ සම් කැබැල්ලක් ගෙන යනවා. පුංචි රාජ ද්‍රෝහියෙක්.” රාජ පුරුෂයෙක් ඇඟිල්ල දික් කළේ ය. හී සරයක් පුංචි බලු හිස සිදුරු කළේ ය. නැගුණේ මඳ කෙඳිරියක් පමණි. බලු පැංචා ඇද-වැටිණි. දෑස පියවිණි.

“බඩුත් එක්ක හොරු අහු වුණා.”

දුන්න ගත් පුරුෂයා බලු පැටියාට ළං විය. ඒ කුඩා මළ සිරුරු මුවෙහි වූයේ මස් කෑල්ලකි.

පැටියා සොයා ආ මව ඔහු නොදුටුව ද මුගුරු පහරකින් පරලොව දුටුවා ය.

පිටිනුවර මිනිස්සු කැලඹුණහ. තැන තැන වැටුණු බලු මළ සිරුරු පෙනිණ.

“මොකක් ද මේ බලු සංහාරේ?” ඔවුහු ඇසූ හ.

“රජ අණ - රජ අණ. ප්‍රශ්න කරන්න එපා!” රාජ පුරුෂයෝ ගුගුළහ. “බල්ලෝ රජතුමාගේ රථය වනසලා.

උන් රාජ උදහසට ලක් වෙලා.”

මිනිස්සු යළි ප්‍රශ්න නො කළහ; කරබාගෙන සිය කටයුතුවල යෙදුණහ.

‘අපට මොක ද? ඕක බල්ලන්ගේ ප්‍රශ්නයක් නේ’ ඔවුහු සිතූ හ.

එහෙත් බල්ලෝ භීතියෙන් ඇවිස්සුණහ.

“මොකක් ද මේ අපේ වර්ගයාට
සිදු වන්නේ? දුටු දුටු තැන අප මරන්නට රජතුමා නියෝග කරලා,” බල්ලෙක් තවත් බල්ලකුට කී ය.

“මහ සොහොනේ සිටින අපගේ නායකතුමා හමු වෙමු. මේ විපත ගැන කියමු,” අනෙක් බල්ලා යෝජනා කළේ ය.

පිටිනුවර මහ සොහොන් බිම බල්ලන් දහසක් වෙසෙන තැනකි. ඔවුන් විසින් තෝරාගැනුණු නායකයෙක් එහි විය. ඒ නායක තෙමේ තැන්පත් ය; කාරුණික ය; සිය පිරිසේ කිසිවකුට ගැටුමකට, කලහයකට, ඉඩ නොලැබෙන පරිදි දැහැමින් සෙමෙන් පාලනයෙහි යෙදෙන්නේ ය.

පිටිනුවර බල්ලන් දෙදෙනා හෙළි කළ පුවත නිසා සොහොනේ බල්ලෝ ද කැලඹුණහ.

“පිටිනුවර බලු මළ සිරුරු සිය ගණනක් මා දුටුවා. රාජ පුරුෂයන් දුනු-හී ගෙන, කඩු-මුගුරු ගෙන අප ලුහු-බඳිනවා. එහෙන්-මෙහෙන් පැන අපි ඔබතුමා හමු වීමට ආවා,” බල්ලෝ නායකතුමාට කී හ.

ඒ මොහොතේ ම තවත් බල්ලෝ කීප දෙනෙක් සොහොනට ආ හ.

“පස්සෙන් ඊතල එනවා; ගල්-මුගුරු වැටෙනවා. අපේ වර්ගයා විනාශ යි,” හති හලමින් එක බල්ලෙක් කී ය.
“රාජ පුරුෂයෝ මේ ළඟට ම ආවා. උන් කැලේ පාරවල් සොයාගන්න බැරි ව යන්න ඇති. ඒත් මට බය යි. උන් කොහොම හරි මෙහාටත් ඒවි,” පිටිනුවරින් ආ බලු මහල්ලෙක් කී ය.

සොහොන් වැසි බල්ලකුට තැතිගැන්මක් ඇති විය:

“ආරක්ෂාව පතා නුඹලා අප සිටින තැනට එනවා. රාජ පුරුෂයන් එය දැනගත් විට අපටත් මෙහි වසන්නට ලැබෙන්නේ නැහැ.”

බලු නායකතෙමේ ඔවුන් නිහඬ කළේ ය:

“ආරක්ෂාව සඳහා පැමිණි සියලු දෙනා අපි සාදරයෙන් පිළිගන්න ඕන. ඔවුනට අනාථයන් වන්නට ඉඩ දෙන්නට එපා. ඔවුන් අපේ ම අය. මේ භීෂණය දුරු වන තුරු ඔවුන්ට අප සමග ජීවත් වන්නට ඉඩ දෙමු. ඒ අතර අපි විසඳුමක් සොයාගන්න ඕනෑ.

“රජතුමා අපේ වර්ගයාට සතුරු වූයේ ඇයි?” නායකයා පිටිනුවරින් ආ අයකුගෙන් ඇසී ය.

“දවසක් රජතුමාගේ නිල රථය මාළිගාවේ අංගණයේ තිබිලා වැස්සට තෙමිලා. රථයේ ආසනවල තෙමුණ හම් බල්ලන් කෑවලු. රජතුමා කෝප වෙලා නියෝග කළා ලු බලු සංහාරය පටන් ගන්න.”

“නුවර දොරවල් වැහුවට පස්සෙ පිටිනුවර කෙනකුට ඇතුළට යන්න පුළුවන් ද?”

“පුළුවන්කමක් නැහැ නායකතුමනි, මා දිනක් රාත්‍රියක ඇතුළු නුවරට යෑමට තාප්පය වටේට ම ඇවිද්දා. හැම තැන ම මුරකාවල්. මීයකුට රිංගන්න පුළුවන් තරමේ සිදුරක් වත් නැහැ. මීයෙක් නම් තාප්පෙට උඩින් පනීවි - බල්ලන්ට ඒ හපන්කම් බැහැ.”

“ඇතුළු නුවරත් බල්ලන් ඉන්නවා නේද?”

“එහෙමයි. රජතුමා සමග දඩයමේ යන බල්ලන් ඉන්නවා.”

“ඒ කියන්නෙ කීන බල්ලො?”

“එහෙමයි. එක දවසක දවාලක මා ඇතුළු නුවරට ගියා. මාළිගාවේ සඳලුතලවල කීන බල්ලන් සිටිනවා මා දැක්කා.”

නායකයා හිස සලමින් යමක් සිතුවේ ය. ඔහු සිය සගයන් රැස් කළේ ය.

“පිටිනුවරින් ආ අය අපේ ම වර්ගයේ අය බව, අපේ ඥාතීන් බව අමතක කරන්න එපා. ඔවුන්ට කළ හැකි සියලු සත්කාර කරන්න. තවත් ටික දවසකින් ඔවුන්ට ආපසු පිටිනුවරට යන්නට ලැබේවි.”

සගයෝ නායකයාගේ බස පිළිගත්හ. එහෙත් ඔවුන්ගේ සිත බියෙන් පිරී තිබිණ. ‘රජුගේ හී සර වන ළැහැබට ඉහළින් හා පහළින් යම් මොහොතක සොහොනට පැමිණිය හැකි යි’ ඔවුනට සිතිණ.
නායක බලු තෙමේ සොහොන් බිම මැද වූ ගල් තලාවේ වැතිර සිතන්නට විය:

‘මේ රාජ නීතිය හරි ම අසාධාරණ යි; අයුක්තිසහගත යි. දඬුවම් නිවැරදිකරුවන්ට යි, වැරදිකරුවන්ට සැලකිලි. රාජකීය රථයට සිදු වූ දේ සොහොනේ සිටින මට පෙනෙනවා. එහෙත් එය මාළිගාවේ සිටින රජුට පෙනෙන්නේ නැහැ. ඔක්කොම වැරදිවලට දඬුවම් ලැබෙන්නේ ලොක්කන් සමග සමීප බව නැති පිටිනුවර සිටින අහිංසකයන්ට යි. ‘පහත් තැනින් යයි ගලා ජලේ’ කීවා නේ. මා රජතුමා හමු වී, ඇත්ත පහදා දෙනවා.’
ඔහු ගල්තලාවෙන් බැස සගයකුට සිය සිත හෙළි කළේ ය.

