facebook page

Powered by Blogger.

Blogger templates


‘මහගෙදර තුල්සි’ ලංකාවේ කොයි කවුරුත් ඇය හඳුනා ගන්නේ එලෙසිනි. එහෙත් ස්මිරිති අයිරානි ඇයගේ උපන් නමයි. ‘කූන්කි සාස් භි කභී බහූ ති’ නාට්‍යයේ ලේළිය ලෙස රඟන ඇය ජනාදරය දිනා ගත්තේ භාරත දේශයේ පමණක් නොවෙයි. ශ්‍රී ලංකාවේ රසිකයන් අතර ද ඇය ආදරණීය චරිතයක් වූවාය. 2000 වසරේ සිට 2008 වසර දක්වා කොටස් 1,800 කට වැඩි කොටසක එම නාට්‍යයේ රඟපා ජන හදවත් හි ලැගුම් ගත් අයිරානි කලාවේ ආලෝකයෙන් දේශපාලනය තෝරා ගෙන ඇත්තේ කලක සිටය. ඇය දේශපාලන පොර පිටියට පිවිස තිබෙන්නේ භාරතීය ජනතා පාක්ෂිකාවක ලෙසය.

ඒ වාගේම ඇය සටන් කරන්නේත් එසේ මෙසේ ප්‍රදේශයකට නොවෙයි. උත්තර ප්‍රදේශයේ අමෙයිති ප්‍රදේශය ඇගේ සටන් බිමයි. එය ගාන්ධි පරපුරේ ජය භූමියකි. හිටපු අගමැති රජීව් ගාන්ධිගේ බල ප්‍රදේශය වූයේ ද අමෙයිතිය. 2009 වසරේදී ගාන්ධි මහතා ඡන්ද සියයට හැත්තෑවකට වැඩි ප්‍රතිශතයක් ලබා බලයට පත් වූ අතර බීජේපී පක්ෂයට ලබා ගත හැකි වූයේ ඡන්ද සියයට දහයට අඩු ප්‍රමාණයකි.

අයිරානි විජයග්‍රහණය නොකළත් කරට කර සටනක් දෙනු ඇති බව බොහෝ දෙනාගේ අදහසයි. තවමත් අමෙයිති නොදියුණු පෙදෙසක් ලෙසින් පැවතීම ගාන්ධි පරපුර ලජ්ජාවට පත් කරන කරුණක් බව අයිරානි මෑතකදී ප්‍රකාශ කළාය.

ස්මිරිති අයිරානි බීජේපී පක්ෂයේ ප්‍රබල කාන්තා නියෝජනයකි. තිස් අට හැවිරිදි ඇය දේශපාලනයට ආධුනිකයකු නොවෙයි. 2003 වසරේදී අයිරානි භාරතීය ජනතා පක්ෂයට සම්බන්ධ වූවාය. 2004 පැවැති මැතිවරණයේදී ඇය පරාජය වුවත්, දේශපාලනය අත් හැරියේ නැත. 2014 දී ඇය සටන් වදින්නේ කොංග්‍රස් පක්ෂ ලේකම් රාහුල් ගාන්ධි සමඟයි. මෙතරම් දැවැන්තයකු සමඟ සටන් වදින්නට ඇයට පාර කැපුණේ කලාවේ ආලෝකයෙනි.

1997 වසරේ ෆෙමිනා මිස් ඉන්ඩියා තරඟයේ ජයග්‍රාහිකාවක වීම නිසා ඇයට පුංචි තිරයට සම්බන්ධ වීමට වාසනාව ලැබුණාය. ආතිෂ්, හම් හෙයින් කාල් ආජ් කාල් ඕර් කාල් ටෙලි නිර්මාණවලට පසු ඇයට ‘කූන්කි සාස් භි කභී බහූ ති’ හි රඟන්නට වරම් ලැබුණාය. ඇය සුපිරි තරුවක් වූයේ එහි රංගනය නිසයි. ඉන්දියානු රූපවාහිනී ඇකඩමි සම්මාන උළෙලේදී පස් වරක් ජනප්‍රියම නිළිය වෙමින් ඇය වාර්තා පොතට එක් වූවාය. ඊට අමතරව ඉන්දියානු ටෙලි සම්මාන හතරක් ද, ස්ටාර් පරිවාර් සම්මාන අටක් ද ‘කූන්කි සාස් භි කභී බහු ති’ රංගනයට හිමි විය. දැන් ඇය අධ්‍යක්ෂිකාවක් ද වන්නීය.

ස්මිරිති අයිරානි මල්හෝත්‍රා ඇයගේ උපන් නමයි. ළමා වියේ සිට මිතුරකු වූ ඇයට වඩා දස වසරක් වැඩිමල් සුබින් අයිරින් සමඟ 2001 දී ඇය විවාහ වූවාය. ඒ සුබින්ගේ දෙවැනි විවාහයයි. අයිරානි දුවකගේ සහ පුතකුගේ මවකි. ඇය සමාජ සේවයට මුල පුරා ඇත්තේ ග්‍රාමීය දිලිඳු ජනතාවට ජලය සපයන ව්‍යාපෘතියකිනි.
කෙසේ වුවත් මහගෙදර තුල්සිට නැන්දණිය මෙන්ම මෙවර මැතිවරණය ද දරුණු සටනක් වනු නම් නිසැකය.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery