facebook page

Powered by Blogger.

Blogger templates



2010 වසරේදී ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ජනප්‍රියම පොත් ලැයිස්තුවේ මුල් තැන හිමි වූයේ කිතුනු ආගම පසුබිම් කරගෙන ටොඩ් බර්පෝ සහ ලින් වින්සන්ට් ලියූ “හෙවන් ඉස් ෆෝ රියල්; අ ලිට්ල් බෝයිස් අස්ටවුන්ඩින්ග් ස්ටෝරි ඔෆ් හිස් ට්‍රිප් ටු හෙවන් ඇන්ඩ් බැක්” කෘතියටය. එයට පසුබිම් වී තිබුණේ බර්පෝගේ සිවු හැවිරිදි පුතු‍ කොල්ටන් ලැබු මරණාසන්න අත්දැකීම්ය. එයින් විස්තර වූයේ කුඩා කොල්ටන් මරණාසන්නව වැතිර සිටියදී ඔහුගේ ආත්මය ස්වර්ගය වෙත ගොස් ආපසු මෙලොවට පැමිණි ආකාරයයි.

 2012 වසරේ අප්‍රේල් මාසය වන විට එම කෘතියේ පිටපත් ලක්ෂ දහයකට වඩා අලෙවි වී තිබු අතර එය පසුබිම් කරගෙන නිපැයූ චිත්‍රපටය පසුගිය අප්‍රේල් 16 දා ලොව පුරා තිරගත වීම ඇරැඹිණි.
ක්‍රිස්තියානි පූජකවරයකු වූ ටොඩ් බර්පෝ එම කෘතියෙන් විස්තර කරන්නේ 2003 දී තම පුතු කොල්ටන් හදිසි ශල්‍යකර්මයකට භාජනය වී මරණාසන්නව සිටියදී ගියේ යැයි කියන තැන් හා හමුවූ පුද්ගලයන් පිළිබඳය. සුව වූ කුඩා කොල්ටන් පවසා තිබුණේ එම ගමනේ දී තමාට තමාගේ වැඩිමල් සොහොයුරිය හා සීයා මුණගැසුණු බවයි. ඔහුගේ වැඩිමල් සොයුරිය උපතට පෙර ගබ්සා වී තිබු අතර ඒ පිළිබඳ කිසිවකු ඔහුට පවසා තිබුණේ නැත.

කොල්ටන් ගේ සීයා මියගොස් තිබුණේ කොල්ටන් උපත ලබන්නට වසර තිහකට පෙරදීය. එම ගමනේදී තමාට යේසු තුමා මුණ ගැසුණු බවත් එතුමන් දේදුනු පැහැයෙන් යුත් සුන්දර තුරගකු පිට නැඟී සිටි බවත් එතුමන් තමාව එතුමාගේ උකුළේ තබා ගත් බවත් කොල්ටන් පවසා ඇත. ඒ හැර කුඩා කොල්ටන් පවසා තිබුණේ තමන් කන්‍ය මරිය තුමිය දුටු බවය. එතුමිය සිංහාසනය ආසන්නයේ ද, යේසු තුමන් අසලින් ද සිටිනු තමා දුටු බව ෆෙල්ටන් පවසා ඇත.

2010 දී කෘතිය නිකුත් වී සති තුනක් ඇතුළත එය ‘නිව්යෝර්ක් ටයිම්ස්’ පුවත්පතේ ජනප්‍රියම කෘති ලැයිස්තුවේ තෙවැනි තැනට ද 2011 වසර වන විට පළමු තැනට ද පැමිණ තිබේ. මෙම කෘතියට නිර්දය විවේචන ද එල්ල නොවූවා නොවේ. කිතුනු පූජකවරයකු වූ බරියන් ෆේල් පවසා තිබුණේ දරුවා ශල්‍ය කර්මයේදී සායනිකව මියගිය බවත් වෛද්‍ය වාර්තාවල සඳහන් ව නැත කියායි. එමෙන්ම දරුවා දුටුවේ ය කියන සමහර දෑ බයිබලීය ඉගැන්වීම්වලට පටහැනි, බරපතළ ගැටලු මතු කරන ඒවා බව ද ෆේල් පියතුමා සඳහන් කර තිබිණි.

2011 වසරේ දී ‘සෝනි පික්චර්ස්’ සමාගම උක්ත කෘතිය සිනමාවට නැඟීමේ අයිතිය මිලට ගත්තේය. කෘතිය ඇසුරෙන් ක්‍රිස් පැකර් ලියු තිර රචනයට අනුව චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ රැන්ඩෝල් වොලස් ය. ග්‍රෙග් කිනියර්, කෙලී රෙයිල, තෝමස් හඩෙන් චර්ච්, ලේන් ස්ටයිල්ස් ඇතුළු නළු නිළියන් රැසක් රඟන මෙහි කොල්ටන් නමැති කුඩා පිරිමි දරුවාගේ චරිතයට පණ පොවන්නේ කෝනර් කෝරම් නමැති ළමා නළුවාය.

මේ වන විට මෙම වසරේ වැඩියෙන්ම ආදායම් ඉපැයූ චිත්‍රපට ලැයිස්තුවේ තෙවන තැන ලබා සිටින ‘හෙවන් ඉස් ෆෝ රියල්’ තවදුරටත් අමෙරිකාවේ මෙන්ම වෙනත් රටවලත් ප්‍රේක්ෂක ආකර්ෂණය දිනා ගනිමින් ප්‍රදර්ශනය වෙයි.

Related Posts Plugin for WordPress, Blogger...

New post

Gossip Lanka Net Photo Gallery