facebook page

Powered by Blogger.

Blogger templates

අර්නස්ට් වඩුගේ

පුවත්පත් කිහිපයකම ප්‍රධාන කර්තෘ ධුරය හොබවා තිබෙන අර්නස්ට් වඩුගේ යොවුන් පරපුර අතර බෙහෙවින් ජනප්‍රිය නවකතා රැසක්ද ලියා පළකොට තිබේ. මේ වසරේදී ඔහු සිය මාධ්‍ය ජීවිතයේ 50 වැනි වසර සමරයි. 

පාසල් කාලය ගැන තියෙන්නේ මොනවගේ මතකයක්ද?

මම අධ්‍යාපනය ලැබුවේ ගාල්ලේ මහින්ද විද්‍යාලයෙන්. සාහිත්‍යය තමයි පාස‍ලේදී මගේ ප්‍රියතම විෂය වුණේ. වයස අවුරුදු 16-17 වෙද්දී මම දැඩි සිනමාලෝලියෙක් වුණා. ඒ කා‍ලේ මගේ යාළුවෝ හය හත්දෙනෙක් හිටියා. ගාල්ලේ තිබුණු ඔලිම්පස්, ක්වින්ස්, සරසවි කියන සිනමාහල්වලට ගිහිල්ලා, ගාල්ලට එන චිත්‍රපටවල මුල්ම දවසේ මුල්ම දර්ශනය නරඹන එකයි ඒ කා‍ලේ අපේ ලොකුම ආසාව වුණේ. එහෙම බලන්න බැරිවුණ දවසට මම ඉස්කෝ‍ලේ කට් කරලා කොළඹ එනවා චිත්‍රපට බලන්න. ඒ එන්නේ තාත්තාගේ සාක්කුවෙන් හොරාට රුපියල් දහයක් අරගෙන

. එහෙම ඇවිත් එදා දවසේ චිත්‍රපට තුනක් බලනවා. ඒ කා‍ලේ මගේ පෙම්වතියෝ දෙතුන්දෙනෙක් හිටියා කොළඹ. ඉතින් චිත්‍රපට බලලා ඉවරවෙලා කඩේට ගිහින් හොඳට කාලා පෙම්වතියන්ටත් ටොපි, චොකලට් අරගෙන දීලා තමයි මම ඒ දවස්වල ගෙදර යන්නේ. ඒ සම්බන්ධයෙන් මට ඒ කා‍ලේ දැඩි ලෙස දෝෂාරෝපණ එල්ල වුණා. නමුත් ඒ කා‍ලේ පවා මම චිත්‍රපට නැරඹුවේ විමර්ෂණාත්මකවයි. ඉතින් ඒ ලබපු ආභාෂය තමයි පසුකාලයක  මට ප්‍රවීණ සිනමා මාධ්‍යවේදියකු වන්නත්, දැවැන්ත පුවත්පත් කිහිපයක ප්‍රධාන කර්තෘ ධුරය දරන්නත් පන්නරය ලබාදුන්නේ.

ඒ කා‍ලේ ගැන තියෙන සුන්දරම මතකය?

ඒ කා‍ලේ ගාල්ලට එන හැම නළුවෙක්, නිළියක්, ගායකයෙක්, ගායිකාවක්ම කොහොමහරි  මම පෞද්ගලිකව මුණගැහෙනවා. එක සැරයක් ගාල්ලේ ටවුන් හෝල් එකේ තිබුණේ “ගීත මිහිර” කියලා සංගීත ප්‍රසංගයක්. ජෝතිපාල මොහිදින් බෙග් වගේ ජනප්‍රිය ගායක ගායිකාවෝ ගොඩක් එදා ප්‍රසංගයට ආවා. ප්‍රසංගය බලන්නම ගියේ මගේ යාළුවා  ධර්මසිරි වේහැල්වල එක්ක. 