“නායකතුමනි, සොහොන් බිමෙන් පිටතට යෑම ගැන නම් සිතන්නට එපා! රාජ පුරුෂයන් වියරු වැටිලා. උන් පිටිනුවර බල්ලන් සොයනවා. පිටතට ගියොත් ආපසු එන්න ලැබෙන්නේ නැහැ. ඔබතුමාගේ ගුණ-යහපත්කම් උන්ගේ ඊතල-මුගුරුවලට පේන්නේ නැහැ,” සගයා කී ය.

“මා හිතනවා ඔය ගමනේ දී මට කිසිදු උපද්‍රවයක් වන්නේ නැහැ. මා යන්නේ යහපත් අරමුණක් ඇති ව, සියලු අහිංසකයන්ගේ ජීවිත රැකගැනීමේ පරමාර්ථයෙන්.”

නායකයා ඇතුළු නුවරට යන පුවත සොහොන් බිමේ පැතිරිණ.

“නායකතුමනි, ඔබතුමාට පිටිනුවර වීදියක අඩියක්-දෙකක් වත් යන්නට ලැබෙන්නේ නැහැ,” බලු මහල්ලෙක් කී ය.

බොහෝ දෙනකුගේ ඇස්වලට කඳුළු නැගිණ.

“මිත්‍රවරුනි, මගේ අරමුණේ පිවිතුරු බව, උතුම් බව සැබෑ නම් මට අනතුරක් නොවී, ඒ අරමුණ ඉටු කරගෙන එන්නට ලැබෙනවා. මා එන තුරු සන්සුන් ව, සාමකාමී ව ඉන්න,” නායකයා ගමන අරඹමින් කී ය.
සොහොන් දොර තෙක් සිය නායකයා කැටුව පිරිස ගමන් කළහ.

“ඔබතුමාගේ ගමන සරු වේ වා! නිවැරැදි අපට සාධාරණය ඉටු වේ වා!” ඔවුහු පැතූ හ.

බලු නායක තෙමේ පිටිනුවර වීදි ඔස්සේ නුවර මහ දොරටුව දක්වා ගියේ අවට වූ සිය වර්ගයාගේ මළ සිරුරු කීපයක් ද දුටුවේ ය. දුනු-හී, අසිපත් ගත් අත් ඇති රාජ පුරුෂයනට මේ නායකතුමා ගමන් කරනු නොපෙනිණ.

මහ දොරටුවේ රැකවල්ලු ද කරබාගෙන සිටියහ. ඔහු මාළිගා අංගණය මැදින් ගියේ, සුවිසල් මැඳුරක සඳලුතලෙහි කීන බල්ලන් සිටිනු ද දුටුවේ ය.

‘සැප සේ වැඩුණු අපගේ වර්ගයේ ම අය. එහෙත් ඔවුන් සිටින්නේ රජු වෙනුවෙන් අහිංසකයන් දඩයම් කිරීමට යි. ඒ සඳහා ඔවුන්ට රජුගෙන් රජ සැප!’
මෙසේ සිතමින් ගිය ඔහු රාජ මාළිගාවට ද ඇතුළු විය.

ඉදිරිපස දිගු ශාලාවකි. එහි විසිතුරු භාණ්ඩ තැන්පත් කර තිබිණ. පහළ බිතු කොටස කැටපත් පුවරුවලින් සරසා තිබිණ. බලු නායක තෙමේ සිය පිළිබිඹුව දැක මඳක් විමසිලිමත් වූයේ ය. මුහුණේ වූයේ විඩාව මිස බියක සැකයක ලකුණු නො වේ. ඒ ශාලාව කෙළවර විසල් දොරටුවකි. එහි ඇතුළට ගිය විට පෙනුණේ රාජ සභාව ය.

සිංහාසනාරූඪ ව සිටි රජු ඇමැතිවරයකුගේ බසට කන් දෙනු බලු නායකයාට පෙනිණ. පුරෝහිත බමුණා ද, ඇමැතිවරු කීප දෙනෙක් ද, සෙන්පතිවරු ද, දිලෙන අසිපත් ඉහළට නගාගත් අත් ඇති රාජපුරුෂයෝ ද එහි වූ හ. ඔවුන්ගේ ඇස්වලට ගොදුරු නොවූ බලුපතියාණෝ නරපතියාණන්ගේ සිහසුන යටට වැද මඳ විවේකයක් ගන්නට සිතී ය.

එක් රාජපුරුෂයකුගේ ඇසට සිහසුන යටට රිංගාගත් බලුපතියා පෙනිණ. ඔහු මුගුර ගෙන බලුපතියා පිටතට ගැනීමට සැරසුණේ ය.

“ඌ පිටතට ගන්න එපා,” රජු කී ය.

බලුපතියා ද නරපති අසුන යට වැතිර ඇමැති දෙසුමට සවන් දී සිටියේ ය.

“මහරජතුමනි, පිටිනුවර වැසියන් කැරලි නොගසන-එක ගැන මට පුදුම යි! ඔවුන් විරුද්ධ වන්නේ බලු සංහාරයට නො වේ; තැන තැනැ දමා ඇති බලු මළ සිරුරුවල දුර්ගන්ධයට යි. රාජ පුරුෂයන්ට අණ ලැබී ඇත්තේ උන් මරා-දැමීමට පමණ යි. මළ සිරුරු වළ දැමීමට නියෝගයක් නැහැ. පිටිනුවර මහා පරිසර දූෂණයක් සිදු වෙනවා. වසංගත රෝග බිය ද ළඟ ළඟ ම එනවා. දැන් පිටිනුවර පණ ඇති එක බල්ලෙක් වත් නැහැ. උන් මහ සොහොනට ගොස් සැඟවුණු බව මට මේ දැන් සැල වුණා.”

වැතිර සිටි බලුපතියාගේ හිස එසවිණ; සවන් පත් දික් විය.

“මේ නිසා රජතුමනි, රාජ පුරුෂයන් වහා සොහොන් බිමට ද යැවිය යුතු යි. නැති නම් අපගේ සම් ද උන් කා-දමනු ඇති.”

රජු ඇමැතියකු දෙස බැලී ය.

“සියලු බලු මළ සිරුරු සොහොනට ගෙන ගොස් ගිනි තැබීමටත්, සොහොනේ සිටින බල්ලන් ද, ඒ ගිනි ගොඩට ම දමා මැරීමටත් නියෝග කරමි.”

රාජ සභාවේ කටයුතු අවසන් විය.

නරපති සිහසුනෙත් බසින්නට සැරසුණි.
බලුපති සිහසුන යටින් පිටතට පැමිණ රජුට නමස්කාර කළේ ය.

“මහරජතුමනි,” ඔහු, රජුගේ දෑස තමා දෙසට ඇදගත්තේ ය.

“ඇයි? මොක ද?” රජු නොමනාපයෙන් මෙන් ඇසී ය.

“ඔබතුමා සමග සාකච්ඡා කිරීමට මට කාරණයක් තියෙනවා.”

රජු යළි සිහසුනේ හිඳගති.

නිවෙස් කරා යෑමට සැරසුණු පුරෝහිත බමුණා ද, ඇමැතිවරු ද, සෙන්පතිවරු ද යළි සිය අසුන්වලට බර දුන්හ.

“මොකක් ද කාරණය?” රජු ඇසී ය.

“අපේ වර්ගයා ඝාතනය කිරීමට ඔබතුමා නියෝග කරලා තියෙනවා. ඒක සාධාරණ නියෝගයක් නො වෙයි.”

“කොහොම ද ඒක අසාධාරණ වෙන්නෙ? මගේ රථයේ ආසනවල හම් බල්ලන් විසින් කා-දමා විනාශ කරලා. ඒක රාජ ද්‍රෝහි අපරාධයක්! මා කළේ සාධාරණ නියෝගයක්.”

“ඔය නියෝගය සෑම බල්ලකුට ම වලංගු ද?”

“නැහැ මාළිගාවේ සිටින අපේ කීන බල්ලන්ට ඔය නීතිය වලංගු නැහැ.”

“ඔබතුමා දඬුවම් දෙන්නේ තමන්ගේ අය බේරලා. පිටිනුවර අයට පමණ යි ඔය නීතිය වලංගු. ඉතින් මා ඒක නේ කීවේ ඔය නීතිය අසාධාරණ යි කියල. හොඳයි රජතුමනි, මේ අපරාධය කළේ පිටිනුවර බල්ලන් බව ඔබතුමා හරියට ම දන්නවා ද?”

රජු සබය දෙස බැලුවේ ය. ඇමැතිවරු උඩ-බිම බැලූ හ. පුරෝහිත බමුණා හිස කැසී ය.

“මූ නම් යකාගේ බල්ලෙක්!” පුරෝහිත දත්මිටි සැපුවේ ය.

“පිටිනුවර බල්ලන්ම ඔය අපරාධය කළ බවක් මා හරියට ම දන්නේ නැහැ,” රජු පිළිතුරු දුන්නේ ය.
“හරියට ම දන්නේ නැති ව වරදකට දඬුවම් දෙන්නෙ කොහොම ද? ඔබතුමා ළඟ සිටින බල්ලන් ගැන සැක කරන්න බැරි ද?”


“ඒ අපේ මාළිගාවේ අප සමග සිටින අය. ඔවුන් ගැන අවිශ්වාසයක් නැහැ.”

“ඔබතුමා පක්‍ෂපාති ව තීරණ ගන්නවා. සමහර විට ඔය අපරාධය කළේ ඔබතුමාගේ කීන බල්ලන් විය හැකි යි.”

“මා එසේ සිතන්නේ නැහැ.”

“නොසිතන්නට සාධාරණ හේතුවක් තියෙන්න එපා යැ?”

“හේතුවක් නම් නැහැ.”

“හරි ම කණගාටු යි රජතුමනි, රාජ නියෝගයකට
සාධාරණ හේතු තිබිය යුතු යි. නැත් නම් ජනතාවට රජයෙන් යුක්තිය ඉෂ්ට වෙන්නෙ කොහොම ද? හේතු නැති ව පැනවූ මේ නියෝගය අසාධාරණ බව මම ඔබතුමාට නැවතත් කියනවා.”
“පිටිනුවර බල්ලන් මෙය නොකළ බව ඔබට කිව හැකි ද?”

“එහෙමයි රජතුමනි, රාත්‍රි කාලයේ පිටිනුවර කිසිවකුට මේ නුවරට ඇතුළු වීම අපහසු යි. මීයෙක් වුණත් එන්න ඕන තාප්පයට උඩින්.”
පුරෝහිතයා නැගිට්ටේ ය:

“රජතුමනි, පුරයේ සිට වතුර ගලා බසින ඇළ මාර්ගයෙන් බල්ලන්ට ඇතුළට එන්නට පුළුවනි.”
බලුනායක තෙමේ මඳ සිනාවක් පාමින් පුරෝහිතයා දෙසට හැරුණේ ය.

“කුණු කඳු ගොඩගැසුණු පල් වතුර පිරුණු මේ ඇළ ඔස්සේ බල්ලකුට එන්නට හැකි දැ යි රාජ පුරුෂයකු යවා බලන්න රජතුමනි, එන්න බැහැ. කිසිවක් නොසොයා නොබලා පැනවූ නීතිය නිසා අහිංසක ජීවිත දහස් ගණනක් දැනටමත් විනාශ වෙලා.”

“නුඹ කියන්නේ මේ අපරාධය කළේ අපේ කීන බල්ලන් ය කියල ද?”

“එහෙම යි.”

“ඔප්පු කළ හැකි ද?”

“එහෙම යි. මා එය ඔප්පු කරනවා. මෝරු වතුරත්, ඊතණ ටිකකුත් දෙන්න.”

නරපතියා, බලුපතියාට ඒවා සැපයී ය.

“මෝරු වතුර සමග ඊතණ මුසු කොට ඔබතුමාගේ සුරතලුන්ට පොවන්න.”

කීන බල්ලෝ සඳලුතලවලින් බැස රාජ සභාවට පැමිණියහ. උන්ගේ සාඩම්බර ගමන, ආඩම්බර බැල්ම බලු නායකයාට පෙනිණ.

රාජ පුරුෂයෝ මෝරු ඊතණ මිශ්‍රණය කීන බල්ලන්ට පෙවූ හ.

“අපි දැන් මේ ඇත්තන් සමග මාළිගා අංගණයට යමු,” බලුපති, නරපතිට කී ය. නරපතියා සිහසුනෙන් බැස්සේ ය. පුරෝහිත ද ඇමැතිවරු ද, සෙනෙවිවරු ද ඔහු සමග මාළිගා අංගණයට ගියහ. බලුපතියා නරපතියා අසලට වී කීන බල්ලන් දෙස විමසිල්ලෙන් බලා සිටියේ ය.

එක් කීන බල්ලෙක් “ඕහ්... ඕහ්...” හඬක් නැගුවේ ය. උගේ කට ඇරිණ. දිව එළිය වැටිණ. තවත් බල්ලන් කීප දෙනකුගෙන් ද ඒ හඬ ඇසිණ. උන්ගේ මුහුණුවල පීඩාකාරී රෝගී පෙනුමක් ඇති විය. පුරෝහිතයා බලු නායකයා දෙස බැලී ය. ‘නුඹ අපේ සුරතලුන්ට වස පෙව්වා’ යන අදහස ඔහුගේ සිතට නැගිණ; දිවට නොනැගිණ.

එක් කීන බල්ලකුගේ කටින් සෙම ගුළියක් වැටිණ. ඒ සමග කළු පැහැති යමක් ද විය.
“අන්න රජතුමනි, අන්න...” බලුපතියා නරපතියාට එය පෙන්වූයේ ය.

නරපති හිස බිමට නැඹුරු විය.

“සම් කැබැල්ලක්!”

පුරෝහිත මුහුණ රතු විය.

අනෙක් කීන බල්ලෝ ද සෙමගුළි සමග සම් කැබලි පිටතට දැමූ හ.
පුරෝහිත බ්‍රාහ්මණයා රජු දෙස බැලී ය. රජුගේ මුහුණ කෝපයෙන් පිපිරෙමින් තිබිණ.
‘ඒ කීන බල්ලන් නිසා උපන් කෝපයක් නො වෙයි. දැන් අප ද රාජ උදහසට ලක් විය හැකි යි,’ පුරෝහිතට සිතිණ.

යළි රාජ සභාව රැස් විය.

“බලු නායකතුමන්ට අසුනක් පනවනු” යි රජු රාජ පුරුෂයකුට අණ කළේ ය.

“එපා රජතුමනි, අපට අසුන් නුහුරු යි,” කියමින් බලුපතියා බිම හිඳගත්තේ ය.

“ඔබ වෙසෙන්නේ කොතැන දැ යි අසන්නට වත් මට බැරි වුණා,” රජු සිහසුනේ හිඳගනිමින් කී ය.
“පිටිනුවර මහ සොහොනේ බල්ලන් දහසක් සමග මා ජීවත් වෙනවා. ඔබතුමා ඇති කළ භීෂණය නිසා පිටිනුවර බල්ලන් ද දහසක් පමණ දැන් එහි සැඟවී සිටිනවා.”

රජුගේ දෙතොල සැලෙනු ද, එහෙත් හඬ නොඑනු ද සබයට පෙනිණ. රජ බිසව රන් කෙණ්ඩිය ගෙන ඔහුට පැන් ස්වල්පයක් පෙවූවා ය. රජු දෙතොල පිස බලුපතියා දෙසට හැරුණේ ය.

“ඔබ සිව්පාවකු වුව ද මේ සබයේ සිටින සියලු දෙනාට ම වඩා ඥානවන්තයි. මේ පුරෝහිත බමුණා මෙන් ම මාත් දිසාපාමොක් ඇදුරුතුමාගේ ශිෂ්‍යයෙක්. අපි තක්‍ෂිලා උපාධිධාරියෝ. ඒත් ඔබ අපට අද වැදගත් ම පාඩමක් ඉගැන්වූවා; ඇත්ත-යුත්ත සාධක සහිත ව පෙන්නුවා. ඔබ සිටිය යුත්තේ ඔතැන නො වෙයි, මෙතැන. බලුපතිතුමනි, ඔබට මා රජකම පුදනවා. මේ රට ඔබට පවරනවා,” රජු සිහසුනෙන් නැගිටිමින් කී ය.

රජ සබය ද නැගී සිටියේ ය.

බලු නායක තෙමේ මඳ සිනා පාමින් සබය දෙස බලමින් නැගිට යළි හිඳගත්තේ ය.

“රජතුමනි, ඔබතුමාගේ නිහතමානිකමට මා ගරු කරනවා. මට දැක්වූ සැලකිල්ල පිළිබඳ ව තුති පුදනවා. එහෙත් රජකමත්, රටත්, මට එපා. බුද්ධිමත් ව තීරණ නොගෙන ඥාතීන්ට, හිතවතුන්ට, පාක්‍ෂිකයන්ට අවශ්‍ය ලෙස වැඩ කිරීම නිසා, ඔවුන්ට තනතුරු දීම නිසා රට අවුල් වූ හැටි සමහරු කියනවා මා අසා තිබෙනවා. මේ නිසා රජතුමනි, ‘රට බල්ලාට ගිහිල්ලා’ ය කියලාත් සමහරු කියනවා මා අසාගෙන. බල්ලා ගැන ඒ මිනිස්සු සලකන්නේ පහළ මට්ටමෙන්.”

“එහෙත් ඔබතුමා බුද්ධිමත්.”

“රජතුමනි, මට රජකම එපා. මා ප්‍රශ්නයක් අසනවා: ඔබතුමා දශරාජ ධර්මය දන්නවා ද?”

“මා එය තක්ෂිලාවේදි උගෙන තිබෙනවා.”

“දශරාජ ධර්මය මතක ද?”

“ඒ කාලෙ නම් මතක යි. දැන් මතක නැහැ.”

“අන්න ඒක යි රජතුමනි, වැරැද්ද. බලය ලැබුණාට පසු ඒවා අමතක වෙනවා. හුඟක් රජවරුන්ට එහෙමයි. මගෙන් පාලනය වන්නේ බල්ලන් වුණත් මා එය කරන්නේ දශරාජ ධර්මය අනුව.

“රජතුමනි, මුලින් ම පන්සිල් රකින අයකු වන්න. එවිට මේ ආකාරයේ පරපණ නැසීම්, පක්‍ෂපාතී තීරණ ගැනීම් සිදු වන්නේ නැහැ. ඔබතුමාගේ අර අසාධාරණ තීන්දුව නිසා දහස් ගණනක් ජීවිත නැති වුණා. ඔබතුමාගේ ඇමැතිවරු කතා කළේ බලු මළ සිරුරු නිසා ඇති වන පරිසර දූෂණය ගැන මිස ජීවිත විනාශය ගැන නො වෙයි. රජතුමනි, ඥානවන්තයන් ඇසුරු කරන්න. ඔබතුමා කියන හැම දේට ම ‘එහෙයි, එහෙයි’ කියන අය දුරු කරන්න. මෝඩ උපදේශකයන් නිසා විනාශ වූ රජවරු ගැන මා දන්නවා. පළමු ව පන්සිල්, දෙවනු ව දශරාජධර්මය. රජතුමනි, දැහැමින්-සෙමෙන් රට රැක, රටේ ජීවත් වන සියලු ප්‍රාණීන් රැක, බොහෝ කලක් සතුටින් ජීවත් වන්න.”

බලුපතියාගේ දෙසුමෙන් සබයේ ඇතැමකුගේ මුහුණු රතු වී ගිය ද නරපතියා නම් සොම්නසට පත් විය.
“ඉතින් මා දැන් යා යුතුයි රජතුමනි, මට අවශ්‍ය වූයේ පිටිනුවර බල්ලන් අපරාධකරුවන් නොවන බව පෙන්වීමට පමණ යි; ඔවුන් මරණ බියෙන් ගලවාගැනීමට පමණ යි,” බලු නායකයා නැගිටිමින් කී ය.
“බලුපතිතුමනි, ඔබ නැවත යා යුතු නැහැ. මෙහි රැඳී අපට උපදෙස් දෙන්න,” රජු ඉල්ලීමක් කළේ ය.
“රජතුමනි, මට මෙහි රැඳෙන්නට අපහසු යි. මගේ සගයන් අතරට මා යා යුතු යි. දශරාජධර්මය හඳුනාගත් විට අමුතු උපදේශයක් ඔබට අවශ්‍ය නැහැ.”

“ඔබතුමන් කැමැති දෙයක් ඉල්ලන්න,” රජු කී ය.

බලු නායක තෙමේ මඳ වේලාවක් දෑස බිමට යොමු කොටගෙන සිටියේ ය; යළි හිස එසැවූයේ ය.
“එසේ නම් රජතුමනි, ඔබගේ රටවැසියන්ට කියන්න ආහාර ගැනීමෙන් පසු අපගේ අයට ද ආහාර ස්වල්පයක් දෙන්න කියා. අප වෙනුවෙන් මා කරන්නේ ඒ ඉල්ලීම පමණ යි.”

බලුනායකතුමා රජුට වැන්දේ ය; සබයට හිස නමා ගරු කළේ ය.
රජු සිහසුනෙන් බිමට බැස, බලුනායකයාගේ හිස පිරිමැද්දේ ය.

“ඔබේ ඉල්ලීම අද සිට ම ක්‍රියාත්මක වෙනවා. සෑම රටවැසියෙක් ම සිය ආහාරය ගැනීමෙන් පසු ඒ යුතුකම ඉටු කරනු ඇති.”

කෘතඥතා පූර්වක බැල්මක් රජු දෙස හෙළූ බලුනායකතුමා රාජ සභාවෙන් පිට වී ගියේ ය.


නගාරික ධර්මපාල තුමා 1915 වසරේ දී සුද්දන් විසින් මදුරාසියේ නිවාස අඩස්සියේ රඳවා සිටිය දී ලියූ ලිපියකි මේ.

බුදුන් වහන්සේ මහත් වූ කරුණාවෙන් හා ප්‍රඥාවෙන් යුතු ව සිය ධර්මදූත ව්‍යාපාරය ආරම්භ කළේ තෘෂ්ණාවත්, ද්වේෂයත්, මෝහයත් නිසා පවෙහි හා දුකෙහි ගැලී සිටින සත්ත්වයන්ට, එයින් සදාකාලික විමුක්තියක් ලබාගැනීම සඳහා දිය හැකි අමරණීය ත්‍යාගයක් වූ ශ්‍රී සද්ධර්මය, එයට සවන් දීමට කැමැත්තෙන් සිටින අයට දේ්ශනා කිරීම සඳහා ය.

සජීව සියලු සත්ත්වයන් සාමයත්, සන්තුෂ්ටියත් භුක්ති විඳිමින් ජීවත් විය යුතුª යන්න උන් වහන්සේගේ අපේක්‍ෂාව විය. නේරංජනා ගඟ අසබඩ, උරුවෙල් දනව්වේ බෝරුක මුල දී බුද්ධත්වය අවබෝධ කරගැනීමෙන් පසු ව, සත් සතියක් ම ස්ථාන හතක දී සියලු දුකින් මිදීමේ පී‍්‍රතිය වූ විමුක්ති සුවය විඳිමින් කල් ගෙවූ හ. සූවිස්සක් හේතූන් නිසා හටගන්නා වූත් සංකීර්ණ වූත්, විස්තීර්ණ වූත්, සූවිස්සක් වූ ඵල සමුදායක් සම්බන්ධ ව උන් වහන්සේ මනෝ විද්‍යාත්මක ව විමර්ශනය කළහ. මුළු මහත් විශ්වය ම එක්තරා ප්‍රබල නීතියකින් මෙහෙයවනු ලබයි. විද්‍යමාන සියලු දෙයකට ම හේතුවක් ඇත (යේ ධම්මා හේතුප්පභවා).
හේතුව කුමක් ද යන්න තථාගතයන් වහන්සේ දේශනා කොට ඇත. මෙම සූවිසි ප්‍රත්‍යයන්ගේ විචිත්‍ර වූ, වෛවර්ණ වූ ක්‍රියාකාරිත්වය තථාගතයන් වහන්සේ සාක්ෂාත් කරගත්හ. මෙම සම්පූර්ණ දර්ශනය ම උන් වහන්සේ මැනැසින්, සම්මර්ශනය කරද්දී උන් වහන්සේගේ දිලිසෙන ශරීරයෙන් නීල, පීත, ලෝහිත, ඕදාත, මංජේෂ්ඨ, ප්‍රභාස්වර යන ෂඩ් වර්ණ රශ්මි මාලාවක් පිටතට විහිද මඳ දුරක් දක්වා විශ්වය කරා පැතිරුණු බව ප්‍රකාශ වේ.

උන් වහන්සේ සිය අපේක්ෂාවන් සාක්ෂාත් කොට පරම වූ නිවන්සුව අවබෝධ කරගත් පසු ව කාම ලෝකයේ ප්‍රධාන දෙවියා වූ මාරදිව්‍ය පුත්‍රයා උන් වහන්සේ වෙත පැමිණ, ලබාගත් නිවන්සුවය හුදෙකලා ව, විවේකී ව භුක්ති විඳින ලෙස ඉතා ඕනෑකමින් යුතු ව ඉල්ලා සිටියේ ය. තවදුරටත් වෙහෙසෙන්නේ ඇයි? සාමයෙන් සුවයෙන් වැඩ සිටින්නැයි හේ බුදුන් වහන්සේගෙන් ආයාචනය කළේ ය. එම්බා රුදුරු මාරය, තගේ ඉල්ලීමට පිළිතුරු දිය නොහැකි ය. තොපට විවේකය හා සාමය අවශ්‍ය වුව ද සියලු ලෝක සත්ත්වයා ම මෙම විවේකයේත්, සාමයේත්, කොටස්කරුවන් වන තුරු මට එය අවශ්‍ය නො වේ. භික්ෂු, භික්ෂුණී, උපාසක, උපාසිකා යන සිව්වණක් පිරිස ධර්මයේ ප්‍රගුණ කරවන තුරු, මගේ ධර්මයෙන් නියමාකාරයෙන් සන්නද්ධ වන තුරු, දුර්මතයන් අඩු කරන තුරු හා ඔවුන්ට ශ්‍රේෂ්ඨ වූ ධර්මය දේශනා කිරීමට හැකි වන තුරු මට විවේක ගත නොහැකි ය. ඊට පසු ව මට විවේකගත හැකි ය. මාරය, තා මෙතනින් වහා පිට වී යවයි උන් වහන්සේ ප්‍රකාශ කළහ.

ධර්මය මිනිසුන්ට අවබෝධ කරගැනීමට අසීරු එකකැ යි උන් වහන්සේට කල්පනා විය. ජනයා කාමභෝගී ව, සුඛෝපභෝගී ව පී‍්‍රතියෙන් කල් ගෙවද්දී ඔවුහු කෙසේ මෙම ගැඹුරු ධර්මය අවබෝධ කරගනිත් ද? ඒ සමඟ ම ස්වාමීනි, ලෝකයා ධර්මය පිළිගැනීමට සූදානමින් සිටිති. ධර්මය දේශනා කර ලෝකය දුකින් මුදාගනු මැනවියි දිව්‍ය ලෝකයෙන් හඬ නගනු ඇසිණි. සියලු දෙවියන්ගේ ප්‍රධානියා වූ මෛත්‍රියට අධිපති වූ සහම්පතී බ්‍රහ්මයා ද මෙසේ ප්‍රකාශ කරමින් බුදුන් වහන්සේ ඉදිරියේ පෙනී සිටියේ ය.

මිනිසා ආගම උදෙසා හිංසා-පීඩාවලට පත් කළ යුතු යයන්න බුදු දහම කිසි සේත් විශ්වාස නොකරන්නකි. (1) සම්පූර්ණ අවබෝධයක් ඇති, (2) අවබෝධය ලබාගැනීමට සූදානම් හා (3) පසු ව අවබෝධ කරගත හැකි යනාදි වශයෙන් වශයෙන් වූ තෙවර්ගයකට අයත් මිනිසුන් ඇති බව බුදුන් වහන්සේට පෙනී ගියේ ය. තුන් ආකාරයකින් මිනිස් මනස පියුමක් හා සමාන වූවකි. සම්පූර්ණයෙන් පිපුණු මල, පිපීමට ආසන්න ව ජලයෙන් උඩට පැනනැගි මල හා තව මත් වතුර යට වූ නොපිපුණු මල වශයෙන් පියුමක අවස්ථා තුනක් දක්නට ලැබේ.

පහළ ශ්‍රේණියක උගන්නා ශිෂ්‍යයෙක් මධ්‍යම ශ්‍රේණියේ ළමයකු හා සම නො වේ. ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියක උගන්නා ශිෂ්‍යයෙක් මොවුන් දෙදෙනාට ම සම නො වේ. පහළ ශ්‍රේණියේ ශිෂ්‍යයා එකවර ම ජ්‍යෙෂ්ඨ ශ්‍රේණියේ ශිෂ්‍යයාගේ තත්ත්වයට පත් විය යුතු යැ යි සිතීම මෝඩකමකි. වර්ධනය සඳහා කාලය අවශ්‍ය වේ. මෙම ධර්මතාව තථාගත ධර්මයෙන් තහවුරු කර ඇත. මිනිසා වනාහි ලේ පිපාසයෙන් පෙළෙන දේව-යක්ෂයකු විසින් නිර්මාණය කරන ලද හෝ වාත්තු කරන ලද මැටි පිළිමයක් නො වේ. ඔහු තමාගේ ම ක්‍රියාවලියේ නිෂ්පාදකයෙකි. මිනිසා හා තිරිසන් සත්ත්වයාගේ මූලාරම්භය ගැන දැනගත නොහැකි ය.
ලෝකයේ ආරම්භයක් ගැන බුදු දහමේ සඳහන් නො වේ.

දැනගත http://www.namaskara.lk/2014/03/23-3.jpgහැකි මූලාරම්භයක් නැති නිසා ආරම්භය සොයාගත නොහැකි ය. එහි උඩ යට දෙක ම අනන්ත ය. ස්ථිර වූ කිසිවක් නැති අතර, සම්පූර්ණ විනාශයක් දක්නට නැත. වෙනස් වීමේ ධර්මතාව පමණක් පවතින අතර, මුළුමහත් විශ්වය ම හේතු-ඵල ධර්මතාවේ න්‍යායෙන් බද්ධ ව පවතී.

මිනිසා වනාහි ඔහුගේ මරණාසන්න මොහොත දක්වා ම සුභවාදී අපේක්ෂාවකින් කල් ගෙවන්නෙකි. කෙනකුගේ අකැමැත්තෙන් යමක් කිරීමට ඔහුට බලපෑම් කිරීම නොකළ යුත්තකි. ඔහුට යමක් ඒත්තු ගැන්විය යුත්තේ ආදරයෙන් හා කරුණාවෙනි. යමකු තමා ම විනාශය කරා යන මාර්ගයේ ගමන් කරයි නම්, එයින් අදහස් වන්නේ ඔහු අන් අය ද නොසතුටට පත් කරවන බව යි. මිනිසකුට හුදෙක් තමාට පමණක් අයහපතක් කරගත නොහැකි ය. 

යමෙක් තමන්ට යහපතක් කරගනී නම්, හේ අන් අයට ද යහපතක් සිදු කරන්නෙකි. ඒ හැරත් සෑම අයකුට ම උරුම වූ උපනිශ්‍රය කර්ම ඇති බවත්, යමක් අවබෝධ කරගැනීමට හැකියාවක් නැති අයකුට යමක් කිරීමට බල කිරීම, කර්ම න්‍යායට පටහැණි වූවක් බවත් බුදුන් වහන්සේ දුටු කරුණකි. කටු පැළෑටියකින් දිඹුල මල් ඉපදවීමට ඔබට නොහැකි ය. අඹ ගසක් අඹ ගෙඩි මිස පොල් ගෙඩි නිෂ්පාදනය නො කරයි.

සහජ උරුමය පිළිබඳ නියාමය, බීජ හටගැනීමේ නියාමය, ක්‍රියාකාරකම් පිළිබඳ නියාමය හා ස්වභාව ධර්මයේ නියාමය (කම්ම නියාමය, බීජ නියාමය, උතු නියාමය, ධම්ම නියාමය) යන නියාම ධර්මයන් උන් වහන්සේ දේශනා කළහ. හිංසාව හා අයුතු බලපෑම ආගමික හෝ මානසික විද්‍යා ක්‍ෂේත්‍රයේ නොමැති බව බුදු දහමේ පෙනේ. නිත්‍ය වූ සියලු දේ ද ඔබ හමුවෙහි ඇති නම් විනාශය ගැන බිය වන්නේ කුමට ද? ප්‍රඥාව හේතු කොටගෙන බුදුවරුන් තුළ දයානුකම්පාව හටගෙන ඇත. යහපත දැකීමට කැමැති අය ආරක්‍ෂා කිරීමට බුදුවරු කැමැති වෙති. යම් තාක් දුරට මෙම සංසාර පැවැත්ම ඇත්තේ ද, ඒ තාක් දුරට බුදුවරයන්ගේ පරම්පරාවක් ද වැඩසිටිනු ඇත. දයානුකම්පාව නොකඩවා ම අනුගමනය කරමින් අනාගත බුදුවරුන්ගේ ධර්මය පිළිගැනීම සඳහා මිනිස් වර්ගයා පෙළගැසී සිටිති. ලොව කිසිවිටෙකත් ශුද්ධවන්තයන්ගෙන් තොර නො වේ.

ආර්ය ගෘහය පී‍්‍රතිමත් තැනක් කිරීම බුදුන් වහන්සේගේ අපේක්‍ෂාව විය. එම ගෘහයේ බිරිඳ දෙවඟනක ද, ස්වාමිපුරුෂයා දෙවියකු ද වනු දැක්ම උන් වහන්සේගේ අභිලාෂය විය. එසේ ම නගර අලංකාර කිරීම, ගෙවතු, උයන්වතු, වතුර ටැංකි, වනපෙත්, දානශාලා, නානස්ථාන, විශ්‍රාම ශාලා, ආරෝග්‍යශාලා, නගරශාලා, ආගමික ශාලා, ප්‍රසූතිකාගාර, විසිතුරු මල් උයන්, දිවා හා රාත්‍රී විවේකාගාර, සක්මන් මළු, විහාරාරාම, භෝජන ශාලා, සේවා ස්ථාන, විසිතුරු උයන් ආදි මේ සැම දෙයක් සකස් කිරීම හා පිළියෙල කිරීම සම්බන්ධ ව, භික්ෂූන් වහන්සේලා පුහුණු කරවූ අතර, ඒවා සම්බන්ධ ව වැඩිහිටි මෙන් ම තරුණ අයට ද ඉගැන්විය යුතු බවට උපදෙස් දුන්හ; ගිහියන්ට සදාචාර සම්පන්න ව ජීවත් වීමට ද උපදෙස් දුන්හ. දන් දීමට උගත යුතු අතර, දිනපතා ස්වල්පයක් හෝ පරිත්‍යාග කළ යුතු ය. මේ අන්දමින් දන් දීමේ ක්‍රමය තමා ම ප්‍රගුණ කළ යුතු ය. බත් පිඬක් පවා දන් දීමට පුරුදු-පුහුණු විය යුතු ය.

පී‍්‍රතිමත් ගෘහ ජීවිතයක් සඳහා වූ දහම සදාචාරය යි. යමෙක් සොරකම් කරයි නම් ඔහු වැදගත් සමාජයකට භාර ගනු නොලැබේ. මිනිසා වූකලි සමාජශීලී, හැඩගැසෙනසුලු, ආධ්‍යාත්මික සත්ත්වයෙකි. සමාජයකින් තොර ව ඔහුට ජීවත් විය නොහැකි ය. ඔහුගේ පී‍්‍රතිය සඳහා නෑදෑයෝ ද ඔහුට සිටිය යුතු ය. මිතුරන් නෑයන් හා අඹු-දරුවන් නැති මිනිසකුට සම්පූර්ණ ජීවිතයක් ගත කළ නොහැකි ය. දෙවියන් දිනපතා ම මිනිසුන් ආශ්‍රය කිරීමට බිමට නොබසින නිසා සමාජශීලී ව මෙන් ම සුචරිතවාදී ව ද අන් අයගේ සතුට සඳහා ද කටයුතු කිරීමට උගත යුතු වේ.

ඇතැම් ආගම්වල එක ම දෙවියකුගේ පැවැත්මක් ගැන ඉගැන්වේ. එම දෙවියා අසතුටින් ජීවත් වන්නෙක් විය යුතු ය. සමාජයක් නැති දෙවියා හිරකරුවෙකි. එවැනි දෙවියන් ගැන ලෝකයට හඳුන්වා දෙන්නෝ තම සතුට ගැන විනා දෙවිවරුන්ගේ සතුට ගැන කථා නො කරති. ඇතැම් විට ඔහු අත්තනෝමතික ව එක් දෙවියකු ගැන විශ්වාස කරන්නැ යි මිනිසුන් රැවටුවා විය හැකි ය. දුප්පත් එම දෙවියාට අනුකම්පා කළ යුතු ය. ඔහුට ලබාදෙන ලේ ස්වල්පයකින් සෑහීමකට පත් වීමට සිදු වී ඇති අතර, දේව වක්තෘවරයා තමා කැමැති පරිදි, වැඩියෙන් ස්ත්‍රීන් ද, වැඩිපුර සුරාව ද, වැඩිපුර මස් ද ලබාගනී. සර්වබලධාරී දෙවියකු වූකලි මානසික ව අස්වාභාවික වූවෙකි. පරිණාමවාදය එවැන්නකු ප්‍රතික්‍ෂේප කරන අතර, වනචාරී අන්ධභක්තිය එවැන්නකු පිළිගනී.

පැරණි ඉන්දීය වැසියෝ දෙවියන්ට බිය නො වූ හ. ඔවුහු එකිනෙකාගේ සතුරන් නොවූ අතර, අනොන්‍ය වශයෙන් උපකාරී ව කටයුතුª කළහ. ආර්ය දේව කවය තුළ, ලේ පිපාසාවෙන් පෙළෙන යකකු බදු ඊර්ෂ්‍යාකාර දෙවියකුට පැවැත්මක් නො වී ය. උත්තරීතර සත්‍ය ධර්මයත් සදාචාරයත් දෙවියන්ට ඉහළින් වැජඹිණි. එම ශ්‍රේෂ්ඨ නීතියට අකීකරු වූවෙක් නම් නො වී ය. අත්තනෝමතික දෙවියකු ගැන දේශනා කළ අයට ශ්‍රේෂ්ට වූ හේතු- ඵලවාදයනම් සදාතනික න්‍යාය සම්බන්ධ ව කිසිදු වැටහීමක් තිබී නැත.

බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද පී‍්‍රතිමත් ගෘහ ජීවිතයේ සදාචාරය තුළ හේතු-ඵලවාදයේ සදාතනික නීතියට පටහැණි වූ අත්තනෝමතික දෙවියාට තැනක් නැත. ආත්මෝපකාරයපිළිබඳ ඉගැන්වීම බුදුන් වදාළ ගැඹුරු දහමකි. මැවුම්කාරයාගේ කැමැත්ත පරිදි කටයුතු කිරීමෙන් අදහස් වන්නේ එම මිථ්‍යා දෘෂ්ටිය ප්‍රකාශ කළ අයගේ මෝඩකම තහවුරු කරන බව යි. එමෙන් ම ග්‍රාම්‍ය වූ ද අත්තනෝමතික වූ ද දෛවවාදයට ද (සියල්ල පෙර නියමය පරිදි සිදු වන) සදාචාර ධර්මයේ තැනක් නැත.

කලින් නියම වූ රටාවකට අනුව මිනිසා දුක් විඳිය යුතු යැයි සිතීම මෝඩකමකි; චින්තන ක්‍රියාකාරීත්වයේ බලමහිමය, එනම් එක් එක් අයට සහජයෙන් උරුම වූ විද්‍යාත්මක වටිනාකම විනාශ කිරීමකි. සංස්කාර නිපදවීම හැරෙන්නට සිතට වෙන කිරීමට දෙයක් නැත. එය ප්‍රඥාව, එනම් විද්‍යාත්මක සිතිවිලි සමඟ මුසු වූ විට, “සියල්ල දෛවයෙන් නියමිත පරිදි සිදු වේ යයන දෛවවායට තැනක් නැත. මිනිසාට, කලින් නියමිත පරිදි දෛවය අනුව සියල්ල සිදු වන නිසා ඔහු දෛවවාදයට යටත් විය යුතු යැ යි, දැඩි ලෙස කියා සිටින, අත්තනෝමතික මැවුම්කරු හා එම චිරන්තන දෘෂ්ටිය හේතු-ඵලවාදී න්‍යාය සමඟ නොගැළපෙමින්, ඒ ඒ මිනිසුන් තුළ ක්‍රියාත්මක වන්නා වූ, චින්තන ශක්තිය සොරකම් කරයි; පැහැරගනී. මිනිසාට අතීතයක් නැත; අනාගතයක් නැත. භෞතික ශරීරය විනාශ වීමෙන් පසු සියල්ල කෙළවර වේයන අදහස ද ඊට ම සමාන වූ තුච්ඡ වූ දෘෂ්ටියකි. මේවා ඉපැරණි ඉන්දියාවේ පැවති අන්තවාදී විශ්වාස ය.

යුදෙව් චින්තනය අනුව මිනිසා මහ පොළොවේ වූ ධූලිවලින් සැදී ඇති බව හඟවයි. ඔහුට අතීතයක් නැත. එක්තරා කාලසීමාවක දී ජීවිතය පටන්ගෙන මරණයෙන් ඔහුගේ භෞතික ශරීරය විනාශ වී ගියාට පසු කිසිදු පැවැත්මක් නැත. මෙවැනි ධර්මයන්, වැසිපොද නැති කාන්තාරයක රස්තියාදුකාරයන් සඳහා පමණක් ගැළපෙයි. ආචාර්ය ප්ලින්ඩර්ස් පෙට්‍රි මහතාගේ ඉතා වැදගත් කෘතියක් වූ ච්චඹද ධට ඛ්ඪමඪතඪලචබඪධද නම් ග්‍රන්ථයේ ඉපැරණි ඊජිප්තු ප්‍රතිමා කැබැල්ලක ඡායාරූපයක් දක්නට ලැබේ. එහි කුඹලකුගේ මේසයේ මිනිස් රුවක් ලෙස අඹන ලද කුහුමුනම් දෙවියාගේ රුවක් දක්නට ඇත.

ආසියාවේ බටහිර වෙරළබඩට ආසන්න ව පැතිර ගිය යුදෙව් ආගම්වල දෙවියා විසින් මැටි පිඬකින් මිනිසා මවන ලදියන අදහස ස්ථාපිත කොටගන්නා ලදි. මිනිසාගේ ශ්‍රේෂ්ඨත්වය අන්තර්ගත වන්නේ යහපත් දේ කිරීමට දක්වන ස්ථිරසාර අභිප්‍රාය හා ඔහුගේ ආත්ම පරිත්‍යාගයෙන් සත්‍යය දැන-හැඳිනගැනීම සඳහා යොදවනු ලබන ශක්තීන් තුළ ය. මෙම උතුම් ශක්තිය පැහැරගන්නා මිනිසා, කොටියාගේ හා වලසාගේ සහජ ගතිවලින් යුතු ම්ලේච්ඡයකු බවට පත් වෙයි.

ඇතැම් රටවල් ස්වභාවයෙන් ම කෘෂිකර්මය සඳහා සුදුසු නො වේ. වී ගොවිතැනෙහි යෙදෙන රටවල ජනයාට ඒ සඳහා අවශ්‍ය ඥානය ලබාගැනීමට ස්වභාව ධර්මය ද උදව් කරයි. බීජ තවන් කිරීම සඳහා පොළොව සකස් කිරීමේ දී දෛනික ව දරනු ලබන පරිශ්‍රමය තුළින් මෙම අවබෝධය ලැබේ. වී ගොවිතැනේ යෙදෙන්නාට, බීජ තවන් කිරීමට සුදුුසු වන කාලය ගැන ද, ඒ ඒ අවස්ථානුකූල ව සිදු වන ඍතු විපර්යාසයන් ගැන ද අවධානය යොමු කිරීමට සිදු වෙයි. ගොයම් පැළ වැඩීමේ දී ක්‍රමානුකූල ව සිදු වන වෙනස්කම් ගැන ද සැලකිලිමත් වීමට සිදු වෙයි.

හොඳ පලදාවක් ලබාගැනීම සඳහා තමා විසින් දරන ලද වෙහෙස මහන්සිය මෙන් ම, හරකුන් නොමැති ව කුඹුර හාගන්නට නොහැකි නිසා, උන්ගෙන් ඒ සඳහා ලබාගත් ශ්‍රමය ගැනත් ගොවියා තක්සේරු කරයි. බත ප්‍රධාන ආහාරය ලෙස ගන්නා කෘෂිකාර්මික රටවල මැවුම්කරුවකුපිළිබඳ අදහස සොයාගැනීමට නැති වීම පුදුම සහගත ද? අන් අය මංකොල්ලකමින්, ඝාතනය කරමින්, කටයුතු කරන විට ඇති වන උවදුරුවලින් තමන් ගලවාගැනීම සඳහා දුෂ්ට දෙවියකුට යාච්ඤා කිරීම, රස්තියාදුකාර, මංකොල්ලකරුවකුට අවශ්‍ය වූවකි.

පී‍්‍රතිමත් ආර්ය නිවෙස, මස් මරන්නකුගේ ඝාතක ස්ථානයක් බවට පරිවර්තනය නො වී ය. තමාගේ ආත්මාර්ථකාමී ගිජු ආශාවන් සංසිඳුවාගැනීම සඳහා, අහිංසක හා අසරණ සතුන් ඉතා අමානුෂික ලෙස මරණයට පත් කරමින් උන්ගේ ලෙයින් පොළොව තෙත් කරන ජීවිතයකට හේ පුරුදු නො වෙයි. අසරණ සතුන්ගේ ලේ වැගිරවීම සඳහා හේ කෝපයෙන් වියරු වූ දෙවියකුගේ අවසරය නො පතයි. ආර්යයා අහිංසා පරමාධම්මායන ආදර්ශ පාඨයෙන් යුතු ව දවසේ වැඩ අරඹයි. කරුණාව වූකලි විශිෂ්ටතම ධර්මය යි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන මේ ශ්‍රේෂ්ඨ ගුණාංග සතර ආර්යයා වඳින-පුදන දෙවියාගේ ගුණධර්ම යි. ඔහු බ්‍රහ්ම නමින් ද හැඳින්වේ. ආර්ය දෙවියෝ පොළොවට ශාප නො කරති; ආශීර්වාද කරති. දෙවියෝ ලොවට ශාප කරති යි සිතීම ඉතා පිළිකුල් කට යුතු මතයකි. එය සාප සංකල්පයේ අතිබිහිසුණු ම උපරිම අවස්ථාව යි.

පී‍්‍රතිමත් ගෘහ චර්යාව පවුලකට නියමිත වූ යුතුකම් රැසක් ගැන නිරතුරු ව ම අවධානය යොමු කරයි. පවුලේ ප්‍රධානියා අරිය සාවකනමින් යුතු වන අතර දේවනාමයෙන් ද ඔහු සම්භාවිත යි. කීකරු භාර්යාව දේවියනමින් හැඳින්වේ. ආර්ය ගෘහපතියා නිතර ම සදාචාරය ගරු කළ යුතු අතර, සෑම කරුණක් සම්බන්ධ ව ම හේතුඵලවාදී ව සලකා බැලිය යුතු ය. ඔහු විසින් අත්හළ යුතු දේ ද ඇත. ඒවා ඔහු කිලිටි කරන කම්ම කිලේසනමින් හඳුන්වයි. සමහර ඒවා කිරීමෙන් වැළකී සිටිය යුතු ය (පාපකම්මං න කරෝති). ඔහු අපායට හෙළන්නා වූ, සම්පූර්ණයෙන් ම අත්හළ යුතු දෑ ඇත (අපාය මුඛානි න සේවති).

මිනිසා කිලිටි කරවන ක්‍රියාවන් නම්: (1) ප්‍රාණඝාතය, (2) සොරකම, (3) පරදාර සේවනය හා වැරදි ලෙස ඉඳුරන් පිනවීම සහ (4) බොරු කීම යි. යහපත් ආර්යයා ඡන්ද, දෝස, භය, මෝහ යන සතර අගතියට නොපැමිණ, ඒවායින් දුරු විය යුතු ය. මිනිසා අපායට පමුණුවන දුෂ්චරිතයන් වූකලි සුරාපානය, අවේලාවේ වීථිසංචාරය කිරීම, මධුපානෝත්සවයන්ට සහභාගි වීම, පාපමිත්‍ර සේවනය හා අලස වීමට පුරුදු වීම යන මේවා ය.
සුරාපානයෙන් ගෘහපතියාගේ පී‍්‍රතිය සම්පූර්ණයෙන් විනාශ වී යයි. බුදුන් වහන්සේ සුරාපානය කිරීමෙන් සිදු වන හානිය පැහැදිලි ව සඳහන් කළ සේක: (1) බල-බලා සිටිය දී ම ධනය විනාශ වීම, (2) කලහකාරී වීම, (3) දබරවලට පැටලීම හා කෝප වීම, (4) ලජ්ජා-බිය නැති වීම, (5) ප්‍රඥාව දුබල වීම හා ඊළඟ භවයේ දී උමතු බවට පත් වීම යන මේවා එහි ප්‍රතිඵල ය.

යහපත් ගෘහපතියකු අනිවාර්යයෙන් ම ඉටු කළ යුතු යුතුකම් රැසක් ද දක්වා ඇත. ඔහුගේ දෙමවුපියන් ද, අඹු-දරුවන් ද, හොඳින් රැක- බලාගත යුතු ය. ඔහුගේ යහළු-මිත්‍රාදීන්, උපස්ථායකවරුන්, දාස-කම්කරුවන්, ශ්‍රමණ බ්‍රාහ්මණයන් යන මේ සියලු කොටස්වලට හොඳින් සැලකිය යුතු ය. තම දරුවන්ට ශිල්ප කර්මාන්ත, විද්‍යා හා කලා ශිල්ප යන මේවා උගැන්විය යුතු ය. එමෙන් ම තමන්ගේ දරුවන්ට උගන්වන ගුරුවරුන්ගේ අවශ්‍යතාවන් සොයා-බලා ඒවා ඉටු කර දිය යුතු ය. 

මිතුරන්ට සත්‍යවාදී විය යුතු අතර, අසීරු අවස්ථාවල දී ඔවුන් අත්නොහැර අවශ්‍ය උදව් කළ යුතු ය. නියම මිතුරා වෙනුවෙන් තම ජීවිතය වුව ද පිදීමට සූදානම් විය යුතු ය. තමාගේ ආදායම කොටස් හතරකට බෙදා එක් කොටසක් සිය පරිභෝජනයටත් කොටස් දෙකක් ජීවත් වන කර්මාන්තය සඳහාත් අනෙක් කොටස් අර්ථසාධක අරමුදලක් වෙනුවෙනුත් යෙදවිය යුතු ය. 

තමන්ගේ පරිභෝජනය සදහා යොදාගන්නා කොටසින් දහයෙන් පංගුවක් දිනපතා දන් දීමට යෙදවිය යුතුය. 

සතුටින් ජීවිත ගත කිරීමට කැමැති ආර්ය ගෘහපතියා කිසිවිටෙකත් අලස ව නොසිටිය යුතු ය. අලස මිනිසා තම මහන්සියෙන් උපයාගන්නා ධනය නැති කරගන්නා අතර, අලුතින් ධනයක් උපයාගැනීමට ද අපොහොසත් වේ. අලසකම අපායට මාර්ගයකි. ක්‍රියාකාරීත්වය අමරණීය ගුණයක් බව ඥානවන්තයා කල්පනාවට ගත යුතු ය (අප්පමාදෝ අමතපදං). පරිත්‍යාගශීලී වීම (දානය), මිහිරි වචන කථා කිරීම (පි‍්‍රයවචන), සැමට සමාන ව සැලකීම (සමානාත්මතා), සමාජ සේවය (අර්ථචර්යාව) යන මේ සතර සංග්‍රහ වස්තූන් ආර්ය ගෘහපතියා විසින් වැඩි-වර්ධනය කරගත යුතු ය.

බුදුන් වහන්සේ ආර්යාවර්තයේ උපාසක-උපාසිකාවන් සඳහා හතළිස්පස් වසරක් තිස්සේ උපදෙස් දුන් සේක. ආර්ය පවුලේ සැමියා හා බිරිය කරත්තයේ රෝද දෙක බඳු ය; අන්‍යොන්‍ය වශයෙන් ක්‍රියාත්මක විය යුතු ය; අන්‍යොන්‍ය ගරුත්වයකින් කටයුතු කළ යුතු අතර, නුවණින් හා ගුණයහපත්කම්වලින් එකා වන් ව පිළිපැදිය යුතු ය. ආර්ය සැමියකු හා ආර්ය බිරියක සම්බන්ධ ව බෞද්ධ ඉතිහාසයේ සඳහන් වන හොඳ ම උදාහරණය නම් නකුල පිතෘවරයාගේ හා නකුල මාතාවගේ කථාන්තරය යි. 


පරිවර්තනය බන්දුසිරි කංකානම්ගේ

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery