සෙවණගල, වැවේයායේගම ප්‍රදේශයේ ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් පැහැර ගත් උක් ගොවියෙකු දෑත දෙපා බැද නාගයකු සමඟ ප්ලාස්ටික් බැරල් එකට දමා සිටියදී නාගයා දෂ්ට කිරීමෙන් පසු අසාධ්‍ය තත්වයෙන් සෙනසුරාදා (10) ඇඹිලිපිටිය රෝහලට ඇතුලත් කර තිබේ. රෝහල් ගතකැර ඇත්තේ හබරලු වැව වැවේගමයාය ප්‍රදේශයේ පදිංචි ධම්මික නිශාන්ත (45) යන දෙදරු පියෙකි.
සෙනසුරාදා (09) සවස නිශාන්ත මහතා වැවේයායේ ගම ප්‍රදේශයේ ගමන් කරමින් සිටිය දී දෙදෙනෙකු පැමිණ පැහැර ගෙන ගොස් තිබේ. අනතුරුව ඔහුට පහර දීමෙන් පසු අත් හා පාද ගැට ගසා නාගයකු දමන ලද ප්ලාස්ටික් බැරල් එකකට දමා තිබේ. උක්ගොවි මහතාට නාගයා දෂ්ඨ කිරීමෙන් පසු ප්ලාස්ටික් බැරල් එකෙන් එළියට ගෙන ඇත් හා පාදවල බැමි ලෙහා දමා තිබේ. සැකකරුවන් සිතා ඇත්තේ නිශාන්ත නැමැත්තා මියගොස් ඇති බවයි. නාගයාවද මරා දමා සැකකරුවන් පළාගොස් තිබේ.
ඔවුන්ගේ අරමුණ වී ඇත්තේ නාගයකු දෂ්ඨ කිරීමෙන් නිශාන්ත මහතා මියගොස් තිබෙන බවක් ඇඟවීමයි.
කෙසේ වෙතත් පසුව සිහිය ලැබූ නිශාන්ත මහතා අසල පිහිටි නිවසකට පැමිණ සිද්ධිය පවසා ඇත. අනතුරුව ඔහු ඇඹිලිපිටිය රෝහලට ඇතුළත් කර තිබේ. මෙම සිද්ධියට හේතුව ඉඩම් ආරවුලක් බව පොලිසිය පවසයි. සැකකරුවන් මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් සෙවනගල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වති.
පරාක්‍රම ගුණසේකර - ඇඹිලිපිටිය