එදා ප්‍රසංග වාර දෙකක් තිබුණා. අපි ඒ දෙකම බලන්න ටිකට් ගත්තා. දෙවැනි ප්‍රසංගයත් ඉවර වුණා. ඒත් අපිට ප්‍රසංගය බලලා විතරක් මදි. ජෝතිව මුණගැහෙන්නත් ඕන. ඒත් එදා ජෝතිව තියා කිසිම ශිල්පියෙක් මුණගැහෙන්න බැරිතරමට එදා හරියට සෙනඟ. ඉතින් අපි දෙන්නා බලා‍පොරොත්තු සුන්වෙලා ආපසු එද්දී අපි දැක්කා තාප්පය උඩ දෙන්නෙක් ඉඳගෙන ඉන්නවා. “මචං වඩු, අර ජෝතිපාලයි කරු අයියයි නේද?” ධර්මසිරි මට එහෙම කිව්වා.

 අපි දෙන්නා පස්වනක් පී්‍රතියෙන් පිනා ගියා. තාප්පේ උඩ හිටපු ජෝතිපාලයි කරු අයියයි එක්ක අපි කතා කළා. ඒ කතා කරන අතරේ “ගාලු නගරයේදී කළුවර සඳ ඇති රෑක - තාප්පය උඩ ඉඳන් ලියූ දෙපදයකි මේක” කියලා කරු අයියා අපිට කවියක් ලියලා දුන්නා. ජෝතිපාල ඇහුවා “දැන් මොනවද කරන්නේ කියලා.” මම කිව්වා මුකුත් නෑ ජෝති අයියා, විභාගේ කරලා ඉවරවෙලා රස්සාවක් බලා‍පොරොත්තුවෙන් ඉන්නවා කියලා. එතකොට ජෝති ඇහුවා. කවුරු වෙන්නද කැමති කියලා. 

මම කැමැති පත්තරකාරයෙක් වෙන්න කියලා මම උත්තර දුන්නා. ඒක අහපු ජෝති කිව්වා හා... හා.... නිකම්ම පත්තරකාරයෙක් වෙන්න එපා. හොද පත්‍ර කලාවේදියෙක් වෙන්න. එහෙමවෙලා මං ගැනත් ටිකක් ලියන්න කියලා. ඇත්තටම ජෝති එදා කිව්වා වගේ පසුකාලෙක මට ඔහු ගැන ‍පොත් දෙකක් එළි දක්වන්න පුළුවන්කම ලැබුණා.

ප්‍රේමය ගැන ලබපු මුල් අත්දැකීම?

ඒ කා‍ලේ මම පෑනේ මිතුරු සමාජවලට සම්බන්ධවෙලා හිටියා. ඒ විදිහට යාළු වුණ ගෑනු ළමයින්ගේ ගෙවල්වලට පවා මම ඒ කා‍ලේ ගියා. ඒ දවස්වල ප්‍රේම ගීත හරි ජනප්‍රියයි. ඉතින් “මා ලැබූ ජීවිතයේ”, “ඇස්දෙක වාගේ හිටිය”, “මගේ ජීවිතයේ” වගේ එකම සින්දු තමයි යාළුවෙලා හිටපු ගෑනු ළමයි දෙතුන් දෙනාටම ලියලා යවන්නේ. ඒ ප්‍රේම සම්බන්ධතා අතරින් මගේ ප්‍රථම ප්‍රේමය ඇතිවුණේ වයස අවුරුද 15දී විතර. ඇගේ නම අමාලි. පාසල් යද්දී කෝච්චියේදී ඇයව මුණගැහුණේ. ඒ සම්බන්ධය අවුරුදු දෙකතුනක් තිබුණා. අපේ සම්බන්ධය ගැන ඇගේ දෙමවුපියන්ට දැනුවත් කරන කාලය වෙනකොට රස්සාවක් නැතිව මම ගෙදර හිටියේ. රස්සාවක් නැතිව කොහොමද කසාදයක් ගැන හිතන්නේ. හැබැයි ඇය හිතුවේ මම ඇයව නොසලකා හරිනවා කියලා. 

ඉතින් අපේ සම්බන්ධය එතැනින් හමාර වුණා. හැබැයි ප්‍රේම සම්බන්ධය එතැනින් නැවතුනාට හිත්වල තිබුණු ආදරය නම් නැතිවුණේ නැහැ. ඒ ප්‍රේමය බිඳ වැටුණු නිසාම ඇය තවමත් අවිවාහකයි.

තමන්ටම කියලා කීයක් හරි මුලින්ම උපයා ගත්තේ?

කාලයක් මම නව යුගය සඟරාවට සිනමාව ගැන ලිපියක් ලිව්වා. ඒ ලිපිය වෙනුවෙන් මට රුපියල් 25 ගානේ ලැබුණා.

තරුණ කා‍ලේ වඩාත්ම දුෂ්කරතාවයට පත්වුණේ ?

මම ඒ කා‍ලේ නැවතිලා හිටියේ පංචිකාවත්තේ ලෑලි ගහපු ගරාජ් එකක. ඒ දවස්වල උදේට මූණ හෝදගන්න වෙන්නෙත් පාරේ තියෙන වතුර පයිප්පයෙන්. එහෙම මූණ හෝදගෙන මම ටයි 
එකකුත් දාගෙනයි ‍ලේක්හවුස් එකේ වැඩට යන්නේ. මුල් කා‍ලේ පත්තරවල වැඩකරනකොට සම්මුඛ සාකච්ඡාවලට යන්නවත් ප්‍රවාහන පහසුකම් ලැබුණේ නැහැ. ඒ කා‍ලේ අද වගේ දුරකථනයෙන් සම්මුඛ පරීක්ෂණ ලබා ගන්න තරම් පහසුකම් තිබුණෙත් නැහැ. ඉතින් ඒ දවස්වල බස් එකේ ගිහින්. දාඩිය පෙරාගෙන තව හැතැප්ම තුන හතරක් පයිනුත් ගිහිල්ලා තමයි නළු නිළියන්ගෙන් සම්මුඛ සාකච්ඡා ලබාගන්න සිදුවුණේ.

ඒ විදිහට සම්මුඛ සාකච්ඡාවලට යද්දී මුහුණදීපු අමතක නොවන සිදුවීම?

ඒ තමයි මම මුල්වතාවට ගාමිණි ෆොන්සේකාගෙන් සම්මුඛ සාකච්ඡාවක් ලබාගන්න ගියපු දවස. ගාමිණී විවේකීව ඉන්නේ රෑට. ඉතින් ඒ බව දැනගෙන හිටපු මම රෑවෙලා ගාමිණීලාගේ ගෙදරට ගියා. මම යනකොට ගාමිණී කොට කලිසමකුත් ඇඳගෙන කාර්එක හෝදනවා. ගාමිණී මාව පිළිගෙන,
වාඩිවෙන්න කිව්වා. 

ටික වේලාවකින් මට කෝපි කෝප්පයකුත් ලැබුණා. හැබැයි ගාමිණී තමන්ගේ සුපුරුදු වැඩ කරමින් හිටියා මිස සම්මුඛ සාකච්ඡාවට ආවේ නැහැ. ඒ අතරේ විවිධ අය ඔහුව මුණගැහෙන්නත් ආවා. ඔය විදිහට රෑ 12ත් පසුවුණා. දැන් මට කේන්තියි. හැබැයි ගාමිණී  ෆොන්සේකාගේ ගෙදර ඉන්නවා කියලා හිතුනාම ‍පොඩි ආඩම්බරයකුත් දැණුනා. අන්තිමේදී රෑ 1-2 ට විතර තමයි ගාමිණී සම්මුඛ සාකච්ඡාවට ආවේ. සම්මුඛ සාකච්ඡාව ඉවරවෙද්දී පාන්දර 4-5 විතර වුණා. එදා උදේ විජය ස්ටුඩියෝ එකට එන්න පිටත්වෙන්න ගමන් ගාමිණී ඔහුගේම කාර් එකෙන් මාව පංචිකාවත්තට ඇරලුවා.

ඔබේ බොහෝ විට යෞවනත්වය සහ ආදරය තේමාකරගෙන නවකතා රචනා කරන්නේ ඇයි?

යොවුන්වියේ ආදරය හැම කෙනෙක්ම වගේ අත්විඳලා තියෙන දෙයක්. යෞවනත්වය විෂය කරගත් නවකතා සර්වකාලීනව රසවිඳින්න පුළුවන්. ඒ නිසා මගේ නවකතා අම්මලා දූලා වගේම තාත්තලා පුතාලත් රසවිඳිනවා.

තරුණ කා‍ලේදී මුහුණදීපු කනගාටුදායකම සිදුවීම?

1971 කැරැල්ල කා‍ලේ හදිසියේම ප්‍රවෘත්තියක් අහන්න ලැබුණේ වැල්ලවාය ‍පොලීසියට පහරදීලා කියලා. ඒ සිදුවීමෙන් පස්සේ රටේ දිගටම කලබල ඇති වුණා. ඒක හරිම පුදුම අත්දැකීමක්. කාර්යාලයේ වැඩකරමින් ඉන්න ගමන්, ඇඳිරිනීතිය දාලා කියලා ආරංචි වුණාම හිටිහැටියේම ගෙදර යන්න වෙනවා. මිනිස්සුන්ට වෙඩි තියලා මරාදාන හැටි මම මගේ ඇස්දෙකටම දැක්කා. මිනිස්සු  ඇයි ඒ විදිහට වටිනා ජීවිත විනාශ කරන්නේ කියලා ඒ දවස්වල මට ලොකු කනගාටුවක් සහ කම්පනයක් ඇතිවුණා.

තරුණ කා‍ලේ ජීවිතේ වෙනස් කරන්න බලපාපු කෙනෙක් හිටියාද?

මගේ එකම දුව “මධාරා” ඉපදුනාට පස්සේ මගේ ජීවිත රටාව හුඟාක් වෙනස් වුණා. ඊට කලින් මම මත්පැන් බිව්වා. අනවශ්‍ය උත්සවවලට පවා ගිහින් රෑ 10-12 විතර වුණාට පස්සෙයි ගෙදර ආවේ. නමුත් දුව ඉපදුනාට පස්සේ මම රෑ බෝවෙන්න කලින් ගෙදර එන්න පවා පුරුදු වුණා. ‍

පොඩි කා‍ලේ ඇය හවස 6-7 වෙද්දි නින්දට යන නිසා ඊට කලින් ගෙදර එන්න මම හුරු වුණා. මම එකවර පුවත්පත් හතක ප්‍රධාන කර්තෘ ධුරය දැරුවා. ඉතින්, මම මුලදීම බලා‍පොරොත්තුවෙන් හිටියා මගෙන් පස්සේ මගේ දුවත් ඒ තනතුර දැරිය යුතුයි කියලා. ඒ වගේම කෙටි කාලෙකින්ම ඇයට ඒ ප්‍රධාන තනතුරුවලට පත්වෙන්න පුළුවන්කම ලැබුණා. අද වනවිට මධාරා ප්‍රකාශන ආයතනයේ හිමිකාරිණියත් ඇයයි. ඇගේ සැමියා සුජීව ප්‍රසන්නආරච්චි යොවුන් පරපුර අතරේ ජනප්‍රියම නවකතාකරුවෙක්. ඉතින් ඇය පිළිබඳ තබා තිබුණු බලා‍පොරොත්තු ජීවත්ව සිටියදීම සපුරාගන්න මට පුළුවන්කම ලැබුණා. 

0 comments

Post a Comment

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery